අභිධර්ම බුද්ධ දේශනාවක්මයි

කතෘ - ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි

මූලාශ්‍රය - රේරුකානේ චන්දවිමල මහ නායක හිමි චරිත කථාව

බුදු හාමුදුරුවන්ගේ ලොකුම දේශනාව අභිධර්ම දේශනාවයි. අනිත් ඔක්කෝම දේශනා මේ අභිධර්ම දේශනාවයි. අනිත් ඔක්කෝම දේශනා මේ අභිධර්මයෙහි ඇතුළත්ව තියෙනවා. අභිධර්මය බුද්ධ දේශනාවක් නොවෙයි කිව්වොත් බුද්ධ චරිතයේ සමහර කාරණා වෙනස් කරන්න වෙනව නේද? මව් තුමියට සළකන්න තව්තිසා දෙව් ලොවට වැඩම වීම වගේ කොටස් අයින් කරන්නත් වෙනව නේද? අභිධර්සය බුද්ධ දේශනාවක් නොවෙයි කියන්නේ, ඒ ඒ අය ලබා ගෙන තිබෙන දැනුම අනුවයි.

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වීමෙන් ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්මය යි. මේ පිරිසිදු ධර්මය බුදු සස්නෙන් පිටත වෙන කොතනකවත් දකින්නට නැහැ. සූත්‍ර පිටකයේ තිබෙන බොහෝ කරුණු අභිධර්ම පිටකයේ තිබෙන ඒවා. ඒ වුණාට ඒ ධර්ම අභිධර්ම පිටකයේ මෙන් විස්තර කරල නැහැ. ක්‍රමානුකූලව විභාග කරලත් නැහැ. පැහැදිලි කරලත් නැහැ. ඒ නිසා බුද්ධ ධර්මය ගැන සම්පූර්ණ දැනුමක්, නිරවුල් දැනුමක් සූත්‍රපිටකය පමණක් ඉගෙනීමෙන් ලබා ගන්න බැහැ. ධර්ම කථිකයකු වන්න, නිරවුල් ලෙස ධර්ම දේශනාවක් කරන්න අභිධර්මය ඉගෙන ගන්නම ඕනෑ. ධර්ම දේශනාවක වරද නිවරද සොයා ගැනීමට, ඇද කුද සොයා ගැනීමට, අඩු වැඩිකම් සොයා ගැනීමට, ඇති නූල ද ලඹය ද මට්ටම් ලෑල්ලද, කෝදු ලීය ද අභිධර්මයයි. අභිධර්මය නොදැන කරන ධර්ම දේශනාව දිග් නූල, ලඹය, මට්ටම් ලෑල්ල, කෝදු ලීය, පාවිච්චි නොකොට හදන ගෙයක් වගෙයි. මේ ගැන මං අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ සංඥාපනයේ විස්තර සහිතව ලියලා ඇති. යම් කෙනෙතු යම් ධර්ම කාරණයක් ඇසුවාම ඒක හරියට කියා දෙන්න පුළුවන් අභිධම්මිකයනට බවයි සඳහන්ව තියෙන්නේ.

ලෞකික ලෝකෝත්තර ධර්මයන්ගේ තත්වය ප්‍රකාශවන අභිධර්මය තථාගතයන් වහන්සේ බුදු බවට පැමිණ සතරවන සතියෙහි බෝ මැඩට පශ්චිම දිසාවෙහි වැඩ සිට සතියක් මුළුල්ලෙහි සම්මර්ශනය කළ බව බුද්ධ චරිතයෙහි සඳහන් වෙනවා. අභිධර්මය ප්‍රකරණ සය සම්මර්ශනය කිරීමේ දී බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් නික්මුනේ නැහැ. අනන්ත නය සමන්වාගත මහා පට්ඨාන ප්‍රකරණයට පැමිණියාම තථාගතයන් වහන්සේ ගේ සිත අතිශයින්ම ප්‍රසන්න බවට පත්වුණා. සිත ඇසුරු කළා වූ ලේ ධාතුව ද එයින්ම පිරිසිදුවුණා. ලේ ධාතුව පිරිසිදු වූ විට තථාගතයන්වහන්සේගේ ශරීරයෙන් නීල පීතාදී ෂට් වරණ බුද්ධ රශ්මිය නික්මෙන්නට පටන් ගත්තා. සතියක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේ සිතින් මෙනෙහි කළ ධර්මය වර්ෂ සියයක්, දහසක් දේශනා කළත් අවසන් නොවන තරම් විශාල වෙනවා.

බුදුබවට පත් වී සවන සතියෙහි තව්තිසා දෙව් ලොවදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දස දහසක් සක්වලින් පැමිණි දිව්‍ය, බ්‍රහ්මයන්ට ඒ ධර්මය හකුළුවා තුන් මසකින් දේශනා කොට වදාළා. තථාගතයන් වහන්සේගේ තොල් දෙක මනා සේ ස්පර්ශ වෙනවා. දිව ඉතාමත් මෘදුයි. ඒ නිසාම වචන පිට වීම ඉතාම වේගවත් වෙනවා. උන්වහන්සේ දන් වළදා ඉක්බිතිව පැමිණි පිරිසට වදාරන්නා වූ අනු මෙවෙනි බණ මඳක් වැඩි කොට දේශනා කරතොත් බණවර හැටහතරකින් යුක්ත වූ දීඝ නිකාය තරම් වෙනවා. සවස් කාලයෙහි විහාරයට බණ ඇසීමට පැමිණෙන අයට දේශනා කරන්නා වූ එක බණක් අංගුත්තැ, සංයුක්ත නිකාය දෙකට සමාන වනවා. ස්වල්ප කාලයකින් දේශනා කරන ධර්මය මේ තරම් විශාල නම් තෙමසක් මුළුල්ලෙහි නොනවත්වා පවත්වන ලද අභිධර්ම දේශනාව කෙතෙක් දීර්ඝ වේ දැයි සිතා ගන්නට පුළුවන්. එය පොත්වල ලීවේ නම් කොතරම් විශාල පොත් ගොඩක් ලැබේ ද?

තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා පවත්වන ලද මෙපමණ මහත් දේශනාවක් අහන්නට මිනිසුන් සමර්ථ වෙන්නේ නැහැ. ඒ නිසාම මේ ධර්මය දෙවියන්ට දේශනා කළා. දෙවියන්ට දහම් දෙසීමට බුදු රුවක් නිර්මාණය අතර තථාගතයන් වහන්සේ දහම් දෙසීමට බුදු රුවක් නිර්මාණය කොට දින පතාම ආහාර කෘත්‍යය සඳහා මිනිස් ලොවට වැඩම වූ බවත් සඳහන් වෙනවා. බුද්ධෝපස්ථානය සඳහා දම් සෙනෙවි ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැමිණියාම දෙවියන්ට දෙසූ මේ ධර්මය උන්වහන්සේට ඉතා සංක්ෂේපයෙන් දේශනා කරනවා. ශාරිපුත්‍ර හාමුදුරුවන් ඒ ධර්මය නය දහසින් නය ලක්ෂයෙන් තේරුම් ගන්නවා. එහෙම දැන ගත් අභිධර්මය උන්වහන්සේ විසින් ශාරිපුත්‍ර මහ රහතුන් වහන්සේට දේශනා කොට වදාළ උන්වහන්සේ විසින් ස්වකීය අතැවැසි පන්සියක් භික්ෂූන්ට උගන්වා වදාළ ඒ ශ්‍රේෂ්ඨ ධර්මය යි.එය තථාගත දේශනාවක්මයි.

සප්ත ප්‍රකරණයෙන් කථාවත්ථු ප්‍රකරණය බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් දෙසිය අටලොස්වෙනි වර්ෂයෙහි මොග්ගලීපුත්ත මහරහතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්. එය තථාගතයන් වහන්සේ උදෙසාම තබා වදාළ මාතෘකාවට අනුව දෙසා වදාළ නිසා එය බුද්ධ භාෂිතයක්ම යි.

දැනට මේ රටේ වැඩ ඉන්න අභිධර්ස විශාරදයා මහානායක හාමුදුරුවෝ තමයි කියලා බොහෝ දෙනා කියනවා.

කව්ද කියන්නේ?

මේ රටේ වැඩිම දෙනෙක් කියනවා

අනේ! මම නම් ඒක දන්නේ නැහැ.

ඒ විතරක් නෙමෙයි. අභිධර්මය වැනි දුෂ්කර ගැඹුරු විෂයයක් පොදු මහ ජනතාව අතර ජනප්‍රිය කරවිමේ ගෞරවය මහා නායක හාමුදුරුවන්ට ලැබෙන බවයි බොහෝ දෙනාගේ හැඟීම.

ඒගැන මං මොකවත් දන්නේ නැහැ. මං ඉතින් ඔය අභිධර්ම මාර්ගය අභිධර්මයේ මූලික කරුණු වගේ පොත් දෙකක් ලීවා. ඒ පොත් වලිනුත් ගිහි පැවිදි දෙපාර්ෂයටම යම් කිසි ප්‍රෙයා්ජනයක් වෙන්නට ඇතැයි කියලා මං හිතනවා. මං ලියන්නට කලිනුත් අභිධර්මය ගැන පොත් ලියවිලා තිබුණා. ඒ පොත් වලින් වැඩි හරියක් මිනිසුන්ට කියවලා අභිධර්මය තේරුම් ගන්න බැරි ඒවා. මං කළේ ටිකක් සරලව මං තේරුම් ගත්ත විදියට ලියන එකයි. අභිධර්මය සරලව ලියන එක හරි අමාරු වැඩක්. අභිධර්මයේ එන ඒ ඒ කාරණා වලට ගැළපෙන සිංහල වචන තෝරා බේරා ගැනීම හරිම අපහසුයි. ලොකුම දුෂ්කරතාව ඒකයි. කෙනෙක් අපව කිනිත්තුවාම ඇති වන වේදනාව එකක්. පිච්චුනාම ඇතිවන වේදනාව වෙන එකක්. මොකක් හරි ඇඟට ඇනුනාම ඇතිවන වේදනාව තව එකක්. නමුත් මේවා වෙත වෙනම කියන්න කෝ වෙන වෙන වචන.

මහානායක හැමුදුරුවන් අභිධර්මය ගැන මේ ගැඹුරු දැනුම ලබා ගත්තේ කොහොමද?

පොත් කියවීමෙන් හා කල්පනා කිරීමෙන්. මං නිකන් සිටින සෑම වේලාවකම වගේ ගැඹුරු ධර්ම කාරණා ගැන කල්පනා කරනවා. රාත්‍රී කාලයෙත් බොහෝ විට මං ඒක කරනවා.

වැඩිපුර දැනුම ඇති කර ගත්තේ බුරුම රටේ දී ද?

නැහැ. බුරුමෙ හිටියේ කුඩා කාලයේ ඉඳලා අවුරුදු දහයක විතර කාලයක්. උපසම්පදාවත් ලබන කම්ම හිටියා. බුරුමෙදී හරියට කට පාඩම් කලා. මගේ මේ දැනීම මා විසින්ම දියුණු කර ගත්ත එකක්.

සත්‍යය අවබෝධ කර ගැනීමට අභිධර්මය දැන ගැනීම අවශ්‍යමද?

සත්‍යමයි අභිධර්මයේ තියෙන්නේ. අභිධර්මයේ කියන හැටියට අවබෝධ වුනොත් තමයි සථ්‍යය අවබෝධ වන්නේ. ඒක තව ටිකක් පැහැදිලි කරන්න.

වචන හැදෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. පොල් ගෙඩියක් ඇසට පෙණුනාම ඒ අනුව ලකුණක් කර ගන්නවා. ඒ අනුවයි වචනයක් හැඳෙන්නේ.

ඒ වචනය, එහි අර්ථය වැටෙන්නේ ඒ කියන එක්කෙනාට විතරයි. වෙන කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා නියමාර්ථය දැක්වෙන දේශනාව තමයි අභිධර්ම දේශවාය කියන්නේ. මාත් ඉතින් කල්පනා කරලා කරලා ඔය ධර්ම කාරණා ටිකක් තේරුම් අරන් තියනවා මිසක් ඔක්කොම ධර්ම කාරණා මටත් වැටහෙන්නේ නැහැ.

මොනම භාෂාවක්වත් නොදන්නා කෙනෙකුය ගලක් පෙණුනා කියලා හිතමු. එයා ඒ ගල දැකලා හිතින් ලකුණක් කර ගන්නවා. අන්න ඒ අනුවයි ඒකට වචනයක් හැඳෙන්නේ. එයා ඒ වචනය ීවාට අර්ථය තේරෙන්නේ එයාට විතරයි. වෙන කාටවත් තේරෙන්නේ නැහැ. ගල දැකලා ගල හඳුනන්නේ නැති එක්කෙනාට ගල ගැන කොච්චර කීවත්, ඒක මොකක් ද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේ ලෝක ව්‍යවහාරය තියෙන්නේ යම් යම් දෙනා යම් යම් දේ දැකලා ඒ අනුව තියාගත්තු ලකුණු අනුව හැදිච්ච වචන තමයි. ඒක ඒ වචනය හදා ගත්ත එක්කෙනාට තේරෙනවා. අනිත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. භාෂාවල වචන හිඟකම තමයි අභිධර්මය පැහැදිලි කරදීමට තියෙන අපහසුව. අප මේ එක වචනයක් කතා කරන කොට බුදු හාමුදුරුවෝ වචන 64 විතර කතා කරනවා.

නායක හැමුදුරුවනේ, අභිධර්මයේ මූලික කාරණා පවා පැහැදිළි කර දීමට දක්ෂ අය අද ඉතාමත් අඩුයි. විශාල පිරිහීමක් දකින්නට තියෙනවා. මොකද ඒකට හේතුව?‍

හොඳට දැන ගෙන හිටිය අය දැන් අඩුයි. ඉගෙන ගන්න අයත් අඩුයි. මුල දී අභිධර්ම ඉගෙනීම විශේෂ වශයෙන් තිබුණා. දැන් එහෙම නැහැ.

චිත්ත චෛතසික, රූප යන ධර්ම පරමධර්ම ලෙසින් අභිධර්මයෙහි හැඳින්වීමේ යුක්තිව කුමක් ද? ඒවා වෙනස් නොවේද? නොබෙදිය හැකිද?

චිත්තය බෙදන්න බැහැ. ඒක එකක්. චෛතසිකත් බෙදන්න බැහැ. රූපත් ඒ ඒ හැඩය අනුව පවතිනවා. බෙදන්න බැහැ. මූලික අභිධර්මයේ උගන්වන්නේ මේ සියල්ලම ක්‍රියා කියලා. ද්‍රව්‍යයක් නැහැ. සියල්ලම ක්‍රියා. වෙනස් වෙනවා. කියන එකක් මේවායේ නැහැ.

අභිධර්ම පොත්වල දක්නට ලැබෙන හැටියට නම් ඇත්තේ පරමාර්ථ ධර්ම අසූ දෙකයි. මේ අසූ දෙක කොටින් කියනවා නම් චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය කියලා හතරයි.

පරමාර්ථ ධර්ම ගස් ගල් වගේ විශාල ලෙස ඇස්වලට පෙණෙන ඒවා නොවෙයි. පරමාර්ථ සැලැස්ම ක්‍රියා. අදුව්‍යයි. මේ ක්‍රියා තත්ත්වය වටහා නොගත් කෙනෙකුට පරමාර්ථයන්ගේ තත්ත්වය වටහා ගැනීම අපහසු වෙනවා. ක්‍රියා තත්ත්වය අවබෝධ කර ගත්තාම ඔහුට පරමාර්ථ තත්ත්වය අවබෝධ කර ගැනීම පහසු වෙනවා. ද්‍රව්‍ය මෙන් ක්‍රියාව ඇසට පේන්නේ නැහැ. ලෝකයේ ක්‍රියා වශයෙන් සලකන දේ වලින් වැඩි හරියක් ද්‍රව්‍යවල චලනයමයි. ද්‍රව්‍යය ඇසට පේනවා. ක්‍රියාව ඇසට පේන්නේ නැහැ. ක්‍රියාව ද්‍රව්‍ය දෙස බලා ඒ අනුව සිතින් දත යුත්තක් වෙනවා.

ධර්මය නො දැන භාවනාවෙන් පමණක් ප්‍රතිඵලයක් ලැබිය හැකි ද?

බුදු, පසේ බුදු, උතුමන් විසින් මේ ධර්මය තම තමන් විසින්ම අවබෝධ කර ගන්නවා. නමුත් සැරියුත් මහ රහතන් වහන්සේ වැනි මහ තියුණු නුවණක් ඇති උතුමෙකුට වුණත් සද්ධර්ම ශ්‍රවණය, ධර්මාවබෝධය සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා ධර්මය ඇසීම, ධර්මය දැන ගැනීමටත්, ධර්මය අවබෝධ කර ගැනීමටත් අවශ්‍යම බවයි මට කියන්නට තියෙන්නේ. අද මේ රටේ කෙරෙන භාවනා වැඩ පිළිවෙළවල් ගැන නම් මං සතුටු වන්නේ නැහැ. මට නම් හිතෙන්නේ හුඟ දෙනෙක් මුලා වෙලා කියලා. ධර්මය දැන ගැනීමටත්, නො දැන කොහොම ද භාවනා වඩන්නේ. ධර්මය ගැන හොඳ දැනුමක් මුලින් ඇති කර ගන්න ඕනෑ. ඒ වගේම භාවනාව ගැනත් තරමක හෝ දැනුමක් ඇති කර ගන්න ඕනෑ. අද භාවනාව හුඟාක් අසාර්ථක වෙලා තියෙන්නේ ඒ ගැන දැනුමක් තේරුවක් නැති නිස යි. මුලින් ම කෙනෙකුට භාවනා ක්‍රමයක් දීම වැරදියි. භාවනාව ගැන දැනුමක් තේරුමක් මුලින්ම ලබා දෙන්නම ඕනෑ. අද නම් ගිය හැටියේම දෙන්නේ භාවනාවක්. නමුත් ඒ භාවනාව ගන්න එක්කෙනාට ඒ ගැන කිසිම තේරුමක් නැහැ. මේ රටේ භාවනා දෙන බොහෝ දෙනාට (භාවනා ආඡාරයවරුන්ටත්) ඒ පිළිබඳ තියෙන දැනුම ඉතාම ස්වල්පයි. එහෙම තියනෙ කොට කොහොම ද භාවනාවෙන් ප්‍රතිඵල ලබා ගන්නේ?

අද යොදා ගෙන තියෙන භාවනා පන්ති, භාවනා පාඩම්, භාවනා මධ්‍යස්ථාන ගැනත් මං යමක් කියන්නට ම ඕනෑ. අද තියෙන විදියේ වැඩ පිළිවෙළක් ත්‍රිපිටකයේ කොහේ වත් මට නම් දකින්නට ලැබිලා නැහැ. බුද්ධ කාලයේ ඒ ඒ අය බුදුරජානන්වහන්සේ ළඟට ඇවිදින් කර්මස්ථාන ලබා ගෙන ගිහිල්ලා භාවනා වැඩුවා. ඒ ඒ පුද්ගලයන්ගේ චරිතානුකූලව සුදුසු කර්මස්ථාන සොයා ගෙන ගිහිල්ලා, භාවනා වැඩුයේ පන්ති වශයෙන්, කණ්ඩායම් වශයෙන් නෙමෙයි. තැන් තැන් වලට වෙලා උත්සාහයෙන් වීර්යයෙන් කෙලෙසුන් නැති කිරීම සඳහා භාවනා වැඩුවා. අද වගේ සිය දහස් ගණන් එක් තැනකට රැස් කර ගෙන කරන භාවනා වැඩ පිළිවෙළක් ගැන මා දන්නේ නැහැ.

මා නිතර ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා කඳුබොඩ වගේ ස්ථාන කිහිපයක කෙරෙන භාවනා වැඩ පිළිවෙළ හොඳයි. ඒ වුණත් එක එක වකවානුවල ඒක කරවන අය අනුව, වඩාත් හොඳ වෙන්නත් පුළුවන්. වඩා හොඳ නො වෙන්නත් පුළුවන්. හොඳ තේරුමක් දැනුමක් පළපුරුද්ධක් ඇතුව ක්‍රියා කරනවා නම් කොතනත් හොඳයි. අද මේ රටේ කෙරෙන භාවනා වැඩ පිලිවෙළ වැඩක් නෑ කියලම කියන්න මම ඉක්මන් වන්නේ නැහැ. ඒවා හොඳ පින් සිද්දවෙන දේවල් වශයෙන් මං සලකනවාහැබැයි බොහෝ තැන්වලින් භාවනාව එක්තරා ප්‍රමාණයකටවත් මුදුන් පත්වීමක් නම් සිදු වන්නේ නැහැ. හැම භාවනා ක්‍රමයක්ම හැම දෙනාටම සුදුසු වන්නේත් නැහැ. අසවල් භාවනාව, අසවල් පුද්ගලයාට සුදුසු යි, කියලා හරියටම නියම කරන්න පුළුවන්කම තිබුණේ බුදු හාමුදුරුවන්ට පමණයි. අද වුණත් ධර්ම විනයධර, බහුශ්‍රැත, භාවනාව පිළිබඳ තරමක් හෝ දැනුමක් ඇති ඇත්තන්ට යමෙකු කාලයක් ඇසුරු කිරීමෙන් පසුව පුළුවන්කම තියෙනවා සුදුසු භාවනාවක් නියම කරන්න. ඒ ඒ පුද්ගලයාගේ චරිතය තරමක් දුරට හෝ තේරුම් ගැනීමෙන් පසුවයි භාවනාවක් නියම කරන්න ඕනෑ.

මං ඉතින් ලොකුවට ලෝකයට කියන්න කැමති නැහැ දැන් මගේ මුළු කාලයම භාවනාවට ගත කරනව කියලා. කවදත් සිහියෙන් කල්පනාවෙන් තමයි මා කටයුතු කරන්නේ. නිතර නිතර මං ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. ඔය කඳුබොඩ කරන භාවනාව මුලින්ම මේ රටට හඳුන්වා දුන්නේ මායි. ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බුරුම හාමුදුරුවන්ගේ භාවනාවක් හැටියටයි. කඳුබොඩ කෙරෙන්නේ පුරාණ සතිපටඨාන භාවනාවමයි. අළුත් අළුත් භාවනා පටන් ගත්තටම වැඩක් නැහැ. ඒවා කරවන අයත් යම් කිසි ප්‍රමාණයකටවත් භාවනාවෙන් දියුණුවක් ලබා ගෙනයි ඒක පටන් ගන්නට ඕනෑ. අද නම් බැලුවාම ඒ තත්ත්වයට දැමීමක් වශයෙනුයි මට පේන්නෙ. ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මට නම් කියන්න බැහැ.

නායක හාමුදුරුවෝ හුඟක් බරබහා තැබූ කෙනෙක් කියලා බොහෝ දෙනා කියනවා. ඒගැන යමක්…. ඒක නම් ඇත්තක්. මට බරක් නැහැ. මා විහාර පන්සල් පරිපාලන කටයුතු වල යෙදීමක් නැහැ. කවදාවත් කාගෙන් වත් කිසිමදෙයක් මා ඉල්ලුවෙත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. යමක් නැතිනම් ඒ නැතිකම මට යහපතක් කියලයි මං හිතන්නේ. නැති වුනාම, නොලැබුණාම තමයි හරියට ප්‍රතිපත්තිය පිරෙන්නේ. පුරන්න පුළුවනුත් එතකොටයි. මට කියලා මගේ කියලා කිසිවක් මෙතන නැහැ. මේ කුටියේ තමයි මං ඉන්නේ. මේ කුටියේ ඇතුළු දොර අවුරුදු පහලොවකින්වත් වහපු බවක් මට මතක නැහැ. යතුර තියෙන්නේ හැමදාම දොරේම යි.

මා හුඟක් වෙද පොත් කියවලා තියනවා. ඒ වුණාට මං වෙදකම් කරන්නේ නැහැ. මට අවශ්‍ය පුංචි පුංචි බෙහෙත් ඉඳලා හිටලා කාට හරි කියලා හදාගෙන පාවිච්චි කරනවා. මට බොහො දෙනාට තියෙන සීනි අමාරුව, ලේ ගමනේ අඩු වැඩිකම වැනි රෝග නෑ. හිත හුඟක් සැහැල්ලු වූ තරමටම ලෙඩ රෝගත් අඩුවෙනවා. මට යම් කිසි අමාරුවක් ඇති වුවහොත් ඒකට ප්‍රතිකාරයකුත් මටම හිතෙනවා. මගේ ජීවිත කාලයේදී තද බල අසනීප වෙලා වැඩි දින ගණනක් ඉස්පිරිතාලවල ඉඳලා නෑ. මං කවදත් ආහාර ගත්තෙත් ටිකයි.

මං හිතන්නේ ලෝකේ ඉන්න ලොකුම පොහොසතාත් දුප්පතාත් මමයි කියල යි. දුප්පත්කම කියන්නේ සෑහීමකට පත් නොවීමයි. නැත්නම් ඇතිවීමක් නැති කමයි. මදිකමයි. මම සෑහීමකට පත්වෙලා ඉන්න කෙනෙක්. ලද දෙයින් සතුටු වෙලා ඉන්න. සෙවීම පිළිබඳ උත්සාහයකුත් නෑ. ඒක නිසා සං ලෝකේ ලොකුම පොහොසතා කියලා හිතනවා. දුප්පත්කම කියන්නේ නැති කමයි. හිඟන්නා දුප්පතෙකි. හිඟන්නාට තියෙන්නේ පොල්කටුව හැරමිටිය වුනත් මගේය කියලා හිතින් අල්ලගෙනයි ඉන්නේ. ඒක නිසා ඔහුත් යමක් ඇති කෙනෙක්. මට මොනවා තිබුණත් ඒ කිසිවක් හිතින් අල්ලගෙන නැති නිසා කිසිවක් නැති කෙනෙක් හා සමානයි. ඒක නිසා තමයි පෝකේ ඉන්න දුප්පතාත් මමයි කීවේ.