යමකප්‍රකරණය - 2

සංඥාපනය

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි අභිධර්ම පිටකයට අයත් යමකප්‍රකරණය කාණ්ඩ දෙකකින් යුක්ත කොට මුද්‍රණයට සැලසුම් කරන ලද්දේය. එහි සවැනි සඞ්ඛාර යමකයෙහි පටන් ඉන්ද්‍රියයමකය තෙක් යමක පස මුද්‍රණ අවස්ථාවට පැමිණ පරිහරණයට දුෂ්කරවනසේ මහත් ග්‍රන්ථයක් වන බව පැනුණූ හෙයන් ‘ඉන්ද්‍රියයමකය’ වෙන ම කාණ්ඩයක් ලෙස මුද්‍රණය කරවන්නට තීරණය විය. එහෙයින් මේ ග්‍රන්ථභාගය යමක ප්‍රකරණයේ ද්විතීය භාගයෙහි දෙවැනි කාණ්ඩය ලෙස මුද්‍රණය වූ බව සලකන්නේ මැනැවි.

යමක ප්‍රකරණයෙහි ඒ ඒ යමකයන් පිළිබඳ නය විභාගාදි කිවයුතු සාමාන්‍ය දැය ප්‍රථමභාග සංඥාපනයෙහි ලා කියන ලද්දෙ යැ. මේ ග්‍රන්ථයෙහි එන ඉන්ද්‍රියයමකයෙහි නය විභාගාදිය එය බලා දන්නෙ යැ. විශේෂ වූ කිහිප තැනක් මෙහි දක්වම්හ.

චක්ඛායතන චක්ඛුධාතුමූලකයෙහි මෙන් මේ චක්ඛූඉන්ද්‍රියමූලක නයෙහි ද ජිව්හින්ද්‍රිය කායින්ද්‍රිය මූලක යමකයෝ නො ගන්නා ලදහ. පළමු කී සොතින්ද්‍රිය ඝානින්ද්‍රිය හා සමාන විසර්ජන ඇති හෙයිනි. මනින්ද්‍රිය උද්දෙසයෙහි කී පිළිවෙළ අනුව නොයොදා සියලු චක්ඛුන්ද්‍රිය මූලකාදීන් සමග අවසන්හිලා යොදන ලද යැ. චක්ඛුන්ද්‍රියාදි මූලකයන් සමග මෙන් මැ ඉත්ථින්ද්‍රියාදි මූලකයන් හා සමග ද යෙදෙන බැවිනි.

චක්ඛුන්ද්‍රිය සමග ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය, සද්ධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, මනින්ද්‍රිය යන ඉන්ද්‍රියයෝ ගන්නා ලදහ. ප්‍රතිසන්ධියෙහි නො ලැබෙන බැවින් සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, දොනස්සින්ද්‍රිය යන මොහු ද අනඤ්ඤතඤ්ඤස්සාමිතින්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය යන මොහු නො ගන්නා ලදහ. ඒ ඒ ඉන්ද්‍රිය මූලකයෙහි ඉන්ද්‍රියයන් ලැබෙන අයුරින් යමක ගිණියැ යුතු.

පවත්ති උප්පාදවාරයෙහි “සචක්ඛුකානං න ඉත්ථීනං උපපජ්ජන්තානං” යන මෙහි ‘ඇස් ඇති වැ ස්ත්‍රී නො වැ උපදනාහු’ යයි බ්‍රහ්මපාරිසද්‍යාදි රූපී බ්‍රහ්මයෝ ද පුරුෂයෝ ද නපුංසකයෝ ද කියන ලද වෙති. ඔවුනට ස්ත්‍රීන්ද්‍රිය නූපදියි. “සචක්ඛුකානං න පුරිසානං උපපජ්ජන්තානං” යන මෙහි ‘ඇස් ඇති වැ නො පිරිමින් වැ උපදනාහු’ යයි රූපී බ්‍රහ්මයෝ ද ස්ත්‍රීහු ද නපුංසකයෝ ද කියන ලද වෙති. ඔවුනට පුරිසින්ද්‍රිය නූපදියි. “අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්‍රියං උපපජ්ජති” යන මෙහි ‘ඇස් නැති වැ උපදනා ඔවුනට ජීවිතින්ද්‍රිය උපදී’ යනු එකවොකාර (අසංඥසත්ව) චතුවොකාර (අරූප) කාමධාතුසත්වයන් ගෙන කියන ලද්දේ යැ. “සචක්ඛුකානං වීනා සොමනස්සෙන” යනු උපෙක්ඛා සහගත සතර මහාවිපාක ප්‍රතිසන්ධී ද “සචක්ඛුකානං වීනා උපෙක්ඛාය” යනු සොමනස්ස සහගත ප්‍රතිසන්ධී ද “උපෙක්ඛාය අචක්ඛුකානං” යනු අහෙතුක ප්‍රතිසන්ධී ද ගෙන කියන ලද යැ. “අහෙතුකානං” යනු: අහෙතුක ප්‍රතිසන්ධි චිත්තය හා සමග ශ්‍රද්ධා, සති, ප්‍රඥා ඉන්ද්‍රියයෝ එකාන්තයෙන් මැ නූපදිති. සමාධී වීර්‍ය්‍ය දෙක ඉන්ද්‍රිය ප්‍රාප්ත නො වෙති. “සහෙතුකානං අචක්ඛුකානං” යනු ගර්හශය්‍යා ඇතියන් වශයෙන් ද අරූපී වශයෙන් ද කියන ලද යැ ඔවුන් හැරැ අනෙක් හෙතුසම්පන්න ඇස් නැතියෙක් නැත. “සචක්ඛුකානං අහෙතුකානං” යනු අපායෙහි ඔපපාතිකයන් ගෙන කියන ලද යැ. “සචක්ඛුකානං ඤාණවිප්පයුත්තානං” යි කාමධාතුයෙහි දුහෙතුක ප්‍රතිසන්ධි ඇතියන් ගෙන කියන ලද යැ. “සචක්ඛුකානං ඤාණසම්ප්පයුත්තානං” යනු රූපී බ්‍රහ්මයන් ද කාමාවචර දෙවිමිනිසුන් ද ගෙන කියන ලද යැ. “ඤාණසම්ප්පයුත්තානං අචක්ඛුකානං ” යනු අරූපීන් ද ත්‍රිහෙතුක ගර්භශය්‍යා ඇතියන් ද ගෙන කියන ලද යැ. “වීනා සොමනස්සෙන උපපජ්ජන්තානං” යනු රූප ජීවිතින්ද්‍රිය හා අරූප ජීවිතින්ද්‍රිය ගෙන කියන ලද යැ. “පවත්තෙ සොමනස්සවිප්පයුත්තචිත්තයා උප්පාදක්ඛණෙ” යනු අරූප ජීවිතින්ද්‍රිය ගෙන කියන ලදි.

පරිඤ්ඤාවාරයෙහි “අට්ඨමකො” යනු ස්‍රොතාපත්තිමාර්ගස්ථ පුද්ගල යි. හෙ අර්හත්ඵලස්ථයා පටන් ප්‍රත්‍යරොහණ ක්‍රමයෙන් ගණිනු ලබන්නෙ අටවැනි වෙයි. දක්ෂිණාර්හයන් ගිණීමෙහි දී රහතුන් වහන්සේ අග්‍ර දක්ෂිණාර්හ වන බැවින් ප්‍රථම පුද්ගල වෙයි.

“ද්වෙ පුග්ගලා අඤ්ඤින්ද්‍රියං භාවෙන්ති නො ච දොමනස්සින්ද්‍රියං පජහන්ති” යන මෙහි ද්විපුද්ගලයෝ නම් සකෘදාගාමීමාර්ගසමඤ්ගී යැ අර්හන්මාර්ගසමඞ්ගී යැ යන දෙදනා යි. ඔවුනතුරෙහි සකෘදාගාමී පුද්ගල අසමර්‍ථ බැවින්දොමනස්සින්ද්‍රිය ප්‍රහාණය නො කෙරෙයි. අර්හන්මාර්ගස්ථ පුද්ගල ප්‍රහීණදොෂ බැවින් ප්‍රහා නො කෙරෙයි.

පඤ්ඤත්ති නිද්දෙසවාරයෙහි ‘කායො කායින්ද්‍රියන්ති’ යන පෘච්ඡාවිසර්ජනය “කායින්ද්‍රියං ඨපෙත්වා අවසෙසො කායො න කායින්ද්‍රියං” යි මරම්ම ඡට්ඨසඞ්ගීති යමකප්පකරණයෙහි ඇත. එය තායි අක්ෂර මුද්‍රණයෙහි ද PTS මුද්‍රණයෙහි ද “කායින්ද්‍රියං ඨපෙත්වා අවසෙසා කායො න කායින්ද්‍රියං” යි ඇත.

ආයතන යමකයෙහි “කායො කායායතනානං” යන පෘච්ඡා විසර්ජනයෙහි “කායායතනං ඨපෙත්වා අවසෙසො කායො න කායායතනානං” යි තායි අක්ෂර මුද්‍රණයෙහි ඇත. ඉන්ද්‍රිය යමකයෙහි පාළි විභාගය ස්කන්ධ ආයතන යමකයෙහි කී නයින් මැ කළයුතු සේ අටුවාහි සඳහන් වෙයි. එහෙයින් අප විසින් මෙහි යථොක්ත පාළිය “කායින්ද්‍රියං ඨපෙත්වා අවසෙසො කායො කායො, න කායින්ද්‍රියං” යි සුපාඨ සේ ගන්නා ලද යැ. “කායින්ද්‍රිය හැරැ අවශෙෂ කාය කාය නම් වෙයි, කායින්ද්‍රිය නො වෙයි” යනු එහි අර්‍ථ යි. “අවසෙසො කායොති: නාමකායො, රූපකායො, හත්ථිකායො, අස්සකායොති එවමාදි” යි “අවශෙෂකාය නම් නාමකාය, රූපකාය, හස්තිකාය, අශ්වකාය ය න මේ ආදි යැ” යි අටුවාහි දක්වන ලද්දෙ යැ. ඡට්ඨසඞ්ගීති සංස්කරණයෙන් එ අරුත් නො නැඟෙයි. මෙ මතු නො වැ “අවසෙසා ඉන්ද්‍රියා න සොතින්ද්‍රියං” ආදීන් ඡට්ඨසඞගීති සංස්කරණයෙහි පාළිය දක්නා ලැබේ. විමසා ගන්නෙ යි.

කරහම්පිටිගොඩ සුමනසාර නායක ස්ථවිර

රෙවත පිරිවෙන, මාකඩවර, හිඟුල. 1987. දෙසැ .25