අටවිසි රූපය

පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා කියවුණු මේ රූප අටළොස කෙළින් ම කර්මාදි ප්‍ර‍ත්‍යයන් විසින් උපදවන රූපයෝ ය. එබැවින් ඒවාට නිෂ්පන්න රූපය (18) යි කියනු ලැබේ.

මහාභූත රූප සතර (4)

  1. පඨවි ධාතුව: ධාතුන්ට කර්කශත්ව ගෙන දෙන ලක්ෂණය.
  2. ආපෝ ධාතුව: පෘථිවි ධාතුවට විසිර යා නොදී එය පිඬු කරන්නා වූ ස්වභාවය ආපෝ ධාතුවය.
  3. තේජෝ ධාතුව: උෂ්ණ ස්වභාවය හා ශීතලස්වභාවය තේජෝ ධාතුව ය.
  4. වායෝ ධාතුව: පුම්බවන තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුව ය.

ප්‍ර‍සාදරූප පස (5)

  1. චක්ෂුඃ ප්‍ර‍සාදය: ඇසෙහි පිහිටියා වූ රූප දැකීමට උපකාර වන ඔපය චක්ෂුඃ ප්‍ර‍සාදය ය.
  2. ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය: ශබ්දය දැන ගැනීමට හෙවත් ඇසීමට උපකාර වන කනෙහි පිහිටි ඔපය ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය ය.
  3. ඝ්‍රාණ ප්‍ර‍සාදය: සුගඳ - දුගඳ දැනගැනීමට උපකාර වන නාසයෙහි පිහිටි ඔපය ඝ්‍රාණ ප්‍ර‍සාදය ය.
  4. ජිහ්වා ප්‍ර‍සාදය‍: ආහාර පානාදියේ රසය දැන ගැනීමට උපකාර වන දිවෙහි පිහිටි ඔපය ජිහ්වා ප්‍ර‍සාදය ය.
  5. කාය ප්‍ර‍සාදය: ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් දැන ගැනීමට උපකාර වන කයෙහි පැතිර පිහිටි ඔපය කාය ප්‍ර‍සාදය ය.

ගෝචර රූප පස (5)

  1. රූපය: මෙහි රූපය යි කියනුයේ චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි සැපෙන එයට හසු වන පැහැයට ය. එයට වර්ණ රූපය යි ද කියනු ලැබේ.
  2. ශබ්දය: ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදයෙහි ගැටෙන, ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය කරණ කොට ගෙන දැනෙන දෙය ශබ්දය ය.
  3. ගන්ධය: ඝ්‍රාණ ප්‍ර‍සාදයෙහි ගැටෙන, ඝ්‍රාණ ප්‍ර‍සාදය කරණකොට ගෙන දැනෙන රූපය ගන්ධය ය.
  4. රසය: ජිහ්වා ප්‍ර‍සාදයෙහි ගැටෙන, දිව කරණ කොට ගෙන දැනෙන රූපය රසය ය.
  5. ස්ප්‍ර‍ෂ්ටව්‍යය: කාය ප්‍ර‍සාදයෙහි ගැටෙන - කාය ප්‍ර‍සාදය කරණකොට දැනෙන රූපයට ස්ප්‍ර‍ෂ්ටව්‍යයි කියනු ලැබේ.

  1. භාවරූප: සත්ත්ව ශරීරයට ස්ත්‍රී ස්වභාවය ගන්වන රූපය ස්ත්‍රී භාව රූපය ය. පුරුෂ ස්වභාවය ගන්වන රූපය පුරුෂභාව රූපය ය.

  2. හෘදය වස්තු රූපය: පඤ්ච-විඤ්ඤාණයන් හැර ඉතිරි සිත් ඇති වීමට ස්ථානය වන රූපය හෘදය වස්තු රූපය ය.

  3. ජීවිතින්ද්‍රිය රූපය: තමා හා බැඳී උපදනා රූපයන් පරම්පරා වශයෙන් චිර කාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත්කරවන රූපය ජීවිතින්ද්‍රිය නම් වේ.

  4. ආහාර රූපය: ශරීරයෙහි අමුතු රූප කොටසක් උපදවා එය ශක්තිමත් කරන චිර කාලයක් පවත්වන ආහාරයන්හි ඕජාව ආහාර රූපය ය.


අනිෂ්පන්න රූප දශය (10)

  1. ආකාශ ධාතුව: රූප කලාපවල අමිශ්‍ර‍ පැවැත්මට ඒවා අතරට ආකාශයත් වුවමනා බැවින් එය පරිච්ඡේද ආකාශ නමි එක් රූපයක් සැටියට ගණන් ගනු ලැබේ. අජටාකාශය, රූප පරිච්ඡේදාකාශය කියා ආකාශධාතුව දෙපරිද්දෙකින් කියනු ලැබේ. සියලු ම වස්තූන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය අජටාකාශ නම් වේ.ඝනබද්ධ වස්තූන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන ආකාශය පරිච්ඡේද ආකාශ නමි.අටවිසි රූපයෙන් එකක් වශයෙන් ගණන් ගන්නේ ඒ පරිච්ඡේද ආකාශය ය. මේ ආකාශ ධාතුව වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ. එහෙත් රූප කලාපවල අමිශ්‍ර‍ පැවැත්මට ඒවා අතරට ආකාශයත් වුවමනා බැවින් එය එක් රූපයක් සැටියට ගණන් ගනු ලැබේ.

විකාර රූප (5)

  1. කාය විඤ්ඤත්තිය: ශරීරාවයව ක්‍රියා කරවන චිත්තජ වායුවේ වේගය ඒ ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ ඒ අතට හරවන බල විශේෂය කාය විඤ්ඤත්තිය නම් වේ.

  2. වචී විඤ්ඤත්තිය: කථා කිරීමට උත්සාහ කිරීමේදී වුවමනා අකුරු වුවමනා වචන සෑදෙන පරිදි ශබ්දය මෙහෙයවන බල විශේෂය වචී විඤ්ඤත්ති නම් වේ.

  3. ලහුතා: ශාරීරික රූපයන් ගේ සැහැල්ලු බව.

  4. මුදුතා: ශාරීරික රූපයන් තද නැති බව බව.

  5. කම්මඤ්ඤතා: ක්‍රියාවට යෝග්‍ය බව හෙවත් ඔරොත්තු දෙන බව.

ලක්ෂණ රූප සතර(4)

  1. උපචය: සත්ත්වයකුට ඇති විය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇති වන රූපයන් ගේ උත්පාදය උපචය නම් වේ.

  2. සන්තති: රූප සම්පූර්ණ වීමෙන් පසු බිඳි බිඳී යන රූප වෙනුවට නැවත නැවත පහළ වන රූපයන් ගේ උත්පාදය.

  3. ජරතා: රූපයන් ගේ දිරීම.

  4. අනිච්චතා: රූපයන් ගේ බිඳීම.