අභිධර්මයේ වැදගත්කම

අතට ගත් වීදුරු බෝලයක ඇතුළ පිට දෙක දක්නාක් මෙන් සකල ලෝකයේ ඇතුළ පිට දෙක දැකීමෙන් හා වර්තමානය පමණක් නොව අතීතානාගත දෙක ද දැකීමෙහි සමත් වූ සකලක්ලේශ මලාපගමනයෙන් පරම නිර්මල වූ, පරම සුන්දර වූ ඥානයෙන් යුක්ත වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් අවිද්‍යාවෙන් අන්ධව දුකින් දුකට පත් වෙමින් සසර සැරිසරන අසරණ සත්ත්ව සමූහයා කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් ඔවුනට නිවන් මග දැක්වීම් වශයෙන් පන්සාලිස් වසක් මුළුල්ලෙහි පවත්වන ලද දේශනය වනාහි ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වන්නේ ය. එහි විනය යනු ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍ර‍මණ ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මය දක්වන්නා වූ දේශනය ය. පෘථිවි වෘක්ෂ පර්වතාදි සංස්කාරයන් ගේ හා මනුෂ්‍ය දේව බ්‍ර‍හ්මාදි සත්ත්වයන්ගේ ද තත්ත්වය ස්කන්ධාදි වශයෙන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන්නාවූ ද, නැවත නැවත ජාතියෙන් ජාතියෙහි සත්ත්වයාගේ උත්පත්තිය සිදුවන සැටි දක්වන්නාවූ ද, සත්ත්වයාට සැප දුක් ලැබෙන සැටි දක්වන්නා වූ ද, පරම සුන්දර ලෝකෝත්තර නිර්වාණ ධාතුව දක්වන්නාවූ ද, ඒ නිවනට පැමිණෙන සැටි දක්වන්නාවූ ද, දේශනය ධර්ම නම් වේ. ඒ ධර්මයෙහි ද සූත්‍ර‍ පිටකය අභිධර්ම පිටකය යි කොටස් දෙකක් ඇත්තේ ය.

අභිධර්මය ඉතා ගැඹුරු විද්‍යාවෙකි. එහි උගන්වන ධර්ම අතිශයින් සූක්ෂම ඒවා ය. කුඩා දේ මහත් කොට දක්වන කණ්නාඩි ආදි නවීන විද්‍යාඥයන් පාවිච්චි කරන උපකරණවල ආධාරයෙන් ඒ ධර්ම නො දත හැකි ය. ඒවා ශුද්ධ ඥානයෙන් ම දත යුතු ධර්මයෝ ය. ඒවා මැනවින් තේරුම් ගත හැකි වීමට උත්පත්තියෙන් පිහිටි ශුද්ධ බුද්ධිය තිබිය යුතුය. උත්පත්තියෙන් පිහිටි ඥානය නැතියවුන්ට ඒවා අවබෝධ කර ගැනීම අපහසුය. ඒ නිසා පොත පත උගත් සෑම දෙනාට ම ඒවා ගැන මනා වැටහීමක් ඇති නො වේ.

පර්වතයකින් ගඟක් ගලා බස්නාක් මෙන් තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා ම අතිසීඝ්‍රයෙන් කළ ඒ අභිධර්ම දේශනය ද ඉතා දීර්ඝය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂූන් වහන්සේලාට නූගත හැකිය. නො දැරිය හැකිය. දෙව්ලොව අභිධර්ම දේශනය කරන්නා වූ තථාගතයන් වහන්සේ දේශනය නො නැවතී පවතිනු සඳහා ඒ අසුන මත බුදුරුවක් මවා ඒ බුදුරුව මෙතෙක් ධර්මය දේශනය කෙරෙත්වා යි ඉටා ආහාර වැළඳීම් ආදිය පිණිස දිනපතා මිනිස් ලොවට වඩනා සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිති. ඇතැම් දෙවි කෙනෙක් නො දනිති. මිනිස් ලොවට වඩනා වූ තථාගතයන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිඬු සිඟා ගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දන් වළඳා දිවා විහරණය පිණිස සඳුන් වනයට වඩනා සේක. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට එතැනට වඩනා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දිනයෙහි දෙසූ අභිධර්මය වෙරළ තීරයෙහි සිට අත දිගු කොට මහ සයුර දක්වන්නාක් මෙන් ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනය කරන සේක. සිවුපිළිසිඹියාපත් ඒ මහ රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් අති සංක්‍ෂෙපයෙන් දේශනය කළ ඒ ධර්මය නය සියයෙන් නය දහසින් නය දස දහසින් අවබෝධ කර ගැනීමට සමත් වන සේක. උන්වහන්සේ බුදුන් වහන්සේගෙන් උගන්නා වූ ඒ අභිධර්මය භික්ෂූන්ට උගෙනීමට දැරීමට ප්‍රමාණ වන සැටියට මඳක් විස්තර කර ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේගේ

අතවැසි භික්ෂූන් පන්සියයකට උගැන්වූ සේක. ඒ භික්ෂූන් පන්සිය දෙනා වහන්සේ බුදුන් වහන්සේගේ අභිධර්ම දේශනය නිමවනු සමග ම ආභිධර්මිකයෝ වූහ. අද පවත්නා අභිධර්ම පිටකය දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගැන්වූ ඒ අභිධර්මය ය. එය තථාගතයන් වහන්සේගෙන් ලත් නය අනුව තථාගතයන් වහන්සේගේ අදහසට අනුව උගන්වන ලද්දක් බැවින් සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගන්වන ලද්දක් වුව ද බුද්ධ දේශනය සැටියට ම පිළිගනු ලැබේ.

ධර්මදේශනයකදී තථාගතයන් වහන්සේ දානකථාවය, ශීල කථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ ආදීනවය ය, කාමයන්ගේ ලාමක බව ය, කාමයන්ගේ කිලිටි බව ය, කාමයන් ගෙන් වෙන්වීමේ අනුසසය යන මේවා ප්‍ර‍කාශ කොට අවසානයේ දී සාමුක්කංසික චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනය ද කරන සේක. සූත්‍ර‍ දහස් ගණනක් පමණ දික් වූ ඒ දීර්ඝ දේශනයට, චතුරාර්‍ය්‍ය සත්‍යය ජනයාට අවබෝධ කර ගැනීමට සෑහෙන තරමට කරුණු ඇතුළු වන්නේ ය. එබැවින් ඒ දීර්ඝ දේශනය අසා බොහෝ සත්ත්වයෝ ධර්මාවබෝධය කොට ගෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණ නිවන් දකිති. තථාගතයන් වහන්සේගේ ඒ දීර්ඝ දේශනය අද කිසි පොත පතක නැත්තේ ය. දැනට ඇති කිසිම සූත්‍ර‍ ධර්මයක නාමරූප ධර්ම ගැන ද චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන ද සෑහෙන විස්තරයක් නැත්තේ ය. සූත්‍ර‍ පිටකයට අයත් පොත්වල ඇති සූත්‍ර‍වල එකිනෙකට සම්බන්ධයක් නැත්තේ ය. එක සූත්‍ර‍යක කියවුණු කරුණ සමහර විට තවත් සූත්‍ර‍ සියයක ඇත්තේය. එබැවින් සූත්‍ර‍ පිටකය මහත් වී තිබෙන තරමට එය කරුණු වලින් මහත් වි නැත. දැනට ඇත්තාවූ තථාගතයන් වහන්සේ ගේ එක ම දීර්ඝ දේශනය අභිධර්ම පිටකය ය. අභිධර්ම පිටකය ප්‍ර‍කරණ වශයෙන් සතක් වුව ද ධර්ම ප්‍ර‍මාණයෙන් සූත්‍ර‍ පිටකයට ද විනය පිටකයට ද වඩා මහත් ය. විනය පිටකයෙහි ඇත්තේ ධර්මස්කන්ධ විසි එක් දහසෙකි. සූත්‍ර‍ පිටකයෙහි ඇත්තේ ද ධර්මස්කන්ධ විසි එක් දහස ම ය. අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධ දෙසාලිස් දහසෙකි. සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් ගෙන් බාගයක් අභිධර්ම පිටකය ය. ඒ අභිධර්ම පිටකය එකිනෙකට සම්බන්ධය ඇති බැවින් එක් සූත්‍ර‍යක් වැනිය.

අභිධර්මය උගන්නා තැනැත්තා විසින් පළමුවෙන් ම කළ යුත්තේ පරමාර්ථය හා එහි ලක්ෂණ මැනවින් තේරුම් ගැනීමය. එය වෙන් වෙන් වූ පරමාර්ථ ධර්මයන්ගේ තතු දැන ගත හැකි වීමට අත්තිවාරම වන්නේ ය.

සිතට දැනෙන සිතට හසුවන සිතින් ගන්නා යමක් වේ නම් ඒ සියල්ලට ම අර්ථය යි කියනු ලැබේ. අර්ථ යන්නෙහි තේරුම සිතින් දැන ගන්නා දෙය ම යනුයි. සියල්ල ම සිතට දැනෙන බැවින් අර්ථ නොවන කිසිවක් කොතැනකවත් නැත්තේය. සිතට දැනෙන සියල්ල අර්ථයයි කී කල්හි සිත අර්ථයක් වන්නේ කෙසේද? එය අර්ථ භාවයෙන් බැහැර වන්නේ නොවේද? යන ප්‍ර‍ශ්නය ඇති වන්නේය. එක් සිතකට තවත් සිතක් දැනෙන බැවින් සිත ද අර්ථය වේ.

තවත් ක්‍ර‍මයකින් කියතහොත් වචනයෙන් කියවෙන්නා වූ අසන්නහු ගේ සිතට වචනානුසාරයෙන් දැනෙන්නා වූ දෙය අර්ථ නම් වේ. එක් වචනයකින් තවත් වචනයක් ද කිය හැකි බැවින් වචනය ද අර්ථ භාවයෙන් නො මිදේ. හැම දෙය ම වචනවලින් කියවෙන බැවින් ලොව ඇති සියල්ල ම අර්ථයෝ වෙති.

සාමාන්‍යයෙන් එකක් වූ ඒ අර්ථය හීනාර්ථයය, පරමාර්ථයයි දෙකොටසකට බෙදේ. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් සිතට දැනෙන දෙය ඉතා මහත් දෙයක් හැටියට දැනුණත් ඒ දැනුණු දෙය සත්‍යය වශයෙන් නැති දෙයක් විය හැකිය. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් දැනෙන දෙය ඉතා සියුම් අප්‍ර‍කට දෙයක් වුවද එය සත්‍යය වශයෙන් ඇති දෙයක් විය හැකිය. මේසය යන වචනය ඇසුණු කල්හි එයින් විශාල වස්තුවක් සිතට දැනෙයි. එය වැඩිදුර විමසා බැලුවහොත් එහි කෙලින් තැබූ ලී කැබලි සතරක් ද, ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමට යෙදූ ලී කැබෙලි සතරක් ද, ඒවා මත අතුළ ලෑලි කැබලි කීපයක් ද, ඇණ ටිකක් ද, දැකිය හැකිය. ඒවායින් එක් දෙයකුදු මේසය නො වේ. ඒ සියල්ල ද මේසය නොවේ. ඒ සියල්ල මේසය නම්, ඒ සියල්ල මිටියක් බැඳ තැබූ කල්හි ද ඒ ලී මිටිය මේසයක් විය යුතුය. එසේ නො වන්නේ ඒ සියල්ල මේසය නොවන බැවිනි. ලී කැබෙලි ටික හැර මේසය කියා දෙයක් ද නැත. මේසය යන වචනය ඇසීමෙන් සිතට දැනුණු දෙය ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ කළ කල්හි ඒ ලී කැබලිවල සම්බන්ධ වී තිබෙන ආකාරය අනුව ඇති සැටියට සිතට හැඟෙන සත්‍ය වශයෙන් නො ලැබෙන දෙයකි. අප භාවිත කරන වචනවලින් බොහෝවක් ම ඇසුණු කල්හි ඒවායින් සිතට දැනෙන අර්ථ, මේසය යන වචනයෙන් දැනෙන අර්ථය සේම සත්‍යය වශයෙන් නො ලැබෙන්නා වූ අර්ථයෝය.

පුටුව, ගෙය, දවස, මාසය, උතුර, දකුණ, ගොනා, මිනිසා යන මේ වචනවල අර්ථ විමසා බලනු. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එයින් අසන්නහු ගේ සිතට හැඟෙන දෙය ඉතා අප්‍ර‍කට දෙයක් වතුදු එය සත්‍ය වශයෙන් ඇතියක් විය හැකිය. චිත්ත, ඵස්ස, වේදනා, ලෝභ, දෝස, මෝහ යනාදි වචනවලින් හැඟෙන්නා වූ අර්ථයෝ මේසාදිය සේ මහත්ව නො වැටහෙන ඒවා වුවද සත්‍යය වශයෙන් ඇත්තා වූ අර්ථයෝ ය. සත්‍යය වශයෙන් නැත්තා වූ අර්ථයය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයය යන මේ දෙකින් සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථයට වඩා සත්‍යය වශයෙන් ලැබෙන අර්ථය උසස්ය. සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය පහත්ය. එබැවින් සත්‍යය වශයෙන් ලැබෙන අර්ථය පරමාර්ථ නම් වේ. සත්‍යය වශයෙන් නොලැබෙන අර්ථය හීනාර්ථ නම් වේ.

යම්කිසි දෙයක් දෙකට කැඩිය හැකි වේ නම් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම දෙකක් ව තිබූ බැවිනි. එක් දෙයක් හැටියට සලකන දෙයක් හත අටකට විස්සකට තිහකට කැඩිය හැකි වෙතොත් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම හත අටක් විස්සක් තිහක් වූ බැවිනි. වස්තු දෙකක් ළංවී ඇලී එකක් මෙන් තිබිය හැකිය. එහෙත් ඇලීමෙන් දෙක එකක් නො වේ. එය ඇලී තිබෙන දෙකකි. නැවත වෙන් කළ හැකි වන්නේ ඇලී වුව ද දෙක වෙන් වෙන් ව ම පැවති බැවිනි. එක නම් සැම කල්හි ම එක ම ය. කිසිම ආකාරයකින් ඒ එක දෙක්ක නො කළ හැකි ය. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැළිය හැකි නම් මුලින් පෙනුණු දෙය සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නොව හීනාර්ථයක් බව දත යුතු ය. එකක් වශයෙන් සිතට පෙනුණු දෙයක් බෙද බෙදා බලන කල්හි අන්තිමට නො බෙදිය හැකි දෙයක් ලැබෙන තුරු බෙදනු. අන්තිමට ලැබෙන්නා වූ නො බෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ඇති දෙය බැවින් එය පරමාර්ථයයි දත යුතු. යම්කිසි වචනයක් ඇසුණු කල්හි එයින් සිතට දැනුණු දෙය කවරාකාරයකින් වත් නො බෙදිය හැකි දෙයක් නම් එය පරමාර්ථය කැයි දත යුතුයි. චිත්ත, ඵස්ස, වේදනා, පඨවි, ආපෝ, තේජෝ ආදි වචන ඇසුණු කල්හි දැනෙන අර්ථ නො බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් ඇත්තා වූ පරමාර්ථයෝ ය. මේසය, පුටුව, ඇඳ, පිඟාන, කෝප්පය, රෙද්ද, ගස, ගල, ගොනා, මිනිසා, දෙවියා යනාදි වචනානුසාරයෙන් දැනෙන අර්ථයෝ බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් නැත්තා වූ හීනාර්ථයෝ ය. සම්මුතිය පඤ්ඤත්තිය යන වචන දෙක ද හීනාර්ථය ප්‍ර‍කාශ කිරීම සඳහා භාවිත කරන වචන දෙකකි.

කියන වචන ඇසීම, ලියා තිබෙන - මුද්‍ර‍ණය කර තිබෙන දේ හා තවත් නොයෙක් දේ දැකීම, කල්පනා කිරීම යනාදි කරුණුවලින් සිතට දැනෙන සිතට හසුවන දෙයට ‘අර්ථය’ යි කියනු ලැබේ. අර්ථ යන මේ වචනය සියල්ල යන වචනයට සමාන වචනයකි. අර්ථ නොවන කිසිවක් ලොව නැත්තේ ය. ලෝකයෙහි අර්ථ බොහෝ ගණනක් ඇත්තේ ය. කවද ආකාරයකින්වත් ඒවායේ ප්‍ර‍මාණයක් නො දැක්විය හැකි ය.ඇති සැටියට සිතට දැනෙන දේවල් අතර හැබෑවට ඇත්තා වූ දේවල් ද ඇත්තේ ය. සැබෑවටම නැති දේවල් ද ඇත්තේ ය. ලෝකයාහට ඇති සේ පෙනෙන ඇති සේ දැනෙන දේවලින් ඉතා වැඩි හරියක් ම සත්‍ය වශයෙන් නැති දේ ය.

අඳුරෙහි සිටින කෙනකු ගිනි පෙණෙල්ලක් ගෙන වේගයෙන් කර කැවුව හොත් දුරින් බලා ඉන්න අයට එහි ගිනි වළල්ලක් පෙනේ. එහෙත් එතැන ගිනි පෙණෙල්ල ම මිස, ඇති සැටියට පෙනෙන ගිනි වළල්ල නැත. ඒ ගිනි වළල්ල ගිනි පෙණෙල්ලේ වේගවත් ගමන නිසා ඇතුවා වගේ පෙනෙන දෙයකි.

ලෝකයා විසින් ඇති සැටියට සලකන මේසය, පුටුව, ඇඳ, වස්ත්‍ර‍ය, ගෙය, පිඟාන, කෝප්පය, මිනිසා, ගවයා, බල්ලා, ඇතා යනාදි සියල්ලත් ගිනි වළල්ල සේම සැබෑවට ම නැති ඒවා ය.

ඇතය යි සලකන දෙයක සත්‍ය වශයෙන් ඇති නැති බව දැන ගත හැක්කේ ඒ දෙය විභාග කර බැලීමෙනි. මේසය ඇතය යි සලකන එක් දෙයකි. එය විභාග කරතහොත් පා සතරක් ද, පා සතර ඒකාබද්ද කරන ලෑලි සතරක් ද, තට්ටුවෙහි ලෑලි දෙක තුනක් ද ඇති බව පෙනේ. ඒ එක් දෙයක් වත් මේසය නො වේ. ඒ ද්‍ර‍ව්‍ය සමූහය හැර මේසය කියා දෙයක් ද නැත. ඒ ද්‍ර‍ව්‍ය සියල්ල ම මේසය යයි කිව හැකි ය. සියල්ල මේසයත් නොවේ. සියල්ල මේසය නම් කෙසේ තුබුණත් ඒ ලී කැබෙලි ටික මේසය විය යුතු ය. ලී කැබෙලි ටික එකිනෙකින් වෙන් ව හෝ අන් අයුරකින් එක් වී තිබෙත හොත් එකල්හි මේසයක් දක්නට නැත. එබැවින් ඒ ලී කැබෙලි සියල්ල ද මේසය නො වන බව දත යුතු ය. ලී කැබලි ටික, ලී කැබෙලි රැසක් මිස, මේසය නො වන බැවින් මේසය කියා දෙයක් සත්‍ය වශයෙන් නැති බව දත යුතු ය. මේසය යනු ලී කැබලි වන පිහිටි ආකාරය අනුව ඇති වන හැඟීම් මාත්‍රයෙකි.

ලෝකයා විසින් ඇති සැටියට සලකන ඇඳ, පුටු, මේස, පිඟන්, කෝප්ප, රෙදි, ගස්, වැල් ආදි අවිඤ්ඤාණක වස්තූන් ද; දෙවි, මිනිස්, ඇත්, අස්, ගවාදි සවිඤ්ඤාණක වස්තු ද යන මේ සියල්ල ම මේසය සේ ම සත්‍ය වශයෙන් නැති ඒවා ය. සත්‍ය වශයෙන් නැති ව ඇතය යන හැඟීම් මාත්‍රයෙන් ඇතයයි සලකන දේවලට කියන නම ප්‍ර‍ඥප්තිය යනු යි.

සත්‍ය වශයෙන් නැත්තා වූ අර්ථය ය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයය යන මේ දෙකින් සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය උසස් බැවින් එයට පරමාර්ථය යි කියනු ලැබේ. පරමාර්ථ යන වචනයෙහි තේරුම උසස් අර්ථයය, උසස් දෙයය යනුයි.

ඇතය යි හැඟෙන යම් කිසිවක් පරමාර්ථයක් ද ප්‍ර‍ඥප්තියක් දැ යි දැන ගැනීමට ඒ දෙය කොටස්වලට වෙන් කර බැලිය යුතුය. යමක් මේසය සේ කොටස් කළ කල්හි නැති වන්නේ නම්, ඒ දෙය පරමාර්ථයක් හෙවත් සත්‍ය වශයෙන් ඇතියක් නො වේ. වස්තූන් බෙද බෙදා බැලුවා ම අන්තිමට ඉතිරි වන නො බෙදිය හැකි දෙය පරමාර්‍ථය ය.

මේසය බෙදා ලී කැබෙලි ටික හැර මේසයක් ඇත්ත වශයෙන් නැති බව කී කල්හි, මේසයේ කොටස් වූ ලී කැබෙලි ටික සත්‍ය වශයෙන් ඇති ඒවා යයි ඔබට සිතෙන්නට පිළිවන. ඒ ලී කැබෙලිත් තවත් බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවාත් පරමාර්ථ ධර්ම සැටියට නො සැලකිය යුතුය.

ලී කැබෙල්ලක් වැලි කරදාසියකින් මදින කල්හි දක්නට ලැබෙන ලී කුඩු ලීයේ කුඩා කොටස් ය. එකක් වෙන් කොට ගතහොත් ඇසට නො පෙනෙන තරමට කුඩා වූ ඒ ලී කොටසක් ද තවත් බෙදිය හැකි ය. එබැවින් ඒ ලී කුඩු ද පරමාර්ථයෝය යි නො ගත යුතු ය. පරමාර්ථය වනුයේ බෙදීමේදී අන්තිමට ලැබෙන නො බෙදිය හැකි අර්ථය ය.

සත්ත්වයන් සහිත වූ මේ ලෝකය ඉතා සියුම් ලෙස විභාග කළා ම අන්තිමට ම ලැබෙන ඉතා ම සියුම් ස්වභාවයෝ පරමාර්ථ ධර්මයෝ ය. ලෝකයට අයත් සියල්ලේ ම මූලික ධර්මයෝ පරමාර්ථයෝ ය. ඒවා ගල් කැට මැටි කැට ආදිය බඳු ද්‍ර‍ව්‍යයන් නොව, බල වේගයෝ ය. එබැවින් දික් බව, කෙටි බව, කුඩා බව, මහත් බව, වට බව, සතරැස් බව, ආදි සටහන් ඒවාට නැත්තේ ය.

චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කොටින් කියන කල්හි පරමාර්ථ සතරෙකි.

චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, ‘චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,’ යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය යන මේ ස්ථානයන්හි සිත පහළ වේ. එය ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද ව්‍යවාහර කරනු ලැබේ. දැකීමය, පෙනීමය, ඇසීමය යනාදි වශයෙන් ඒ ඒ ආකාරයෙන් උපදනා සිත් හැඳින්වීමට පාවිච්චි කරන වචන ව්‍යවහාර භාෂාවේ බොහෝ ගණනකි. ඇසෙහි රූපයක් ගැටුණු කල්හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. එය ප්‍ර‍කාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය දැකීමය යන වචන ව්‍යවහාර කරති. ඇසට හමුවීමෙන් යමක් දත් කල්හි පෙනුණේය කියා හෝ දුටුයේය කියා හෝ කියති.

වචනය අනෙකක් වුවද එයින් හඟවන්නේ දැනීම මය, හෙවත් සිත ම ය. කනෙහි ශබ්දයක් ගැටුණු කල්හි, ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එයට හඬ දැනුම ය යි නො කියා ඇසීමය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිතය. නාසයට දුඟඳක් පිවිසි කල්හි සමහර විට ගඳක් දැනේය යි කියති. සමහර විට දැනීමය යන වචනය නො ගෙන ගඳයයි ම කියති. එබඳු අවස්ථාවලදී ගඳය යන වචනයෙන් හඟවන්නේ ද ගඳ දැන ගන්නා සිත ම ය.

රසයක් මුඛයට පැමිණි කල්හි ද සමහර විට රසක් දැනේයයි කියති. සමහර විට එසේ නො කියා තිත්තය ඇඹුල්ය යනාදීන් රසයේ නම ම කියති. එබඳු අවස්ථාවල දී රසයේ නමින් පවසන්නේ ද ඒ රසය දන්නා සිත ම ය. ශරීරයෙහි යම් කිසිවක් සැපුණු කල්හි සමහර විට සැපෙන බව දැනේය යි කියති. සමහර විට එසේ නො කියා සැපීමෙන් වන ඵලය හඟවන රිදීමය, ශීතලය, උෂ්ණය යන වචන කියති. එබඳු අවස්ථාවල දී ඒ වචනවලින් කියැවෙන්නේ ද ස්ප්‍ර‍ෂ්ටව්‍යය දන්නා සිතය. පඤ්චප්‍ර‍සාද සම්බන්ධයක් නැතිව සිතක් ඇති වූ කල්හි සමහර විට සිතුණේය යි කියති. සමහර විට දැනුණේය, කල්පනා වුණේය, ඕනෑ වුනේය, වැටහුණේ ය, තේරුණේය, හැඟුණේය යනාදි වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය. කරුණු මෙසේ හෙයින් දැකීමය, පෙනීමය, ඇසීමය, ගඳය, සුවඳය, තිත්තය, කසටය, ශීතය, උෂ්ණය, කල්පනාවය, ඕනෑකමය යනාදි වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්තපරමාර්ථය යි දත යුතුය. මේ වචනයන් අතුරෙන් ඇතැමකින් අධිකාර්ථ ද කියැවේ. නිවැරදිව ම සිතා ගැනීමට අධිකාර්ථ හළ යුතුය.

රථයේ ගමන ක්‍රියාව රථයෙන් ම එන වේගයකි. මිනිසකුගේ ගමන ක්‍රියාව ශරීරයෙන් නැඟෙන වේගයකි. අතක එසවීම් ක්‍රියාව අතින් නැගෙන වේගයකි. එමෙන් සිතය යි කියන ආරම්මණ විජානන ක්‍රියාව ආරම්මණ ග්‍ර‍හණ ක්‍රියාව චිත්ත පරම්පරාවේ අගින් නැග එන වේගයකි. පෝර ලැබෙන ලැබෙන සැටියට වැලක අගින් දලු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අළුත් අළුත් සිත් පහළ වේ. සිත් පහළ වනුයේ චක්ෂුරාදි වස්තූන්හි ය. එහෙත් සිත ඒවායින් නැඟ එන්නක් සැටියට නො ගත යුතු ය. සිත චක්‍ෂුරාදි වස්තූන්ගෙන් නැඟ එන්නක් නම් වස්තු කීපයක එකවර රූප ශබ්දාදි අරමුණු ගැටුණු කල්හි ඒ ඒ වස්තුවල එකවර ම ඒ ඒ අරමුණු පිළිබඳ සිත් පහළ විය යුතු ය. එක් සන්තානයක එකවර සිත් දෙකක් පහළ නොවන බැවින් ශරීරයේ කොතැනක සිත පහළ වුව ද පහළ වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින්ම පහළ වන බව දත යුතුය. සිත: චිත්ත පරම්පරාවේ අගින්ම නැඟ නැඟ එන වේගයක් සැටියට නො ගෙන ශරීරයෙන් හෙවත් නිඃශ්‍ර‍ය වස්තූන්ගෙන් නැගෙන වේගයක් සැටියට ගතහොත් අරූප භූමියක් ඇති බව ඔප්පු කළ නො හැකි වන්නේ ය. පුනරුත්පත්තියක් ඇති බව ද ඔප්පු කළ හැකි නො වන්නේ ය. සිත: චිත්ත සන්තතියේ අගින් ම නැඟෙන දෙයක් සැටියට දක්නා තැනැත්තා හට පුනරුත්පත්තියක් ඇති බව ද පහසුවෙන් ම පෙනෙන්නේ ය.

ඇතැමෙක් සිත් ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව අරමුණයයි කියති. අරමුණු සෑම තැන ම ඇත. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නූපදී. ආරම්මණාදි හේතූන්ට සිත ඉපද විය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල්හි පමණෙකි. එබැවින් සිත් ඇති වීමේ ප්‍ර‍ධාන හේතුව ආරම්මණය නොව පැවත එන සිත් පරම්පරාව බව දත යුතුය. අරමුණක් නැති ව සිතට ඇති විය නොහෙන බැවන් අරමුණ ද සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිය යුතුය.

අහසේ හටගන්නා විදුලිය සැණෙකින් කිසිවක් ඉතිරි නො වී නැති වන්නාක් මෙන් ද, බෙරයකින් නිකුත් වන හඬ සැණෙකින් කිසිවක් ඉතිරි නොවී නැති වන්නාක් මෙන් ද, කර අවසන් වනු සමඟ ම සිදුවී අවසන් වනු සමඟ ම එයින් කිසිවක් ඉතුරු නොවී ක්‍රියා අභාවප්‍රාප්ත වන බව ඉහත කියන ලදී. සිත ද ක්‍රියාවක් බැවින් ක්‍රියාවන්ට අයත් වූ ඒ ස්වභාවය නො ඉක්මවා ඉපද මොහොතකුදු නො පැවතී වහා අභාවප්‍රාප්ත වේ පරමාර්ථ ධර්මයන්ගේ ඒ

අභාවප්‍රාප්තියට නිරෝධය යි ද භංගය යි ද කියනු ලැබේ. එක් සිතකට උපදනා කාලයය, පවත්නා කාලයය, බිඳෙන කාලයය යි කාල තුනක් ඇත්තේ ය. ඒ තුන් කාලය ප්‍ර‍මාණයෙන් සමය. එකකවත් දිගින් අඩු වැඩි කමක් නැත. උපදින්නට යම් පමණ කාලයක් වේ නම් එපමණ ම කාලයක් පැවතී එපමණ ම කාලයකින් බිඳී යාම චිත්ත චෛතසික පරමාර්ථයන්ගේ ස්වභාවය ය. රූප පරමාර්ථයන්ගේ ජීවන කාලය සිත මෙන් සතළොස් ගුණයකි. සිතේ ඉපදීමට උත්පාදය යි ද, පැවැත්වීමට ස්ථිතිය යි ද, අභාවප්‍රාප්තියට භංගය යි ද කියනු ලැබේ. උත්පාදස්ථිති භංග යන මේ තුන් කාලයට චිත්තක්ෂණය යි කියනු ලැබේ. චිත්තක්ෂණය ඉතා ලුහුඬු කාලයකි. එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එකවර සිත් දෙකක් නූපදනේ ය. දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පූර්ණයෙන් අභාවප්‍රාප්ත වූ පසුය. සාමාන්‍ය ලෝකයා විසින් ඉතා කෙටි සැටියට සලකන්නේ අසුරක් ගැසීමට ගත වන කාලය හා ඇසිපිය හෙළීමට ගත වන කාලය යි. ‘සො පන ඛණො අච්ඡරාසංඝාත ඛණස්ස අක්ඛිනිම්මීලනඛණස්ස ච අනෙකකොටි සතසහස්ස භාගො දට්ඨබ්බො’ යනුවෙන් සිතක ජීවන කාලය, අසුරු ගසන කාලයෙන් ඇසිපිය හෙළන කාලයෙන් කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.

උපන් සිත කෙතරම් ඉක්මනින් කොතෙක් වේගයෙන් නිරුද්ධ වෙතත් තැන සිස් නොවන ලෙස නිරුද්ධ වන සිත හා බැඳී උපදින සේ අලුත් අලුත් සිත්: එළඹ සිටින අනේකප්‍ර‍කාර ආරම්මණයන් ගනිමින් උපදනේ ය.

නිරෝධසමාපත්ති අවස්ථාව හා අසංඥභූමියේ ඉපද සිටින අවස්ථාවන් හැර චිත්ත පරම්පරාවේ සිත් නූපදනා අවස්ථාවක් නැත. විශේෂාරම්මණයක් නො ලද කල්හි ප්‍ර‍තිසන්ධියට අරමුණු වූ කර්මාදීන් ගෙන් එකක් අරමුණු කරමින් වැල නො කැඩී සිත් උපදනේ ය. භවාංග සිතය යි කියන කර්මාදිය ගෙන උපදනා ප්‍ර‍කෘති සිත් ඇති බව අපට නො දැනේ. එය ගැන විස්තරයක් කිරීමට මෙය අවස්ථාව නොවේ. සිතේ ජීවන කාලය ඉතා ලුහුඬු බැවින් හා අතරක් ඇති නො වන සැටියට නිරුද්ධ වන සිත සමඟ බැඳී උපදනාක් මෙන් අලුත් අලුත් සිත් ඉපදිය යුතු බැවින් ද සිත් උපදනා තැන සිදු වන්නේ ඉතා වේගවත් වැඩ පිළිවෙලකි. එබඳු වේගවත් වැඩ පිළිවෙළක් කෙරෙන අන් කිසි යන්ත්‍ර‍යක් නැත. චිත්තායුෂය ඉතා ලුහුඬු බැවින් එක් සන්තානයක එකකට එකක් පෙර පසු වී අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත් කෝටි ලක්ෂ ගණනක් වන බව දක්වා තිබේ. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුට අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත්වල ප්‍ර‍මාණය උපමාවකින් දක්වන්නාහු ‘වාහසතං ඛො මහාරාජ, වීහීනං අඩ්ඪචූළඤ්ච වාහා වීහිසත්තම්මණානි ද්වේ ච තුම්බා එකච්ඡරක්ඛණෙ පවත්තචිත්තස්ස එත්තකා වීහි ලක්ඛං ඨපීයමානෙ පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍යුං’ යනු වදාළ සේක. එක්සිය පණස් යාළ සතමුණු දෙලාසෙක වී ඇට එක් අසුරු සැණෙක උපදනා සිත්වලට එක එක ඇටය බැගින් තැබුව හොත් වී සියල්ල ම අවසන් වේය යනු එහි අදහසයි. යාළ නම් වී කරත්තයකි. මෙය එක් අසුරුසැණක උපදනා සිත්වල නියම ප්‍ර‍මාණය දැක්වීමක් නොව බහුභාවය දැක්වීමකි. නිශ්චිත වශයෙන් ම එහි ගණනක් නො දැක්විය හැකිය. එක් අසුරු සැණෙකදී එක් පුද්ගලයකුට මෙපමණ මහත් රාශියක් සිත් උපදීය යන්න මෙය කියවන්නවුන්ට නො පිළිගැණෙන කරුණකි. එය පිළි ගත හැකි වන්නේ චිත්ත තත්ත්වය ගැන වැඩිදුර උගෙනීමක් ලැබූ පසුවයි. ඒ තැනට පැමිණීමට උත්සාහ කෙරෙත්වා.

ලෝකය ඉතා විචිත්‍ර‍ ය. එහි විසිතුරු බව නම් එකිනෙකාට වෙනස් වූ අප්‍ර‍මාණ සත්ත්ව සමූහයක් හා එකිනෙකාට වෙනස් වූ වෘක්ෂලතාදි අප්‍ර‍මාණ වස්තු රාශියක් ඇති බව ය. සිත ද අරමුණේ සැටියට වෙනස් වූවකි. පොල් ගසක් අරමුණු කරන සිතට පුවක් ගසක් අරමුණු කරන සිත වෙනස් ය. කොස් ගසක් අරමුණු කරන සිත ඒ දෙකට ම වෙනස් ය. ගලක් අරමුණු කරන සිත ඒ තුනට ම වෙනස් ය. මෙසේ අරමුණෙන් අරමුණට ඇති වන සේ සිත් එකිනෙකට වෙනස් වන බැවින් ද ලොව ඇති හැම දෙයක් ම අරමුණු කරන සිත් ඇති වන බැවින් ද ලොව ඇති වස්තු ගණනට, පුද්ගල ගණනට එකිනෙකට වෙනස් සිත් ඇති වේ. එ බැවින් ලෝකය විචිත්‍ර‍ වන තරමට චිත්තය විචිත්‍ර‍ යයි කිය යුතුය. ලෝක විචිත්‍ර‍ත්වයේ ප්‍ර‍මාණයෙන් චිත්ත විචිත්‍ර‍ත්වය දැක්වීම මුහුදු ජලය ළිඳක ජලයට සම කිරීමක් වැනි ය. සත්‍ය වශයෙන් කියත හොත් ලෝක විචිත්‍ර‍ත්වයට වඩා ලක්ෂ ගුණයෙන් කෝටි ගුණයෙන් ප්‍රකෝටි ගුණයෙන් සිත ම විචිත්‍ර‍ය. ලෝකයෙහි ඇති එක් දෙයක් ගැන ඇති වන්නා වූ සිත් ද එකිනෙකට වෙනස් වන බැවිනි. එක ම වස්තුවක් ගැන දශ දෙනකුට ඇති වන සිත් දශය දශාකාර ය. සිය දෙනකුට ඇති වන සිත් සියය සියක් ආකාර ය. ලක්ෂයකට ඇති වන සිත් ලක්ෂය ලක්ෂාකාර ය. එක ම අරමුණක් ගැන එක ම සන්තානයක ඇති වන සිත ද දහස් වරක් ඇති වන්නේ දහස් ආකාරයකිනි. කරුණු මෙසේ හෙයින් සිත සේ විචිත්‍ර‍ වූ අනෙකක් ලොව නැත යයි කිය යුතුය. සත්ත්වයන් ගේ විසිතුරු බව ඇති වී තිබෙන්නේ ද සිතේ විසිතුරු බව නිසා ම ය.

සිත ඇසට නො පෙනෙන කයින් ස්පර්ශ කළ නො හෙන පරම සූක්ෂම ධර්මයක් වුව ද එහි මහා බලයක් ඇත්තේ ය. ලොව ඇති අන් සියල්ල ම සිතට යටත් ය. එහෙත් දුබල සිත ලොව ඇති සියල්ලට ම යටත් ය. අරමුණු නිසා එය නොයෙක් අතට පෙරලෙන්නේ ය. සත්ත්ව ලෝකය පවත්නේ සිත නිසා ය. සත්‍ය දර්ශනයක් නැත්තවුන්ට නම් සිත පමණ උතුම් වටිනා තවත් දෙයක් නැත. ඔහු එහි පරමාත්මය කොට ගෙන හැසිරෙති. සත්‍ය දර්ශනය ඇතියවුන්ට පෙනෙන සැටියට නම් සිත පමණ තවත් නපුරක් ද නැත. සැම දුක ම ඇත්තේ සිත ඇති නිසා ය. සිත නැතහොත් කවර දුකෙක් ද? එය ම නිවන ය. මිනිසා හොඳ මිනිසකු කරන්නේ ද නරක මිනිසකු කරන්නේ ද සිත ය. ඔහු දෙව්ලොවට බඹලොවට යවන්නේ ද නරකයට ප්‍රේත බවට තිරිසන් බවට යවන්නේ ද සිත ම ය. සත්ත්වයාට සියලු සැප සම්පත් ගෙන දෙන්නේ ද සිත ම ය. සියලු දුක් සියලු විපත් පමුණුවන්නේ ද සිත ම ය.

අසංඥ භවයේ සත්ත්වයන්ට හැර අන් සැම දෙනාට ම සිත ඇත්තේ ය. ඔවුන් සැම දෙය ම දැන ගන්නේ ද සිතිනි. සිතක් ඇති බව ද ඔහු සැම දෙන ම දනිති. එහෙත් සිතේ සැටි නම් ඔහු නො දනිති. ඇසින් ලෝකය බැලිය හැකිය. එහෙත් ඇසට ඒ ඇස නො පෙනෙන්නේ ය. පිහියෙන් අනෙකක් කැපිය හැකි ය. ඒ පිහියෙන් එය ම නම් නො කැපිය හැකිය. එමෙන් සිතින් අනෙකක් දත හැකිය. අනෙකක් දැන ගන්නා වූ දක්නා වූ සිත තමාගේ සැටි නො දන්නේ ය. තමා නො දක්නේ ය. අනෙකක් දැන ගත්තා වූ සිත දැක ගන්නට නම් තවත් සිතක් ඇති විය යුතුය. තවත් සිතක් ඇති වන කල්හි තිබුණු සිත නැත. එබැවින් සිතේ සැටි දැන ගැනීම අතිශයින් දුෂ්කර ය. සිතේ සැටි සොයා ගැනීමට බොහෝ වෙහෙස විය යුතුය.

සාමාන්‍යයෙන් එකක් වූ සිත කාමාවචර සිත ය, රූපාවචර සිත ය, අරූපාවචර සිත ය, ලෝකෝත්තර සිත ය කියා භූමීන් ගේ වශයෙන් සතරකට බෙදනු ලැබේ. අපාය සතර ය, මිනිස් ලොව ය, දිව්‍යලෝක සයය යන මේ භූමි එකොළොසට කාම භූමි යයි කියනු ලැබේ. ඒ එකොළොස් වැදෑරුම් කාම භූමියෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා කාම භූමියට අයත් වන සිත කාමාවචර නම් වේ. පසළොස් වැදෑරුම් රූප භූමියෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා රූප භූමියට අයත් සිත රූපාවචර නම් වේ. අරූප භූමි සතරෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා අරූප භූමියට අයත් වන සිත අරූපාවචර නම් වේ.

ලෝකෝත්තර භූමියක් ගැන කියතත් ලෝකෝත්තර භූමි යයි කියා තැනක් නැත. මේ චිත්ත විභාගයේ දී ලෝකෝත්තර ධර්මයන්ට ම ලෝකෝත්තර භූමිය යි කියනු ලැබේ. කියන ලද භූමි තුනට අයත් නැති ලෝකෝත්තර භූමියට අයත් සිත ලෝකෝත්තර නම් වේ.

ඇතැම් කාමාවචර සිත් රූපාරූප භූමීන්හි ද ඇති වේ. එසේ ම ඇතැම් රූපාවචර අරූපාවචර සිත් කාමාවචර භූමියෙහි ද ඇති වේ. මේ සිත්වලට කාමාවචරාදි නම් දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ ඒ භූමිවල ඇතිවීම සලකාගෙන ය. කාමාවචර සිතක් රූපාරූප භූමිවල ඇති වන කල්හි ද එයට කාමාවචර යන නාමය ම කියනු ලැබේ. රූපාවචර අරූපාවචර සිත් කාම භූමියෙහි ඇති වන කල්හි ද ඒවාට රූපාවචර අරූපාවචර යන නම් කියනු ලැබේ. ලෝකෝත්තර සිත් ඇති වන්නේ ද කාම රූප අරූප යන භූමි තුනෙහි ම ය. එහෙත් ඒ සිත් ඒ භූමිවලට අයත් නො වන බැවින් ඒවාට ලෝකෝත්තර යන නාමය ම ව්‍යවහාර කරනු ලැබේ.

කාමාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් කාම ලෝකයෙහි උපදනා සිතය යනුයි. රූපාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් රූප ලෝකයෙහි උපදනා සිතය යනුයි. අරූපාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් අරූප ලෝකයෙහි උපදනා සිතය යනුයි. ලෝකෝත්තර සිත යන්නෙහි තේරුම, ලෝකය ඉක්මවන්නා වූ ද, ලෝකය ඉක්ම සිටියා වූ ද සිතය යනුයි.

කාමාවචචරාදි සිත් තවත් ක්‍ර‍මවලින් බෙදනු ලැබේ. බෙදෙන ක්‍ර‍ම ඒ ඒ තැන්වලදී දැන ගත හැකි වනු ඇත. එසේ බෙදූ කල්හි කාමාවචර සිත් (54) සිවුපනසක් වේ. රූපාවචර සිත් (15) පසළොසෙක් වේ. අරූපාවචර සිත් (12) දොළොසෙක් වේ. ලෝකෝත්තර සිත් කෙටි ක්‍ර‍මයෙන් (8) අටක් ද, විස්තාර ක්‍ර‍මයෙන් (40) සතළිසක් ද වේ. සියල්ල එකතු කළ කල්හි කෙටි ක්‍ර‍මයෙන් (89) අසූනවයක් වේ. විස්තාර ක්‍ර‍මයෙන් (121) එකසිය විසි එකක් වේ.

සිත තනි ව උපදින දෙයක් නො වේ. තනි ව ඉපදිය හැකි ශක්තියක් ද එයට නැත. සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර‍ බවට පැමිණ එය හා එක වර ම ඉපද එකට පැවතී එකට ම බිඳෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේ ය. චෛතසික යයි කියනුයේ ඒවාය. සිත හා එකට ඉපදීම ය, එකට බිඳීම ය, එක අරමුණක් ඇති බවය, එක් වස්තුවක් ඇසුරු කොට පවත්නා බව ය යන මේ කරුණු සතර චෛතසිකයේ ලක්ෂණය යි පූර්වාචාර්‍ය්‍යවරයෝ පැවසූහ. චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය ප්‍ර‍කාශ කිරීමේ දී කසායෝපමා, මල්පොකුරු උපමා ආදිය ආචාර්‍ය්‍යවරයෝ දක්වති. ද්‍ර‍ව්‍ය නොවූ ක්‍රියා මාත්‍ර‍ම වූ චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය දැක්වීම ඒවායින් සිදුකළ හැකිය යි නො සිතමි. චිත්ත චෛතසික තත්ත්වය අප විසින් උපමාවෙන් දක්වන්නේ මෙසේ ය.

මිනිසකු ගෙයක සිට ගසක් වෙත යන කල්හි මිනිසා ගේ ගමන ක්‍රියාව හා එකවර පටන් ගෙන එකට පැවත එකවර අභාවප්‍රාප්ත වන්නාවූ කවර ආකාරයකින් වත් ඔවුනොවුන් වෙන් නො කළ හැකි සේ එකට බැඳී පවත්නා වූ සර්වාකාරයෙන් මිශ්‍ර‍ව පවත්නා වූ තවත් ක්‍රියා දෙකක් සිදු වේ. එනම් මිනිසා ගෙයින් ඈත් වීම හා ගසට ළං වීම ය. ගමන ක්‍රියාව සිදු කරන මිනිසාගේ පියවරක් පාසා ම ඔහුට ගෙය දුර වීමත් ගස ළං වීමත් සිදු වේ. යෑමේ පටන් ගැනීම දුර වීම්, ළං වීම් දෙකේ ද පටන් ගැනීම ය. යෑමේ පැවැත්ම දුර වීම, ලං වීම දෙකේ ද පැවැත්මය. යෑමේ නැවැත්ම දුර වීම් ළං වීම් දෙකේ නැවැත්ම ය. දුර වීම්, ළං වීම් දෙක සිදු නොවන්නට කවර ආකාරයකින් වත් යෑම නො කළ හැකිය. එබැවින් දුර වීම, ළං වීම, දෙකින් යෑම් හෝ යෑමෙන් දුර වීම්, ළං වීම් දෙක හෝ කවර ආකාරයකින් වත් වෙන් නො කළ හැකි ය.

එහෙත් දුර වීම් ළං වීම් දෙක සිදු වනුයේ ගමන ක්‍රියාව නිසා ය. එබැවින් ගමන ක්‍රියාව එහි ප්‍ර‍ධාන ය. ඉතිරි දෙක අප්‍ර‍ධාන ය. මේ අප විසින් චිත්ත චෛතසික තත්ත්වය දැක්වීමට ගන්නා වූ උපමාව ය. මේ උපමාව ද මඳක් ගැඹුරු ය. පළමු කොට උපමාව හොඳින් තේරුම් ගෙන පසුව අර්ථය හා සසඳා බලනු.

මෙහි ප්‍ර‍ධාන වූ ගමන ක්‍රියාව මෙන් සිත දත යුතුය. අප්‍ර‍ධාන වූ දුර වීම්, ළං වීම් දෙක මෙන් චෛතසික දත යුතු ය. දුර වීම්, ළං වීම් දෙක නො වන්නට ගමන ක්‍රියාව නො කළ හැකිවාක් මෙන් චෛතසිකයන්ගෙන් තොර ව සිතට නූපදිය හැකි බව දත යුතු ය. දුර වීම්, ලං වීම් දෙකින් ගමන ක්‍රියාව හෝ ගමන ක්‍රියාවෙන් දුර වීම්, ලං වීම් දෙක හෝ වෙන් නො කළ හැකිවාක් මෙන් චෛතසිකයෙන් සිත හෝ සිතින් චෛතසිකය හෝ වෙන් නො කළ හැකි බව දත යුතුය. ගමනය, දුරවීමය, ළංවීමය යන මේවා එකට පටන් ගෙන එකට පැවතී එකට නවත්නාක් මෙන් සිතේ හා චෛතසිකයන්ගේ එකට ඉපදීම ය, එකට පැවැත්මය, එකට බිඳීමය යන මේ තුන දත යුතු ය. ගමනාදී ක්‍රියා තුන, යන පුද්ගලයා ඇසුරු කොට පවත්නාක් මෙන් චිත්ත චෛතසිකයන් එක වස්තුවක් ඇසුරු කොට පවත්නා බව දත යුතු ය.

රූප යනු නොයෙක් අර්ථයන්හි වැටෙන නාමයකි. බොහෝ සෙයින් රූප යන නම ව්‍යවහාර කරනුයේ ශරීරවලට ය. ශරීර යන නම ද ලෙව්හි බොහෝ සෙයින් ව්‍යවහාර කරනුයේ දෙව් මිනිස් ආදි ජීවීන්ගේ ශරීරවලට ය. මෙහි ශරීරය යි කියනුයේ දික් බව, කෙටි බව, වට බව, සතරැස් බව ආදි සටහන් ඇත්තා වූ ද, කුඩා බැව් මහත් බැව් ආදි ප්‍ර‍මාණ ඇත්තා වූ ද, පැහැයක් ඇත්තාවූ ද, සත්ත්ව වූද, සත්ත්ව නොවූ ද, සියල්ලට ම ය. දෙවියා ගේ මිනිසාගේ තිරිසනා ගේ කය ද ශරීරයකි. ගලත් ගසත් වැලත් කොළයත් ගෙඩියත් ශරීරයෝ ම ය. ගින්නත් දියත් සුළඟත් අව්වත් ශරීරයෝ ම ය. චිත්ත චෛතසික ධර්මයෝ වනාහි ක්‍රියා මාත්‍ර‍ ම වන බැවින් හා සමූහ වී සටහනක් නො දක්වන්නවුන් බැවින් ශරීර නැත්තෝ ය, චිත්ත චෛතසිකයන් ශරීර නැතියවුන් බව:

‘දුරංගමං එකචරං - අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා’

යන තථාගත වචනයෙන් ද දැක්වේ. රූප පරමාර්ථ වූ පෘථිව්‍යාදීහු ක්‍රියා වුව ද බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම්කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් ද්‍ර‍ව්‍යයක් ඇති සේ දක්වන්නෝ ය. ලෝකයෙහි ද්‍ර‍ව්‍ය වශයෙන් හෙවත් ශරීර වශයෙන් සලකන සියල්ල ම පෘථිව්‍යාදි ධාතූන් ගේ සමූහයෝ ය. ද්‍ර‍ව්‍ය හෙවත් ශරීරය පරමාර්ථ වශයෙන් ඇතියක් නො වේ. ඇති සැටියට පෙනෙන ද්‍ර‍ව්‍යයක තතු සොයන්නකුට ඒවායින් සත්‍ය වශයෙන් ඇති දෙය සැටියට ලැබෙනුයේ පෘථිව්‍යාදි ධාතු සමූහයකි. ඒවා ද්‍ර‍ව්‍ය නො වතුදු ශරීර නො වතු දු ශරීරයන් සේ පෙනෙන බැවින් ශරීරයන් හැඳින්වීමට ව්‍යවහාර කරන රූප යන නාමය ඒවාට ද කියනු ලැබේ.

පරමාර්ථ ධර්මයෝ නාම රූප වශයෙන් දෙවැදෑරුම් වෙති. ඒවායින් ශරීර සංඛ්‍යාත රූපයක් නො ලැබෙන චිත්ත චෛතසික නිර්වාණ යන පරමාර්ථ ධර්ම තුනට ශරීරය බලා නො දත හැකි බැවින් නම පමණක් අසා නමේ අනුසාරයෙන් ම දත යුතු වන බැවින් නාමය යි කියනු ලැබේ. බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම් කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් රූපයක් පෙනෙන්නා වූ පරමාර්ථ ධර්ම කොටස ඒ රූපය බලා රූපයාගේ අනුසාරයෙන් දත හැකි බැවින් ඒවාට රූපය යි කියනු ලැබේ. කොටින් කියත හොත් සමූහ වී ශරීර සංඛ්‍යාත රූපයක් දක්වන්නා වූ පරමාර්ථ ධර්ම කොටස රූපයෝ ය. මේ එක්තරා ක්‍ර‍මයකින් රූප පරමාර්ථය හැඳින්වීමකි.

තථාගතයන් වහන්සේ විසින් රූපය හඳුන්වා තිබෙන්නේ, රූප යන වචනය විස්තර කර තිබෙන්නේ ගැඹුරු ක්‍ර‍මයකිනි. ‘රුප්පතීති ඛො භික්ඛවෙ! තස්මා රූපන්ති වච්චති’ යනු තථාගතයන් වහන්සේ විසින් රූපය වර්ණනා කළ ආකාරයයි. ‘මහණෙනි, රුප්පනය වන බැවින් රූප නම් වේය’ යනු එහි තේරුම යි. දැන් දත යුත්තේ රුප්පනය යනු කුමක් ද කියා ය. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ‘රුප්පති’ යන තථාගත වචනය කාමසූත්‍ර‍ය වර්ණනා කිරීමේ දී වර්ණනා කර තිබෙනුයේ ‘කුප්පති ඝට්ටීයති පීලියති’ යන වචනවලිනි. ඒ වචනවල තේරුම ‘කිපේය, විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලබා ය, විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පෙළනු ලබා ය’ යනුයි. එහි සැටියට රූපය කවරෙක් දැ යි කියත හොත් කිය යුත්තේ කිපෙන්නා වූ විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලබන්නා වූ විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පෙළනු ලබන්නා වූ ධර්මය රූපය කියා ය.

එහි විරුද්ධ ප්‍ර‍ත්‍යය නම් ශීතෝෂ්ණාදිය ය. රූපයා ගේ කිපීම වනාහි නයාගේ කිපීම, කොටියාගේ කිපීම, රජුගේ කිපීම වැන්නක් නොව සෙම කිපුණේය, වාතය කිපුණේය, පිත කිපුණේය යනාදීන් හි කියැවෙන කිපීම බඳු කිපීමකි. ඒ කිපීම විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලැබීමේ හා පෙළනු ලැබීමේ ඵලයකි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් හා අන්‍ය ධර්මයකගේ ප්‍ර‍හාරයට ලක් වීමට තරම් කාලයක් නො පවත්නා බැවින් ද ඒවායේ රුප්පනයක් නැත. රූපයාගේ ජීවන කාලය ජීවන කාලයට වඩා සොළොස් ගුණයක් දික් බැවින් විරුද්ධ ප්‍ර‍ත්‍යයා ගේ ප්‍ර‍හාරයට ඒවා ලක් වේ. එබැවින් රුප්පනයක් ඇත්තේ රූපයන්හි පමණෙකි.

රූප උපදිනුයේ කලාප හෙවත් සමූහ වශයෙනි. තමන් නිරුද්ධ වන්නට මත්තෙන් තමන්ගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීම බොහෝ රූප කලාපයන්ගේ ස්වභාවයකි. විරුද්ධ ප්‍ර‍ත්‍යයාගේ ප්‍ර‍හාරයට ලක් වූ රූපකලාපයෝ තමන්ගේ පරම්පරාවට තමන් හා සමාන රූප කලාප ඉපදවීමට අසමත් වෙති. ඉටිපන්දමක රූප කලාපයන්ට උණුසුම නමැති විරුද්ධ ප්‍ර‍ත්‍යය සැපුණ හොත් ඒවා තමන් හා සමාන කැටි වූ රූප කලාප ඉපදවීමට අසමත් වේ. එබැවින් උණුසුම ස්පර්ශ වීමෙන් පසු ඒවාට ඉපදවිය හැකි වන්නේ තමන් හා

සම නොවූ දියාරු රූප කලාපයෝ ය. මෙහි කිපීම යයි කියන ලදුයේ ඒ තමන් හා සමාන රූප ඉපදවීමට අසමත් බවට පැමිණීමට ය. කලින් කැටිව තිබූ ඉටිවල දියාරු බවට පැමිණීමට නො වේ. ඉටි දියාරු බවට පැමිණීම කලින් කැටිව තිබූ ඉටිවල රුප්පනයේ ඵලයකි. රුප්පනය රූපයා ගේ අවස්ථාන්තරයකට පැමිණීම යයි ගැනීම ධර්ම විරෝධ ය. පරමාර්ථ ධර්මයකට ඇත්තේ උත්පාදය, ස්ථිතිය, භංගය කියා අවස්ථා තුනකි. සතර වන අවස්ථාවක් ඒවාට නැත. ශීතෝෂ්ණාදියේ ස්පර්ශයෙන් තිබෙන රූපයක් අන්‍යාකාරයකට අන්‍යාවස්ථාවකට පැමිණේ යයි කියත හොත් එය රූපයාගේ සතර වන අවස්ථාවක් ඇති බව කීම ය. එ බන්දක් නො ලැබෙන බැවින් එසේ නො ගත යුතුය. මෙය තේරුම් ගැනීම තරමකට අමාරු ගැඹුරු කරුණෙකි. මෙය මෙ පමණ දිගට කියන ලදුයේ බොහෝ පොත්වල ද අවුල් කර තිබෙන බැවිනි. මෙය නැවත නැවත කියවා හොඳින් කාරණය තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා.

නිර්වාණය වනාහි ආර්යයන් ගේ පරම විශුද්ධ ලෝකෝත්තර ඥානයට මිස සෙස්සන් ගේ දුබල ඥානයට හොඳින් අසු නොවන්නා වූ ඇති වීමක් නැතිව ඇත්තා වූ, නො දිරන්නා වූ, නොබිඳෙන්නා වූ, සෑම කල්හි ම පවත්නා වූ, අනන්තාපරිමාණ ගුණයන් ගෙන් යුක්ත වූ, පරම සූක්ෂම වූ පරම ගම්භීර වූ එක්තරා සුඛස්වභාවයෙකි. ආගම් අදහන්නවුන් විසින් ඒ ඒ ආගමට අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන්නා වූ ඉතා උසස් දෙයක් සෑම දෙනාට ම ඇත්තේ ය. බුද්ධාගම ඇදහීමෙන් බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන ඉතා ම උසස් දෙය මේ නිර්වාණය ය. බුදුන් වහන්සේ කේවට්ට නම් ගෘහපතියාට නිවන හඳුන්වනු පිණිස මේ ගාථා දෙක වදාළ සේක.

‘විඤ්ඤාණං අනිදස්සනං - අනන්තං සබ්බතො පහං
එත්ථ ආපො ච පඨවි - තෙජො වායො න ගාධති,

එත්ථ දීඝඤ්ච රස්සඤ්ච - අණුං ථූලං සුභාසුභං
එත්ථ නාමඤ්ච රූපඤ්ච - අසෙසං උපරුජ්ඣති.
විඤ්ඤාණස්ස නිරෝධෙන - එත්ථෙතං උපරුජ්ඣති.’

‘පටන් ගැනීම, අවසන් වීම් ආදි කොන් නැත්තා වූ හැම කර්මස්ථාන මාර්ගයකින් ම යා හැකි බැවින් හැම පැත්තෙන් ම බැස ගැනීමට තොට ඇත්තා වූ ඇසට නො පෙනෙන්නා වූ ඥානයෙන් ම දත යුතු වූ තැනක් ඇත. හැම තැනම ඇත්තා වූ ආපෝ පඨවි තේජෝ වායෝ යන මේ ධාතූහු එහි නැත. හැම තැනම ඇත්තා වූ ද දික් වූ ද කොට වූ ද කුඩා වූ ද මහත් වූ ද හොඳ වූ ද නොහොඳ වූ ද වස්තූහු එහි නැත. එයට පැමිණ නාම රූප දෙක ඉතුරු නැතිව ම නිරුද්ධ වේ. අන්තිම විඥානයාගේ නිරෝධයෙන් නොහොත් කර්ම විඥානයාගේ නිරෝධයෙන් එයට පැමිණ නාම රූප සියල්ල ම නිරුද්ධ වේ ය’ යනු එහි තේරුම යි.

මේ දේශනයෙහි ‘විඤ්ඤාණ’ යන වචනය දෙතැනක යෙදී තිබේ. එයින් අගට යෙදී තිබෙන විඤ්ඤාණ යන්නෙන් කියැවෙන්නේ සිත ය. මුල යෙදී තිබෙන විඤ්ඤාණ යන වචනයෙන් කියැවෙන්නේ නිවන ය. ඇතැම්හු මෙය තේරුම් නො ගෙන නිවනෙහි විඤ්ඤාණයක් ඇත ය කියා හෝ විඤ්ඤාණය ම නිවන ය කියා හෝ වරදවා ගනිති. එය බුද්ධ මතයට විරුද්ධ බව දෙ වන ගාථාවේ ‘එත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති’ යනුවෙන් හොඳට ම පැහැදිලිය. සිත නම් නාමයෙකි. නාම රූප දෙක ම ඉතිරි නොව ම නිරුද්ධ වන තැන යයි දැක්වුණ නිවනෙහි තවත් විඤ්ඤාණයක් කොයින් ඉතිරි වේ ද? දුඃඛයෙන් අමිශ්‍ර‍ වූ ශුද්ධ විඤ්ඤාණය ම නිවනය යි කියත හොත් සතර වන පරමාර්ථය නැති වී පරමාර්ථ තුනක් පමණක් වීමෙන් ධර්ම විරෝධයක් වන්නේ ය. එබැවින් එසේ ගැනීම ද නො මැනවි.

මෙහි චිත්තය කියැවෙන විඤ්ඤාණ පදය ‘විජානාතීති විඤ්ඤාණං’ යි කර්තෘ සාධන වශයෙන් ද ‘විජානාති එතෙනාති විඤ්ඤාණං’ යි කරණ සාධන වශයෙන් ද, ‘විජානනං විඤ්ඤාණං’ යි භාව සාධන වශයෙන් ද විග්‍ර‍හ කරනු ලැබේ. නිර්වාණය කියැවෙන විඤ්ඤාණ යන්න ‘විජානිතබ්බන්ති විඤ්ඤාණං’ යි කර්ම සාධන වශයෙන් විග්‍ර‍හ කළ යුතුය. එහි යු ප්‍ර‍ත්‍යය කර්මාර්ථයෙහි ය. පාන භෝජන යනාදි වචනයන්හි මෙනි. පළමුවන ගයෙහි ‘අනිදස්සනං’ යනුවෙන් නිර්වාණ ධාතුව ඇසට නොපෙනෙන බව දක්වන ලදී. ඇසට නො පෙනෙන නමුත් එය ඤාණයෙන් දැකිය හැකි බව ‘විඤ්ඤාණං’ යන වචනයෙන් දක්වන ලදී. ‘අනන්තං’ යන වචනයෙන් නිර්වාණයා ගේ

සර්වකාලිකත්වය හා සර්වව්‍යාපිකත්වය දක්වන ලදී. සංස්කාරයෝ වනාහි පෙර නො තිබී ඉපද ඉපද බිඳී යන්නෝ ය. එබැවින් ඒවාට පටන් ගැනීම වූ මුල් කොන ද ඇත්තේ ය. අවසාන වූ අන්තිම කොන ද ඇත්තේ ය. හාත්පස පරිච්ඡේදය වූ පරිච්ඡේදාන්තය ද ඇත්තේ ය. පරම්පරාවන් ගේ කෙළවර වූ සන්තත්‍යන්තය ද ඇත්තේ ය. ‘අසවල් කාලයෙන් පෙර නිවන නො පැවැත්තේය. එය ඇත්තේ අසවල් කාලයේ පටන්ය’ යි දැක්වීමට නිවනට පටන් ගැනීම වූ පූර්වාන්තය ද නැත. එය කිසි කලෙක දිරා බිඳී අතුරුදහන් නොවන බැවින් එයට අවසාන කොන වූ අපරාන්තය ද නැත්තේය. යමක ඒ කොන් දෙක නො ලැබේ නම් එය සර්වකාලික ය. නිවනෙහි ඒ දෙක නො ලැබෙන බැවින් එය සර්වකාලික ය. සංස්කාරයන්ට පර්යන්ත පරිච්ඡේදයක් ඇත්තේ ය. හැම සංස්කාරයක් ම පවත්නේ තම තමාට අයත් වූ ඒ පර්යන්ත පරිච්ඡේදය තුළ ය. ඒ පරිච්ඡේදයෙන් ඔබ ඒවා නැත. නිවනට එබඳු පර්යන්ත පරිච්ඡේදයක් නැත. එබැවින් එය සැම තන්හි ම ඇතියකැ යි කීම යුතුය. නිවන ඇතත් එය ද්‍ර‍ව්‍යයක් නොවන බව හා එහි සටහනක් නො ලැබෙන බවද ‘එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අණුං ථූලං සුභාසුභං’ යනුවෙන් දක්වන ලදී. කියන ලද දේශනයෙන් දැක්වෙන සැටියට නිවන ඇසට නො පෙනෙන නුවණට පමණක් ඇති බව දැනෙන සටහන් නැත්තා වූ හැම තන්හි ම ලැබෙන්නා වූ ඉපදීමක් බිඳීමක් නැත්තා වූ සර්වකාලික වූ දුරනුබෝධ සූක්ෂ්ම ධර්මයක් බව කිය යුතුය. එය ලෞකික ඤාණයට දැනෙන්නේ ද අනුමාන වශයෙනි.

තවද පහත ලිපි අභිධර්මයේ වැදගත්කම මනාව පැහැදිළි කරයි.

මූලාශ්‍රය - රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය

අභිධර්මය බුද්ධ දේශනාවක් නොවෙයි කිව්වොත් බුද්ධ චරිතයේ සමහර කාරණා වෙනස් කරන්න වෙනවා නේද? මව්තුමියට සලකන්න තව්තිසා දෙව්ලොවට වැඩම වීම වාගේ කොටස් අයින් කරන්නත් වෙනවා නේද? අභිධර්මය බුද්ධ දේශනාවක් නොවෙයි කියන්නේ ඒ ඒ අය ලබාගෙන තිබෙන දැනුම අනුවයි.

මේ පිරිසුදු ධර්මය බුදු සසුනෙන් පිටත වෙන කොතනකවත් දකින්නට නැහැ. සූත්‍ර පිටකයේ තිබෙන බොහෝ කරුණු අභිධර්ම පිටකයේ තිබෙන ඒවා. ඒ වුණාට ඒ ධර්ම අභිධර්ම පිටකයේ මෙන් විස්තර කරල නැහැ. ක්‍රමානුකූලව විභාග කරලත් නැහැ. පැහැදිලි කරලත් නැහැ. ඒ නිසා බුද්ධ ධර්මය ගැන සම්පූර්ණ දැනුමක්, නිරවුල් දැනුමක් සූත්‍ර පිටකය පමණක් ඉගෙනීමෙන් ලබා ගන්න බැහැ. ධර්ම කථිකයෙකු වන්න, නිරවුල් ලෙස ධර්ම දේශනාවක් කරන්න අභිධර්මය ඉගෙන ගන්න ඕනෑ. ධර්ම දේශනාවක වරද නිවරද සොයා ගැනීමට ඇද කුද සොයා ගැනීමට අඩුවැඩිකම සොයා ගැනීමට ඇති නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්මයයි. අභිධර්මය නොදැන කරන ධර්ම දේශනාව දිග් නූල, ලඹය, මට්ටම් ලෑල්ල, කෝදූලීය පාවිච්චි නොකොට හදන ගෙයක් වගෙයි.

.... කියවන්න.

සම්පාදක - පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

“යො වො ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දෙසිතෝ පඤ්ඤත්තෝ, සො වො මමච්චයෙන සත්ථා” - (මහාපරිනිබ්බාණ සූත්‍රය)

යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් ඇ‍ඳෙහි වැතිර හිඳ අනඳ මාහිමිපාණන් වහන්සේ අමතා ලෝකසත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් දේශනා කර වදාළ බුද්ධ අවවාදය අනුව ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් අප සැමදෙනාට තථාගත දේශිත බුද්ධ වචනය ශාස්තෘන් වහන්සේ වන්නේය.

ඒ තථාගත බුද්ධ වචනය රස වශයෙන් එකම එක විමුක්ති රසයක් ඇති අතර ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වන බව ද, විනය සූත්‍ර අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයක් වන බව ද,

.... කියවන්න.

මූලාශ්‍රය - රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය

“නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නේ එයට පැමිණියා වූ ආර්යයන් වහන්සේලා පමණි. පෘථග්ජනයන් විසින් උන් වහන්සේලාගේ වචනානුසාරයෙන් දත යුතු වේ. උන්වහන්සේලාට එය පෘථග්ජනයන්ට සුවසේ අවබෝධ වන පරිදි ප්‍රකාශ කිරීමට වචන නැත්තේ ය. කුමක් හෙයින්ද යතහොත් ලෝක ව්‍යවහාරයෙහි ලෝකයා විසින් නො දන්නා ලද අර්ථයන් ප්‍රකාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක ව්‍යවහාරයෙහි වූ වචන වනාහී පළමු කොට අර්ථය දැන දන්නා ලද අර්ථය ප්‍රකාශ කිරීම සඳහා පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහු වෙති. නිර්වාණයෙහි වූ ගුණයන් ප්‍රකාශ කළ හැකි වචන වනාහී ලෝක ව්‍යවහාරයේ බොහෝ වෙති. එබැවින් ආර්යන් වහන්සේලා ඒ ඒ නිර්වාණ ගුණයන් නිමිත්ත කොට ගුණ වාචක ශබ්ද වලින් ගුණීභූත නිර්වාණය ප්‍රකාශ කළහ. උන්වහන්සේලා විසින් ඒ සඳහා ප්‍රකාශිත වචන බොහෝ වෙති.

.... කියවන්න.