සංඥාපනය
අභිධර්‍ම, සප්තප්‍රකරණයට අයත් විභඞ්ගප්පකරණය ග්‍රන්ථප්‍රමාණය සලකා කාණ්ඩ දෙකක් වශයෙන් මුද්‍රණය කරවීමට නියම විය. එහි ඛන්ධවිභඞ්ගයේ පටන් විභඞ්ග නවයකින් ප්‍රථමභාගය සංගෘහිත විය. “බොජ්ඣඞ්ග” විභඞ්ගයේ පටන් “ධම්මහදය” විභඞ්ගය අවසන් කොට ඇති මේ ද්විතීය භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි තෙසාලිස් 43 වැනි ග්‍රන්ථය වශයෙන් පළවන්නේය.
සකල ඥෙයධර්මවිෂයෙහි ප්‍රවෘත්ත වූ ඥානවාර ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ යමකමහාප්‍රාතිහාර්‍ය්‍ය දක්වා අවසානයෙහි ත්‍රිදශාලයෙහි වස්විසූසේක් පාරිච්ඡත්තකමූලයෙහි පාණ්ඩුකම්බල නම් සලසුන්හි වැඩහිඳ මාතෘදිව්‍යරාජයන් කායසාක්ෂි කොට දසදහසක් සක්වළ දෙවියනට අනෙකනය ශතසහස්‍රප්‍රතිමණ්ඩිත වූ විජම්පෙළ දේශනා කළ සේක. ඒ සා මහත් ධර්මරාශිය අගසවු අනුබුදු සැරියුත් මහරහතුන් වහන්සේ වාචනාමාර්ගයට නඟා පන්සියයක් පමණ වූ සිය අතැවැසිගණයාට උගන්වාලූසේක. සප්තප්‍රකරණාන්තර්ගත වූ ඒ විජම්පෙළ මහකසුබු ඈ මහරහතුන් විසින් සංගීතානුසංගීත වැ මෙවක් දක්වා අමෘතප්‍රවාහයක් මෙන් පවත්නේ ය.
බුද්ධජයන්තී මහෝත්සවය අනුස්මරණය සඳහා ලඞ්කාබෞද්ධ මණ්ඩලය විසින් කරනලද යෝජනා පරිදි ත්‍රිපිටකග්‍රන්ථ ශෝධනය කොට හෙළබසට නඟා, ශ්‍රීලඞ්කාජනරජයේ අනුග්‍රහයෙන් දැනට එම ග්‍රන්ථමාලායෙන් අඩක් පමණ ප්‍රකාශයට පමුණුවන ලද්දේ ය. අභිධර්මපිටකයට අයත් ග්‍රන්ථයන් අතුරෙන් ධම්මසඞ්ගණී, විභඞ්ග, කථාවත්ථු යන තුන්ප්‍රකරණය මුද්‍රණය වී ඇත. එහි අභිධර්මය හා ධම්මසඞ්ගණිප්පකරණය ගෙන කියැයුතු දෑ, ධම්මසඞ්ගණි සංඥාපනයෙහි ද, කථාවත්ථුප්පකරණය ගැන කථාවත්ථු ප්‍රථමභාග සංඥාපනයෙහි ද, මේ විභඞ්ගප්පකරණය පිළිබඳව මෙහි ප්‍රථමභාගසංඥාපනයෙහි ද ප්‍රකාශ කරනලද්දේ ය. එහෙත් මේ විභඞ්ග-ද්විතීයභාගයෙහි ලා ඇතැම් ශෝධ්‍යස්ථාන ගෙන ප්‍රකාශ කරම්හ.
විභඞ්ගප්පකරණයෙහි සියවස් බොහෝ ගණනක පටන් අපරීක්ෂායෙන් හෝ අන්‍යථා පරීක්ෂණයෙන් හෝ පතිත වූ ඛලිතස්ථාන හමුවූ බව කියැයුතු වේ. එයින් කිසි තැනක් ධර්මධරයන්ගේ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරනුලැබේ: පටිසම්භිදාවිභඞ්ගයෙහි (118 පිට) “අත්ථෙ ඤාණං අත්ථ පටිසම්භිදා, ධම්මෙ ඤාණං ධම්මපටිසම්භිදා, අත්ථධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා” යනු දේශනා පෙළ යැ. පෙළ මෙසේ තිබියැයුතු වුව ද “අත්ථධම්මනිරුත්තාභිලාපෙ” යන පදය ඇතැම් කෙනෙක් ‘තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ’ යී ද වෙනත් කෙනෙක් ‘තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ’ යී ද ශුද්ධපාඨ සේ ගත්හ. අටුවායෙහි එන “තස්මිං අත්ථෙ ච ධම්මෙ ච යා සභාවනිරුත්ති තස්ස අභිලාපෙ” යනු බලා ‘ධම්ම’ ශබ්ද ස්වභාවය ද කියනුයෙන් ‘තස්මිං සභාවනිරුත්තියා අභිලාපෙ’ යනු අර්ථ වියයුතු යයි සලකා ‘තත්ථ’ හෝ ‘තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ’ යනු ශුද්ධ පාඨ සේ ගත් හ’ යි පෙනේ. සිංහල සංස්කරණ කීපයක ද බුරුමරට ඡට්ඨ සඞ්ගීතිකාරකයන්ගේ ශෝධනයෙහි ද වෙනත් බොහෝ තැනක ද මේ පාඨය පෙනෙන හෙයින් අපේ සංස්කාරක මණ්ඩලයෙහි ද වැඩි දෙනකුන් වහන්සේගේ මතය පරිදි “තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ” යනු පෙළ විසින් ගන්නා ලද්දේ ය.
එහෙත් හැම ශොධක සුධීහු මැ අත්ථ-ධම්ම-නිරුත්ති යන තුන් පටිසම්භිදායෙහි අර්ථකථා සංසන්දන නොකොට අයථා නිගමනයකට බැසගත්හ’ යි සිතියැ හෙයි. ‘පටිසම්භිදාමග්ග-ගණඨිපදත්ථවණ්ණනා’ යෙහිදු මේ අපපාඨය පෙනෙනුයෙන් කාලාන්තරපතිත දෝෂයක්බව කියැයුතු ය. ඇතැම් පටිසම්භිදාමග්ග අටුවාපොතෙක “අත්ථධම්මනිරුත්තාභිලාපෙ ඤාණං” (ඒ අර්ථයෙහි ද ධර්මයෙහි ද වූ ස්වභාවනිරුක්තිවචනයෙහි පභේදගත ඤාණය) යන ශුද්ධපාඨය ශේෂව තිබීම හේතුකොටගෙන අපි මේ නිගමනයට බැසගතුම්හ.
එහි අර්ථකථාවිවරණය මෙසේ යැ: යං කිඤ්චි පච්චයසමුප්පන්නං නිබ්බානං, භාසිතත්ථො, විපාකො, කිරියා’ති ඉමෙ පඤ්ච ධම්මා අත්ථො … නං අත්ථං පච්ච වෙක්ඛන්තස්ස තස්මිං අත්ථෙ පභේදගතං ඤාණං අත්ථපටිසම්භිදා” ප්‍රත්‍යයසමුප්පන්න යැ, නිර්වාණ යැ, භාෂිතාර්ථ යැ, විපාක යැ ක්‍රියා යැ යන පඤ්ච අර්ථයෙහි ප්‍රභේදයට ගිය ඥානය අත්ථපටිසම්භිදා” යි. “යො කොචි ඵලනිබ්බත්තකො හෙතු, අරියමග්ගො, භාසිතං, කුසලං, අකුසලන්ති ඉමෙ පඤ්ච ධම්මා ධම්මෝ … තං ධම්මං පච්චවෙක්ඛන්තස්ස තස්මිං ධම්මෙ පභේදගතං ඤාණං ධම්මපටිසම්භිදා” යී ඵල උපදවන හේතු යැ, ආර්‍ය්‍යමාර්ග යැ, භාෂිත යැ, කුශල යැ, අකුශල යැ යන පඤ්ච ධර්මයෙහි ප්‍රභේදයට ගිය ඥානය ‘ධම්මපටිසම්භිදා’ යි. “තස්මිං අත්ථෙ ච ධම්මෙ ච යා සභාවනිරුත්ති, තස්සා අභිලාපෙ තං සභාවනිරුත්තිසද්දං ආරම්මණං කත්වා පච්චවෙක්ඛන්තස්ස තස්මිං සභාව නිරුත්තාභිලාපෙ පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා” යි ඒ පඤ්චවිධ අර්ථයෙහි ද පඤ්චවිධ ධර්මයෙහි ද සභාවනිරුත්තියක් අවිපරීතව්‍යවහාරයක් ඇත, එය පැවැසීමෙහි දී ඒ ස්වභාවනිරුත්ති ශබ්දය අරමුණු කොටගෙන ප්‍රත්‍යවෙක්ෂාකරන්නහුට එහි ප්‍රභේදයට ගිය ඥානය නිරුත්තිපටිසම්භිදා’ යි.
තවද පටිසම්භිදාවිභඞ්ගයෙහි සුත්තන්තභාජනිය සංගහවාර විභාගවාර යයි වාර දෙකෙක ලා වදාරන ලද්දේ ය. සංගහවාරයෙහි යට දැක්වූ පඤ්ච අර්ථයෝ ද පඤ්ච ධර්මයයෝ ද සංගෘහිතයහ. ඒ ප්‍රභේදවාරය සච්චවාර, හේතුවාර, ධම්මවාර, පච්චයාකාරවාර, පරියත්තිවාර විසින් පස්වැදෑරුම් වෙයි. එහි පර්ය්‍යාප්ති සංඛ්‍යාත නවාඞ්ගශාස්තෘශාසන ධර්මය-බුද්ධභාෂිතය, ධර්ම’ බව ද, භාෂිත ප්‍රත්‍යයයෙන් අවබොධ කටයතු භාෂිතාර්ථය ‘අර්ථ’ බව ද දක්වන්නට පස්වැනි වූ ‘පරියත්තිවාරය’ වදාරනලද්දේය. එහි දු භාෂිතය දැනැගෙන පසුව භාෂිතාර්ථය දැනගන්නා සෙයින් භාෂිත භාෂිතාර්ථක්‍රමයෙන් පළමු ධම්මපටිසම්භිදාව වදාරා පසුව අත්ථපටිසම්භිදාව වදාරන ලදි. එහි සුත්ත ගෙය්‍යා’ දි නවාඞ්ගයෙන් නිෂ්ප්‍රදෙශ විසින් තන්තිධර්මය ගන්නා ලදී. අත්ථපටිසම්භිදායෙහි දු භාෂිතවශයෙන් නිෂ්ප්‍රදෙශ විසින් තන්තිධර්මය මැ ගන්නාලද වෙයි. අටුවායෙහි මේ වදාරනලදි: “අයං ඉමස්ස අත්ථො අයං ඉමස්ස අත්ථො’ ති ඉමස්මිම්පි ඨානෙ භාසිතවසෙන නිප්පදෙසතො තන්ති එව ගහිතා” යී. භාෂිතවශයෙන් තන්තිධර්මය ම ‘අර්ථ’ යි ද ගන්නා ලදැයි දක්වා ඇත. මෙසේ අවධාන සහිත කොට විමසා බලත් මැ අත්ථ ධම්ම දෙක්හි බැසගෙන සිටුනා ස්වභාවනිරුක්ති ශබ්දය අරමුණු කොට නුවණින් විමසන්නහුට එහි ප්‍රභේදගත ඥානය නිරුත්තිපටිසම්භිදා වෙයි. මේ අර්ථය පහළකරනු සඳහා “අත්ථධම්නිරුත්තාභිලාපෙඤාණං නිරුත්ති පටිසම්භිදා” යී පෙළ හෙළාගතයුතු බව කියම්හ. මේ සංස්කරණයෙහි දු සුත්තන්තභාජනියෙහි සත් තැනක ද අභිධම්මභාජනියෙහි එක්විසි තැනෙක ද තත්‍ර යන පදය යෙදී ඇත. ඒ හැමයෙහි ‘අත්ථ’ යනු තථාගතානුම රූපය සේ යොදාගත යුතු යි.
තවද ධම්මහදයවිභඞ්ගයෙහි ලා “කාමධාතුය උපපතික්ඛණෙ කති ඛන්ධා පාතුභවන්ති” යනාදීන් වදාළ භූමිත්‍රයෙහි උත්පත්තික්ෂණයෙහි විද්‍යාමාන අවිද්‍යාමානධර්මයන් දක්වන සතරවැනි වාරයෙහි හෙතු දක්වන තැන බොහෝ සංස්කරණයන්හි ‘කස්සචි අහෙතුකා පාතුභවන්ති’ යී පඨයක් දක්නට ලැබිණ. එය මුලින් සිටි “කස්සචි දෙව හේතු පාතු භවන්ති” යනාදි පාඨ බලා කාලාන්තරයෙහි පටන් ලේඛකයන් අතින් පතිත වූ ප්‍රමාදපාඨයක් ශෝධකයන් විසිනුදු එසේ ම ගත්බව සිතිය හෙයි, එහෙයින් “කෙචි අහේතුකා පාතු භවන්ති” යි (290 පිට) සකස්කළම්හ. එහි ම අහේතුකයන් දක්වන තැන හැම සංස්කරණයක ම ‘අවසෙසානං සත්තාණං අහේතුකා පාතු භවන්ති’ යන වාක්‍ය එයි. එ ද ලේඛකයන්ගේ අනවධානයක් බව පෙනෙන හෙයින් “අසඤ්ඤසත්තා දෙවා අහෙතුකා අනාහරා …අචිත්තකා පාතුභවන්ති” (300 පිට) යන පාළිය හා සසඳා “අවසේසා සත්තා අහේතුකා පාතුභවන්ති” යි (298 පිට) ශුද්ධපාඨය සේ යොදා ලූම්හ. මේ සංස්කරණයෙහි අනිකුදු බොහෝ ශොධ්‍යස්ථාන ඒ ඒ පිඩුයෙහි අධො ලිඛිත පාඨ විසින් දතහැකි වේ.
ලබුගම ලඞ්කානන්ද ස්ථවිර ත්‍රිපිටක මණ්‍ඩලයේ ප්‍රධාන සම්පාදක. ශ්‍රී බුද්ධවර්ෂ 2518 රාජ්‍යවර්ෂ 1975 දෙසැම්බර 10 දින.
සඞ්කෙත නිරූපණය ABBREVIATIONS
සී - මහනුවර (පත්තිරිප්පුව) රාජකීය පුස්තකාලයට අයත් විභඞ්ගප්‍පකරණ පුස්කොළපොත සීපැවි, පැවි - පැල්මඬුල්ල විහාරයට සතු විභඞ්ගප්‍පකරණ පුස්කොළපොත. සිරිමු - ශ්‍රීපාද ත්‍රිපිටක මුද්‍රණයෙහි විභඞ්ගප්‍පකරණය ස්‍යා - තායිලන්තයෙහි මුද්‍රිත විභඞ්ගප්‍පකරණය මඡසං - මරම්මඡට්ඨසඞ්ගීති විභඞ්ගප්‍පකරණය සං, සංවි - සම්මොහවිනොදනී අට්ඨකථා PTS - PALI TEXT SOCIETY VIBHANGAPPAKARANA