අභිධර්මය පිළිබද හැදින්වීම

බුදුවරයන් ලොව පහල වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ටතම ධර්මය වන්නේ අභිධර්මයයි. බුදුන් වහන්සේගේ පරමාර්ථ ධර්මදේශනාව වන්නේද, බුදුදහමේ ශරීරයද සාරය වන්නේ ද අභිදර්මයයි.

බුදුන්වහන්සේ බුදු වී සත්වන වර්ෂයේදී, තීර්ථකයන්ගේ මාන මර්ධනය පිණිස සැවැත්නුවර සමීපයේ කණ්ඩම්බ නම වෘක්ෂමුලයේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන්ගේ චාරිත්‍රයට අනුව, තව්තිසා දේව ලොවට වැඩ දසදහසක් සක්වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්ම සමුහයා මධ්‍යයේ, මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන කොටගෙන තෙමසකින් දේශනය නිමකළ හැකි අයුරින් හකුළුවා අභිධර්ම දේශනය කලේය.

මෙලෙස දේශනය සිදුකරන කාලයේ දිනපතා ආහාර වැලදිම් ආදියට මිනිස් ලොවට වඩිනා බුදුන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිඩුසිගා, අනවතප්ප විල්තෙරට වැඩ එහිදී දන් වළදා දිවා විහරණය සදහා සදුන් වනයට වඩින සේක. ධර්ම සේනාදිපති සැරියුත් මහා තෙරුන් වහන්සේ, බුදුන් වහන්සේ දැකීමට දිනපතා එහි පැමිණෙන්නේය.

බුදුන් වහන්සේ ඒ ඒ දිනයේදී දෙව බ්‍රහ්මයන්ට දේශනා කල අභිධර්මය ඉතා සංක්ෂිප්ත කොට සැරියුත් හිමියන්ට දේශනා කරන්නේය. සැරියුත් හිමියන් බුදුන් වහන්සේගෙන් උගත් අභිධර්මය ඒ ඒ දිනවලම තමන් වහන්සේගේ අතවැසි බික්ෂුන් වහන්සේලා 500 දෙනෙකුට උගැන්වූ සේක. බුදුන් වහන්සේ අභිදර්ම දේශනය අවසන් කරනවත් සමගම ඒ භික්ෂුන් වහන්සේලා 500 දෙනාද අභිදම්මික බවට පත්විය.

අද පවතින අභිදර්ම පිටකය සැරියුත් හිමියන්, බුදුන් වහන්සේගෙන් ඉගෙන දේශනා කල අභිධර්මයය. අභිධර්මය බුද්ධ දේශනාවකි. ඇතැමෙක් අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක් නොවේය, එය පසු කාලයේ යම්කිසිවකු විසින් එකතු කරන ලද්දක්ය, ප්‍රථම ධර්ම සංගායනාවේදී සංගායනා නොවුනි යයි ද මිත්‍යා මත පල කරති. එය බුදු දහම අවලංගු කර විනාස කරන්නට මන බලනවුන්ගේ මති මාත්‍රයකි. මෙවැන්නන් බුද්දගොෂ හිමියන් අටුවා ලිවීමට පෙරද සිටි බව “අත්තසාලිනි” නම විජම් අටුවාවෙන් පෙනේ.

තථාගතයන් වහන්සේ බුදු වී සිව්වන සතියේ රතනගරයෙහි වැඩ සිට අභිධර්මය සම්මර්ශනය කලබව බුදු සසුනේ ඇති ප්‍රසිද්ද කරුණකි. ඒ පිලිබදව අභිදර්ම පොත් වල පමණක් නොව සුත්‍ර විනය අටුවා පොත් වලද දක්වා තිබේ. “බුද්ධ වංස” අටුවාව හා “සමන්තපාසාදිකා” නම් විනය අටුවාව උදාහරණ ලෙස දැක්විය හැකිය. ප්‍රථම ධර්ම සංගායනාවේදී අහිධර්ම පිටකයක් නොතිබුනයයි ඇතැමුන කියතත්, විනය පිටකයට අයත් “චුල්ලවග්ග පාලියේ” ප්‍රථම සංගායනාව විස්තර කරන “පංචසතික” කාණ්ඩයේ ත්‍රිපිටකයක් සංගායනා කල බව පැහැදිලිව සදහන් වෙයි. අභිධර්ම පිටකය එවකට නොතිබුනේ නම්, ත්‍රිපිටකයක් වීමට වෙනත් පිටකයක් තිබිය යුතුය. බුද්ද කාලයේ ත්‍රිපිටකයක්ම තිබු බවට මෙයින්ද පැහැදිලි වෙයි. දිගනිකයේ අට්ටකථා නිදානයේ සංගීති කතාව වන “සුමංගල විලාසිනියේ” අභිධර්මය සන්ගයනකල බව පැහැදිලිව දක්වා තිබේ. මේ අයුරින් අභිධර්මය බුද්ධ දේශිතයක් කියා ඔප්පු කිරීමට පැහැදිලි සාදක ඕනෑ තරම් තිබියදී, අභිධර්මය බුද්ධ දේශිතයක් නොවේය කීම හුදෙක් ධර්මය අවලංගු කිරීමට තනන මෝඩයන්ගේ හිස වචන මාත්‍රයකි.

84000 ක වූ බුදුන්ගේ ධර්මස්කන්දයේ 42000 ක් හෙවත් හරි අඩක්ම අභිධර්මය වේ. බුද්ධ දේශනය අවලංගු කරන යමෙක් වේද ඔහු බොහෝ පව රැස්කරගෙන මහත් දුකට පත් වන්නේය. යමෙක් අභිධර්මය හෝ ත්‍රිපිටකයට අයත් ධර්මය අවලංගු කරන්නේද ඔහු ධර්මය විනාශ කිරීමට තනන අයෙක් බව වටහ ගන්න.

මේ උතුම් බුද්ධ දේශනය උගෙන සසර දුකෙන් නිදහස් වීමට සියලෝ උත්සාහ කරත්වා.