අභිධර්ම පිටකය අධ්‍යයනය

පහාරාද සූත්‍රයේ වදාළ පරිදි මහමුහුද අනුපිළිවෙළින් ගැඹුරු වන්නා සේ බුද්ධ ශාසනය ද අනුපූර්ව හික්මීම, අනුපූර්ව ක්‍රියා පිළිවෙළ සහ අනුපූර්ව ප්‍රතිපත්තියෙන් යුක්ත වූවකි. අනුපූර්ව ප්‍රතිපදාවකින් තොර ව අර්හත්වය සාක්ෂාත් කළ නොහැක. පර්යාප්ති ශාසනය සැලකූ විට සෙසු පිටකයන්ට වඩා අභිධර්ම පිටකය අනුපූර්ව ශික්ෂණයකින් යුතුව ගමන් කළ යුතු වේ. කවර හෙයකින් ද යත්, අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේ විසින් තෙමසක් පුරා අඛණ්ඩව කරනා ලද දේශනාවක් බැවින් එය සකල අභිධර්ම දේශනාව ම හා සම්බන්ධව පවතින්නක් බැවිනි. එබැවින් අනුපිළිවෙළ නොඉක්මවා ඉගෙන ගැනීමෙන් ම නිවැරදි ධර්මාවබෝධයක් ලැබිය හැකිය.

සප්ත ප්‍රකරණයෙහි පළමුවෙන් ම ඇති ධම්මසංගණී ප්‍රකරණය අධ්‍යයනය කිරීමේ දී අනුපිළවෙළක් ඇත. ධම්මසංගණී ප්‍රකරණයට පෙර අභිධර්මාර්ථ සංග්‍රහය අධ්‍යයනය කළ යුතු වේ. අභිධර්මාර්ථ සංග්‍රහය සහ තද්පරිවාරිත ග්‍රන්ථ මඟින් අභිධර්මය පිළිබඳව මූලික පදනම සැකසුණු පසුව අභිධර්ම මාතිකා ස්වරූපාර්ථ ප්‍රගුණ කළ යුතු වේ. අභිධර්ම මාතිකා පිළිබඳව අධ්‍යයනයේ දී ඒ පිළිබඳව ලියැවුණු ස්වරූපාර්ථ ග්‍රන්ථ ගැන අවබෝධය වැදගත් වේ.

සප්ත ප්‍රකරණයන් අතරින් ප්‍රකරණ සතරක ඇති නය ක්‍රම මූලික වශයෙන් ආභිධර්මික ශිෂ්‍යයෙකු විසින් අධ්‍යයනය කළ යුතු වේ. ධම්මසංගණී නය, ධාතුකථා නය, යමක නය සහ පට්ඨාන නය යනු එම නය ක්‍රම සතර යි. එහි දී සිදු කෙරෙනුයේ ධම්මසංගණී ආදී ග්‍රන්ථ සතරෙහි දේශනාව පැමිණෙන ක්‍රමය පරමාර්ථ ධර්ම (ස්වරූපාර්ථ ) ඇහිඳිමින් ඉගෙන ගැනීම යි. මෙම ක්‍රමයට ඉගෙන ගැනීම සඳහා බුරුම බසින් ලියවී ඇති ග්‍රන්ථවලට “අයකෞ’” යන නම ව්‍යවහාර කෙරේ. “අයකෞ’” යනු පරමාර්ථ (ස්වරූපාර්ථ) උද්ධරණය යි. මෙම ස්වරූපාර්ථ ග්‍රන්ථවල පාළියෙහි එන පද සඳහා අර්ථ දැක්වීම ද සිදුකෙරේ. වර්තමානයේ ථෙරවාදී අභිධර්ම අධ්‍යයනයෙහි ලා භාවිත කරන අභිධර්ම ස්වරූපාර්ථ ග්‍රන්ථයන්ගේ ප්‍රභවය සිදු වී ඇත්තේ බුරුම දේශයේ දී ය. බු.ව. 2081 (ව්‍ය.ව 1538) න් පසුව ඉහළ බුරුමයේ රතනාපුරයේ (ඉන්වා) තාලුන් රජ සමයේ (ව්‍ය.ව 1629-1648) වැඩ වාසය කළ මුනින්දfඝා්ෂ ස්වාමීන් වහන්සේගේ ඇදුරු පරපුර විසින් (තිපිටකාලඞ්කාර යන ගෞරව නාමය ලද විනයාලංකාර ටීකාචරියන් වහන්සේ) මුලින් ම ස්වරූපාර්ථ ග්‍රන්ථ රචනා කිරීම ආරම්භ කොට ඇත.

පසුකාලීනව වැඩසිටි ඇදුරු පරපුර සතකට අයත් භික්ෂූන් වහන්සේලා අභිධර්ම ස්වරූපාර්ථ ග්‍රන්ථයන් රචනා කළ බව සඳහන් වී ඇති නමුදු වත්මන්හිබුරුමයේ භාවිත වනුයේ ග්‍රන්ථ පරපුර තුනකට අයත් මාතිකා , ධාතුකථා, යමක සහ පට්ඨාන ස්වරූපාර්ථ ග්‍රන්ථ ය. එම ග්‍රන්ථ අතරින් මාතිකා ස්වරූපාර්ථ ග්‍රන්ථය බු.ව. 2330 දී (ව්‍ය.ව. 1787) වරතේජො හිමියන් විසින් ද ධාතුකථා ස්වරූපාර්ථ ග්‍රන්ථය බු.ව. 2377 දී (ව්‍ය.ව. 1787) ජම්බුදීපධජ හිමියන් විසින් ද යමක සහ පට්ඨාන ස්වරූපාර්ථ ග්‍රන්ථ දෙක ‘තිපිටකාලඞ්කාරසාමි මහාධම්මරාජාධිරාජගුරු’, ‘නන්දමේධාභිසිරිපරමධජමහාධම්මරාජාධිරාජගුරු’ යන ගෞරව නාම ද්වයෙන් ප්‍රකට නන්දමේධා ස්වාමීන් වහන්සේ විසින් රචිත ස්වරූපාර්ථ ග්‍රන්ථ ය. බුරුම රටින් ලද උපසම්පදාවලින් අනතුරුව මෙම ග්‍රන්ථයන්ගෙන් කොටසක් දහනව වන ශත වර්ෂයේ අගභාගයේ පටන් සිංහලයට පරිවර්තනය වී ඇත. එම ග්‍රන්ථ නම්,

ග්‍රන්ථයේ නම අදාළ ප්‍රකරණ ග්‍රන්ථය කතුවරයා වර්ෂය
අභිධම්ම මාතිකා පාළිය සහ සුත්තන්ත පාළිය ධම්මසංගණී ප්‍රකරණය - මාතිකා පූජ්‍ය විමලසාර හිමි 1910
අභිධර්ම භාවනා පළමු කොටස ධම්මසංගණී ප්‍රකරණය - මාතිකා පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි 1996
අභිධර්ම භාවනා දෙවන කොටස ධම්මසංගණී ප්‍රකරණය - මාතිකා පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි -
අභිධර්ම මාතිකා ස්වරූපාර්ථ ධම්මසංගණී ප්‍රකරණය - මාතිකා සීලවතී පිරිස් මහත්මිය -
අභිධම්ම මාතිකා පාළි ව්‍යාඛ්‍යානය ධම්මසංගණී ප්‍රකරණය - මාතිකා උපාසක සද්ධම්මපාල රත්නායක මහතා 1949
ධාතුකථා පාළි ව්‍යාඛ්‍යානය ධාතුකථා ප්‍රකරණය පූජ්‍ය ගුණරතන ස්ථවිර 1912
යමක වාචනා මාර්ගය යමක ප්‍රකරණය යූ. ඤාණින්ද සයාඩෝ, පූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමි 1990
පට්ඨාන උද්දේස පාළ්‍යාර්ථ භාව සන්නය පට්ඨාන ප්‍රකරණය පූජ්‍ය හඳුන්කඩුවේ සුමන හිමි -
පට්ඨාන මහා ප්‍රකරණ සන්නය පට්ඨාන ප්‍රකරණය පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි 1956
පට්ඨාන දේසනා සාරය පට්ඨාන ප්‍රකරණය පූජ්‍ය යාගෝඩ ධර්මප්‍රභා හිමි 1962

සිංහලයට පරිවර්තනය වී ඇති ඉහතින් දක්වා ඇති ග්‍රන්ථයක් හෝ මෙම ග්‍රන්ථය පදනම් කරගනිමින් මාතිකා ස්වරූපාර්ථ පළමු කොට උද්ග්‍රණය කළ යුතු වේ. ධම්මසංගණි ප්‍රකරණය අධ්‍යයනය මුල පටන් සිදු කළ යුත්තේ ඉන් අනතුරුව යි. එය ද අධ්‍යයනය කළ යුත්තේ අත්ථසාලිනී අටුවාව සමඟ යි. එය ද මෙම ක්‍රමයට ඉගෙනීමක් ලද ආචාර්යන් වහන්සේ නමකගේ සමීපයෙහි කරන්නේ නම් ඉන් ලැබෙන ඵලය මනා වූවක් වේ.

ඵලය දෙස බලා හේතුවගේ ස්වභාවය පිළිබඳව කිව හැකි ය. යම් ගිහි හෝ පැවිදි පින්වතෙකුගේ ධර්ම විනිශ්චයන්, ධර්ම දේශනා හෝ වෙනත් ලේඛනයක් දෙස බලා එම ඵලය සඳහා නිවැරදිව ම අටුවා ටීකාවන්ගේ විනිශ්චයන් ලැබී ඇත්දැයි දත හැක. වර්තමානයේ දී ධම්මසංගණී ප්‍රකරණය උගන්වන ඇතැම් භික්ෂූන් වහන්සේලා මාතිකා ස්වරූපාර්ථ පිළිබඳව කිසිදු ඉගැන්වීමක් නොකොට ධම්මසංගණී පාලියෙහි අග භාගයේ ඇති රූප කාණ්ඩයෙන් ඉගැන්වීම අරඹත්. ධම්මසංගණී පාලියෙහි මුල කොටසේ ඇති මාතිකා පදයන් යොදාගනිමින් භාග්‍යවතුන් වහන්සේ රූප කාණ්ඩයේ රූප ධර්මයන් විභාග කොට වදාළ බැවින් මාතිකා පදයන් නිවැරදිව අවබෝධ නොකොට රූප කාණ්ඩය නිවැරදිව වටහා ගත නො හැක. එබැවින් ඒ භික්ෂූන් වහන්සේලා සිදුකරනුයේ රූප කාණ්ඩය දිග හැර ගෙන තමන්ගේ සිතට එන යමක් ගිහි-පැවිදි පින්වතුන් හට ඉගැන්වීම යි. මෙයින් ත්‍රිවිධ ශාසනයේ පරිහානියක් විනා අන් කිසිවක් අපේක්ෂා කළ නො හැකිය. එබැවින් බුද්ධ වචනය ඉගෙන ගැනීමේ කල්‍යාණාධ්‍යාශයෙන් යුත් ගිහි පැවිදි සත්පුරුෂයෝ පැරණි ආචාර්යයන් වහන්සේලා අනුගමනය කරත්වා.

ධම්මසංගණී ප්‍රකරණයෙන් අනතුරුව පැමිණෙනුයේ විභඞ්ග ප්‍රකරණය යි. විභඞ්ග ප්‍රකරණයෙහි දී ධම්මසංගණියෙහි වදාළා වූ ධර්මයන් මාතෘකා දහඅටක් යටතේ බෙදා දක්වමින් දේශනා කොට වදාළහ. විභඞ්ග ප්‍රකරණය ද අටුවාව සමඟ අධ්‍යයනය කළ යුතු වේ. විභංග අටුවාව කියවීමේ දී ඒ සඳහා මොරටුවේ මේධානන්ද ස්ථවිරයන් විසින් සම්පාදනය කර ඇති “අභිධර්මාර්ථ ප්‍රදීපිකා නම් විභංග අටුවා සන්නය” යොදා ගත හැක.

විභඞ්ග ප්‍රකරණයෙන් අනතුරුව පැමිණෙනුයේ ධාතුකථා ප්‍රකරණය යි. මෙම ප්‍රකරණය ද ඉහත දැක්වූ අභිධර්ම නය සතරෙන් එකක් වන බැවින් අටුවාව සහිතව පරිවාර ග්‍රන්ථයන් සමඟ අධ්‍යයනය කළ යුතු වේ. 1912 වර්ෂයේ දී පූජ්‍ය ගුණරතන ස්ථවිරයන් විසින් සම්පාදනය කරන ලද “ධාතුකථා පාළි වාඛ්‍යානය” මෙහි සන්නය වේ. අප විසින් සම්පාදිත “ධාතුකථා ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය” ග්‍රන්ථයෙන් අටුවාවෙහි දැක්වෙන ක්‍රමය සහ මියන්මාර්යේ ධාතුකථා අධ්‍යයන ක්‍රමයෙන් ධාතුකථා නය විස්තර කරන බැවින් එයින් ද අධ්‍යයනට උපකාරයක් සැලසෙනු ඇත.

ධාතුකථා ප්‍රකරණයෙන් අනතුරුව පැමිණෙනුයේ පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණය යි. මෙය ද අටුවාව සමඟ අධ්‍යයනය කළ යුතු වේ.

පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණයෙන් අනතුරුව පැමිණෙනුයේ කථාවත්ථු ප්‍රකරණය යි. එහි ද මුලින් පැමිණෙන පුග්ගලකථා පිළිබඳව දක්වන නය ක්‍රමය අටුවාව සමඟ අධ්‍යයනය කර මනාව ග්‍රහණය කර ගත යුතු ය. ඉන් අනතුරුව පිළිවෙළින් එම ග්‍රන්ථය අධ්‍යයනය කළ යුතු වේ.

කථාවත්ථු ප්‍රකරණයෙන් අනතුරුව පැමිණෙනුයේ යමක ප්‍රකරණය යි. මෙම ප්‍රකරණය ද ඉහත දැක්වූ අභිධර්ම නය සතරෙන් එකක් වන බැවින් අටුවාව සහිතව පරිවාර ග්‍රන්ථයන් සමඟ අධ්‍යයනය කළ යුතු වේ. 1990 වර්ෂයේ දී පූජ්‍ය යූ. ඤාණින්ද සයාඩෝ සහ පූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේලා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද “යමකවාචනා මාර්ගය” මෙහි සන්නය වේ. අප විසින් සම්පාදිත “යමක ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය” ග්‍රන්ථයෙන් මියන්මාර්යේ යමක ප්‍රකරණය අධ්‍යයන ක්‍රමය විස්තර කරන බැවින් එයින් ද අධ්‍යයනට උපකාරයක් සැලසේ.

යමක ප්‍රකරණයෙන් අනතුරුව පැමිණෙනුයේ පට්ඨාන මහාප්‍රකරණය යි. පට්ඨාන ප්‍රකරණය අධ්‍යයනය කිරීමේ දී ඊට අවශ්‍ය පදනම මනා සේ සකසා ගත යුතු වේ. අභිධර්මාර්ථ සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ පැමිණෙන ප්‍රත්‍ය විස්තරය මනාව දත යුතු වේ. එම විස්තරය අභිධර්මාර්ථ සංග්‍රහයට ලියවී ඇති අභිධර්ම මාර්ගය, අභිධර්මාර්ථ චන්ද්‍රිකාව ආදී පරිවාර ග්‍රන්ථයන්ගෙන් ලබා ගත හැක. තව ද අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් පරිවර්තනය අරඹන ලද අප විසින් අවසන් කරන ලද “පට්ඨාන ත්‍රිරාශිය” ග්‍රන්ථය යොදා ගනිමින් එම දැනුම තව දුරටත් දියුණු කර ගත හැක. කුසල ත්‍රික පට්ඨානය අධ්‍යයනයේ දී ඇතැම් කරුණු මනාව වටහා ගැනීමට කුසල ත්‍රිකයට අමතරව සෙසු අභිධර්ම මාතෘකා ද දැන සිටීම උපකාර වන බැවින් ඒ පිළිබඳව අධ්‍යයනයක් කොට මනා පසුබිමක් සකසා ගෙන සිටීම වැදගත් වේ.

පට්ඨාන ප්‍රකරණය සඳහා සිංහලෙන් ලියවී ඇති සන්නය “පට්ඨාන ප්‍රකරණ මහා සන්නය” වේ. එහි පළමු කොටස අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද අතර දෙවන කොටස අප විසින් බුරුම බසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. එම ග්‍රන්ථයන් දෙක පට්ඨානය අධ්‍යයනයේ දී යොදා ගත යුතු වේ. තව ද අටුවාව ද යොදා ගත යුතු වේ. අප විසින් බුරුම බසින් සිංහලයට පරිවර්තනය කරන ලද “පට්ඨාන ප්‍රකරණ අටුවා සන්නය” අටුවාව අධ්‍යයනය සඳහා උපකාර කර ගත හැකි වේ. පට්ඨාන සන්නයෙන් සිදු කරනුයේ ඒ ඒ පාළියට අදාළ ස්වරූපාර්ථ පැහැදිලි කිරීම යි. පට්ඨාන පාළිය සහ එහි සන්නය පමණක් යොදා ගනිමින් පට්ඨාන ප්‍රකරණය අධ්‍යයනය කිරීම දුෂ්කර කටයුත්තකි. පට්ඨාන නය ක්‍රමය පිළිබඳව ගුරුවරුන්ගෙන් උගත යුතු ය. එහි දී ත්‍රික පට්ඨානයන් අතරින් පළමුව පැමිණෙන කුසලත්තික පට්ඨානය මුලින් අධ්‍යයනය කළ යුතු වේ. වර්තමානයේ බුරුම රට කුසලත්තික පට්ඨානය ඉගැන්වීමේ දී ප්‍රකරණයේ ඇති පිළිවෙළින් පණ්ණත්ති වාරයෙන් ආරම්භ කොට පටිච්චවාර යනාදි පිළිවෙළින් සිදු නො කොට සත්වැනි වාරය වන පඤ්හාවාරයෙන් අරඹනු ලැබේ. පඤ්හාවාරය උගන්වා අවසන් වූ විට සෙසු වාරයෝ උගන්වනු ලැබෙති. මෙම ක්‍රමවේදය පදනම් කරගෙන සම්පාදිත “පට්ඨාන ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය” ග්‍රන්ථය මාර්ගෝපදේශය සපයයි.

අභිධර්ම පිටකය යනු අධිප්‍රඥා ශික්ෂාව ය. එබැවින් විදර්ශනා මාර්ගයේ දී අභිධර්ම පිටකය මහෝපකාරී ය. නාමරූප පරිච්ඡේදය මනාව සම්පාදනය කරගැනීම විදර්ශනාවේ පදනම වේ. මෙහි දී අතිශය සියුම් වූ නාමරූප ධර්මයන් නිවැරදිව හඳුනාගැනීමට අභිධර්ම පර්යාප්තිය වැදගත් වේ. පදනම දුබල වූ කල ගොඩනැගිල්ලක් කඩා වැටෙන්නාක් මෙන් විදර්ශනාවෙහි පදනම මනාව සකස් නොවූ කල විදර්ශනාව පහසුවෙන් සිදු කරගත නොහැකි වේ. තව ද කඞ්ඛාවිතරණී විශුද්ධිය මනාව සම්පාදනය කර ගැනීමෙහි ලා පටිච්චසමුප්පාදය සහ පට්ඨානයෙහි පැමිණෙන සූවිසි ප්‍රත්‍යයන් පිළිබඳව ඇති දැනුම ද උපකාරී වේ. මේ අනුව සැලකූ විට විදර්ශනාව ශක්තිමත් කරමින් මාර්ගය වැඩීමට අභිධර්ම අධ්‍යයනයෙන් ලැබෙනුයේ මනා වූ උපස්තම්භනයකි. එබැවින් පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සඞ්ඛ්‍යාත ත්‍රිවිධ ශාසනයෙහි වෘද්ධියට පැමිණීමට සහ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අභිධර්ම අධ්‍යයනය නිවැරදිව සිදු කළ යුතු වේ.

ඉහත හැදෑරීමේ ක්‍රමයට අනුකූලව අභිධර්ම පොත් සුචිය පහතින්.

  1. අභිධර්මාර්ථ සංග්‍රහය
  2. අභිධර්මයේ මුලික කරුණු
  3. අභිධර්ම මාර්ගය
  4. අභිධර්ම ප්‍රවේශනය
  5. අභිධර්මාර්ථ ප්‍රදීපිකාව
  6. අභිධර්ම චන්ද්‍රිකාව
  7. අභිධර්මාර්ථ සංග්‍රහයේ ස්වරූප
  8. අභිධර්මාර්ථ විභාවනී සන්නය

  1. අභිධර්ම මාතිකා අධ්‍යයන ප්‍රවේශය
  2. අභිධර්ම භාවනා -1
  3. අභිධර්ම භාවනා -2
  4. අභිධර්ම මාතිකා ස්වරූපාර්ථ
  5. අභිධම්ම හා සුත්තන්ත මාතිකා පාලිය
  6. අභිධම්මතික පාළි ව්‍යාඛනය

  1. අත්ථසාලිනී නම් ධම්මසංඝණීප්‍රකරණ අටුවාව
  2. අත්ථසාලිනී අටුවා සන්නය
  3. අත්ථසාලිනී අත්ථයෝජනා
  4. ධම්මසංඝණී මූල ටීකා 5. ධම්මසංඝණී අනු ටීකා 

  1. සම්මෝහවිනෝදනී නම් විභංගප්‍රකරණ අටුවාව
  2. විභංග අටුවා සන්නය
  3. විභංග මූල ටීකා
  4. විභංග අනු ටීකා

  1. ධාතුකථා ප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය
  2. ධාතුකථා ප්‍රකරණ සන්නය
  3. ධාතුකථාප්‍රකරණ අටුවාව
  4. ධාතුකථාප්‍රකරණ මූල ටීකා
  5. ධාතුකථාප්‍රකරණ අනු ටීකා

  1. කථාවත්ථුප්‍රකරණ අටුවාව
  2. කථාවත්ථුප්‍රකරණ මූල ටීකා
  3. කථාවත්ථුප්‍රකරණ අනු ටීකා

  1. යමක වාචනා මාර්ගය
  2. යමකප්‍රකරණ අටුවාව
  3. යමකප්‍රකරණ මූල ටීකා
  4. යමකප්‍රකරණ අනු ටීකා

  1. පට්ඨානප්‍රකරණ අධ්‍යයන ප්‍රවේශය - ශුද්ධ සංඛ්‍යා සහ ස්වරූපාර්ථ
  2. පට්ඨාන ත්‍රිරාශිය
  3. පට්ඨාන දේසනා සාරය
  4. පට්ඨානමහප්‍රකරණ සන්නය
  5. පට්ඨානමහප්‍රකරණ භාව සන්නය
  6. පට්ඨානමහප්‍රකරණ අටුවාව
  7. පට්ඨානමහප්‍රකරණ මූල ටීකා
  8. පට්ඨානමහප්‍රකරණ අනු ටීකා

මෙහි ඇතුළත් කර ඇති පොත් බොහොමයක් පැරණි බෞද්ධ පොත් වන අතර ධර්ම දානය සඳහා ලියන ලද පොත් වේග පහත අභිධර්මය පිලිබඳ පොත් ත්‍රිපිටකය පුස්තකාලය පුස්තකාලයෙන් බාගත කල හැකියග

පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි