මුලික අර්ථදැක්වීම්

කෙටියෙන් :- සිතට දැනෙන, හසුවන ,ගන්නා දේවලින් සත්‍යය වශයෙන් ඇත්තා වූ අර්ථයෝ.

සවිස්තරව:- සිතට දැනෙන සිතට හසුවන සිතින් ගන්නා යමක් වේ නම් ඒ සියල්ලට ම අර්ථය යි කියනු ලැබේ. එක් සිතකට තවත් සිතක් දැනෙන බැවින් සිත ද අර්ථය වේ. සාමාන්‍යයෙන් එකක් වූ ඒ අර්ථය හීනාර්ථයය, පරමාර්ථයයි දෙකොටසකට බෙදේ. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් සිතට දැනෙන දෙය ඉතා මහත් දෙයක් හැටියට දැනුණත් ඒ දැනුණු දෙය සත්‍යය වශයෙන් නැති දෙයක් විය හැකිය. මෙය හීනාර්ථයය නම් වේ.ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් දැනෙන දෙය ඉතා සියුම් අප්‍ර‍කට දෙයක් වුවද එය සත්‍යය වශයෙන් ඇති දෙයක් විය හැකිය.මෙය පරමාර්ථය නම් වේ. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැළිය හැකි නම් මුලින් පෙනුණු දෙය සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නොව හීනාර්ථයක් බව දත යුතු ය.එකක් වශයෙන් සිතට පෙනුණු දෙයක් බෙද බෙදා බලන කල්හි අන්තිමට නො බෙදිය හැකි දෙයක් ලැබෙන තුරු බෙදනු. අන්තිමට ලැබෙන්නා වූ නො බෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ඇති දෙය බැවින් එය පරමාර්ථයයි දත යුතුය.සම්මුතිය, පඤ්ඤත්තිය යන වචන දෙක ද හීනාර්ථය ප්‍ර‍කාශ කිරීම සඳහා භාවිත කරන වචන දෙකකි.

උදාහරණය:- මේසය යන වචනය ඇසුණු කල්හි එයින් විශාල වස්තුවක් සිතට දැනෙයි. එය වැඩිදුර විමසා බැලුවහොත් එහි කෙලින් තැබූ ලී කැබලි සතරක් ද, ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමට යෙදූ ලී කැබෙලි සතරක් ද, ඒවා මත අතුළ ලෑලි කැබලි කීපයක් ද, ඇණ ටිකක් ද, දැකිය හැකිය. ඒවායින් එක් දෙයකුදු මේසය නො වේ. ඒ සියල්ල ද මේසය නොවේ. ඒ සියල්ල මේසය නම්, ඒ සියල්ල මිටියක් බැඳ තැබූ කල්හි ද ඒ ලී මිටිය මේසයක් විය යුතුය. එසේ නො වන්නේ ඒ සියල්ල මේසය නොවන බැවිනි. ලී කැබෙලි ටික හැර මේසය කියා දෙයක් ද නැත. මේසය යන වචනය ඇසීමෙන් සිතට දැනුණු දෙය ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ කළ කල්හි ඒ ලී කැබලිවල සම්බන්ධ වී තිබෙන ආකාරය අනුව ඇති සැටියට සිතට හැඟෙන සත්‍ය වශයෙන් නො ලැබෙන දෙයකි. අප භාවිත කරන වචනවලින් බොහෝවක් ම ඇසුණු කල්හි ඒවායින් සිතට දැනෙන අර්ථ, මේසය යන වචනයෙන් දැනෙන අර්ථය සේම සත්‍යය වශයෙන් නො ලැබෙන්නා වූ අර්ථයෝය. චිත්ත, ඵස්ස, වේදනා, පඨවි, ආපෝ, තේජෝ ආදි වචන ඇසුණු කල්හි දැනෙන අර්ථ නො බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් ඇත්තා වූ පරමාර්ථයෝ ය. මේසය, පුටුව, ඇඳ, පිඟාන, කෝප්පය, රෙද්ද, ගස, ගල, ගොනා, මිනිසා, දෙවියා යනාදි වචනානුසාරයෙන් දැනෙන අර්ථයෝ බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් නැත්තා වූ හීනාර්ථයෝ ය.

අමතර කරුණු:- අභිධර්ම පොත්වල දක්නා ලැබෙන ප්‍ර‍මාණයෙන් නම් ඇත්තේ පරමාර්ථ ධර්ම දෙ අසූවකි(82). ඒ දෙ අසූව කොටින් කියන කල්හි චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කියා සතරකට බෙදේ .පරමාර්ථ ධර්මයෝ යි කියනු ලබන චිත්ත චෛතසික රූපයෝ තත්පරයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණට වත් ආයු නැත්තා වූ ක්‍රියාවෝ ය.

පරමාර්ථ

කෙටියෙන්:- චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය.

සවිස්තරව:- ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය යන මේ ස්ථානයන්හි සිත පහළ වේ. එය(දැනීම) ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද ව්‍යවාහර කරනු ලැබේ.

උදාහරණය:- ඇසෙහි රූපයක් ගැටුණු කල්හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. එය ප්‍ර‍කාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය දැකීමය යන වචන ව්‍යවහාර කරති. ඇසට හමුවීමෙන් යමක් දත් කල්හි පෙනුණේය කියා හෝ දුටුයේය කියා හෝ කියති.වචනය අනෙකක් වුවද එයින් හඟවන්නේ දැනීම මය, හෙවත් සිත ම ය. කනෙහි ශබ්දයක් ගැටුණු කල්හි, ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එයට හඬ දැනුම ය යි නො කියා ඇසීමය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිතය. පඤ්චප්‍ර‍සාද සම්බන්ධයක් නැතිව සිතක් ඇති වූ කල්හි සමහර විට සිතුණේය යි කියති. සමහර විට දැනුණේය, කල්පනා වුණේය, ඕනෑ වුනේය, වැටහුණේ ය, තේරුණේය, හැඟුණේය යනාදි වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය.කරුණු මෙසේ හෙයින් දැකීමය, පෙනීමය, ඇසීමය, ගඳය, සුවඳය, තිත්තය, කසටය, ශීතය, උෂ්ණය, කල්පනාවය, ඕනෑකමය යනාදි වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්තපරමාර්ථය යි දත යුතුය.

අමතර කරුණු:- පෝර ලැබෙන ලැබෙන සැටියට වැලක අගින් දලු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අළුත් අළුත් සිත් පහළ වේ.එක් සන්තානයක එකවර සිත් දෙකක් පහළ නොවන බැවින් ශරීරයේ කොතැනක සිත පහළ වුව ද පහළ වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින්ම පහළ වන බව දත යුතුය. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නූපදී. ආරම්මණාදි හේතූන්ට සිත ඉපද විය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල්හි පමණෙකි. එබැවින් සිත් ඇති වීමේ ප්‍ර‍ධාන හේතුව ආරම්මණය නොව පැවත එන සිත් පරම්පරාව බව දත යුතුය. අරමුණක් නැති ව සිතට ඇති විය නොහෙන බැවන් අරමුණ ද සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිය යුතුය. සිතකට උපදනා කාලයය, පවත්නා කාලයය, බිඳෙන කාලයය යි කාල තුනක් ඇත්තේ ය. ඒ තුන් කාලය ප්‍ර‍මාණයෙන් සමය. එකකවත් දිගින් අඩු වැඩි කමක් නැත. රූප පරමාර්ථයන්ගේ ජීවන කාලය සිත මෙන් සතළොස් ගුණයකි. සිතේ ඉපදීමට උත්පාදය යි ද, පැවැත්වීමට ස්ථිතිය යි ද, අභාවප්‍රාප්තියට භංගය යි ද කියනු ලැබේ. උත්පාදස්ථිති භංග යන මේ තුන් කාලයට චිත්තක්ෂණය යි කියනු ලැබේ. සිතක ජීවන කාලය, ඇසිපිය හෙළන කාලයෙන් කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.

කෙටියෙන්:- සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර‍ බවට පැමිණ එය හා එක වර ම ඉපද එකට පැවතී එකට ම බිඳෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසට චෛතසික යයි කියනු ලබයි.

සවිස්තරව:- සිත තනි ව උපදින දෙයක් නො වේ. තනි ව ඉපදිය හැකි ශක්තියක් ද එයට නැත. සිත හා එකට ඉපදීම ය, එකට බිඳීම ය, එක අරමුණක් ඇති බවය, එක් වස්තුවක් ඇසුරු කොට පවත්නා බව ය යන මේ කරුණු සතර චෛතසිකයේ ලක්ෂණය යි පූර්වාචාර්‍ය්‍යවරයෝ පැවසූහ.

උදාහරණය:- මිනිසකු ගෙයක සිට ගසක් වෙත යන කල්හි මිනිසා ගේ ගමන ක්‍රියාව හා එකවර පටන් ගෙන එකට පැවත එකවර අභාවප්‍රාප්ත වන්නාවූ කවර ආකාරයකින් වත් ඔවුනොවුන් වෙන් නො කළ හැකි සේ එකට බැඳී පවත්නා වූ සර්වාකාරයෙන් මිශ්‍ර‍ව පවත්නා වූ තවත් ක්‍රියා දෙකක් සිදු වේ. එනම් මිනිසා ගෙයින් ඈත් වීම හා ගසට ළං වීම ය. ගමන ක්‍රියාව සිදු කරන මිනිසාගේ පියවරක් පාසා ම ඔහුට ගෙය දුර වීමත් ගස ළං වීමත් සිදු වේ. යෑමේ පටන් ගැනීම දුර වීම්, ළං වීම් දෙකේ ද පටන් ගැනීම ය. යෑමේ පැවැත්ම දුර වීම, ලං වීම දෙකේ ද පැවැත්මය. යෑමේ නැවැත්ම දුර වීම් ළං වීම් දෙකේ නැවැත්ම ය. දුර වීම්, ළං වීම් දෙක සිදු නොවන්නට කවර ආකාරයකින් වත් යෑම නො කළ හැකිය. එබැවින් දුර වීම, ළං වීම, දෙකින් යෑම් හෝ යෑමෙන් දුර වීම්, ළං වීම් දෙක හෝ කවර ආකාරයකින් වත් වෙන් නො කළ හැකි ය.එහෙත් දුර වීම් ළං වීම් දෙක සිදු වනුයේ ගමන ක්‍රියාව නිසා ය. එබැවින් ගමන ක්‍රියාව එහි ප්‍ර‍ධාන ය. ඉතිරි දෙක අප්‍ර‍ධාන ය. මේ අප විසින් චිත්ත චෛතසික තත්ත්වය දැක්වීමට ගන්නා වූ උපමාව ය. මෙහි ප්‍ර‍ධාන වූ ගමන ක්‍රියාව මෙන් සිත දත යුතුය. අප්‍ර‍ධාන වූ දුර වීම්, ළං වීම් දෙක මෙන් චෛතසික දත යුතු ය. දුර වීම්, ළං වීම් දෙක නො වන්නට ගමන ක්‍රියාව නො කළ හැකිවාක් මෙන් චෛතසිකයන්ගෙන් තොර ව සිතට නූපදිය හැකි බව දත යුතු ය. දුර වීම්, ලං වීම් දෙකින් ගමන ක්‍රියාව හෝ ගමන ක්‍රියාවෙන් දුර වීම්, ලං වීම් දෙක හෝ වෙන් නො කළ හැකිවාක් මෙන් චෛතසිකයෙන් සිත හෝ සිතින් චෛතසිකය හෝ වෙන් නො කළ හැකි බව දත යුතුය. ගමනය, දුරවීමය, ළංවීමය යන මේවා එකට පටන් ගෙන එකට පැවතී එකට නවත්නාක් මෙන් සිතේ හා චෛතසිකයන්ගේ එකට ඉපදීම ය, එකට පැවැත්මය, එකට බිඳීමය යන මේ තුන දත යුතු ය. ගමනාදී ක්‍රියා තුන, යන පුද්ගලයා ඇසුරු කොට පවත්නාක් මෙන් චිත්ත චෛතසිකයන් එක වස්තුවක් ඇසුරු කොට පවත්නා බව දත යුතු ය.

කෙටියෙන්:- බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම් කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් රූපයක් පෙනෙන්නා වූ පරමාර්ථ ධර්ම කොටස, ඒ රූපය බලා රූපයාගේ අනුසාරයෙන් දත හැකි බැවින් ඒවාට රූපය යි කියනු ලැබේ.

සවිස්තරව:- තථාගතයන් වහන්සේ විසින් රූපය හඳුන්වා තිබෙන්නේ “මහණෙනි, රුප්පනය වන බැවින් රූප නම් වේය”.”රුප්පනය” යේ අර්ථයේ සැටියට රූපය කවරෙක් දැ යි කියත හොත් කිය යුත්තේ කිපෙන්නා වූ විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලබන්නා වූ විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පෙළනු ලබන්නා වූ ධර්මය රූපය කියා ය.චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් හා අන්‍ය ධර්මයකගේ ප්‍ර‍හාරයට ලක් වීමට තරම් කාලයක් නො පවත්නා බැවින් ද ඒවායේ රුප්පනයක් නැත. රූප උපදිනුයේ කලාප හෙවත් සමූහ වශයෙනි. තමන් නිරුද්ධ වන්නට මත්තෙන් තමන්ගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීම බොහෝ රූප කලාපයන්ගේ ස්වභාවයකි. විරුද්ධ ප්‍ර‍ත්‍යයාගේ ප්‍ර‍හාරයට ලක් වූ රූපකලාපයෝ තමන්ගේ පරම්පරාවට තමන් හා සමාන රූප කලාප ඉපදවීමට අසමත් වෙති.

උදාහරණය:- ඉටිපන්දමක රූප කලාපයන්ට උණුසුම නමැති විරුද්ධ ප්‍ර‍ත්‍යය සැපුණ හොත් ඒවා තමන් හා සමාන කැටි වූ රූප කලාප ඉපදවීමට අසමත් වේ. එබැවින් උණුසුම ස්පර්ශ වීමෙන් පසු ඒවාට ඉපදවිය හැකි වන්නේ තමන් හා සම නොවූ දියාරු රූප කලාපයෝ ය. මෙහි කිපීම යයි කියන ලදුයේ ඒ තමන් හා සමාන රූප ඉපදවීමට අසමත් බවට පැමිණීමට ය. කලින් කැටිව තිබූ ඉටිවල දියාරු බවට පැමිණීමට නො වේ. ඉටි දියාරු බවට පැමිණීම කලින් කැටිව තිබූ ඉටිවල රුප්පනයේ ඵලයකි.

අමතර කරුණු:- රුප්පනය රූපයා ගේ අවස්ථාන්තරයකට පැමිණීම යයි ගැනීම ධර්ම විරෝධ ය. පරමාර්ථ ධර්මයකට ඇත්තේ උත්පාදය, ස්ථිතිය, භංගය කියා අවස්ථා තුනකි. සතර වන අවස්ථාවක් ඒවාට නැත. ශීතෝෂ්ණාදියේ ස්පර්ශයෙන් තිබෙන රූපයක් අන්‍යාකාරයකට අන්‍යාවස්ථාවකට පැමිණේ යයි කියත හොත් එය රූපයාගේ සතර වන අවස්ථාවක් ඇති බව කීම ය. එ බන්දක් නො ලැබෙන බැවින් එසේ නො ගත යුතුය. ශරීර සංඛ්‍යාත රූපයක් නො ලැබෙන චිත්ත චෛතසික නිර්වාණ යන පරමාර්ථ ධර්ම තුනට ශරීරය බලා නො දත හැකි බැවින් නම පමණක් අසා නමේ අනුසාරයෙන් ම දත යුතු වන බැවින් නාමය යි කියනු ලැබේ.

කෙටියෙන්:- රාගාදී කෙලෙස් හා ජාති ජාරා මරණ ආදි තොර වූ ශාන්ත බාවය නිර්වාණය. චිත්ත, චෛතසික හා රුප නැති අවස්තාව ලෙසද සැලකිය හැක.

අමතර කරුණු:- චිත්ත, චෛතසික හා රුප ප්‍රාත්‍යයෙන්/හේතුවකින් ඇති කරන බැවින් සංකත ධර්ම යයි කියනු ලැබේ. නිර්වාණ ධාතුව හේතුවකින් හට ගැනීමක් නැති ධර්මයකි . එහෙඉන් එය අසංකත ධර්මයකි. එම නිසා එය සදාකාලිකය.

චිත්තයේ ප්‍රභේද

කෙටියෙන්:-භවයාගේ පැවැත්මට හේතු වන සිත යන ප්‍රදාන අර්ථය.

සවිස්තරව:-අභිනව භවයේ පළමු සිත, අතීත සිත හා වර්තමාන සිත සම්බන්ද කරන්නක් බැවින් ප්‍රතිසන්ධි සිත යයි කියනු ලැබේ. ප්‍රතිසන්දි සිත නිරුද්ද වෙනවාත් සමගම ඊට සමානව වූ තව සිතක් පහල වේ, භවය යනු ද සත්වයා යනු ද පුද්ගල යො යනු ද එසේ එකින් එකට පෙර පසුවී උපදනා නාමරුප ධර්ම පරම්පරාවන්ට කියන නාමයෝය. සිත් පහල වනුයේ භවාංග චිත්තයේ අරමුණු ගැටීමෙන්ය.රූපාදි නානාරම්ම්ණයන් ගන්නා වූ ද , නා නා ක්‍රියාවන් සිදු කරන්නා වූ ආගන්තුක චිත්ත පරම්පරාවෝ භවාංග චිත්ත පරම්පරාම්පරාවෙන් නැග එන්නෝය. අන් කරුණක් පිළිබද වූ සිත්‍ නූපදනා සැම අවස්ථාවේම භවාංග චිත්ත පරම්පරාම්පරාව නොසිදී පවතී.ඒ භවාංග චිත්තයට මුල චිත්තය/ ප්‍රකුර්තී චිත්තය යයි කියනු ලැබේ. නොයෙක් කරුණු පිළිබද ව උපදිනා විදි චිත්තයන්ගෙ උප්පත්තියට හේතු වන බැවින් එයට මනොද්වාරය යයි ද කියනු ලැබේ.සිත් පහල වනුයේ භවාංග චිත්තයේ අරමුණු ගැටීමෙන්ය.නිදන අවස්ථාව මෙයට උදාහරණයකි.භවාංග චිත්තයේ ස්වාභාවය පුද්ගලයා අනුව වෙනස් වේ. භවාංග චිත්තයෙ ඔපය වැඩි නම් සියුම් අරමුණුද එහි ගැටේ. මෙවැනි සුපරිශුද්ධ භවාංග චිත්ත ඇත්තාන් හට ගැබුරු කරුණු අවබෝද වෙන නුවණැති අය වේ. භවාංග චිත්තය අතීත කර්ම හේතුවෙන් හටගනී එම නිසා එක් සත්වයෙකුට එක් ජාතියකදී ඇති වන්නේ එකම භවංග සිත් ය. තිරිසනුන් පමණක් නොව සතර අපායට ම අයත් සත්ත්වයෝ අකුශල විපාක භවාංග ඇත්තෝ ය.හීන වූ ඥානවිප්‍ර‍යුක්ත කුශල කර්මයෙන් හීන වූ අහේතුක භවාංගයක් උපදවනු ලැබේ.උත්කෘෂ්ට ඥානවිප්‍ර‍යුක්ත කුශලයෙන් හා හීන ඥානසම්ප්‍ර‍යුක්ත කුශලයෙන් ද මධ්‍යම ප්‍ර‍මාණයට ආලෝකවත් වූ ඥානවිප්‍ර‍යුක්ත සහේතුක භවාංගයක් උපදවනු ලැබේ.උත්කෘෂ්ට ඥානසම්ප්‍ර‍යුක්ත කුශලයෙන් අතිශයින් පරිශුද්ධ වූ ඥානසම්ප්‍ර‍යුක්ත භවාංගයක් උපදවනු ලැබේ. එය අභිධර්ම පොත්වල ත්‍රිහේතුක භවාංග නාමයෙන් හඳුන්වනු ලැබේ. ඒ ත්‍රිහේතුක භවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු එහි සැපෙයි.ධ්‍යානාදිය ඒ ආත්මයේ දී ම ලැබීමට ත්‍රිහේතුක පුද්ගලයකු ම විය යුතුය යි කියනුයේ සුපරිශුද්ධ භවාංග සන්තානය නැතියවුන්ට ඒ ගැඹුරු ධර්ම සිතින් හසු කර ගත නො හෙන බැවිනි.

උදාහරණය:-මුහුණ නිසා කැඩපතේ පහළ වන ඡායාව මුහුණට අනුව ස්වභාවය නො ඉක්මවා පහළ වන්නාක් මෙන් කර්ම හේතුවෙන් උපදනා භවාංග චිත්තය කර්ම ස්වභාවය නො ඉක්මවා කර්මයට අනුව උපදී. එබැවින් කර්මනානත්වයෙන් භවාංග චිත්තයාගේ නානත්වය වේ.

කෙටියෙන්:-අරමුණ දැන ගැනීම පිළිබඳ වූ ද, ඒ ඒ ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූ ද අධික වේගයක් හෙවත් අධික වීර්‍ය්‍යයක් ඇත්තා වූ සිත ජවන චිත්තය යි.

සවිස්තරව:-සිත්වල ඉපදීමේ බිඳීමේ කාලය පිළිබඳ වෙනසක් නැති බැවින් මෙහි ජවය හෙවත් වේගය යි අදහස් කරනුයේ ඉපදීම පිළිබඳ වූ ඉක්මන් බව නොවේ. ක්‍රියා සිදු කරන්නා වූ ශක්ති විශේෂයකට ජවය යි ද වේගය යි ද කියනු ලැබේ.නොයෙක් ප්‍ර‍මාණ වේගයන් ඇති සිත් අතුරෙන් අරමුණු දැනීම පිළිබඳ වූ ද ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූ ද අධික වේගය ඇත්තා වූ සිත්වලට ජවන චිත්තයයි කියනු ලැබේ.වීර්‍ය්‍ය මඳ වූ චිත්තයෝ අජවන චිත්තයෝ ය. ඉහත කී භවාංග චිත්තය අතීත කර්මයාගේ විපාක වශයෙන් නිරුත්සාහයෙන් උපදනා සිතකි. එහි ඇත්තේ මන්ද වේගයකි. එබැවින් එය අජවන චිත්තයෙකි.ජවන චිත්තය පහළ වන්නේ මෙසේය. කැඩපත ඉදිරියට පැමිණෙන වස්තූන් ගේ ඡායා එහි පහළ වන්නාක් මෙන් ඇස ඉදිරියට පැමිණෙන වස්තූන්ගේ ඡායා ඇසෙහි පහළ වේ. එයට ඇස හා රූපයන් ගේ ගැටීමය යි කියනු ලැබේ. ඇසෙහි ගැටෙන්නා වූ රූපච්ඡායාව එකෙණෙහි ම භවාංග සන්තතියෙහි ද ගැටේ. ඒ හේතුවෙන් භවාංග චිත්තයේ ප්‍ර‍කෘතිය මඳක් වෙනස් වේ. එයට භවාංග චලනය යි කියනු ලැබේ. එයින් භවාංගයන්ගේ පහළ වීම නැවතී චිත්තය සන්තතිය ඇසෙහි ගැටුණ අරමුණ දෙසට යොමු වේ. ඒ යොමු වීම නම් ඇසෙහි ගැටුණු දෙය අරමුණු කරන්නා වූ ගන්නා වූ අළුත් සිතක් පහළ වීම ය. ඒ සිතට “ආවර්ජන චිත්තය” යි කියනු ලැබෙ. ආවර්ජන චිත්තය නිරුද්ධ වනු සමග ම ඇසෙහි ගැටුණ රූපය වඩා හොඳට ගන්නා වූ සිතක් ඇසෙහි ම පහළ වේ. එයට චක්ෂුර්විඥානය යි කියනු ලැබේ. දැකීමය පෙනීමය කියනුයේ ද ඒ සිත පහළ වීමටය. එය බිඳුණු වහා ම චක්ෂුර් විඥානයෙන් දුටු සැටියට ඒ රූපය ගන්නා වූ සිතක් නැවතත් පහළ වේ. චක්ෂුර් විඥානයෙන් දුටු රූපය පිළිගැනීමක් වැනි බැවින් ඒ සිතට සම්පටිච්ඡන චිත්තය යි කියනු ලැබේ. එයට අනතුරුව ඒ ආරම්මණයේ සැටි විමසන්නා වූ සිතක් පහළ වේ. එයට සන්තීරණය යි කියනු ලැබේ. එයට අනතුරුව විමසීමෙන් ලැබෙන ඵලය ගන්නා වූ සිතක් හෙවත් විමසූ දෙයෙහි සැටි විනිශ්චය කරන්නා වූ සිතක් පහළ වේ. එයට ව්‍යවස්ථාපන චිත්තය යි කියනු ලැබේ. ඇසෙහි හා භවාංග සන්තතියෙහි රූප ඡායාව ගැටීමේ හේතුවෙන් කෙනකුගේ උත්සාහයෙන් තොරව පිළිවෙළින් මේ සිත් ටික ඉපද නිරුද්ධ වූ පසු ව්‍යවස්ථානය කරන ලද රූපය ඉතා හොඳින් දැන ගන්නා වූ පසු රසය විඳින්නා වූ බලවත් සිතක් පිළිවෙළින් සත් වරක් ම පහළ වේ. ආවර්ජන චිත්තයේ පටන් ව්‍යවස්ථාපන චිත්තය දක්වා පහළ වූ චිත්තයන් ගේ වේගයට වඩා වීර්‍ය්‍යයට වඩා අධික වීර්‍ය්‍යයක් ඇති ව පහළ වූ ඒ චිත්තයට ජවන චිත්තය යි කියනු ලැබේ.ජවන චිත්තය කුශල ජවන චිත්තය ය, අකුශල ජවන චිත්තය ය, කුශලාකුශල නො වන ජවන චිත්තය යයි තෙ වැදෑරුම් වේ.

උදාහරණය:-අතින් බරක් ඔසවන්නා වූ තැනැත්තා ගේ අතෙහි බර එසවීමේ වේගයක් ඇත්තේ ය. බර ඉහළ යන්නේ ඒ වේගය හෙවත් තල්ලු කිරීමේ ශක්තිය නිසා ය. බර එසවීමේ දී රාත්තලක් එසවීමට තරම් වූ වේගයෙන් හෙවත් වීර්‍ය්‍යයෙන් රාත්තල් දෙකක් නො එසවිය හැකිය. රාත්තල් දෙකක් එසවීමට රාත්තල ඔසවන වීර්‍ය්‍යයට වඩා අධික වීර්‍ය්‍යයක් තිබිය යුතුය. රාත්තල් තුනක් එසවීමට රාත්තල් දෙක ඔසවන වීර්‍ය්‍යයට අධික වීර්‍ය්‍යයක් තිබිය යුතුය. එබැවින් ක්‍රියා සිදු කිරීමේ වේගය නොයෙක් ප්‍ර‍මාණයෙන් යුක්ත වන්නේ ය. අතෙහි බර එසවීමේ වේගයක් ඇතුවාක් මෙන් ම සිතෙහි ද අරමුණ ගැනීම පිළිබඳ වූ ද, නොයෙක් ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූ ද වේගයක් ඇත්තේ ය. අතෙහි වේගය නොයෙක් තරාතිරමින් යුක්ත වන්නාක් මෙන් ම සිතට ඇත්තා වූ ඒ වේගය ද නොයෙක් තරාතිරම්වලින් යුක්ත වේ.රුවන්වැලි සෑය දක්නට ගිය තැනැත්තකු සිය ගමට පෙරළා ආ පසු ද එහි දී ඇති වූ ජවනයන්ගෙන් ඉතිරි වූ එක්තරා බල විශේෂයක් නිසා ඔහු ගේ භවාංග සන්තතියට රුවන්වැලිසෑය නැවත නැවතත් යොමු වේ. එයින් ඇසේ සම්බන්ධයක් නැතිව ඒ තැනැත්තා තුළ රුවන්වැලි සෑය අරමුණු කරන්නා වූ ජවනයෝ ඇති වෙති. ඒ ජවනයන්ගේ බලයෙන් සමහර විට ඔහුගේ සන්තානයෙහි නැවතත් රුවන්වැලිසෑය දකිනු කැමැත්ත සහිත වූ එය වඳිනු පුදනු කැමැත්ත සහිත වූ ජවනයෝ පහළ වෙති.පඤ්චද්වාරයන්ගේ සම්බන්ධයක් නැතිව භවාංග සන්තතියට ම අරමුණ යොමු වූ කල්හි එයින් භවාංගය සැලී සන්තතිය සිඳී යොමු වූ අරමුණ පිළිබඳ ආවර්ජන චිත්තය ඇති වූ පසු ජවනය පහළ වේ.

කෙටියෙන්:-ජවන චිත්තයා සමග මිශ්‍ර‍ වන චෛතසික ධර්මයන් අනුව කුශලාකුශල භාවය තීරණය වේ.

සවිස්තරව:-ජවන චිත්තයාගේ කුශලාකුශල භාවය සිදු වන්නේ එය හා මිශ්‍ර‍ වන චෛතසික ධර්මයන් ගෙනි.චෛතසිකයන් අතර ඒවා උපදනා සන්තානය දවන තවන පෙළන අශාන්ත ස්වභාවය ඇති චෛතසික කොටසක් වේ. උපදනා සන්තානය පිනවන වඩන සෞම්‍ය චෛතසික කොටසක් ද වේ.ද්වේෂ චෛතසිකයා ගේ දවන තවන ස්වභාවය ඉතා ප්‍ර‍කට ය. බලවත් ද්වේෂය ඇතිවූවහු ගේ මුහුණ කළු වේ. ශරීරයෙන් ඩහදිය ගලයි. ශරීරය වෙවුලයි.

උදාහරණය:-අකීර්ති තාපසයන්ට තමන්ගේ ආහාරය දන් දී තෙදිනක් නිරාහාර ව විසීමෙන් ද පීඩාවක් නො දැනුනේ ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගේ පිනවීම නිසා ය.පිරිත් දහම් ඇසීමෙන් රෝග සුව වන්නේ ද ඒ ධර්මය අසන තැනැත්තා ගේ සන්තානයෙහි පහළ වන ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගෙන් සිත කය පිනවන බැවිනි.

කෙටියෙන්:-කුශලාකුශල හෝ අතීතයෙහි උපන්නා වූ ජවනයක් නිසා ඒ සන්තානයෙහි අනාගතයෙහි පහළ වන්නා වූ ක්‍රියා සාධනය නො කරන්නා වූ මන්ද වේගය ඇත්තා වූ චිත්තයෝ විපාකයෝ ය.

උදාහරණය:-වී ඇටයක් රෝපණය කළ කල්හි එයින් ගොයම් ගසක් පහළ වේ. වී ඇටය ක්‍ර‍මයෙන් දිරා අභාවයට පැමිණෙයි. එහෙත් අනාගතයෙහි වී ඇට ඇති වීමට හේතුවන එක්තරා ශක්ති විශේෂයක් වී ඇටයේ පරම්පරාව වූ ගොයම් ගස හා සම්බන්ධ වී ඉතිරි ව පවතී. ගොයම් ගසේ ඇට හට ගන්නා කාලය පැමිණි කල්හි එහි අන් ඇට වර්ගයක් පහළ නොවී වී ඇට ම පහළ වන්නේ ගොයම් ගස හා බැඳී පළමු රෝපනය කළ බීජයෙන් ඉතිරි වී තිබුණු ඒ ශක්ති විශේෂය නිසා ය. ගොයම් ගසෙහි හටගන්නා ඒ ඇට රෝපනය කළ වී ඇටයේ ඵලයෝ ය. එමෙන් කුශලාකුශල ජවන චිත්තයක් පහළ වූ කල්හි එය නිරුද්ධ වූ පසු ඒ චිත්ත පරම්පරාව හා සම්බන්ධ වී අනාගතයෙහි ඵල හෙවත් විපාක සිත් ඇති කිරීමේ ශක්තියක් ඉතිරි වේ.