කථාවස්තුප්‍රකරණය

අභිධර්‍මපිටකයෙහි පස්වන ග්‍රන්ථය වූ කථාවස්තුප්‍රකරණයෙහි ප්‍රථමභාගය බුද්ධජයන්ති ත්‍රිපිටකග්‍රන්ථමාලාවෙහි සුසාලිස් වන ග්‍රන්ථයයි.

සංසාරදුඃඛයාගේ අනුත්පාදනිරොධය වූ නිර්‍වාණය සාක්ෂාත් කිරීමට බාධක වූ සත්කායදෘෂ්ටිය ප්‍රභව කොට ඇති පුද්ගලවාදය (=සචෙතනිකඅචෙතනික හැම වස්තුවෙක්හි ම පාතිර පවත්නා ඉන්ද්‍රියවිෂය නො වූ ස්වයංභූත සර්‍වබලධාරී ශාශ්වත සුඛස්වරූප ආත්මයෙක් ඇතැයි මායාමොහනයෙන් ගන්නා අර්‍ථශන්‍ය සංකල්පය) කථාවස්තුප්‍රකරණයෙන් ඛණ්ඩනය කොට ඇත.

මේ මිථ්‍යාසංකල්පය නිසා සත්වයා සසරදුකෙහි බැඳී නර්‍වාණාධිගමය නොලබන බව අවබොධ කොටගත් මහාකාරුණික බුදුරජානන් වහන්සේ පඤ්චස්කන්ධ - ද්වාදශායතන - අෂ්ටාදශධාතු - ද්වාවිංශතීන්ද්‍රිය යන ධර්‍මපුඤ්ජයන්ගේ සත්පණස් අවයව ධර්‍මධාතු (හෙතුඵලනියාම) වශයෙන් විභාග කොට දක්වමින් විභජ්ජවාදය (අභිධර්‍මය) දෙශනාකරමින් ප්‍රාකෘතක (ලෞකික) ජනයා විසින් පඤ්චස්කන්ධාදිය සත්ව පුද්ගල ආත්ම වශයෙන් එකත්වයක් සේ ගැණීම වූ එකංස්වාදය හෙවත් ඝනසඤ්ඤාව මිථ්‍යාවක් බව ප්‍රකාශ කොට වදාළසේක.

පුද්ගල (ආත්ම) වාදාදි වශයෙන් එකල පැවැති මිථ්‍යාමත බුදුරජානන් වහන්සේ වදාළ විභජ්ජවාදය අනුව මැඩලමින්, එසේ ම මතු ඇතිවන කුතාර්කිකයන් විසින් බුද්ධධර්‍මය සම්බන්ධයෙන් නැගිය හෙන මතාන්තර ද මැඩලීමට කරුණු දක්වමින් මොග්ගලපුත්තතිස්ස මහරහතුන් වහන්සේ විසින් සැටදහසක් පමණ වූ සඟුන්මැද කථාවස්තුප්‍රකරණය ‘විභාග’ යන අර්‍ථ ඇති ප්‍රකරණ නාමයෙන් ම විභාවනා කරණ ලද්දේය.

සව්නේ ගෙවා දත් අප බුදුරජාණන් වහන්සේ පන්සාලිසවසක් කෘතයුගමහාමෙඝයක් සෙයින් සිට දහම්වහරෙ වස්වනුවන් අනාගතයෙහි ස්ධර්‍ම ප්‍රතිරූපක උපදනා පරිදි දක්වමින් මහසුප් මහරහත්හට සද්ධම්මප්පතිරූපක සුත් දෙසා, දේශනාධර්‍මය පරීක්ෂා කොට ගතමනාසෙ දක්වමින් සඟනට මහාපදෙස සුත් දෙසා, සස්නට වන භය දක්වමින් අනාගතභය සුත් දෙසා, අනාගතාරක්ෂා පිණිසැ මං පහයා තබා පිරිනිවි පසු, දහම්සෝ සක්විති මහරජාණන් දවස තුන්වන සාහස්‍රිකධර්‍මසඞ්ගායනායෙහි සඞ්ඝස්ථවිර වැ සිටි මොග්ගලිපුත්තතිස්ස මහතෙරණුවන් මහාසඞ්ඝිකාදි සප්තදශනිකායවාසීන් තත්තත්සූත්‍රපදයෙහි අර්‍ත්ථ වරදවා ගෙනැ දුර්‍ලබ්ධි උද්භාවනා කරනසෙ දැකැ, දෙව්ලොවැ අබිදම් දෙසමින් බුදුන් දුන් නය ගෙනැ පරවාද මර්‍දනය පිණිස සඟමැද දෙසු කථාවත්ථුප්පකරණය සඞ්ගීතියට නැඟීමෙන් පසු ථෙරියනිකායවාසීන් වාචනාමාර්‍හයෙන් ගෙනැ ආසෙ මැ අද ද අප අතර පවත්නේ වෙයි.

අභිධර්‍මපිටකයෙහි සප්තප්‍රකරණයට ඇතුළත් කොට ප්‍රකරණනාමයෙන් තැබූ එ කථාවත්ථූප්පකරණය ගෙවුණූ දෙවාදහස් දෙසිය පන්සැටෙහිදු සියබසට නො නැඟුණේය. බුද්ධජයන්තී සංවිධානය සඳහා ලඞ්කාණ්ඩුව විසින් පිහිටුවන ලද ලඞ්කා බෞද්ධ මණ්ඩලය විසින් ඒ ප්‍රකරණය සියබසට නංවා තැබීමෙහි කාර්‍ය්‍යභාරය අප වෙත දක්වා දෙනලදි. අපිදු මතු සඳහනා කරන පඬිවරුන්ගේ වහල් ද ලැබැගෙනැ තෙල දුෂ්කරකාර්‍ය්‍යයෙහි ව්‍යාපෘත වූම්හ.

කථාවස්තු සංලක්ෂණය

සඞ්ගීති:

ශ්‍රී ශාක්‍යමුනි තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ බුදු වැ සව්නේ ගෙවා දැන පන්සාලිස් වසක් මුළුල්ලෙහි චාතුර්ද්වීපික මහාමෙඝයක් සෙයින් සිව්සස් දහම් අමාවාසි වස්වා සසුන් පිහිටුවා අපමණ සත්ත්වහිත සම්පාදනය කොට නිරුපධිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරනිවන් පෑ කල්හි, ශාසනභාරධාරී වූ මහාකාශ්‍යප මහාස්ථවිර ප්‍රමුඛ පන්සියක් මහරහතුන් වහන්සේ විසින් අජාසත් මහරජු සහාය කොටගෙන ධර්‍මවිනය සඞඛ්‍යාත ශාසනය සඞ්ග්‍රහ කොට වදාරන ලද්දේ ය. මේ ප්‍රථම සඞ්ගීතිය මහාකාශ්‍යප ආනන්ද උපාලි ආදි සම්මුඛශ්‍රාවක මහතෙරවරුන් විසින් පැවැත් වූ හෙයින් ථෙරිය (ථෙරිකා) යී ද, පනසියක් මැ වූ මහරහතුන් විසින් සගීත වූ හෙයින් පඤ්චසතිකා යී ද ශාසන ඉතිහාසයෙහි පළට විය. ඒ ථෙරියසඞ්ගීතිය පිළිගත් ආචාර්‍ය්‍යවංශය ථෙරවාද නම් වී.

බුදුන් පිරිනිවි සියක් හවුරුදු ඉක්මැගිය සඳ වැදෑරට මහණහු විශාලායෙහි දී විනයානුලොමික නො වූ සිඞ්ගිලොණකප්පාදි දශවස්තූන් පරිහරණය භික්ෂූනට කැප යයි ඇරැදැක්වූහ. ඒ අසා කාකණ්ඩ නම් බ්‍රාහ්මණපුත්‍ර ආයුෂ්මත් යස මහාස්ථවිරයන් වහන්සේ, සොරෙය්‍යවාසී රේවත, සාණවාසී සම්භූත, විසාලා වැසි සබ්බකාමී යන මහතෙරවරුන් ප්‍රමුඛ කොටගෙන, ඒ දශවස්තූන් මැඩැපියා, දොළොස් දහසක් පමණ භික්ෂූන් අතුරෙන් තෙවළාධර සිවපිළිසිඹියා පත් සත්සියක් මහතෙරවරුන් නඟාගෙන, ශුශුනාග පුත්‍ර කාලාශොක රජහු සහාය කොටගෙන, දෙවන සඞ්ගීතිය කළහ. එය සත්සියක් මහතෙරුන් විසින් කරන ලද නුයි සත්තසතිකා නම් වී.

ප්‍රථම සඞ්ගීතියෙහි මහතෙරුන් ධර්‍ම විනය විසින් පිටක විසින් නිකාය විසින් යම් සඞග්‍රහයෙක් කරන ලද ද, වග්ග පණ්ණාස නිපාත පකරන ඛන්ධකාදි යම් විභාගයෙකුත් කරන ලද ද, මෙ දෙවන සඞ්ගීතියෙහි ද එ හැම එලෙසින් සඞගායනා කරන ලද්දේ ය. එහි කියැයුතු විශේෂයෙක් ද ඇති: පළමුවන ධර්‍මසඞ්ගායනාවෙන් පසු වැ බුදුන් වදාළ ධ්රමන්‍යායෙහි මැ සිට මහාකච්චායන, උදෙන ආදි මහතෙරවරුන් දෙසූ මධුර, ඝොටමුඛ ආදි සූත්‍ර කෙනකුන් හා විනයෙහි පඤ්චසතිකක්ඛන්ධකය ද දෙවන සඞ්ගීතියෙහි දී සඞ්ගායනාවට නඟාලූහ.

බුද්ධභාෂිත වූ ධර්‍ම විනය එලෙසින් නො පිළිගත් හෙයින් ඒ ධර්‍ම විනය සඞ්ග්‍රාහක මහතෙරුන් විසින් නිගන්නා ලද දසදහසක් පමණ වජ්ජිපුත්තක භික්ෂූහු පක්ෂ සොයන්නාහු විශාලායෙහි අවකාශ නො ලැබ, කෞශාම්බියට ගොස් තමනට අනුරූප මතධාරී දුර්වල පක්ෂ ලැබ, මහාසංඝික යයි වෙන ම ඇදුරොලක් ඇති කළහ. ඔහු එක් වැ ගෙන ධර්‍මසඞ්ගීතියඩකුදු කළහ. එ මහාසඞ්ගීති නම් වී. අධර්‍මවාදි මහාසඞගීතිකාරකයෝ බුදුසසුන විලොම කළහ. මහසුප් ආදි මහතෙරුන් කළ මූලසඞ්ග්‍රහය බිඳ, එයට වෙනස් වූ ධර්‍මසඞ්ග්‍රහයක් කළහ. එක් තැනෙක සඞ්ගෘහිත වූ සූත්‍රය එයින් අන් තැනෙක තැබූහ. විනයෙහි ද පස්මහසඟියෙහි ද පෙළ හා අරුත් හා බිඳලූහ. පර්‍ය්‍යාය නිෂ්පර්‍ය්‍යාය දේශිතය ද නෙයාර්‍තථ නීතාර්‍ත්ථ සූත්‍රය ද නො දැන බ්‍යඤාජනච්ඡායායෙන අරුත් ගෙන යථාර්‍ථය නසාපූහ. විනය හා සූත්‍ර හා එක් දෙසක් හැරැපියා තමනට අභිමතයක් එයට එක් කොට සූත්‍රවිනයප්‍රතිරූපයන් කළහ. පරිවාර අර්‍ත්ථොද්ධාර සඞ්ඛ්‍යාත පදභාජනීය, අභිධර්‍ම ෂට්ප්‍රකරණය, ප්‍රතිසංවින්මාර්‍ග, නිරදෙශ, ජාතක එකදෙශයක් ද හැරැපීහ. නාම, ශ්‍රමණලිඞ්ග, ශ්‍රමණපරිෂ්කාර,ශ්‍රමණආකල්ප යන මෙ ද වෙනස් කළහ. මේ දැක්වූයේ මහාසාඞඝිකයන්ගේ සඞ්ගීතිය ගෙන දීපවංශයෙහි එන වාර්‍තා යි.

ඒ අනුව ඔවුන්ගේ මහාසඞ්ගීතිය විමසා බැලුව මනා යැ:

  1. බුදුන් පිරිනිව සාරසිය සූපනස් (454) වසක් ඉක්මැයන තුරු පෙළ දහම පොතපතෙහි නො ලියැවිණ. ඇදුරු මුඛයෙන් ම මුඛපාඨ වශයෙන් උගතයුතු ව තුබූ තෙවළා පර්‍ය්‍යාප්ත කොට පුහුණු කළ එක ද භික්ෂු කෙනෙක් දසදහසක් වජ්ජපුත්තකයෝ කෙරෙහි නො වූහ.

  2. මහාසාඞ්ඝික නිකායිකයනට නිශ්‍රයාචාර්‍ය්‍ය වූවෝ රේවත මහ තෙරනුවන්ගේ අතැවැසි උපස්ථායක ව සිටි විසිවස් ඇති උත්තර නම් ස්ථවිර කෙනෙකි. හෙ ද උපාධ්‍යායයන් වහන්සේ සමීපයෙහි ත්‍රිපිටක ධර්‍මය හදාරා නිමැවූයේ හෝ ශාසනයෙහි ලද ප්‍රතිෂ්ඨා ඇතියේ හෝ නො වේ.

  3. ඔවුන් නිශ්‍රයාචාර්‍ය්‍ය කොට ගත් ඒ උත්තර නම් මහණ ආමිෂලාභයෙන් පෙලැබුණේ අධර්‍මසමාදාන හේතුයෙන් ස්වකීය උපාධ්‍යායයන් වහන්සේ විසින් නෙරැපා හරින ලදුයේ ද වෙයි. (සත්තසතිකක්ඛන්ධකය විමසන්න.)

  4. ඔවුන්ගේ සඞ්ගීතියෙහි පළමු කොල මැ ස්ථවිර භික්ෂූන් විසින් ‘අධර්‍ම යැ අවිනයැ’ යි ප්‍රතික්ෂෙප කළ ‘සිඞ්ගිලොණකප්පාදි’ දශවස්තුව ඇතුළු විය.

  5. ආචාර්‍ය්‍යමුඛයෙන් ලත් උද්ග්‍රහණයෙහි අපරිපූර්‍ණ බව හේතු කොටගෙන ඔවුනට විෂය නො වූ පරිවාර පටිසම්භිදා නිද්දෙස ආදිය උන්ගේ සඞ්ගීතියෙහි සඞ්ගෘහිත නො වී ය.

  6. ඇදුරුපරපුරින් ගෙන එන ලද ත්‍රිපිටක අර්‍ත්ථකථා මාර්‍ගය හෝ ආචාර්‍ය්‍යවාද හෝ ඔවුනට නො වී ය.

  7. ස්ථවිර භික්ෂූන් කෙරෙහි කළ අසහනයෙන් මැඩීගිය ඔවුනට සඞ්ගීතියක ආවශ්‍යකතාව නම් ස්ථවිරවාදීනට පිළිමල් ව සිටීම වියැ.

මේ ආදි කරුණු විමසත් මැ මහාසාඞ්ඝිකවාදීන්ගේ මහාසඞ්ගීතිය අපරිශුද්ධ වූවක් බව කියැයුතු ය.

නිකායාන්තරිකයෝ

මියර බුන් දියතළාවක් සෙයින් ස්ථවිරවංශයෙන් බිඳීගිය ඒ මහාසාංඝික ඇදුරුකුලයෙන් ගොකුලික යැ එකබ්බොහාරික යැ යි අන්‍ය ආචාර්‍ය්‍යවංශ දෙකෙක් උපන. ගොකුලික නිකායෙන් බිඳී පඤ්ඤාත්තිවාදී යැ බාහුලික (බාහුශ්‍රැතික) යැ යි අන්‍ය දෙනිකායෙක් ද ඇති විය. බාහුලිකයන් අතුරෙහි මැ චෙතිරවාද නම අනිකුදු ආචාර්‍ය්‍යවාදයෙක් පහළ විය. මෙසේ මහාසාඞ්ඝිකයන් හා ආචාර්‍ය්‍යවාද සයෙක් පහළ විය.

මහාසාඞ්ඝික නිකාය අනුකරණය කෙරෙමින් දෙවැනි සියවසෙහි දී මැ ස්ථවිරවංශයෙන් බිඳී මහිංසාසක යැ වජ්ජිපුත්තක යැ යි ආචාර්‍ය්‍යවාද දෙකෙක් උපන. එහිදු වජ්ජිපුත්තකවාදයෙන් බිඳී ධම්මුත්තරිය යැ භද්‍රයානික යැ ඡන්නාගරික යැ සමමිතී යැ යි අනිකුදු ආචාර්‍ය්‍යවාදී සතරෙක් පහළ විය. මහිංසාසකවංශයෙනුදු බිඳී සබ්බත්ථවාදී යැ ධම්මගුත්තික යැ යි ආචාර්‍ය්‍යවාද දෙකෙක් ද, සබ්බත්ථිවාදයෙන් බඳී කස්සපික නම් වූ ද, උන්ගෙන් සඞ්කන්තික නම් වූ ද, එයින් සුත්තවාද නම් වූ ද ආචාර්‍ය්‍යවාදයෝ උපන්හ. ඔහු ස්ථවිරවාදය සමග දොළොස් ආචාර්‍ය්‍යවාද කෙනෙක් වෙති. මේ දොළොස ද මහාසඞ්ඝිකයන්ගේ ආචාර්‍ය්‍යවාද සය දැයි අටළොස් ආචාර්‍ය්‍යවාද කෙනෙක් දෙවැනි සියවස තුළ පහළ වූහ. අඩළොස් නිකායයනුදු අටළොස් ආචර්‍ය්‍යකුලයනුදු තුලුන්ට මැ නමි. මෙයින් සතළොස් වාද කෙනෙක් භින්න වූවාහු බුදුසසුන් මහරුක්හි විසකටු සෙයින උපන්හ. ශ්ථවිරවාදය පමණක් මැ අසම්භින්න වූයේ ය. එහි ආචාර්‍ය්‍යවරයෝ දිවි දෙවැනි කොට තබා ජින ශාසනය අනූන අනධික කෙවලපරිපූර්‍ණ පරිශුද්ධ කොට රක්මින් වැටෙන්නාහු වෙත්.

අශොක සමය:

යථොක්ත අටළොස් ආචාර්‍ය්‍යවාදයන්ගේ වශයෙන් සසුන් පවත්නා කලහි දඹදිවැ ද්වීපචක්‍රවර්ති අශොක ධර්‍මරාජ තෙමේ උපන් සැදැහැතියේ දවසැ දවසැ පන්ලක්ෂයක් වැය කොට බුදුසසුන්හි මහත් අධිකාර පැවැත්විය. නට ලාභ ඇති තීර්‍ත්ථකයෝ ලාභ සත්කාරය සඳහා සසුන් වැද සසුනට අනෙක ප්‍රකාර අර්බුදමට කණ්ටක උපදවාලූහ. ඔහු උපොසථ කර්‍මාදියෙහි දු සඟ මැදට පිවිසෙති. භික්ෂුසඞ්ඝයා වහන්සේ උන් සමග පොහෝ පැවැරුණු නො කළහ. අශෝකාරාමයෙහි සත් අවුරුද්දක් පොහෝ පවුරුණු නැවැතිණ. රජඅණින් පොහෝ කරවන්නට ගිය බධිරගති ඇති බාල ඇමැතියකු විසින් බොහෝ භික්ෂූන් දිවියෙන් තොර කරනු ලැබු කල්හි, උපන් විපිළිසර ඇති රජ එ විපිළිසර හරන් සඳහාත් බුදුසසුන් නිරර්බුද කරනු සඳහාත් අහොගඞ්ගපර්‍වතයෙහි වැඩහුන් මොග්ගලිපිුත්තතිස්ස මහතෙරුන් වහන්සේ වැඩමවා, ඔබ අතින් සසුන් සමය ඉගෙන (අටුවායෙහි කී සෙයින්) සැටදහසක් අනතොටුවන් සුදුවත් හඳවා සසුනින නෙරැපියා, ‘වහන්ස, දැන් සසුන ශුද්ධ යැ, පොහෝ කළ මැනැවැ’ යි සඟනට ආරාධනා කොට අරක් දී නුවරට පිවිසියේ ය. සැටදහසක් පමණ වූ සමග මහාසඞ්ඝයා වහන්සේ අශෝකාරාමයෙහි රැස්ව පොහෝ කළහ.

ඒ සමාගමයෙහි මොග්ගලිපුත්තතිස්ස මහරහතුන් වහන්සේ වජ්ජිපුත්තක - සම්මිතීය ආදිනිකායවාසීන් තත් තත් පිටක සූත්‍රපදයෙහි සම්මොහයෙන් අර්‍ත්ථ වරදවා ගෙන උපදවා තුබු පුග්ගලකථා ආදි වස්තූන් ද, ශාසන විලොම වැ මතු උපදනා වස්තූන් ද ප්‍රතිබාහන සඳහා බුදුරදුන් වදාළ අභධර්‍ම නය වශයෙන් මැ කථාවස්තු මාතෘකා විභාග කරමින් සකවාදයෙහි සූත්‍ර පන්සියෙකැ, පරවාදයෙහි සූත්‍ර පන්සියෙකැ’ යි සූත්‍ර දහසක් සාධක වශයෙන් එළවා කථාවත්ථුප්පකරණය වදාළහ.

“මොග්ගලිපුත්තතිස්ස මහතෙරණුවන් කථාවස්තුව ප්‍රබන්ධ කරන ලදැ”යි ඇතැම් විචාරකයෝ කියති. ඒ උන්ගේ මතමාත්‍ර වත් මුත් ඔබ ප්‍රබන්ධ කළ කථාවස්තුයෙක් නැත. ධම්මසඞ්ගණි ආදි ෂට්ප්‍රකරණය සැරියුත් මහතෙරණුවන් වාචනාමාර්‍ගයට නඟා දේශනා කළ පරිදි මැ කථාවස්තුප්‍රකරණය ද මොග්ගලිපුත්තතිස්ස මහතෙරුන් විසින් වාචනාමාර්‍ගයට නඟා සඟමැද දෙසන ලද්දේ ය:

බුදුරජාණන් වහන්සේ යමාමහපෙළහර අවසනැ තිදසපුර පරසතුරුක් මුලැ පඬුඇඹුල්සලයෙහි වැඩහිඳ මාතෘදිව්‍යරාජයා කායසාක්ෂි කොට විජම් බණ දෙසන සේක් - සැරියුත් මහ තෙරණුවන්හට එහි නය පහදා වදාළාක් මෙන්, කථාවස්තු දේශනාවසරයෙහි “අනායෙහි මාගේ සව් මහපැනැති මොග්ගලීපුත්තතිස්ස නම් තෙර කෙනෙක් උපන් ශාසනමල විසෝධා පුද්ගලකථාදි කථාවනට වස්තු වූ ධර්‍මජාතය විභාග කොට දක්වතී” දැන නානප්‍රකාර ලබ්ධ විශොධනයට ද්වාර වූ, පෙළ විසින් බණවරක් තරම් වනසේ කථාවස්තුමාතෘකා දේශනා කොට වදාළ සේක. මහතෙරණුවෝ බුදුන් වදාළ නයෙහි සිට ඒ මාතෘකා පෙළ විසින් මැ විභාග කළහ.

එහි දැක්වූ වාදමාර්‍ගය යම් කිසි වාදී කෙනකුන් සමග උන් ඉදිරියෙහි කථාප්‍රතිකථායෙන් වාද කොට ප්‍රකාශ කරනලද්දෙකුදු නො වෙයි. තමන් වහන්සේ විසින් මැ නිකායාන්තරිකයන්ගේ ලබ්ධි විශොධනය සඳහා සකවාදී පරවාදී පුච්ඡා විස්සජ්ජනා වශයෙන් වදාරන ලද්දේ ය.

තෙ වන සඞ්ගීතිය:

ඒ සමාගමයෙහි රැස්වූ සැටදහසක් පමණ භික්ෂූන් වහන්සේ අතුරෙන් ත්‍රිපිටකධර වූ සිව්පිළිසිඹියාපත් එක් දහසක් මහතෙරවරුන් නඟාගෙන පළමුවන දෙවන සඞ්ගීතිද්වයෙහි මහාකාශ්‍යපස්ථවිරයන් වහන්සේ හා යශස්ථවිරයන් වහන්සේ හා ප්‍රමුඛ කොටගෙන ධර්‍මවිනය සඞ්ගායනා කළ සෙයින් මැ තුන් වැනි ධර්‍මසඞ්ගීතිය ද පවත්වාලූහ. මේ සඞ්ගීතිය දහසක් මහරහතුන් වහන්සේ විසින් කළ හෙයින සාහස්සිකා නම් වී. මෙහි දු විශේෂයෙක් නම්: විනය චූළවග්ගයෙහි පඤ්චසතිකක්ඛන්ධකයට අනතුරු කොට දෙවැනි සඞ්ගීති කථායෙහි ප්‍රකාශිත සත්තසතිකක්ඛන්ධකය ද, අභිධර්‍මසඞ්ගීතියට පැමිණ පුග්ගලපඤ්ඤත්තිප්පකරණයට අනතුරු කොට කථාවස්තු මාතෘකා විභාග කොට වදාළ කථාවත්ථුප්පකරණය ද සඞ්ඝීතියට නඟාලීම යි.

තවද චූළවග්ගපාළියෙහි භික්ඛුනීක්ඛන්ධකයට අනතුරු කොට එකාදශ ද්වාදශ ඛන්ධකයන් වශයෙන් පඤ්චසතික සත්තසතිකක්ඛන්ධකයන් (පළමුවන දෙවන සඞගීති කථා) සඟහා ලූ පරිදි තෙවන සඞ්ගීති කථා වශයෙන් සාහස්සිකක්ඛන්ධක නම් තෙළෙස්වැනි ඛන්ධකයක් එහි නො ආයේ කවර හෙයින යත්: මහාසඞගායනාත්‍රය මෙන් සිව්වැනි ධර්‍මසඞ්ගීතියක් නොපැවැත්ම එයට හේතු විය. ප්‍රථමසඞ්ගීතියෙහි සඞගීතිකාරකයන් විනයානුකූල කොට සම්මත කළ ඤත්තිදුතිය කර්‍මය ද, ද්වීතීයසඞ්ගීතියෙහි දශවස්තු විනිශ්චය සඳහා සම්මත කළ ඤත්තිකර්‍මය ද විනයෙහි දක්වාලීමේ යොග්‍යත්වය නිසා විනයක්ඛන්ධක අතුරෙහි එම සඞ්ගීතිකථා සඞ්ගෘහිත වී යයි සැලැකිය යුතු ය.

භින්නනිකායවාදීහු:

බුදුන් පිරිනිවි දෙවැනි සියවස ඇතුළත උපන් සතළොස් භින්නවාදයෝ යට දක්වන ලදහ. තුන්වැනි සඞගීතියෙන් පසු ව ද කලින් කල හෙමවතික යැ රාජගිරික යැ සිද්ධත්ථික යැ පුබ්බසෙලීය යැ අපරසෙලීය යැ වාජිරිය යැ යි ආචාර්‍ය්‍යවාද සයෙක් උපන. ධර්‍මප්‍රදීපිකායෙහි ගුරුළුගෝමී ඇදුරන් විසින් “එක්බිති මහාසාඞ්ඝිකාදි සප්තදශ නිකායවාසී බුදුසතුරන් පසුව හෛමවතාද නවනිකායවාසී …” ය නාදියෙන් අන්‍ය නකාය නවයෙක් පැවැති සේ දක්වන ලද්දේ ය. එ පඞ්චප්පකරණ අටුවායෙහි තැනින් තැනැ සඳහන් ලත් උත්තරාපථක යැ වෙතුල්ලක යැ හෙතුවාදී යැ යන තුන් නිකාය ද එක් කොට ගැනීමෙනි. වැඩි ගනනක් වාදකථා විෂයෙහි සඳහන් ලැබෙන අන්ධක යන නාමය වූ කලි පූර්‍වශෛලීය, අවරශෛලීය, රාජගිරික, සිද්ධාර්ථික යන නිකාය සතර සඳහා ව්‍යවහාර කරන ලද්දෙකි. එ මැ කීය කථාවස්තු අටුවායෙහි: “අන්ධකා නාම - පුබ්බසෙලියා අපරසෙලියා රාජගිරිකා සිද්ධත්ථිකාති - ඉමෙ පච්ඡා උප්පන්නනිකායා” යී. ආන්ධ්‍ර දෙශයට සමීපයෙහි වූ ධාන්‍යකටකයෙහි ‘පූර්‍වශිලා, අවරශිලා’ යයි ආරාම දෙකක් තුබූ බව චීන සංචාරක හ්‍යුංසාං කියි. එ අරම්වැසි ඇදුරන් උපදවාලූ වාද හෙයින් ප්‍රර්‍වශෛලීය අවරශෛලීය නම් වී යයි ද, රාජගිරික සිද්ධාර්‍ත්ථක යන වාද ආන්ධ්‍රදෙශිකයන් මැ උපදවාලූ එහෙයින් ද - මේ ආචාර්‍ය්‍යවාද සතර එක් කොට අන්ධක නාමයෙන් කථාවස්තු අටුවායෙහි හඳුන්වන ලද බව සැලැකිය යුතු ය.

නිකායාන්තර හා කථාවස්තුව:

යට දැක්වූ සවිස්සක් පමණ භින්න නිකාරයවාසීන් විසින් ත්‍රිපිටක පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත ජිනශාසනය වරදවාගෙන නිපදවාලූ විවිධ ලබ්ධි විශොධනය සඳහා කථාවස්තුමාතෘකා පළිය විභාග කරනලද්දේය. එහි පුග්ගලකථා, පරිහානිකථා ආදි වාදස්ථනයෝ දෙසියසතළොස (217) ක් පමණ වෙති. අටුවා ඇදුරු බිදුගොස් මහතෙරුන් වහන්සේගේ කාලය වන විට එ කී ආචාර්‍ය්‍යකුලයන් අතුරෙන් බොහෝ ගණනක් අභාවයට ගොස් හෝ නිකායාන්තරයන් හා සම්මිශ්‍රණයට පැමිණ හෝ තුබූ බව පෙනේ. ඉතිරි වැ සිටි වාදීහු නම්:

  1. අන්ධක
  2. අපරසෙලීය
  3. උත්තරාපථක
  4. කස්සපික
  5. ගොකුලික
  6. පුබ්බසෙලීය
  7. භද්‍රයානික
  8. මහාසඞ්ඝික
  9. මහිංසාසක
  10. රාජගිරික
  11. වජ්ජිපුත්ත
  12. වෙතුල්ලක
  13. සබ්බතථිවාද
  14. සම්මිතීය
  15. සිද්ධත්ථික
  16. හෙතුවාද

යන මොහු ය. මොවුනතුරෙහි ‘අන්ධක, උත්තරාපථක, වෙතුල්ලක, හෙතුවාද’ යන සතර නිකායයෝ පසුව ප්‍රකාශයට පැමිණියාහු වෙති. අන්ධක නාමයෙන් පුබ්බසෙලීයාදි නිකාය සතරක් ගත් බව කියා ඇත.

අශොක සමයෙහි සසුන් වැදී සිටි අන්‍ය තීර්‍ත්ථකයන්ගේ වාද බිඳුනට ‘කථාවස්තුව දෙශිතය’යි ඇතැම් කෙනෙක් කියති. එ ද උන්ගේ කල්පනා මාත්‍රයෙකි. ලාභහේතුයෙන් සසුන් වැදී සිටි ර්‍ත්ථකයෝ හෙළ පිළී හඳවා සසුනින් බැහැර කරනූ ලැබූහ. දෙ වැනි සඞ්ගීතියෙන් පසු භන්නවාද ගෙන සිටි සතළොස් නිකාය වාසීහ සසුනෙහි මැ රැඳී සිටියහ. මහාසමාගමයට රැස්වූ සැටදහසක් පමණ භික්ෂූහු ස්ථවිරවාදීහු මැ යැ. කථාවස්තුව දෙසන ලදුයේ වජ්ජිපුත්තකාදි නිකායවාසීන් “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො” යනාදි සූත්‍රපදයන් වරදවා ගෙන උපදවාලූ භන්නලබ්ධි විශොධනය සඳහා මැ යැ.

කථාවත්ථුප්පකරණ:

පුද්ගලවාදකථා ආදි වාදයනට වත්ථු (භූමි) වූ කාරණ කථාවත්ථු නම් වෙයි. ඒ කථාවස්තූන් සඞ්ග්‍රහ කොට දේශනා කළ ප්‍රකරණය ද කථාවත්තූප්පකරණ නම් වී. මෙහි එන වාදකථා දෙසිය සතොළොසෙකි. එ හැම වර්‍ග තෙවිස්සෙක සඞ්ග්‍රහ කොට ඇත. එහි ආදි වූයේ පුග්ගලකථා යැ. ප්‍රකරණය වාචනා මාර්‍ගයට නඟාලීමේ දී පුද්ගලකථාව සම්පූර්‍ණයෙන් විස්තර විය. එයින් මත්තෙහි ‘පරිහානිකථා’ ආදිය පෙය්‍යාල විසින් සංක්ෂිප්ත කරන ලද්දේය, එහෙයින් පුද්ගලකථායෙහි එන වාද ක්‍රමය අනුව හැම වාදකථාවක් ම සුදුසු පරිදි විස්තර කළ යුතු ය. පුග්ගලකථාව විභාගය:

මෙහි මුලින් විභාග කළ පුද්ගල කථාව - 1. සුද්ධසච්චිකට්ඨ යැ, 2. සුද්ධික සංසන්දනා යැ, 3. ඔපම්මසංසන්දනා යැ, 4. චතුක්කනයසංසන්දනා යැ, 5. ලක්ඛනයුත්තුකථා යැ, 6. වචනසොධන යැ, 7. පඤ්ඤත්තානුයොග යැ, 8. ගති - චුති - පටිසන්ධි අනුයොග යැ, 9. උපාදාපඤ්ඤත්තානුයොග යැ, 10. පුරිසකාරානයුගො යැ, 11. අභිඤ්ඤානුයොග යැ, 12. ඤාතක - ජාති - පටිපත්ති - උප්පත්ති අනුයොග යැ, 16. පටිවෙධානුයගො යැ, 17. සඞ්ඝානුයොග යැ, 18. සචචිකට්ඨසභාවානුයොග ය යි අටළොස් අයුරෙකින් පුද්ගලප්‍රශ්න විභාග කොට ඇත.

එහිදු සච්චිකට්ඨ ප්‍රශ්නකථාව සුද්ධසච්චිකට්ඨ යැ, ඔකාසසච්චිකට්ඨ යැ, කාලසච්චිකට්ඨ යැ, අවයව සච්චිකට්ඨයැ යි සච්චිකට්ඨ සතරෙකින් යුක්ත වෙයි.

කථාවස්තු පාළියෙහි සුද්ධසච්චිකට්ඨය පමණක් මැ සම්පූර්‍ණයෙන් විභාග කොට දක්වන ලද්දේ ය. ඔකාසසච්චිකට්ඨයෙහි පටන් ප්‍රකරණය මුළුල්ල පයේ‍යාලමුඛයෙන් සඞ්ග්‍රහ කොට ඇත. එහෙයින් සුද්ධසචචිකට්ඨය විස්තර කළ නයින් කථාවස්තු ප්‍රකරණයෙහි එණ වාදකථාක්‍රමය අවබොධ කටයුතු වෙයි.

සුද්ධසච්චිකට්ඨයෙහි අනුලොමපච්චනිකපඤ්චක යැ, පච්චනිකානුලොමපඤ්චක ය’යි පඤ්චක දෙකෙකි. එයින් පළමුවැන්න අනුලොමපඤ්චක, පටිකම්මචතුක්ක, නිග්ගහචතුක්ක, උපනයනචතුක්ක, නිගමනචතුක්ක’ යැ යි කොටස් පසෙකින් ද, දෙ වැනි පඤ්චකය ‘පච්චනිකපඤ්චක, පටිකම්මචතුක්ක, නිග්ගහචතුක්ක, උපනයනචතුක්ක, නිගමනචතුක්ක’ යැයි කොටස් පසෙකින් ද යුක්ත වෙයි.

“පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන? යො සච්චිකට්ඨො පරමත්ථො, තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන” යී පුච්ඡා, අනුයොග විසින් පරවාදී පක්ෂය ගත් වාදයෙහි හෙවත් ලබ්ධියෙහි නිග්‍රහ (දොෂ) ය නඟාලීම ය, අනුලොම පටිලොම වශයෙන් දෙවැදෑරුම් වූ පාපනා හෙවත් ‘තෙන වත රෙ’ යනාදීන් නිග්‍රහය පමුණුවාලීම ය, ආරොපනා හෙවත් “යං තත්ථ වදෙසි” යනාදීන් නිග්‍රහය අරොපණය කිරීම ය යන කරුණු පසින් යුක්ත වූයේ අනුලොම පඤ්චක නම් වේ. මෙහි අනුලොම පටිලොම විසින් ඨපනා දෙකකුදු ඇතුයෙන් ‘සත්තක’ යයි කියැයුතු යැ. එසේ නො කීමෙහි යුක්ති කිම? මෙහි ‘ඨපනා’ නම්: “මෙ තොපගේ දොෂයැ” යි පරවාදී පක්ෂය එහි පිහිටුවාලන හෙයින් වාදස්ථානපනමාත්‍රයෙක් ම මුත් පාපනාරොපනා සෙයින් අනුලොම පටිලොම පඤ්චකයෙහි ප්‍රධාන අවයවයෙක් නො වේ.

“පුග්ගලො නූපලබ්භති” යනාදීන් පරවාදීහු විසින් අනුලොමයෙන් හා ප්‍රතිලොමයෙන් පාපනාආරොපනා චතුෂකයාගේ වශයෙන් කළ ප්‍රතිකර්‍ම හෙයින් දෙවැන්න පටිකම්මචතුක්ක නම් විය. පටිකම්ම, නිගගහ, උපනයනා, නිගමන, යන චතෂ්කයෝ ද සිව්වැදෑරුම් පාපනාරොපනයන්ගේ වශයෙන් ලැබෙන සැටි සැලකිය යුත්තාහු ය. මෙසේ “පුග්ගලො උපලබ්භති” යනාදි අනුලොම පඤ්චකයාගේ ද”නූපලබ්භති” යනාදි වූ පටිකම්ම - නිග්ගහ - උපනයන - නිගමන චතුෂ්කයන්ගේ ද වශයෙන් අනුලොම - පච්චනික පඤ්චක ලැබෙති.

“පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන” යනාදීන් පච්වනිකනය පරවාදීහුගෙ පුච්ඡායෙන් ඇරැඹෙයි. එහි පච්චනික නයින් විරුද්ධපක්ෂය පිහිටුවාලීම යැ, අනුලොම පටිලොම වශයෙන් සිව්වැදෑරුම් වූ පාපනා ආරොපනා යැ යන මේ පච්චතිකපඤ්චක නම් වේ. යළි “උපලබ්භති පුග්ගලො” යනාදි වූ “පටිකම්ම-නිග්ගහ-උපනයන-නිගමන” චතුෂ්කයන්ගේ වශයෙන් පච්වනිකානුලොමපඤ්චක නම් දෙවැනි පඤ්චකය ගැනේ.

මේසේ මේ පළමුවැනි සච්චිකට්ඨයෙහි පඤ්චකයෝ දෙදෙනෙක් වෙති. ඒ පඤ්චකද්වයෙහි නිග්‍රහ දෙකෙකි. පළමුවැනි පඤ්චකයෙහි සකවාදී විසින් පරවාදී හට කළ නිග්‍රහය ශුද්ධ යැ. එහි පරවාදීහු විසින් පටිකම්ම වශයෙන් ඡලවාදයෙන් ලත් ජය අශුද්ධ යැ. අධර්‍මයෙන් ලත් ජය හෙයිනි. දෙවැනි පඤ්චකයෙහි පරවාදී විසින් සකවාදී හට කරන නිග්‍රහය අශුද්ධ යැ. යළි සකවාදී විසින් ධර්‍මවාදයෙන් පටිකම්ම කොට ලත් ජය ශුද්ධ යැ. ධර්‍මවාදයෙන් ලත් ජය හෙයිනි.

කථාවස්තුප්‍රකරණයෙහි එන සියලු වාදකථා මේ පළමුවැනි සච්චිකට්ඨය විභාග කළ ලෙසින් විමසා දත යුතු ය.

කථාවස්තුයෙහි වාදක්‍රමය:

කථාවස්තුප්‍රකරණයෙහි එන වාදක්‍රමය ‘ඨපනා, පාපනා, ආරොපනා’ යන අවයව තුනෙකින් යුක්ත ය. එහි ඨපනා නම්: විරුද්ධ මතය බිඳිනුසඳහා ඉදිරිපත් කරන වාදකථාවේ පූර්‍වපක්ෂ යි - ප්‍රධාන තර්‍කාඞ්ග යි. ඨපනායෙන් පැමිණෙන ඵලය පාපනා නම් වෙයි. එයින් ප්‍රතිවාදියා මත නැඟෙන නිග්‍රහය හෙවත් පරාජය ආරොපනා නම් වේ. මේ වාදක්‍රමය තවත් පහසුවෙන් වටහාගනු සඳහා නිදසුනක් එළවාලම්හ.

(1)සකවාදී: අකාර දෙකක් එක් වැ සන්ධි වීමෙන් ‘ආ’ කාරයෙක් වේ ද? (පුච්ඡා) පරවාදී: එසේ යැ (පටිජානනා - පටිඤ්ඤා)

(2)සකවාදී: ඉ ඉ දෙක එක් වැ ඊකාර නො වේ නම්, (පටිලොම - ඨපනා)

සකවාදී: අ අ දෙක එක් වැ ආකාරයක් වේ යයි ද නො කියැයුතු යැ. (පටිලොම - පාපනා)

සකවාදී: ඉ ඉ දෙක එක් වැ ඊකාර නො වේ යයි තොප කියන බස මිත්ථ්‍යා වේ. (පටිලොම - ආරොපනා)

මෙය අවරදිගැ තර්‍කක්‍රමය අනුව මෙසේ සිටී:

ඉ ඉ දෙක ඊ නො වේ නම්, අ අ දෙක ද ආ නො වේ. එහෙත් අ අ දෙක ආ වෙයි. එහෙයින් ඉ ඉ දෙක ද ඊ වේ.

අවරදිගැ ක්‍රමයෙහි අනුලොම ප්‍රතිලොම පක්ෂ දෙකින් ම පාපනාව බැහැර කරනලද වේ.

පූර්‍වපක්ෂය හෙවත් ප්‍රධාන තර්‍කාඞ්ගය පසුව දැක්වූ ක්‍රමයට පෙරැළුව හොත් ලැබෙනුයේ මෙසේ යැ:

අ අ දෙක ආ වේ නම්, ඉ ඉ දෙක ද ඊ වෙයි. අ අ දෙක ආ වෙයි. එහෙයින් ඉ ඉ දෙක ඊ වේ.

දෙවැනි තර්‍කක්‍රමයෙන් පරවාදීනේගේ දෙවැනි උත්තරය යළි පිහිටුවනු ලැබෙයි.

(3)පරවාදී: අ අ දෙක ආ නො වේ නම්, ඉ ඉ දෙක ද ඊ නො වේ. අ අ දෙක ආ නො වේ යයි ද, එහෙත් ඉ ඉ දෙක ඊ වේ යයි ද තෙපි කියව. අ අ දෙක ආ නො වේ නම්, ඉ ඉ දෙක ද ඊ නො වේ.

(4)යළි පරවාදී කියයි: මේ ප්‍රතිබාහනය සාවද්‍ය ද? එය තොප කී දැය හා සසඳා බලව. එහි අපි අ අ දෙක ආ වේ යයි කීම්හ. තෙපි අපගේ බස සාවද්‍ය යයි කියව. තොප අපට නැඟුයේ නැති දොසෙකි. අප දුන් පිළිතුර බලග. එ නයින් අපට දොස් නො නැඟිය යුතු වේ. තොපගේ දොෂාරොපණය සාවද්‍යය. අප තොපට කළ දොෂාරොපණය සාවද්‍යය. අප තොපට කළ දොෂාරොපණය නිරවද්‍ය වෙයි. අපගේ නිගමනය නිවැරදි වේ.

අට්ඨමුඛවාදයුත්ති:

කථාවස්තුයෙහි පුද්ගලකථාව පිළිබඳ පළමුවැනි සච්විකට්ඨයෙහි එන සිව්වැදෑරුම් සව්විකට්ඨයන් අතුරෙන එකෙකි සච්වීකට්ඨයෙහි ‘අනුලොම පච්වනික යැ, පව්වනිකානුලොම’ යැ යන පව්වනිකයන් දෙදෙනාගේ වශයෙන් අට්ඨමුඛවාදයුත්ති දක්ව ලදු. එහි ආකෘතිය මෙසේ යැ:

(1) පරමාර්‍ත්ථවශයෙන් පුද්ගල ඇද්ද? (පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරත්ථෙන)

(2) හැම තන්හි පරමාර්‍ත්ථවශයෙන් පුද්ගල ලැබේ ද? (සබ්බදා පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරත්ථෙන)

(3) (පුර්‍ව-පශ්චිමාදි) හැම කල්හි පරමාර්‍ත්ථවශයෙන් පුද්ගල ලැබේ ද? (සබ්බදා පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරත්ථෙන)

(4) (පඤ්චඛන්ධ-ද්වාදසආයතන - අට්ඨාරසධාතු - බාවීසතිඉන්ද්‍රිය යන සත්පනස් ධර්‍ම සඞ්ඛ්‍යාත) හැම විෂයෙහි පරමාර්‍ත්ථ වශයෙන් පුද්ගල ලැබේ ද? (සබ්බෙසු පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරත්ථෙන)

මේ සතරෙහි එක එක්හි නිග්‍රහ දෙකක් දෙකක් බැගින් ලැබෙන නිග්‍රහ අට ‘අෂ්ටමුඛ නිග්‍රහ’ නම් වෙයි. ‘අට්ඨමුඛ වාදයුත්තු’ යයි අටුවාහි කියන ලද්දේ එය මැ යි. පාළියෙහි අට්ඨකනිග්ගහ යයි ලියනු ලැබේ.

මෙය බෙදා ඇති සැටි විස්තර වශයෙන් මෙසේ ය:

  1. (i) සුද්ධසච්චිකට්ඨයෙහි සකවාදි පක්ෂයෙන් ඇරැඹෙන ප්‍රඨම නිග්‍රහකථාව වෙයි. “පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන” - ‘පරමාර්‍තථ වශයෙන් පුද්ගල ඇද්ද?’ යනාදිය ප්‍රශ්න යි. මෙහි සකවාදී පක්ෂයෙන් ඇරැඹෙන නිග්‍රහයෙහි අනුලොමපඤ්චකාදි කොටස් පස වෙයි.

(ii) ඒ සුද්ධසච්චිකට්ඨයෙහි ම “පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන” යී ‘පරමාර්‍තථ විසින් පුද්ගල නැද්ද?’ යනාදීන් පරවාදී පක්ෂයෙන් ඇරැඹෙන දෙවැනි නිග්‍රහය වෙයි. එහි පටිලොමපඤ්චකාදි කොටස් පස වෙයි.

(iii) “පුග්ගලො උපලබ්භති සච්විකට්ඨපරමත්ථෙන සබ්බත්ථ පුගගලො උපලබ්භති” යනාදීන් හැම තැන (හැම සිරුරෙක) පරමාර්‍තථ වශයෙන් පුද්ගල ඇද්ද? ආදි තෙවැනි නිග්‍රහ කථාව ද,

(iv) “සබ්බදා පුග්ගලො උපලබ්භති” යී හැම කල්හි (පූර්‍ව පශ්චිම ජාති කාලාදියෙහි) පරමාර්‍ත්ථ වශයෙන් පුද්ගල ඇද්ද? යනාදි සිව්වැනි නිග්‍රහය ද,

(v) “සබ්බෙසු පුග්ගලො උපලබ්භති” යී සියල්ලෙහි (ස්කන්ධාදි සත්පනස් ප්‍රභෙද ධර්‍මයෙහි) පරමාර්‍ත්ථ විසින් පුද්ගල ඇද්ද? යනාදි පස්වැනි නිග්‍රහය ද යන අනුලොමපඤ්චක නිග්‍රහකථා තුන ම සකවාදීපක්ෂයෙන් ඇරැඹෙයි.

(vi) අනතුරුව “සබ්බත්ථ පුග්ගලො නූපලබ්භති” යී සියලු නත්හි පරමාර්‍ත්ථ වශයෙන් පුද්ගල නැද්ද? යනාදි සවැනි නිග්‍රහය ද,

(vii) “සබ්බදා පුග්ගලො නූපලබ්භති” යී හැම කල්හි පුද්ගල පරමාර්‍ත්ථ වශයෙන් නො ලැබේ ද? යනාදි සවැනි නිග්‍රහය ද,

(viii) “සබ්බෙසු පුග්ගලො නූපලබ්භති” යී හැම ධර්‍ම විෂයෙහි පරමාර්‍ත්ථ වශයෙන් පුද්ගල නැද්ද? යනාදි අටවැනි නිග්‍රහ කථා දැ යි අවසානයෙහි පච්චනිකානලොම නිග්‍රහකථා තුන පරවාදි පක්ෂයෙන් ඇරෑඹෙයි. ඒ හැම තන්හි අනුලොම පඤ්චකාදි කොටස් පස යෙදෙන සේ සැලැකිය යුතු ය.

“එත්තාවතා සුද්ධිකස්ස චෙව ඉමෙසඤ්ච තිණ්ණන්ති චතුන්නං සච්චිකට්ඨානං එකෙකස්මිං සච්චිකට්ඨෙ අනුලොම පච්චනිකස්ස ච පච්චනිකානුලොමස්ස චාති ද්වින්නං ද්වින්නං පච්චනිකානං වසෙන අයං අට්ඨමුඛා නාම වාදයුතති නිදදිට්ඨා හොති” යනු අටුවා යි. සුද්ධික - ඨාන - කාල - ඛන්ධාදි විසින් සිව්වැදෑරුම් සච්චිකට්ඨ (සත්‍යාර්‍ත්ථ) යන් අතුරෙහි එකෙකි සච්විකට්ඨයෙහි යෙදෙන අනුලොමපච්චනික යැ, පච්චානිකානුලොම යැ” යි දෙවදෑරුම් පච්චනිකයන්ගේ වශයෙන් අට්ඨමුඛවාදයුත්තී දක්වන ලදු.

කථාවස්තුයෙහි සූත්‍ර දහසෙක් ඇත:

“මොග්ගලිපුත්තතිස්සත්ථෙරො … සත්ථාරා දින්නනයවසෙනෙව තථාගතෙන ඨපිතමාතිකං විභජන්තො සකවාදෙ පඤ්චසුත්තසතානි පරවාදෙ පඤ්චාති සුතතසහස්සං ආහරිත්වා ඉමං … කතාවත්ථුප්පකරණං අභාසි” යනු අටුවා යැ.

මොග්ගලිපුත්තතිස්ස තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසින් දී වදාළ නය වශයෙන් මැ තථාගතයන් තැබූ (කථාවස්තු) මාතෘකාව විභාග කරමින් සකවාදයෙහි සූත්‍ර පන්සියෙක, පරවාදයෙහි සූත්‍ර පන්සියෙකැයි සූත්‍ර දහසක් ඇරැගෙන මේ කථාවස්තුප්‍රකරණය වදාළහ යුනු එහි අදහසයි.

‘සකවාදයෙහි පන්සියෙක පරවාදයෙහි පන්සියෙකැ’ යි සූත්‍ර දහසක් එළවා කථාවස්තු දෙසූහ. කථාවස්තුයෙහි වාදකථා දෙසියසතළොසෙකි. ඇතැම් ලබ්ධියක් පිහිටුවාලන්නට පරවාදී පක්ෂයෙන් ද, එය විශොධනය සඳහා සකවාදී පක්ෂයෙන් ද ඉදිරිපත් කළ සාධකදෙශනා සූත්‍ර බොහෝ ගණනෙකි. කිසි විටෙක එක් මැ සූත්‍රය කිහිපතැන යෙදී ඇත. මෙසේ කථාවස්තුප්‍රකරණයෙහි සූත්‍ර දහසෙක් ඇති සේ සැලැකිය යුතු ය.

කථාවස්තුප්‍රකරණයෙහි අෂ්ටමාතෘකායෙක් ඇතැ’යි කෙනෙක් කියති. හෙ ද සනාථ කො නැත. “තථාගතෙන ඨපිත මාතිකං” යී කථාවස්තු මාතෘකාව එකක් මැ බව මේ වාක්‍යයෙන් පැවසේ. අෂ්ටමාතෘකායෙක් වී නම්, “තථාගතෙන ඨපිතාට්ඨමාතිකායො” යී බුහුබසින් පවසනු ඇත. කථාවස්තු මාතෘකා කොහි වී යැ යත්: පුග්ගලපඤ්ඤත්ති මාතෘජා අවසනැ බණවරකට මඳක් අඩු පුද්ගල මාතෘජා ඇත. එ මැ කථාවස්තුයෙහි මාතෘජා වී යයි සිතම්හ. “අයං අට්ඨමුඛා නාම වාදයුත්ති නිද්දට්ඨා හොති” යී කථාවත්ථුප්පකරණය පුග්ගලකථායෙහි මුලින් මැ එන වාදමුඛ අෂ්ටකය ගෙන කථාවස්තු ප්‍රකරණයට අෂ්ටමාතෘකාවක් ඇතැ’යි ගත් සේ ද? විමසන්න!

බෞද්ධන්‍යාය:

කථාවස්තු දේශනාවෙන් යට දැක්වූ පරිදි වාදයුක්ති = වාදන්‍යාය ඉදිරිපත් කරමින් ඒ ේ නිකායවාසීන් තථාගතසමයවිරොධි කොට ගත් ලබ්ධි විශොධනය කොට ඇත. එහෙයින් පවිත්‍ර වූ බෞද්ධන්‍යායෙයෙක් ඇත් නම්, මේ කථාවස්තුයෙහි එන වාදයුක්තික්‍රමය මැ යි. ජිනවචනානුයායී ස්ථවිරවාදයට විරොධී වැ සිටි දිඩ්නාග, ධර්‍මකීර්ති, අසඞ්ග, වසුබන්ධි ආදි කීර්තිමත් බෞද්ධ නෛය්‍යායිකයන් ඒ ඒ න්‍යායශාස්ත්‍ර නිපදවාලීමෙහි ප්‍රොත්සාහී වූයේ තමන් තමන් ගත් ලබ්ධිස්ථාන සනාථකිරීම සඳහා මැ ය. ඔවුනට ආදර්‍ශ වූයේත් උන් වාදොන්මුඛ කොට යතාලූයේත් කථාවස්තුප්‍රකරණය මැ යි. එහෙත් කථාවස්තුයෙන් සකාරණ කො ලබ්ධි විශෝධනය කළ ද , ඇතැම් නිකායන්තරවාදීහු කථාවස්තු නො පිළිගත්හ. ස්වකීය දුර්ලබ්ධිය තර කිරීමට ම මඟ සෙවූහ. මේ විමසන්න:

අන්තරාභවකථා:

පූර්‍වශෛලීය - සම්මිතීය ඇදුරොල්හි වූවෝ අඞ්ඟුත්තරනිකාය තිකනිපාතයෙහි වදාළ “සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති” යන සූත්‍රපදය නුනුවණින් ගෙන ‘අන්තරාභවයෙහක් ඇතැ’ යි ද, මෙ ලොවින් සැවැ පරලොව ගිය සත්ත්වයා දිවැස් නැති වැ, දිවැස්, ඇතියකු සෙයින ද, ඍද්ධි නැති වැ ඍද්ධි ඇතියකු සෙයින් ද, මවුගේ ඔසප්කාලය ද මවුපියන්ගේ සඞ්ගමය ද බලමින් සතියක් හෝ අතිරෙක සතියක් පමණ කල් සිටුනේ යී ද, මරණයත් මවුකුස පිළිසිඳ ගැනුමත් අතර කාලය අන්තරාභව නමැයි ද කීහු.

‘අන්තරාපරිනිබ්බායී පුද්ගලයෙක් ඇතැ’ යි යන හේතුවින් අන්තරාභවයක් ඇතිවත් මැ උපහච්චපරිනිබ්බායී ආදි පුද්ගලයනුදු ඇතියෙන් උපහච්චභවාදිය ද ඇති වියැයුතු යැ. පරවාදීන් එබඳු භවයක් ප්‍රතිඥා නො කරන හෙයිනුදු, කාමරූපාදි භවයන් අතුරෙහි අන්තරාභවයක් නැති හෙයිනුදු, කාමාදි තුන් භවයන් හැර සතරවැනි භවයන් නැති හෙයිනුදු, අන්තරාභවූපග කර්‍මයක් නැති හෙයිනුදු, හැම සත්නට අන්තරාභවයක් නැති හෙයිනුදු, එ කියන අන්තරාභවයෙහි වේදනා සංඥාදිය නැති හෙයිනුදු, ජරාමරණ නැති හෙයිනුදු, එ කියන අන්තරාභවයෙහි වේදනා සංඥාදිය නැති හෙයිනුදු, ජරාමරණ නැති හෙයිනුදු ‘අන්තරාභවයෙක් නැතැ’ යි කථාවස්තුයෙහි දී එ වාදය ඛණ්ඩනය කරනලද්දේ ය.

පසු වැ අන්තරාභවවාදීහු අන්තරාභවයෙක් ඇති මැ යයි දක්වන්නට තෙවළායෙන් සාධක සොයනුවෝ “තතො ත්වං බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන” යන උදානපාළි යැ බාහිය සූත්‍රපාඨයෙහි එන “උභයමන්තරෙන” යන පදය ද, “භූතා වා සම්භවෙසී වා” යන සුත්තනිපාතයෙහි කරණීයමෙත්තසූත්‍ර පාඨය ද අර්‍ත්ථ විපරීත කොට ප්‍රමාණ වශයෙන් ගත්හ. උදානපාළියට අටුවා ලියන භදන්ත ධම්මපාලාචාරීන් විසින් තථාගතානුමත වූ අර්‍ත්ථකථා විවරණ කරමින් එයිනුදු ‘අන්තරාභවයෙක් ඇති’ යි නො වදාළ බව හෙළි කරනලද්දේ ය.

උදාන අටුවා සම්පාදනයෙන් කලකට පසු චැ සර්‍වාස්තිවාදී නිකායික වූ වසුබන්ධු නම් ආචාර්‍ය්‍යවරයා අන්තරාභවවාදය තව තවත තර කරමින් යට දැක්වූ සූත්‍ර හා මැදුම්සඟි යැ මහාතණ්හාසඞ්ඛය සූත්‍රයෙහි “මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති” යී වදාළ තැන්හි ‘ගන්ධබ්බො’ යනුයෙහි “ගන්ධර්‍ව = ගඳ අනුභවකරන්නා-ගන්ධානුභවයට යන්නා” යි නිරුක්ති හෙයින් ‘ගන්ධර්‍ව’ නම් වූ යේ අන්තරාභවික සත්ත්වයා මැ යයි ගෙන අභිධර්‍මකොෂ යෙකි ලොකධාතු නිර්‍දෙශයෙහි කාරිකා කිහිපයෙකින් අනතරාභවවාදය නඟාලී ය. එමතු ද? සංස්කාරප්‍රත්‍යයෙහන් ප්‍රතිසන්ධිවිඥානයාගේ සම්භවය දක්වනු සඳහා අටුවායෙහි වදාළ ප්‍රතිබිඞ්බොපමාව ද වසුබන්ධූන් විසින් බැහැර කරනලද්දේ ය. (ප්‍රතිබිම්භං අසිද්ධත්වාත් අසාම්‍යාච්චානිදර්‍ශනම්.) එ ද අන්තරාභවවාදය තරකිරීමෙහි මඟක් වශයෙනි.

කථාවස්තුයෙහි “අන්තරාභවෙ අත්ථි රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤ්ණං” යී අන්තරාභවයෙහි රූප වෙදනා සංඥා සංස්කාර විඥාන ඇද්ද? යන සකවාදී (ස්ථවිරවාදී) ප්‍රශ්නයට ‘නැති’ (න හෙවං වත්තබ්බෙ) යී පරවාදී (නිකායන්තරවාදී) පිළිතුර විය. එහෙත් අභිධර්‍මකොෂයෙහි (අසාවෛෂ්‍යත් පූර්‍වකාලභවාකෘතිඃ) ‘අන්තරාභවිකයා පූර්‍වකාලයට සමාන ආකෘති දරයි ද,’ (සකලොක්ෂඃ) චක්ෂුරාදි සියලු ඉන්ද්‍රිය රූපයෙන් සංයුක්ත’යයි ද, කියමින් පරවාදියා මුල දී බැහැර කළ කරුණු පසුව පිළිගෙන ඇති සැටි ද, ‘අන්තරාභව උප්පත්තිභව පූර්‍වකාලභව මරණභව’ යී භව සතරක් නිර්‍මාණය කරමින් සද්ධර්‍මප්‍රතිරූප මවා ඇති සැටි ය විමැසිය යුතු ය.

නිරයපාලකථා:

“සකානි කම්මානි හනන්ති තත්ථ” යන ණිතාර්‍ත්ථ සූත්‍රපදය විපරිත කොට ගෙන ‘නිරය නිරයපාලෝ නැති’ යී ද, ස්වකීය ‘නෙරයිකකර්‍මයෝ මැ නිරයපාලරූපයෙන් සිට නිතිරසත්නට හිංසා කෙරෙතී යී’ ද අන්ධකනිකාය වාසීහු කියති. තිකඞ්ගුත්තර දේවදූත සූත්‍රයෙන් ද “තමෙනං භික්ඛවෙ නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං කාරෙන්ති” යනාදි නෙයාර්‍ථ සූත්‍ර දක්වා කථාවස්තුයෙහි දී ඒ නිරයපාලවාදය බැහැර කොට ඇත. එහෙත් පපඤ්චසූදනී මනොරථපූරණී අටුවා දෙක්හි මැ: “එකච්චෙ ථෙරා නිරයපාලා නාම නත්ථි, යන්තරූපං විය කම්මමෙව කාරණං කාරෙතීති වදන්ති. තං අත්ථි නිරයෙසු නිරයපාලාති, ආමන්තා, අත්ථී ච කාරණිකාති ආදිනා නයෙන අභිධම්මෙ පටසෙධිතමෙව” යී මේ ආන්ධ්‍රකයන්ගේ වාදය ම “එකච්වෙ ථෙරා” යී ඒකත්‍යවාදයක් ලෙස දක්වන ලද්දේ ය. ආන්ධ්‍රක නිකාය සතරින් ඇතැම් ඇදුරොලෙක් ස්ථවිරවාදීන්ට සමීපව සිටියා වනැ’යි සිතියැ යුතු ය. ආන්ධ්‍රකවාදයක් වූ නිරයපාලකථාව සඟිඅටුවාවට ආයේ එහෙයිනි. සමන්තපාසාදිකායෙහි ද බොහෝ තැනෙක අන්ධකයන්ගේ අටුවායෙන් නඟාගත් කරුණු සඳහන් ව ඇති සැටි ද සැලැකියැ යුතු ය.

වාදයන්ට සම්බන්ධ නිකායාන්තරිකයෝ: කථාවස්තුප්‍රකරණයෙහි විශෝධනයට භාජන වූ දෙසියසතළොසක් වාදකථාවන් අතුරෙන් එක්සත්තෑවක් පමණ වාදයන්ට සම්බන්ධ වූවාහු යථොක්ත අන්ධක ඇදුරොලෙහි වූවෝ ය. පුබ්බසෙලීයාදි අන්ධක නිකායාන්තරිකයන් වෙන වෙන මැ උපදවාලූ වාදකථා ද ඇත. ඒ ඒ නිකායිකයන් තමන් තමන්ගේ ලබ්ධවශයෙන් සම්බන්ධ වූ වාදකථා කථාවස්තුඅටුවායෙහි සඳහන් ලත් පරිදි මෙසේ යැ:

1.අන්ධක වාද 71 9.මහිංසාසක වාද 9 2.උත්තරාපථක “ 41 10.අපරසෙලීය “ 5 3.මහාසංඝික “ 32 11.වෙතුල්ලක “ 3 4.පුබ්බසෙලීය “ 27 12.සබ්බත්ථවාදී “ 2 5.සමමිතිය “ 25 13.වජ්ජිපුත්තක “ 2 6.රාජගිරික “ 10 14.කස්සපික “ 1 7.සිද්ධත්ථික “ 10 15.ගොකුලික “ 1 8.හෙතුවාදී “ 10 16.භද්‍රයානික “ 1

මහායානසම්භවය

අශෝකාධිරාජ්‍යයෙහි නිකායාන්තරිකයන්ගේ පක්ෂබල හීන වූයෙන් ඔහු ප්‍රත්‍යන්ත ජනපදයන් කරා එළැඹැ නිශ්ශබ්දලෙශයෙන් කල් යැවූහ. ගන්ධාර දෙශයෙහි පුරුෂපුරය (පෙෂාවර්) ඔවුන්ගේ මධ්‍යස්ථානය විය. බුදුන් පිරිනිවි සවැනි සියවසෙහි කණිෂ්කාධිරාජයා දඹදිවැ ආධිපත්‍යයට පැමිණි කල්හි එ රජු පහදවාගත් ඔහු එ රජුගේ මැ ආරාධානයෙන් පනසියක් භික්ෂූහු එක් වැ ගෙන කුණ්ඩලවන විහාරයෙහි සඞ්ගීතියක් කළහ. ඒ වූ කලි මහාසංඝිකාදි නිකායවාසීන් නිපදවාලූ ග්‍රන්ථයනට ‘විභාෂා’ නම් ටීකාග්‍රන්ථ සම්පාදනය කිරීමෙකි. එ විභාෂා ග්‍රන්ථයන් පිළිගත් හැම එක් ඇදුරොලක්බවට ගියහ. ඔහු හැම බුදුබවට පැමිණීමෙන් මැ නිර්‍වාණාධිගමය කළයුතු යැයි ගෙන, තුමූ මැ මහායාන නම් වූහු. විභාෂා නො පිළිගත් නිකායාන්තර කීපයක් හා අසම්භින්න ස්ථවිරවාදය හා හීනයාන යී නම් කළහ. ඒ උන්ගේ මානමදයෙන් කළ ආරොපණ මාත්‍රයෙකි.

කල් යාදී වෛභාෂිකයෝ විවිධ ලබ්ධිහේතුයෙන් ම ‘සර්‍වාස්තීවාදී යැඨ සෞත්‍රාන්තික යැ, විඥානවාදී යැ, ශුන්‍යවාදී යැ’යි කොටස් සතරකට බිඳීගියහ. ලබ්ධිවශයෙන් භින්න වුව ද ඔහු නාලන්දා වික්‍රමශිලා ඔදත්තපුරී ආදි ස්ථාන මූලායතන කොටගෙන මහායානිකයන් වශයෙන් එක් වැ විසූහ.

කථාවස්තුයෙහි වාක්ප්‍රයොග:

කථාවස්තුප්‍රකරණය විභාග කරනලදුයේ බුදුන් පිරිනිවි තුන්වැනි සියවසෙහි යැ. මේ කාලාන්තරයෙහි පාළිමාගධිකව්‍යාවහාරයෙහි දී ඇතැම් ශබ්දප්‍රයොගයන්ගේ යම් යම් වෙනස්වීම් සිදු වූ බව පෙනේ. තත්කාලීනව්‍යවහාරයෙහි පැවැති අයුරු යෙදුණු ශබ්දප්‍රයොග කථාවස්තුයෙහි දැක්ක හැකි ය. (මෙ ද කථාවත්ථුප්පකරණය රචනා කළ ග්‍රන්තයක් නො ව මොග්ගලිපුයත්තතිස්ස මහරහතුන් වහන්සේගේ දේශනාවක් බවට සාධකයක් වෙයි.) එබඳු කිහිපතැනෙක් මෙසේ යැ:

සච්චිකට්ඨ:

මායා මරීචි ආදිය සෙයින් අභූත නො වූ, භූත වූ සත්‍ය වූ අර්‍ත්ථය ‘සච්චට්ඨ’ යනු වේ. මේ අර්‍ථ්ථයෙහි ‘සච්චිකට්ඨ’ ශබ්දය ම කථාවස්තුයෙහි බෙහෙවින් යෙදී ඇත.

න හෙවං වත්තබ්බෙ:

‘න හි + එවං’ යී විච්ඡෙද යි. ‘න හ එවං’ යි හෝ වෙයි. ‘හි’ කීව ද, ‘හ’ කීව ද වාක්‍යපූරණයෙහි නිපාත යැ. ‘එසේ නො කියැයුතු යැ’ (න එවං වත්තබ්බො) යනු වේ.

වත්තබ්බෙ:

ලිඞ්ගාර්‍ත්ථයෙහි එකත්වයෙහි ‘සි’ හට ‘එ’ වූ තැනි. සූත්‍රපාළියෙහි දු කිසිතැනෙක ‘වනප්පගුම්බෙ ඵුස්සිතග්ගෙ’ ආදියෙහි සෙයින් ඉතා විරල වැ මේ ප්‍රයොගය ආත ද කථාවස්තුයෙහි ‘නිග්ගහෙතබ්බෙ, දුන්නිග්ගහිතෙ, එකට්ඨෙ, තජ්ජාතෙ’ ආදි විසින් මේ ප්‍රයොගය බහුල වැ දක්නට ඇත.

හඤ්චි:

‘සචෙ’ හෝ ‘යදි’ ඉදින් ශබ්දාර්‍ත්ථයෙහි නිපාත යැ. සූත්‍රපළියෙහි දුර්ලභ වූ මේ අව්‍යයරූපය ද කථාවස්තුයෙහි සුලභ වේ.

ආමන්තා:

ප්‍රතිඥායෙහි නිපාත යැ. අන් තන්හි ‘ආම, ආමො, එවං’ යී යෙදෙන ප්‍රතිජානනාර්‍ත්ථයෙන් කථාවස්තුයෙහි මේ යෙදෙන සැටි යි.

හෙවං:

මෙහි ‘හ’ කාර ආගමජ යි. ‘එවං’ යනු වේ. ‘හෙවමෙවං, හෙතාය පටිඤ්ඤාය’ ආදි අනෙකස්ථලයෙහි පදාදි වූ ආගමහකාරය කථාවස්තු පාළියෙහි ඇත.

එසෙ සෙ:

‘එසො සො’ (තෙලෙ හේ මැ වෙයි.) නොහොත් ‘එසො එසො’ (තෙලෙ තෙලෙ මැ ය.) ‘එසො එසො යෙව’ යනු වේ.

හෙවත්ථි:

මෙහි දු හකාර ආගම යැ. නිග්ගහීත ස්වරලොප යි. ‘එවං අත්ථි’ යනු වේ හෙව නත්ථි ‘එවං නත්ථි’ යනු වේ.

සෙවත්ථි සෙව නත්ථි:

‘සො එව අත්ථි, සො එව නත්ථි’ (හෙ මැ ඇත, හෙ මැ නැත) යනු වේ.

අත්ථට්ඨො නත්ථට්ඨො:

‘අත්ථ සභාවො, නත්ථි සභාවො’ අසත්‍යර්‍ථය නාසත්‍යර්‍ථය (ඇත යන ස්වභාව, නැත යන ස්වභාව) යනු වේ.

ත්වත්ථි ත්වාතීතං:

‘නො අත්ථි, නො අතීතං’ යනු වේ.

කථාවස්තුසංස්කරණය:

කථාවත්ථුප්පකරණය කිහිප වරෙක සංස්කරණයෙන් මුද්‍රණය වී ඇත. බුද්ධජයන්ති සමයෙහි බුරුමරට දී සිදු කළ ඡට්ඨසඞ්ගායනාවෙනුදු සංස්කරණය ලැබ මුද්‍රණය විය. මේ වූ කලි නවීනතම සංස්කරණය විය හැකිය.

බුද්ධජයන්තී ත්‍රිපිටකපාළි සංස්කරණය නම්: ත්‍රිපිටක ග්‍රන්ථයන්හි දීර්‍ඝකාලාන්තරයෙහි ලේඛකදොෂයෙන් ජනිත වූ අක්ෂර පද බ්‍යඤ්ජනයන් පිළිබඳ විපරීතතායෙක් වේ නම් එය බැහැර කොට, ත්‍රිවිධ සඞ්ඝායානාවට නැගීගිය ශුද්ධ වූ පාඨය මැ මතු කොට ගැනීම ය. මේ කාර්‍ය්‍යයෙහි ප්‍රබල වූ විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි සම්මාන උපකුලපති පරවාහැර ශ්‍රී වජිරඤාණාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛත්වය ඇති බුද්ධජයන්තී ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙන් කථාවත්ථුප්පකරණයේ සංස්කරණය සිදු වී ඇත. මේ සංස්කරණයෙන් ශුද්ධියට පත් පදපාඨ ඒ ඒ පිටුයෙහි පාඨාන්තර විසින් දක්වා ඇතියෙන් වෙන මැ සඳහන් නො කළ මනා යැ.

කථාවස්තුප්‍රකරණය තථාගතභාෂිතය පිළිබඳ පරවාදමථනය සඳහා වාද ප්‍රතිවාලෙශයෙන් වදාරනලද්දෙකි, එහෙයින් එහි ප්‍රණීත වූ න්‍යායමාර්‍යෙකුදු ඇත. (එය මෙහි මුල දී සැකෙවින් දැක්විණි.) ග්‍රන්ථලාඝවය සඳහා ප්‍රශ්න දෙකක් තබා ප්‍රකරණය මුළුල්ල පෙය්‍යාලමුඛයෙන් සඞ්ග්‍රහ වී ඇත. මෙසේ එහි කථාමාර්‍ගය අතිශයින් දුරවබොධය. මේ සංස්කරණයෙහි ලා හැම කථා මාර්‍ගයෙක මැ සකවාදී පරවාදී දෙ පක්ෂය ද, ඒ ඒ පක්ෂයෙහි පුච්ඡා පටිජානනා (පටිඤ්ඤා) අනුයොග පටික්ඛෙප හා අනුලොම පටිලොම විසින් සිටි ඨපනා පාපනා ආරොපනා හා නිග්ගහ ද වෙන කොට දැක්වෙයි. පුග්ගලකථාදි එක් එක් කථායෙහි බැසගෙන සිටි ප්‍රශ්න වෙන් කොට දක්වනු සඳහා අනුක්‍රමයෙන් අඞ්ක යොදා ඇත. එක් එක් අඞ්කය තුළ ‘සකවාදී පුච්ඡා’ ‘පරවාදී පටිඤ්ඤ්’ ආදිය පිළිබඳ සංකේත පද ද පෙළ ඉදිරියෙහි යෙදිණ. ඒ ඒ පිටුවෙහි දකුණු පසින් දෙශනා පාළිය ද, හැම පාළි පිටුවක් ඉදිරිපිට යට කී ලෙසින් සංලක්ෂිත වූ සිංහල පරිවර්‍තනය ද යොදා ඇත.

සිංහල පරිවර්‍තනය:

බුද්ධජයන්ති උත්සව අනුස්මරණය සඳහා ලඞ්කාරාජ්‍යය විසින් සම්මත වූ විශිෂ්ටතම කාර්‍ය්‍ය වූයේ ත්‍රිපිටකය සිංහල භාෂාවට නගාලීම යි. ත්‍රිපිටකයෙහි ඇතැම ග්‍රන්ථයෙක් නොයෙක්වර සන්න පිටපත් හා පරිවර්‍තන ද්වාරයෙන් නොයෙක් ලෙසින් සිංහලට නැගි ඇත ද, ඇතැම් ග්‍රන්ථයෙක් එබඳු පරිවර්‍තනයකට කිසිකලෙම භාජන වී නැත. කථාවස්තුප්‍රකරණය ද එබඳු ග්‍රන්ථයෙකි. එයට අටුවා ටීකා අනුටීකා ඇත ද එ හැම ඉතා සංක්ෂිප්ත යැ. පෙළ විසින් ද කථාවස්තුප්‍රකරණය දුර්බොධ යැ. එය පරිවර්‍තනය සඳහා ලංකාබෞද්ධමණ්ඩලය විසින් ආරාධිත වූවෝ ශ්‍රී ලඞ්කා දක්ෂිණදිශාභාගයෙහි ප්‍රධාන සඞ්ඝනායක තන් පැමිණියෝ යැ. ව්‍යාකරණ ඡන්දොලඞ්කාරතර්‍කන්‍යායෙතිහාස සහිත ප්‍රාචීන භාෂා විෂයෙහි පණ්ඩිතොපාධිය අයත්නයෙන් හිමිකරගතුවහ. ලක්දිවැ වත්මන් පඬරුවන්වැළෙහි තරලමිණි වූවහ. ලෙඛකයන් කෙරෙහි අග්‍රෙසර ව්‍යක්ත වාදී වූ, අහංගම විද්‍යාචන්ද්‍ර පිරුවන් හිමියෝ ය. ඔබ කෝදාගොඩ ශ්‍රී ඥානාලොකාභිධාන මහාස්ථවිරයන් වහන්සේ යි.

කථාවස්තු පිළිබඳ මේ සංඥාපන සංලක්ෂණ සම්පාදනයෙහි දී අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායකස්ථවිරපාදයන් වහන්සේ අපට උපස්තම්භක වැ සිටි බව ද, පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ ඇතැම් කරුණු සංසන්දනායෙහි සහාය වූ බව ද මෙහි ලා පවසම්හ.

ලබුගම ලඞ්කානන්ද ස්ථවිර. බුද්ධවර්ෂ 2511, ප්‍රවචනොදය පිරිවෙන,මොල්ලිගොඩ,වාද්දුව.

සඞ්කෙත නිරූපණය

ස.පු: … සකවාදී පුච්ඡා

ප.පටිඤ්ඤා: … පරවාදී පටිඤ්ඤා

ස.අනු: … සකවාදී අනුයොගො

ප.පටි: … පරවාදී පටික්ඛෙපො

ප.පු: … පරවාදී පුච්ඡා

ස.පටිඤ්ඤා: … සකවාදී පටිඤ්ඤා

ප.අනු: … පරවාදී අනුයොගො

ස.පටි: … පරවාදී පටික්ඛෙපො

අනු.ඨ: … අනුලොම ඨපනා

අනු.පා: … අනුලොම පාපනා

අනු.ආ: … අනුලොම ආරොපනා

පටි.ඨ: … පටිලොම ඨපනා

පටි.පා: … පටිලොම පාපනා

පටි.ආ: … පටිලොම ආරොපනා

ස.නි: … සකවාදී නිග්ගහො

ප.නි: … පරවාදී නිග්ගහො

ස.නිග: … සකවාදී නිගමනං

ප.නිග: … පරවාදී නිගමනං

ස.වි: … සකවාදී විසජ්ජනා

ප.වි: … පරවාදී විසජ්ජනා

පොත්ථක සඞ්කෙත

සීමු: … සීහළක්ඛර - මුද්දිත පොත්ථකං

ස්‍යා: … ස්‍යාමක්ඛර - මුද්දිත පොත්ථකං

මඡසං: … මරම්මඡට්ඨසඞ්ගීති පොත්ථකං

PTS: … Pali Text Society Edition