චෛතසිකය

සර්වචිත්ත සාධාරණ චෛතසික (7)

කෙටියෙන්:-සිතක් ඇති වීමට අවශ්‍ය සිත හා ආරම්මණයන් ගේ ගැටීමක් / ස්පර්ශයක් ඇති කරන චෛතසිකය.

සවිස්තරව:-නො සැපුණු දෙයක් නො දැනේ. එමෙන් සිතට දැනෙනුයේ ද සිතෙහි සැපුණු දෙයක් පමණෙකි. කැපිය යුතු වස්තුවක් සම්බන්ධයෙන් නැතිව කැපීමක් නො විය හැකිවාක් මෙන් ද, කෑ යුතු දෙයක සම්බන්ධයක් නැතිව කෑමක් නොවිය හැකිවාක් මෙන් ද, ඇල්ලිය යුතු දෙයක් නැතිව ඇල්ලීමක් නොවිය හැකිවාක් මෙන් ද, දත යුතු දෙයක සම්බන්ධයෙන් තොරව දැනීමක් ද නො විය හැකිය. දැනීමක් ඇතිවීමට සැම කල්හි ම දත යුතු දෙයක සම්බන්ධයක් තිබිය යුතු ය. සිත සෑම කල්හි ම උපදිනුයේ දත යුතු දෙය හා ගැටී එය බදාගෙන ම ය. දැනීම අනෙකකි. එය විඤ්ඤාණය ය. දැනීම නොවී ගැටීම නො වියහැකි ය. ගැටීම නො වී දැනීම නො විය හැකිය. එබැවින් ඒ දෙකට පෙර පසු වී සිදු නො විය හැකිය. වෙන්වී ද සිදු නො විය හැකිය. එකකට වඩා දික් කලක් අනෙකට නො පැවතිය හැකි ය. ඒ ධර්ම දෙක එකට ම ඉපද එකට ම පැවතී එකට ම බිඳී යා යුතු ය. සිතට අරමුණ ගත හැකි වීම චෛතසික ස්පර්ශයාගේ ඵලය ය.

උදාහරණය:-අඳුරේ අතගාන තැනැත්තාට අත නො පැමිණි තැන නො දැනෙන්නාක් මෙන් ස්පර්ශ වීම් වශයෙන් සිත නො පැමිණි තැන සිතට නො දැනෙන්නේ ය.

කෙටියෙන්:-අරමුණ වසා ගෙන සිටින්නා වූ ආරම්මණ රසයය(හොඳ බව ය, නරක බව ය, මධ්‍යම බව ය) ගන්නා වූ චෛතසිකය.

සවිස්තරව:-හොඳ බව ය, නරක බව ය, මධ්‍යම බව ය යන මේ තුන අතුරෙන් එක්තරා ස්වභාවයක් සැම ධර්මයක ම සැම වස්තුවක ම ඇත්තේ ය. ඒවාට ආරම්මණ රසයයි කියනු ලැබේ.ඒ රසය අරමුණ වසාගෙන එහි පැතිර පවත්නා ස්වභාවයකි. අරමුණ අනෙකකි. රසය අනෙකකි.සිතින් අරමුණ ගන්නා කල්හි එය සමග ම අරමුණ වසා ගෙන සිටින්නා වූ එහි රසය ගැනීමක් ද වේ. රසය අරමුණේ අනෙකක් වන්නාක් මෙන් ම රසය ගැනීම ද අරමුණ ගන්නා විඥානයෙන් අනෙකකි. ඒ රසය ගැනීම රස විඳීමකි. එබැවින් එයට වේදනාව යන නම කියනු ලැබේ.රසයෙන් තොරව අරමුණක් ඇති නොවන්නාක් මෙන් ම අරමුණ වසා සිටින රසය ගන්නා ස්වභාවය වූ වේදනාවෙන් තොරව වේදනාව හා අමිශ්‍ර‍ව කිසි කලෙක විඥානයට පමණක් ඇති නො විය හැකි ය. විඥානය සෑම කල්හි ම ඇති වන්නේ වේදනාවත් සමග ම ය.ආරම්මණයාගේ හොඳ බව ගන්නා වූ වළඳන්නා වූ ස්වභාවය සුඛ වේදනා නම් ද සෝමනස්ස වේදනා නම් ද වේ. ආරම්මණයා ගේ නරක බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවය දුඃඛ වේදනා නම් ද දෝමනස්ස වේදනා නම් ද වේ. ආරම්මණයාගේ මධ්‍යම ස්වභාවය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවය උපේක්ෂා වේදනා නම් වේ.

කෙටියෙන්:-සිතින් අරමුණක් ගන්නා කල්හි ඒ ඒ ධර්මය ඒ ඒ වස්තුව අන්‍ය ධර්ම අන්‍ය වස්තූන්ගෙන් වෙන් කොට හැඳින ගැනීමට උපකාර වන චෛතසිකය.

සවිස්තරව:-සිතින් අරමුණක් ගන්නා කල්හි එය සමග ම එය හා මිශ්‍ර‍ව ආරම්මණයාගේ ගුණයක් වූ හැඳින ගැනීමට උපකාර වන ස්වභාව ගැනුමක් ද වේ.හැඳින ගැනීමට උපකාර වන ස්වභාවය නැති අරමුණක් නැතිවාක් මෙන් ම සංඥාව හා අමිශ්‍ර‍ සිතක් ද නැත.යම් කිසි අරමුණක් පිළිබඳව ප්‍ර‍ථමයෙන් ඇතිවන්නා වූ සංඥාව මතු ඒ අරමුණ හැඳින ගැනීමට උපකාර වේ. ඒ අරමුණ පසු කාලයේ නැවත නැවත සිතින් ගැනීමේ දී ඒ සිත් සමග උපදනා සංඥාව පළමු සංඥාව අනුව උපදී.එබැවින් සංඥාව මතු හැඳින ගැනීමට සලකුණු කරන ධර්මයකැයි ද පෙර කරන ලද සලකුණෙන් අරමුණ හැඳින ගන්නා ධර්මයකැයි ද කියනු ලැබේ.සංඥා විඥාන දෙක මඳක් ඔවුනොවුන්ට සමාන ධර්ම දෙකකි.ආරම්මණය ගැනීම විඥානය යි ද ආරම්මණයා ගේ ආකාරය ගැනීම සංඥාව යි ද ගත් කල්හි එහි වෙනස පෙනෙනවා ඇත.

කෙටියෙන්:-කායික වූ ද, වාචසික වූ ද මානසික වූ දහස් ගණන් ක්‍රියා සිදු කිරීම පිණිස සිතට උපකාර වෙන චෛතසිකය.

සවිස්තරව:-සිත නම් අරමුණු දැනීම ම ය. එයට තවත් කිසි ම ක්‍රියාවක් සිදු කිරීමේ ශක්තියක් නැත.පහ වූ සිත ඇති කය, දරකඩක් සේ නොසැලී තුබූ තැන ම තිබෙන දෙයකි. එබැවින් කයට ද ක්‍රියා සිදුකිරීමේ තුබූ තැන ම තිබෙන දෙයකි. එබැවින් කයට ද ක්‍රියා සිදුකිරීමේ ශක්තියක් හෝ ඕනෑ කමක් නැති බව කිය යුතුය. සිත කය දෙකේ ම ස්වභාවය එසේ වුවද යාම් ඊම් සිටීම් කෑම් පීම් ආදි දහස් ගණන් ක්‍රියා සිදු වනු දක්නා ලැබේ. ඒවා සිදුවන්නේ සිත සමග ම උපදනා වූ එක්තරා ශක්ති විශේෂයකිනි. චේතනාවය යි කියනුයේ කායික වූ ද, වාචසික වූ ද මානසික වූ ද ඒ ක්‍රියා සිදු කරන්නා වූ ශක්ති විශේෂයට ය. චේතනාව අනේක ප්‍රභේද බැවින් චේතනාවට අනුකූල වී එක සිතකින් අනේක ක්‍රියා සිදු කරනු ලැබේ.චේතනාව ප්‍ර‍කටව පවත්නේ කුශලාකුශල ක්‍රියා සිත්වල ය. විපාක චිත්තයෙහි යෙදෙන චේතනාව දුබල ය. එබැවින් එය අප්‍ර‍කට ය.

උදාහරණය:-මිනිසකු විසින් බල්ලකුට පහරක් ගසන කල්හි සිතින් සිදුවනුයේ බල්ලා නමැති ආරම්මණය ගැනීම පමණෙකි.පහර දීමේ උත්සාහය පහර දීමේ වේගය වූ චේතනාවත් සමග ඒ සිත උපන් කල්හි එයින් ඇතිවන්නා වූ වායු වේගයට අනුකූලව යම් කිසි ශරීරාවයවයක් බල්ලාගේ ශරීරය කරා යාමෙන් පහර වැදීම සිදු වේ.බල්ලා අරමුණු කිරීම හැර අනෙකක් නො කළ බැවින් සිත ඒ පහර ගැසීම නො කෙළේය.ස්පර්ශ වේදනාදි චෛතසිකයෝ ද එය නො කළෝ ය. පහර දීමේ අදහසක් ශරීරයට නැති බැවින් ශරීරය ද එය නො කළේය.ඒ පහර වැදීම වූයේ සිත හා උපන් චේතනාව නිසා ය. චේතනාවේ ඒ ක්‍රියාවට ශරීරය හා සිත ද අන්‍ය චෛතසිකයන් ද සහාය වූ නමුත් චේතනාවක් නූපන්නොත් එය නො කෙරෙන බැවින් ඒ සිද්ධිය පිළිබඳ ප්‍ර‍ධාන හේතුව මූල හේතුව චේතනාව ය. එබැවින් කර්ම කථාවෙහි මේ චේතනාව ම ප්‍ර‍ධාන කොට ගනු ලැබේ.

කම්පල අදහන මිනිසෙක් පහන් සිතින් කාගේවත් මෙහෙයීමක් නො මැතිව මල් නෙලන්නට යයි. මල් නෙලා විහාරයකට ගෙන යයි. පැන් ගෙනෙන්නට යයි. මල්වලට පැන් ඉසී. මලසුනේ පරමල් ඉවත් කරයි. මලසුන පවිත්‍ර‍ කරයි. මල් පුදයි. මේ ක්‍රියා සියල්ල ම සිදු කිරීමේ දී ඒ පුද්ගලයාට ඇතිවූයේ සෝමනස්ස සහගත ඤාණසම්ප්‍ර‍යුක්ත අසංඛාරික කාමාවචර කුසල සිත ය. චේතනාව හැර ඒ සිතේ ලැබෙන චෛතසික ගණන දෙතිසකි. ඒ පුද්ගලයා කෙරෙහි ඇති වූ ලක්ෂණයෙන් හා යෙදෙන චෛතසිකයන් ගෙන් ද වෙනසක් නැත්තා වූ එක් ම සිතින් අනේක ක්‍රියා සිදුවූයේ චේතනාවේ නානත්වය නිසා ය. යාමෙහි දී සිත හා සම්ප්‍ර‍යුක්ත වූයේ ගමන චේතනාව ය. සිත හා චෛතසික දෙතිස එයට අනුව පැවැත්තේය. මල් නෙලීමේ දී ඒ සිත හා සම්ප්‍ර‍යුක්ත වූයේ මල් නෙලන චේතනාව ය. සිත හා චෛතසික දෙතිස එයට අනුව පැවැත්තේ ය. පැන් ගෙන ඒමේ දී ඒ සිත හා සම්ප්‍ර‍යුක්ත වූයේ පැන් ගෙනෙන චේතනාව ය. සිත හා චෛතසික දෙතිස එයට අනුකූලව පැවැත්තේ ය. මෙසේ චේතනාවගේ නානත්වයෙන් එක් සිතකින් අනේක ක්‍රියා සිදු වන බව තේරුම් ගත යුතුය.

කෙටියෙන්:-සිතෙහි ඇත්තා වූ ඒ ආරම්මණයේ අනේකාකාර අතුරින් එක් ආකාරයක පිහිටන ස්වභාවය ඒකග්ගතාව ය.

සවිස්තරව:-ඇසට පෙනෙන එක් එක් වස්තුවක දැකිය හැකි ආකාර බොහෝ ඇත්තේ ය. යම් කිසි වස්තුවක් ඉතා ළඟ සිට බලන කල්හි පෙනෙන්නේ එක් ආකාරයකිනි. මඳක් දුර සිට බලන කල්හි එය පෙනෙන්නේ අන් ආකාරයකිනි.ඉතා දුර සිට බලන කල්හි පෙනෙන්නේ තවත් ආකාරයකිනි. එක වස්තුවක දැකිය හැකි ආකාර බොහෝ වන්නාක් මෙන් ම සිතට අරමුණු වන සෑම ධර්මයක ම සෑම වස්තුවක ම සිතින් ගත හැකි දත හැකි ආකාර ද බොහෝ ඇත්තේ ය. එක් සිතකට එක් වරකදී එක ආරම්මණයක් එක් ආකාරයකින් ම මිස අනේකාකාරයෙන් නො ගත හැකි ය.සිතෙහි ඇත්තා වූ ඒ ආරම්මණයේ එක් ආකාරයක පිහිටන ස්වභාවය ඒකග්ගතාව ය. එය සිතින් අන්‍ය වූ ධර්මයක් බැවින් චෛතසික ය කැයි කියනු ලැබේ. සෑම අරමුණක ම අනේකාකාර ඇති බැවින් මේ චෛතසිකය නැතිව සිතකට නූපදිය හැකි ය.

නානාරම්මණයක් කරා නොගොස් එක අරමුණක පිහිටන ස්වභාවය ඒකග්ගතාවය යි ගැනීම නුසුදුසු ය.එක් අරමුණක් ගැනීමේ දී එය හා සම්බන්ධයක් නැති දුර තිබෙන අරමුණු වලින් ඒ ගැනීමට වන බාධාවක් නැති නිසා නානාරම්මණයන් කරා නො ගොස් එක් අරමුණක පිහිට වීමට අමුතු ධර්මයක් සිතට නුවුවමනා ය. සමාධි යනු ද ඒකග්ගතාවට නමෙකි.

කෙටියෙන්:-යම් බලයක් නිසා චිත්ත සන්තතිය නැවත නැවතත් ජීවත් වෙමින් නොසිඳී පවතී ද ඒ බලය ජීවිතේන්ද්‍රිය ය.

සවිස්තරව:-සත්ත්වයකු ගේ චිත්ත පරම්පරාව වනාහි කල්ප කොපමණ කෝටි ගණනක් වුවත් නිවනට නො පැමිණියේ නම් නො සිඳී පවතී.කොතෙක් වර මළත් කොතෙක් සිත් නිරුද්ධ වුවත් භවයෙන් භවයට නැවත නැවතත් සිත් ඉපදීම් වශයෙන් සත්ත්වයාගේ චිත්ත සන්තතිය නැවත නැවතත් ජීවත් වන්නේ ය. එය අන් කිසිවකුට නැති චිත්ත සන්තතියට පමණක් ඇති පුදුම බලයෙකි. චිත්ත සන්තතිය නො සිඳෙන සේ ජීවිතේන්ද්‍රියෙන් පාලනය කරනු ලැබේ. බිඳි බිඳී යන සිත ඇසුරු කරගෙන එහි අංගයක් ව නො බිඳෙන ධර්මයක් නො තිබිය හැකි ය. එබැවින් සන්තතිය පාලනය කරන ජීවිතේන්ද්‍රියය ද සිත අනුව නැවත නැවත ඉපද ඉපද බිඳි බිඳී යන්නේ ය.

කෙටියෙන්:-සිතට අරමුණෙන් ඉවත් වන්නට නො දී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන ධර්මය මනසිකාර නම් වේ.

සවිස්තරව:-මනසිකාරය අභිධර්ම පාළියෙහි වෙන් වශයෙන් උදුරා ගෙන දක්වන ලද චෛතසිකයෙකි. එබැවින් එය පිළිබඳ නිර්දේශයක් ද අභිධර්මපාලියේ නැත. එය දක්වා තිබෙන්නේ අටුවාවෙහි ය.උපනුපන් සිත අරමුණු හැර නිරුද්ධ වේ. නැවත නැවත අළුත් සිත් උපදවා අරමුණෙහි යෙදවීම අරමුණු ගැන්වීම මේ චෛතසිකයෙන් කරනු ලැබේ. භවාංග චිත්ත පරම්පරාවට වෙනස් වූ අභිනව චිත්ත පරම්පරාවන් ඇති කරවන්නා වූ අර්ථයෙන් ආවර්ජන චිත්තයන්ට ද මනසිකාර යන නම කියනු ලැබේ .“යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර” යන නම් කියනුයේ ආවර්ජන සිත්වලටය.

ප්‍ර‍කීර්ණක චෛතසිකයෝ (6)

කෙටියෙන්:-එතෙක් නො පැමිණි අරමුණකට සිත පමුණුවනු සඳහා කරන උත්සාහයට විතර්කය යි කියනු ලැබේ.

සවිස්තරව:-නො දත් දෙය දැන ගැන්ම සඳහා සිතින් කරන උත්සාහයකට කල්පනා කිරීම යයි කියති.එය එතෙක් නො පැමිණි අරමුණකට සිත පමුණුවනු සඳහා කරන උත්සාහයකි.විතක්ක යනු ඒ උත්සාහය ය. සිත නම් ආරම්මණ ග්‍ර‍හණ ව්‍යාපාරය යි. විතර්කය අරමුණ කරා යාමේ ව්‍යාපාරයයි. අරමුණ කරා පමුණුවන ධර්මය වූ විතර්කය සෑම සිතට ම නුවුමනා ය. ද්විතීය ධ්‍යාන චිත්තාදීහු පූර්ව භාගයෙහි චිත්තසන්තතිය හුරු කිරීමේ බලයෙන් ඒ ඒ හුරු කරන ලද අරමුණුවලට විතර්ක විරහිතව පැමිණ උපදිති. දුබල විතර්කය අප්‍ර‍කට ය. එය ප්‍ර‍කට වන්නේ ඕනෑ කමින් විතර්ක උපදවන කල්හි ය. කල්පනා කිරීම යයි කියනුයේ එසේ කිරීමට ය. එතෙක් සිත නො පැමිණි තැන්වලට පැමිණ වීමට, නො දත් දේ දැන ගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීම ය” යි කියනු ලැබේ.

කෙටියෙන්:-ආරම්මණයට පැමිණියා වූ සිතෙහි ඇති ඒ අරමුණ ඔබා බලන්නාක් මෙන් අතගා බලන්නාක් මෙන් එහි හැසිරෙන පිරිමදින ස්වභාවය විචාරය ය.

සවිස්තරව:-ඔබා බලා දත යුතු දෙයක් දැන ගැනීමට ඒ වස්තුව කරා අත යැවීමය, තද කිරීමය යන දෙක ම කළ යුතුය. තද නො කළ හොත් අත පැමිණි පමණින් ඒ දෙය පිළිබඳ පරිපූර්ණ දැනුමක් ඇති නොවේ. එමෙන් බොහෝ සිත්වලට අරමුණු ගත හැකි වීමට ආරම්මණයට පැමිණීමේ ව්‍යාපාරය හා එහි හැසිරීමේ ව්‍යාපාරය තිබිය යුතුය. හැසිරීමේ ව්‍යාපාරය යනු ඔබා ගැනීම වැලඳ ගැනීම වැනි ක්‍රියාවකි. විතර්ක විචාර දෙකින් විචාරය වඩා සියුම් ස්වභාවයකි. එය විතර්කය අනුව පවත්නා ක්‍රියාවෙකි. මේ ධර්ම දක දැනගත්තා වන්නේ චිත්තය සමග ඒ දෙක පෙර පසු නො වී එක වරම ඇති වන ධර්ම දෙකක් සැටියට දුටහොත් පමණෙකි.

සිත් අතුරෙන් ඇතැම් සිතක විතර්ක විචාර දෙක ම ඇත්තේ ය. ඇතැම් සිතක විචාරය මුත් විතර්කය නැත. ඇතැම් සිතක විතර්ක විචාර දෙක ම නැත.

කෙටියෙන්:-සිත හා එක්ව පවත්නා වූ ඒ ගනු ලබන ආරම්මණය විනිශ්චය කර ගන්නා ස්වභාවය අධිමෝක්ෂ චෛතසිකය වේ.

සවිස්තරව:-එක් පුද්ගලයකු කෙරෙහි හෙවත් එක් සිත් පරම්පරාවක එක වරකට ඉපදිය හැක්කේ එක් සිතකට ය. ඒ සිතට ගත හැකි වූ ලෝකයේ තිබෙන අරමුණු ඉතා බොහෝ ය. ඒවායේ ප්‍ර‍මාණය පවා නො කිය හැකිය. උපදනා සිතට ඒ බොහෝ අරමුණු අතුරෙන් තමා ගන්නා වූ අරමුණ මේය කියා නියම කර ගැනීමක් ද තිබිය යුතු ය. එබඳු නියමයක් හෙවත් විනිශ්චයක් නැති ව අරමුණ මනා කොට නො ගත හැකිය. නො දත හැකි ය.

තව ද දානාදි වූ හෝ ප්‍රාණඝාතාදි වූ හෝ ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් උපදනා සිතකට එය කෙරෙම් ද? නො කෙරෙම් ද? කියා දෙපසට වැනෙන ස්වභාවය ඇති කල්හි ඒ ක්‍රියාව සිදු නො කළ හැකි ය. ක්‍රියා සාධක චිත්තයකට එය සිදු කළ හැකි වීමට දෙ පැත්තට වැනෙන අවිනිශ්චිත ස්වභාවයට විරුද්ධ වූ නිශ්චය කර ගන්නා ස්වභාවයක් තිබිය යුතු ය. ක්‍රියා සාධක චිත්තයන්හි ලැබෙන ඒ විනිශ්චය කරගන්නා ස්වභාවය ද අධිමෝක්ෂ චෛතසිකය ය.

විචිකිච්ඡාවට විරුද්ධ ස්වභාවයක් බැවින් විචිකිච්ඡා සහගත චිත්තයෙහි අධිමෝක්ෂය නො ලැබේ.

කෙටියෙන්:-දුබල වූ කයට අනුබල දෙන ආහාරාදිය මෙන් දුබල වූ සිතට අනුබල දෙන චෛතසික ධර්මයක් ඇත්තේය එය වීරිය වේ.

සවිස්තරව:-මේ වීර්‍ය්‍යය කුශලාකුශල දෙපක්ෂයෙහි ම ලැබෙන්නේ ය. වීර්‍ය්‍යය දශපාරමිතාවට ඇතුළු කර තිබෙන්නේ ද බෝධිපාක්ෂික ධර්මයන්හි ස්ථාන නවයකට ඇතුළු කර තිබෙන්නේ ද දියුණු කර ගත යුත්තක් බැවිනි. සම්‍යක්ප්‍ර‍ධාන සතරය, විරියින්ද්‍රිය ය, විරිය බලය ය, විරියිද්ධිපාදය ය, විරිය සම්බොජ්ඣංගය ය, සම්මාවායාම ය යන බෝධිපාක්ෂික ධර්මයෝ ඒ ඒ ආකාරයට පැමිණි වීර්‍ය්‍යය ම ය.

පඤ්චද්වාරාවජ්ජනය, ද්විපඤ්චවිඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය යන මේ සිත්වල වීර්‍ය්‍යය නො ලැබේ.ඉතිරි කුශලාකුශල අව්‍යාකෘත සිත්වල වීර්‍ය්‍යය ලැබේ.

කෙටියෙන්:-සිත පිනා යන ස්වභාවය - මලක් මෙන් ප්‍රබෝධ වන, පිම්බෙන ස්වභාවය පීති නම් වේ.

සවිස්තරව:-සම්ප්‍ර‍යුක්ත ධර්ම සහිත වූ සිත පුම්බවන ස්වභාවය ප්‍රීතිය ය.ප්‍රීති සහගත සිතින් ශරීරය පුම්බවන වේගයක් ඇති වායුවක් ශරීරයෙහි උපදවනු ලැබේ. ඒ වායුව නිසා ප්‍රීති සහගත සිත් ඇති තැනැත්තා ගේ ශරීරය ද පිම්බෙයි.ප්‍රීති සහගත චිත්තය නිසා නැඟ නැඟ එන වායුවෙන් සිනාව ඇති වේ.

ප්‍රීතිය උපදින්නේ සෝමනස්ස සහගත සිත්වල ය. ප්‍රීති සෝමනස්ස දෙක්හි වෙනස ද දත යුතුය. සෝමනස්ස යනු ආරම්මණයාගේ ඉෂ්ට රසය වැළඳීම ය. එය චෛතසිකයන් අතුරෙන් වේදනා චෛතසිකය ය. ප්‍රීතිය විඳීම නිසා ඇති වන ප්‍රබෝධය ය. පිම්බීම එකට බැඳී ඇති වන නිසා දෙක්හි වෙනස තේරුම් ගැනීම අපහසු ය.

උපමාවකින් කියතහොත් කාමුක පුරුෂයකු විසින් සරණ කර ගැනීමට නියම කර ගෙන සිටින කාන්තාව දක්නා අවස්ථාව හා ඇය හා කථා කරන අවස්ථාව මෙන් ප්‍රීතිය දත යුතු ය. ඇය හා එක්ව එක් යහනක නිදන අවස්ථාව මෙන් සෝමනස්සය දත යුතුය.

කෙටියෙන්:-ඡන්දයට යනු ඒ ඒ අර්ථය සිදුකිරීමට පමණක් කැමති බවය.

සවිස්තරව:-ඡන්ද චෛතසිකය හා තෘෂ්ණාව වෙන් වෙන් වූ පරමාර්ථ ධර්ම දෙකක් වුව ද ඒ දෙක ම හැඟවීමට සමාන වචන භාවිත වී තිබෙන්නේ පහසුවෙන් එකිනෙක වෙන් කර ගැනීමට තෝරා ගැනීමට අපහසු වන පමණට සම බවකුත් ඒ දෙක්හි ඇති බැවිනි. ඡන්ද තෘෂ්ණා දෙක කැමති වීමේ ආකාරයෙන් සම වුව ද ආරම්මණය ආස්වාදනය කරන, ආරම්මණයට ඇලුම් කරන, ආරම්මණයෙහි ගැලෙන ස්වභාවය තෘෂ්ණාවට මිස ඡන්දයට නැත.ලෝභ සහගත සිතෙහි ද එය ලැබේ. ඡන්දය ලෝභසහගත සිත්හි ලෝභයට අනුකූලව පවතී. ඊර්‍ෂ්‍යා සහගත සිත්හි ඊර්‍ෂ්‍යාවට අනුකූලව පවතී. මාන සහගත සිත්හි මානයට අනුකූලව පවතී. අලෝභ සහගත සිත්හි අලෝභයට අනුකූලව පවතී. මෛත්‍රී සහගත සිත්හි මෛත්‍රියට අනුකූලව පවතී. කරුණා සහගත සිත්හි කරුණාවට අනුකූලව පවතී.

අකුශල චෛතසික (14)

කෙටියෙන්:-සිතට ආරම්මණයේ ඇති සැටිය හසු කර ගත නොහෙන සැටියට, යම් කිසි කරුණක සැබෑ ආකාරය හසු කර ගත නොහෙන සැටියට ආවරණය කරන්නා වූ, කාරණය වරදවන්නා වූ ධර්මය මෝහය ය.

සවිස්තරව:-සිතට ආරම්මණයාගේ සැබෑ තත්ත්වය වසන්නේ කාරණය වරද වන්නේ අන් තැනක සිට ගෙන නොව සිතේ ම සිට ගෙන ය. එබැවින් එය සිතේ රෝගයකි. එය ඇස වසන පටලයක් වැනි යයි ද, අඳුරක් වැනි යැයි ද, කීමට වටනේය. මෝහයෙන් සිතට කාරණය වරදවන බැවින් මේ සත්ත්වයනට සකල දුඃඛයන්ගේ ම පැවැත්මට ස්ථාන වූ පඤ්චස්කන්ධය නපුරක් සැටියට නොව සොඳ දෙයක් මිහිරක් සැටියට පෙනේ. ඒ දුක් ඇති වීමේ හේතුව වූ තෘෂ්ණාව සැපයේ හේතුවක් සේ පෙනේ. මෝහයෙන් තොරව අකුශල චිත්තයක් නූපදී. මෝහය හැම අකුශල චිත්තයක ම ලැබෙන්නේ ය.

කෙටියෙන්:-අකුශල ක්‍රියා සිදු කිරීම් වශයෙන් උපදනා අකුශල චිත්තයන් ඉවසිය හැකි බව.

සවිස්තරව:-මිනිසුන්ට පිළිකුල් වූ අසූචිය සූකරයාට සුනඛයාට අනුභව කළ හැක්කේ එහි අපවිත්‍ර‍තාව ඉවසිය හැකි ස්වභාවයක්, එහි ගන්ධය ඉවසිය හැකි ස්වභාවයක් ඒ සතුන්ට ඇති බැවිනි.එබඳු ස්වභාවයක් නැති මිනිසාට එය නො කෑ හැකිය.සූකරයාට සුනඛයාට තිබෙන ඒ බලය බඳු බලයක් නොමැති නම් පවිත්‍ර‍ ප්‍ර‍කෘති චිත්තය ඇති සත්ත්වයනට එහි අපවිත්‍ර‍ වූ කෙලෙස් සහිත චිත්තයන් ගේ පහළ වීම නො ඉවසිය හැකිය.අහිරික චෛතසිකය යි කියනුයේ එම ඉවසිය හැකි ස්වභාවයට. එය නොමැතිව අකුශල සිතකට නූපදිය හැකි බැවින් සැම අකුශල චිත්තයක ම එය ලැබේ.

කෙටියෙන්:-සත්ත්වයන් බියක් නැතිව එඩිතර ව අකුශලය කරන්නේ සන්තානයෙහි අකුශල චිත්තයනට ඉපදෙන්නට ඉඩ දෙන්නේ මෙම චෛතසිකයෙනි.

සවිස්තරව:-ආපායික දුඃඛාදි අනේක දුඃඛයන් ඇති කරන්නක් බැවින් අකුශලය බිය විය යුත්තකි.අනොත්තප්ප යන වචනයේ තේරුම පවට බිය නොවන ස්වභාවය යනුයි.පාපධර්මයක් වූ ඒ බලය අඥයෝ උසස් කොට සලකති. තමන් තුළ ඇති ඒ බලය ගැන තුමූ ම ආඩම්බර වෙති. අහිරිකය අනොත්තප්පය යන දෙක අකුශල පක්ෂයේ මහා බල දෙක ය.

කෙටියෙන්:-සිතෙහි සැලෙන ස්වභාවය හෙවත් සිත සොලවන ස්වභාවය උද්ධච්චය ය.

සවිස්තරව:-සිත් අතරින් ද ඇතැම් සිතක් බිම ලූ අමු මැටි ගුලිය සේ අරමුණෙහි නිශ්චලව සිටී. ඇතැම් සිතක් බිම ලූ රබර් බෝලය මෙන් ආරම්මණයෙහි සැලෙමින් පවතී.ආරම්මණයෙහි නො සැලෙන සිත්වල ඒ ස්ථිර භාවය සිදු කරන්නේ සමාධිය යි කියනු ලබන ඒකග්ගතා චෛතසිකයෙනි.කෙලෙසුන් විසින් දවන තවන පෙළන චිත්තයට ද නිශ්චලව නො පැවතිය හැකි ය. එබැවින් කෙලෙස් සහිත වූ අකුශල සිත් සිය්ලලෙහි ම චිත්තාංගයක් වශයෙන් උද්ධච්චය ඇත්තේ ය.

කෙටියෙන්:-ආරම්මණය ආශ්වාදනීය දෙයක් වශයෙන් ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභය ය.

සවිස්තරව:-මාගේ ය, මාගේ යයි ආරම්මණයන් අල්ලා ගන්නා ස්වභාවයෙන් මක්කටාලේපය වැනිය. මක්කටාලේපය යනු වඳුරන් ඇල්ලීම පිණිස ගස්වල තබන තද ලාටු වර්ගයකි. එහි සැපුනු වඳුරාට යන්නට නො දී ඒ ලාටුවෙන් අල්ලා ගනු ලබන්නේය. එමෙන් ලෝභය ද මාගේ භාර්‍ය්‍යාවය, මාගේ හිමියා ය, මාගේ දරුවා ය, මාගේ ගෙය ය, මාගේ වත්තය, මාගේ කුඹුරය යනාදීන් හසු වූ දෙය තදින් අල්ලා ගන්නේය.

කෙටියෙන්:-හේතු යුක්තිවලට අනුව කාරණය වරදවා ගන්නා වූ වරදවා දක්නා වූ ස්වභාවය දෘෂ්ටිය ය.

සවිස්තරව:-නොයෙක් හේතු යුක්තිවලට අනුව කාරණය සත්‍ය වශයෙන් ප්‍ර‍ඥාවෙන් හෙවත් සම්‍යග්දෘෂ්ටියෙන් දක්නාක් මෙන් වරදවා ගන්නා ලද දක්නා ලද හේතු යුක්තිවලට අනුව කාරණය වරදවා ගන්නා වූ වරදවා දක්නා වූ ස්වභාවය දෘෂ්ටිය ය. එය දෘෂ්ටි ගතිකයනට පෙනෙන්නේ ප්‍ර‍ඥාව හෙවත් සම්‍යග්දෘෂ්ටිය ලෙසට ය. එබැවින් ඔවුහු සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියක් වශයෙන් ගනිති. වරදවා දැකීම් වශයෙන් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් වුව ද ගන්නා වූ ආකාරයන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වේ.

කෙටියෙන්:-තමා ද ගත යුතු සැලකිය යුතු එක්තරා කෙනෙකැ යි තමා උසස් කොට ගන්නා ස්වභාවය මානය ය.

සවිස්තරව:-මානය තමා ගේ තත්ත්වය මැන ගැනීමේ ලක්ෂණයෙන් සාමාන්‍යයෙන් එකක් වුව ද, සෙය්‍යමානය, සදිස මානය, හීන මානය යි ත්‍රිවිධ වේ. අන්‍යයන්ට වඩා තමා උසස් යයි ගැනීම සෙය්‍යමානය ය. උන්නති ලක්ෂණය ඇත්තේ එහි ය. අන්‍යයෝත් මිනිස්සු ය, මම ද මිනිසෙක්මි. අන්‍යයන්ට ඇත්තේ ද දෙපයක් හා දෑතකි. මට ඇත්තේ ද දෙපයක් හා දෑතකි. අන්‍යයන්ගේ හා මාගේ ඇති වෙනස කවරේ ද යනාදීන් අන්‍යයන් හා තමා සම කොට ගන්නා වූ ස්වභාවය සදිස මානය ය. මට අන්‍යයන්ට මෙන් ධනය නැත. නෑයන් නැත. උගත් කම් නැත යනාදීන් තමා පහත් කොට ගන්නා ස්වභාවය හීනමානය ය.

කෙටියෙන්:-සිත්හි ඇත්තා වූ, ගනු ලබන ආරම්මණයට විරුද්ධ ස්වභාවය ද්වේෂය යි.

සවිස්තරව:-ද්වේෂයාගේ පවත්නා ආකාර කීපයකි. සමහර විටෙක එය ආරම්මණයට විරුද්ධව ඉදිරිපත් වන්නා වූ ආකාරයෙන් පහල වේ. එයට කෝපය යි කියනු ලැබේ. විරුද්ධ වන අරමුණ බලවත් කල්හි එය ඒ අරමුණෙන් ඈත් වන්නා වූ පසු බසින්නා වූ ආකාරයෙන් පහළ වේ. එසේ පහළ වන ද්වේෂයට භය යයි කියනු ලැබේ.සුචි මලකුණු ආදි අනිෂ්ට වස්තූන් දුටු කල්හි හා ඇතැම් පුද්ගලයන් දුටු කල්හි ද සිතෙහි අප්‍රියතාවයක් ඇකිලෙන ආකාරයක් ඇති වේ. එය හැකිළෙන්නා වූ ආකාරයෙන් ඇති වන ද්වේෂය ය. එයට පිළිකුල යයි කියනු ලැබේ.ප්‍රිය විප්‍රයෝගාදිය වූ කල්හි ඒවා අරමුණු කරන්නා වූ සිත්හි ඇත්තා වූ දැවෙන තැවෙන ස්වභාවය ද ද්වේෂය හා දෞර්මනස්‍යය ය. එයට කණගාටුව යයි කියනු ලැබේ.යම් කිසි ක්‍රියාවක් කර ගෙන යන තැනැත්තා හට එය කලින් සිතුවාට වඩා අපහසු වන කල්හි ද බලාපොරොත්තු වන පමණට එයින් ඵල නො ලැබෙන කල්හි ද කටයුත්ත පිළිබඳ නො සතුටක් ඇති වේ. එද ඒ ආකාරයෙන් පහළ වන්නා වූ ද්වේෂය ම ය. අනභිරතිය යි කියනුයේ ද ඒ ද්වේෂයට ම ය.පැහැදිය යුතු පුද්ගලයකු විසින් නො මනා දෙයක් කරනු ඇසූ දුටු කල්හි ඒ පුද්ගලයා ගැන නො සතුටු වීම් ආකාරයෙන් ද්වේෂය පහළ වේ. එයට අප්‍ර‍සාදය යයි කියනු ලැබේ.

කෙටියෙන්:-ලබා තිබෙන්නා වූ ද, මතු ලැබෙන්නට ඇත්තා වූ ද, අනුන්ගේ සම්පත් නො ඉවසන ස්වභාවය ඊර්‍ෂ්‍යාව ය.

කෙටියෙන්:-තමා අයත් දෙයක් අනෙකකුට අයිති වීම නො ඉවසන්නා වූ ද, තමා අයත් දෙයකින් අනෙකකුට ප්‍රයෝජනයක් වීම නො ‍ඉවසන්නා වූ ද, තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනෙකකුට ඇති වීම නො ඉවසන්නා වූ ද, තමාගේ සම්පත්තිය අන්‍යයන් දැක ගැනීම නො ඉවසන්නා වූ ද ස්වභාවය මච්ඡරිය යි.

සවිස්තරව:-අධික මසුරු බව ඇත්තේ තමාට ප්‍රයෝජනයක් නැති නිසා අත් හළ දෙයක් වුව ද අනෙකකු විසින් ගැනීම නො ඉවසයි.

කෙටියෙන්:-කළ පව් පිළිබඳ ව හා නො කොට හළ පින් පිළිබඳ ව ද පසු කාලයේ දී සිත්හි හටගන්නා තැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ.

සවිස්තරව:-එය ප්‍රීතියට ප්‍ර‍තිපක්ෂ ස්වභාවයකි.කළ අකුශලය හා නො කළ කුශලය පිළිබඳ ව පසුතැවීම යථාවකුක්කුච්චය යි.සමහර විට සමහර කෙනෙක් නො කළ අකුශලය පිළිබඳව හා කළ කුශලය ගැන ද පසු තැවෙයි. එය අයථාකුක්කුච්චය යි.

කෙටියෙන්:-චිත්තයා ගේ ගිලන් බව, දුබල බව, ක්‍රියා සිදු කිරීමේ අසමත් බව, චිත්ත වේගයේ මඳ බව ථීනය ය.

කෙටියෙන්:-චෛතසිකයන් ගේ ගිල්න බව, දුබල බව, ක්‍රියා සිදු කිරීමේ අසමත් බව මිද්ධය ය.

කෙටියෙන්:-අරමුණු කරන දෙය පිළිබඳ විනිශ්චයක් නැති බව, ආරම්මණය පිළිබඳ සැකය, අවිශ්වාසය, විචිකිච්ඡාව ය.

සවිස්තරව:-මෙය ශ්‍ර‍ද්ධාවට සහ ඥානයට ප්‍ර‍තිපක්ෂය. කුශලය ආවරණය කරන බැවින්, ඥානය ආවරණය කරන බැවින් එය නීවරණයෙකි. සැකය නීවරණ වන සැකය, නීවරණ නොවන සැකය යි දෙ වැදෑරුම් වේ. විචිකිච්ඡා චෛතසිකය වශයෙන් ගනු ලබන්නේ නීවරණ විචිකිච්ඡාව ය. නො දන්නා කරුණු පිළිබඳ ව එසේ ද මෙසේ ද කෙසේ ද යනාදීන් පහළ වන්නා වූ සැකය අනීවරණ විචිකිච්ඡාව ය. එය වෙන් වූ චෛතසික ධර්මයක් නො වන ඒ ආකාරයෙන් පහල වන්නා වූ නාමස්කන්ධයෝ ය.

සෝභන චෛතසික (20)

කෙටියෙන්:-ඇදහිය යුතු වූ බුද්ධාදි වස්තූන් කෙරෙහි පැහැදීම, බුද්ධාදි වස්තූන් කෙරෙහි විශ්වාසය ශ්‍ර‍ද්ධාව ය.

කෙටියෙන්:-සිහිය හෙවත් කුශල පක්ෂය මතක් වන ස්වභාවය සතිය ය.

කෙටියෙන්:-පාපය පිළිකුල් කරන ස්වභාවය හෙවත් පාපයට ලජ්ජා වන ස්වභාවය හිරිය ය.

කෙටියෙන්:- පාපයට බිය වන පාපය කෙරෙන් තැති ගන්නා ස්වභාවය ඔත්තප්ප ය.

කෙටියෙන්:-ලෝභයට ප්‍ර‍තිපක්ෂ වූ ලෝභයට නැඟී සිටීමට ඉඩ නො දෙන්නා වූ ලෝභය මැඩලන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත. එය අලෝභය ය.

සවිස්තරව:-අලෝභ සහගත චිත්තය පියුම් පතෙහි ජල බින්දු සේ ඇල්මක් නැති ව ආරම්මණය ගන්නේ ය.

කෙටියෙන්:-ද්වේෂයට විරුද්ධ වූ ද්වේෂයට නැඟ එන්නට නො දෙන්නා වූ ද්වේෂය මැඩලන්නා වූ එක්තරා ස්වභාවය අද්වේෂය.

සවිස්තරව:-මෛත්‍රිය යනු ද අද්වේෂය ම ය. ද්වේෂ සහගත චිත්තය බල්ලකු විසින් සාවකු අල්ලන්නාක් මෙන් ආරම්මණය රෞද්‍රාකාරයෙන් ගන්නේ ය. අද්වේෂ සහගත චිත්තය මවක් දරුවකුගේ හිස පිරිමදින්නාක් මෙන් අනුකූලාකාරයෙන් ආරම්මණය ගන්නේ ය.

කෙටියෙන්:-මෝහයට ප්‍ර‍තිපක්ෂ වූ නිවැරදි ලෙස ආරම්මණ තත්ත්වය ගන්නා වූ හෙවත් නො වරදවා ආරම්මණ තත්ත්වය ගැනීමට උපකාර වන්නා වූ ස්වභාවය අමෝහය ය.

සවිස්තරව:-ප්‍ර‍ඥාව යනු ද විද්‍යාව යනු ද එහි නාමයෝ ය.

කෙටියෙන්:-සිදු කරන ප්‍ර‍ධාන කෘත්‍යයට ගැලපෙන පරිදි චිත්ත චෛතසික පිණ්ඩයක ධර්මයන් ගේ වේගයන් සම කරන ධර්මය තත්‍ර‍මජ්ඣත්තතාව ය.

සවිස්තරව:-මිනිසුන් සමූහයක් එක් වී ගෙයක් සාදන කල්හි ගල් ගෙන ඒම, බදාම ඇනීම, ගල් බැඳීම යනාදි කෘත්‍යයන් ඒ ඒ අය විසින් වෙන වෙන ම කරනු ලැබේ. සැම දෙන ම කරන ක්‍රියා සියල්ලේ ම එක්වීමෙන් ගෙය තැනීම නමැති ක්‍රියාව වේ.එමෙන් ම එක් සාමූහික ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් පහළ වන්නා වූ චිත්ත චෛතසික පිණ්ඩයක තම තමා විසින් වෙන් වශයෙන් සිදු කරන ක්‍රියාවන්ගේ වේග සමත්වයක් තිබිය යුතුය. තත්‍ර‍මජ්ඣත්තතාව චෛතසිකය අශෝභන සිත්වල ලැබෙන බවක් දක්වා නැත.

කෙටියෙන්:-ශෝභන චිත්ත සම්ප්‍ර‍යුක්ත චෛතසික සමූහයේ සන්සුන් බවය.

කෙටියෙන්:-සෝභන චිත්තයා ගේ සන්සුන් බවය.

කෙටියෙන්:-ශෝභන චිත්ත සම්ප්‍ර‍යුක්ත චෛතසික රාශියේ ලැහැල්ලු බව කාය ලහුතාවය.

කෙටියෙන්:-ශෝභන චිත්තයාගේ ලැහැල්ලු බව චිත්ත ලහුතාවය.

කෙටියෙන්:-ශෝභන චිත්ත සම්ප්‍ර‍යුක්ත චෛතසිකයන් ගේ මොලොක් බව කාය මුදුතාවය.

කෙටියෙන්:-ශෝභන චිත්තතයාගේ මොළොක් බව චිත්ත මුදුතාවය.

කෙටියෙන්:-ශෝභන චිත්ත සම්ප්‍ර‍යුක්ත චෛතසිකයන්ගේ කර්මණ්‍ය භාවය කායකම්මඤ්ඤතාවය.

කෙටියෙන්:-ශෝභන චිත්තයා ගේ කර්මණ්‍යතාව චිත්තකම්මඤ්ඤතාවය.

සවිස්තරව:-කර්මණ්‍යතාව යනු පිරිසිදු රත්තරන් ඕනෑ ම සියුම් කර්මාන්තයකට යෝග්‍ය වන්නාක් මෙන් ඔරොත්තු දෙන්නාක් මෙන් ශෝභන චිත්තයේ හා සම්ප්‍ර‍යුක්ත චෛතසිකයන්ගේ දානාදි පුණ්‍ය ක්‍රියා සම්පාදනයෙහි රිසි සේ තැබිය හැකි පැවැත්විය හැකි ස්වභාවයයි.

කෙටියෙන්:-ශෝභන චිත්ත සම්ප්‍ර‍යුක්ත චෛතසිකයන් ගේ නො ගිලන් බව කායපාගුඤ්ඤතාවය ය.

කෙටියෙන්:-ශෝභන චිත්තයාගේ නො ගිලන් බව චිත්තපාගුඤ්ඤතාවය ය.

සවිස්තරව:-විචිකිත්සාදි ක්ලේශ ධර්මයන් නිසා කුශල පක්ෂයේ දී සිත රෝගාතුර වූවක සේ දුබල වේ. කාය චිත්ත පාගුඤ්ඤතා චෛතසික දෙක චිත්ත චෛතසිකයන් දුබල කරන කුශලයට නුහුරු කරන ඒ ක්ලේශයන්ට ප්‍ර‍තිපක්ෂයෝ ය. යමකු ගේ සන්තානයෙහි ඒවා දුබල නම් ඔහුගේ සිත කුශල කරණයට බට කල්හි ගැඹුරු දියට බට පිහිනුම් නො දන්නකු සේ වහා වෙහෙසට පත් වෙයි. ඔහුට රිසි සේ කුශලයෙහි නො යෙදිය හැකි වේ.

කෙටියෙන්:-ශෝභන චිත්ත සම්ප්‍ර‍යුක්ත චෛතසිකයන් ගේ සෘජුත්වය හෙවත් ඇද නැති බව කායුජ්ජුකතාවය.

කෙටියෙන්:-ශෝභන චිත්තයාගේ සෘජුත්වය චිත්තුජ්ජුකතාවය.

විරති චෛතසික (3)

කෙටියෙන්:-වාක් දුශ්චරිතයන් වළක්නා වූ ස්වභාවය.

කෙටියෙන්:-කාය දුශ්චරිතයෙන් වළක්නා වූ හෝ වැළකීමට උපකාරක ධර්මය.

කෙටියෙන්:-තමා ගේ හා අඹුදරු ආදීන් ගේ ජීවිකාව පිණිස කරන්නා වූ කාය වාක් දුශ්චරිතයන්ගෙන් වළක්නා ස්වභාවය හෙවත් වැළකීම සම්මා ආජීවය ය.

අප්‍ර‍මාණ්‍ය චෛතසිකයෝ (2)

කෙටියෙන්:-සිත් සතන්හි ඇතිවන්නා වූ පරදුඃඛය ගැන කම්පා වන්නා වූ පරදුඃඛයට කැමති නොවන්නා වූ, පරදුඃඛය නො ඉවසන්නා වූ පරදුඃඛයට විරුද්ධ වූ ස්වභාවය කරුණාව ය.

කෙටියෙන්:-පරසම්පත්තිය දක්නා වූ ද අසන්නා වූ ද සත් පුරුෂයන් ගේ සිත්හි ඇතිවන්නා වූ, එයට සතුටු වන්නා වූ, අනුකූල වන්නා වූ, ඊර්ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ වූ ස්වභාවය මුදිතාව ය.