ත්‍රිපිටක පාළියෙහි අභිධර්‍ම සප්තප්‍රකරණයට අයත් ග්‍රන්ථයන් අතුරෙහි විභඞ්ගප්පකරණය දෙවැනි ග්‍රන්ථය යි. මෙය ඛන්ධවිභඞ්ග ආදි කොට, ධම්මහදය විභඞ්ගය අවසන් කොට ඇති අටළොස් විභඞ්ගයෙකින් යුක්ත වෙයි. බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි විභඞ්ගප්පකරණය 42, 43 වැනි ග්‍රන්ථ වශයෙන් පළවන්නේය. එයින් “ඛන්ධවිභඞ්ගය” පටන් “ඉද්ධිපාදවිභඞ්ගය” අවසන් කොට ඇති විභඞ්ග නවය මෙහි ප්‍රථමභාගය වේ.
සංඥාපනය
අප බුදුන් වදාළ තෙවළා බුදුවදන්හි ඇතුළු වැ සිටුනා ප්‍රඥාසන්දීපක අනෙකනය ශතසහස්‍රයෙන් ප්‍රතිමණ්ඩිත වූ අභිධර්මපිටකයෙහි සප්තප්‍රකරණයන් අතුරෙහි දෙවැන්න විභඞ්භප්‍රකරණ නම් වෙයි. මෙහි ලා අභිධර්මය පිළිබඳ වැ කිවමනා දෑ බුද්ධජයන්තී ග්‍රන්ථමාලායෙහි ධම්මසඞ්ගනීප්‍රකරණයෙහි ලා කියනලද වන බැවින් දැන් විභඞ්ගප්‍රකරණය පිළිබඳ වැ වෙසෙසා කිවයුතු දෑ පමණක් සැකෙවින් දක්වනු ලැබේ.
‘විභඞ්ග’ නම් ‘විභාග’ යි. සුත්තන්තභාජනිය යැ අභිධම්මමභාජනිය යැ පඤ්හ පුච්ඡක යැ යන තුන් නයින් ස්කන්ධාදි ධර්මවිභාග කොට දක්වන බැවින් මේ ‘විභඞ්ග’ නමුදු නානා ප්‍රභේදයෙන් භින්න වූ අර්ථයන් ප්‍රකාරයෙන් කියනුලබන හෙයින් ප්‍රකරණ නමුදු වෙයි. මෙහි වාචනාමාර්ගය දම්සෙනෙවි සැරියුත් මහරහතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තේ යැ. සම්බුදුරදුන් වදාළ දහම් නය ගෙන ‘ධර්මසඞ්ග්‍රහ’ කෙරෙමින් පන්සියක් අතැවැසියනට ‘ධම්මසඞ්ගණි’ ප්‍රකරණය දෙසූ සැරියුත් තෙරණුවෝ යළි ස්කන්ධාදි ‘ධර්මවිභාග’ කෙරෙමින් විභඞ්ගප්‍රකරණය දෙසූහ.
පරිච්ඡෙද : මේ ප්‍රකරණයෙහි අටළොස් විභඞ්ගයෙක් වෙයි: ඛන්ධවිභඞ්ග යැ ආයතනවිභඞ්ග යැ ධාතුවිභඞ්ග යැ සච්චවිභඞ්ග යැ ඉන්ද්‍රියවිභඞ්ග යැ පච්වයාකාරවිභඞ්ග යැ සතිපට්ඨානවිභඞ්ග යැ සම්මප්පධානවිභඞ්ග යැ ඉද්ධිපාදවිභඞ්ග යැ බොජ්ඣ්ගවිභඞ්ග යැ මග්ගවිභඞ්ග යැ ඣානවිභඞ්ග යැ අප්පමඤ්ඤාවිභඞ්ග යැ සික්ඛාපදවිභඞ්ග යැ පටිසම්භිදාවිභඞ්ග යැ ඤාණවිභඞ්ග යැ ඛුද්දකවත්ථුවිභඞ්ග යැ ධම්මහදයවිභඞ්ග යැ කියා යි.
ඛන්ධවිභඞ්ග : මෙහි පඤචස්කන්ධයෝ සුත්තන්තභාජනීය යැ අභිධම්මභාජනීය යැ පඤ්හපුච්ඡක යැ යන තුන් නයින් විභාග කරනලදහ. සුතතන්තභාජනීයෙහි ලා පඤ්ච ස්කන්ධයෝ අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න, අධ්‍යාත්ම, බාහිර, ඖදාරික, සූක‍්ෂම, හීන, ප්‍රණීත, දූර, සන්තික යන එකොළොස් අයුරින් විභක්ත වෙති.
අභිධම්මභාජනීයෙහි ලා රූපස්කන්ධයාගේ උද්දෙස පමණක් දක්වනලද්දේ යැ. එහි නිද්දෙස ධම්සඟුණු රූපකාණ්ඩයෙහි විස්තර කරනලද අයුරින් මෙහිදු ගතයුතු වෙයි. උද්දෙසයෙහි එකවිධරූප පටන් කොට ඒකාදශවිධරූප තෙක් රූපධර්මයන් සඞ්ග්‍රහ කොට මාතෘකා තබනලද යැ. එහි එකකමාතෘකායෙහි උද්දිෂ්ටපද තෙසාලිසෙකි. ඔවුනතුරෙහි පශ්චිමපදත්‍රය මාතෘකාමුක්ත වෙයි. සෙසු සාලිස් පදයෝ මාතෘකාගතයෝ යි. එක්සිය සතරක් පමණ වූ ද්විකමාතෘකා අතුරෙන් තුදුස් ප්‍රකීර්ණකද්විකයන් ද, එක්සියතුනක් පමණ වූ ත්‍රිකමාතෘකා අතුරෙන් ප්‍රකීර්ණකත්‍රික තුනක් ද, දෙවිසි චතුෂ්කමාතෘකා අතුරෙන් ආදි චතුෂ්ක සතර ද දක්වා නයමුඛ දී අවශේෂමාතෘකා පෙය්‍යාලමුඛයෙන් සංක්ෂිප්ත කරන ලද යැ. එ හැම ධම්සඟුණු රූපකාණ්ඩයෙහි විස්තෘත අයුරින් මෙහිදු ගතයුතු වෙයි. පඤ්චකය පටන් කොට එකාදශකය තෙක් අමිශ්‍රමාතෘකා තබන ලදී.
වේදනාස්කන්ධනිද්දසයෙහි දුකමූලක යැ තිකමූලක යැ උභතොවඩ්ඪක යැ බහුවිධ යැ යි මහාවාර සතරෙක් වෙයි. එහි ත්‍රිකමාතෘකා ගෙන ද්විකමාතෘකායෙහි බහා කළ දේශනා දුකමූලක නම. ද්විකමාතෘකා ගෙන ත්‍රිකමාතෘකායෙහි බහා කළ දේශනා තිකමූලක නම. ද්විකත්‍රිකමාතෘකා දෙපසින් වඩා කළ දේශනා උභතොවඩ්ඪක නම. අවසානයෙහි සප්තවිධ යැ චතුර්විංශද්විධ යැ ත්‍රිංශද්විධ යැ බහුවිධ යැ යන සතර අයුරෙකින් දක්වනලද්දේ බහුවිධවාර නමි.
ද්විකමූලකයෙහි යථායෝග විසින් ලැබෙන පනස් ද්විකධර්මයක් ගෙන එක් එක් ද්විකය හා සමග ත්‍රිකමාතෘකායෙහි වේදනාත්‍රික යැ ප්‍රීතිත්‍රික යැ සනිදර්ශනත්‍රික යැ යන අලභ්‍යමාන තුන් ත්‍රිකයන් හැරැපියා අවශේෂ එකුන්විසි ත්‍රිකධර්මයන් වෙන වෙන යොදා දුතියදුකපඨමතිකයෝගවාර ආදි විසින් නවසියපනස් වාරයෙක් කියනලද. එ හැම පාළියෙහි නයමුඛ දී හකුළා කියනලද යැ. නයානුසාරයෙන් විස්තර දතයුතු.
ත්‍රිකමූලකයෙහි ලභ්‍යමාන එකුන්විසි ත්‍රිකධර්මයන් ගෙන එක් එක් ත්‍රිකය හා සමග ලභ්‍යමාන පනස් ද්විකධර්මයන් වෙන වෙන යොදා පඨමත්තිකදුතියදුකයොගවාර ආදි විසින් නවසියපනස් වාරයෙක් කියනලද. එයිදු පාළියෙහි නයමුඛ හකුළා කියන ලදී. විස්තර විභාග නයානුසාරයෙන් දතයුතු.
උබතොවඞ්කයෙහි යථායෝග විසින් ත්‍රිකධර්මයන් හා සමග යොදා තියපඨමතිකයෝගවාර ආදී විසින් එකුන් විසි වාරයෙක් කියන ලදී.
බහුවිධවාරයාගේ සප්තවිධනිර්දේශයෙහි එකුන්විසි ත්‍රිකධර්මයන් හා සමග සතර භූමි යොදා එකුන්විසි වාරයෙක කියනලද යැ. චතුර්වංශද්විධ නිරදේශයෙහි දු බහුවිධ නිර්දේශයෙහි දු එකුන්විසි ත්‍රිකයන්ගේ වශයෙන් එකුන්විසි වාරප්‍රභෙද වෙයි. ත්‍රිංශද්විධ වාර එකෙකි. මෙසෙයින් බහුවිධනිර්දේශයෙහි අටපනස් වාරයෙක් වෙයි. මෙසේ වේදනාස්කන්ධ නිර්දේශයෙහි සියු මහාවාරයෙහි එක්දහස් නවසිය සත්සැත්තෑ වාරයෙක් වේ. සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ පිළිබඳ විස්තරවිභාග ද යථායොග වශයෙන් වේදනාස්කන්ධයෙහි කී නයින් මැ දන්නේ යි.
පඤ්හපුච්ඡකයෙහි පඤ්ස්කන්ධයන් දෙවිසි ත්‍රිකමාතෘකායෙහි දු එක්සිය දෙකක් ප්‍රභෙද වූ ද්විකමාතෘකායෙහි දු ලා ප්‍රශ්න කොට ඒ ඒ ස්කන්ධයන්ගේ කුශලාකුශල අව්‍යාකෘතාදි භාවයෝ ලැබෙන සේ නඟා දක්වන ලදහ.
ආයතනවිභඞ්ග: මෙහි දොළොස් ආයතනයෝ සුත්තන්තභාජනිය යැ අභිධම්ම භාජනිය යැ පඤ්හපුච්ඡක යැ යන තුන් නයින් විභාග කරන ලදහ. විභාගනය ඛන්ධ විභඞ්ගයෙහි මෙනි.
ධාතුවිභඞ්ග: මෙහි අටළොස් ධාතුහු සුත්තන්තභාජනිය යැ අභිධම්මභාජනිය යැ පඤ්හපුච්ඡක යැ යන තුන් නයින් විභාග කරනලදහ. සූත්‍රාන්තයෙහි අටළොස් ධාතු අනෙකෙක, අභිධර්මයෙහි අටළොස් ධාතු අනෙකෙකි. සූත්‍රාන්තභාජනියෙහි අටළොස් ධාතු තුන් ෂට්කයෙකැ ලා සඤ්ගෘහීත වෙයි. මෙහි පඨවීධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු එක් ෂට්කයෙක. සුඛධාතු. දුක්ඛධාතු, සෝමනස්සධාතු, දෝමනස්සධාතු, උපේක්ඛාධාතු, අවිජ්ජාධාතු එක් ෂට්කයෙක. කාම ධාතු, ව්‍යාපාදධාතු, විහිංසාධාතු, නෙක්ඛම්මධාතු, අව්‍යාපාදධාතු, අවිහිංසාධාතු එක් ෂට්කයෙකි.
අභිධම්මභාජනියෙහි චක්ඛුධාතු, රූපධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු, සද්දධාතු, සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු. ගන්ධධාතු, ඝානවිඤ්ඤාණධාතු. ජිව්හාධාරු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාණධාතු, මනොධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු යන මොහු අටළොස් ධාතුහු වෙත්. මෙහි දු විභාග නය ඛන්ධවිභඞ්ගයෙහි මෙනි.
පඤ්හපුච්ඡකයෙහි කුශලාදිභාවය ද ඛන්ධවිභඞ්ගයෙහි කී නයින් මැ දතයුතු. ධම්මධාතු හා මනොවිඤ්ඤාණධාතු හා මෙදෙක චාතුර්භූමක වූවාහු ලෞකිකලෝකොත්තර විසින් මිශ්‍ර වැ කියනලදහ. අවශේෂ සොළොස් ධාතුහු කාමාවචර වෙත්.
සච්චවිභඞ්ග: මෙහි සතර සත්‍යයෝ සුත්තන්තභාජනිය යැ අභිධම්මභාජනිය යැ පඤ්හපුච්ඡක යැ යන තුන් නයින් විභක්ත වෙයි. සුත්තන්තභාජනියයෙහි ලා ‘සතර ආර්‍ය්‍යසත්‍යයෝ’යි සප්‍රදෙශ කොට ගෙන උද්දෙස නිද්දෙස විසින් දක්වනලදහ. අභිධම්මභාජනියෙහි ලා ‘සතර සත්‍යයෝ’ යි නිෂ්ප්‍රදේශ කොට ගෙන විභාග කරනලදහ. ‘ආර්‍ය්‍ය සත්‍යයෝ’ යි සප්‍රදේශ කොට කී කල්හි අවශෙෂ ක්ලේශයෝ ද අවශේෂ කුශල ධර්මයෝ ද සාස්‍රව තුන් කුශලමූලයෝ ද අවශේෂ සාස්‍රව කුශලධර්මයෝ ද සඞ්ග්‍රහ නො වෙයි. දුක්ඛසමුදය හුදෙක් තෘෂ්ණාහේතුයෙන් මැ වන්නෙ නො වෙයි. යථොක්ත ක්ලෙශාදිහු ද එයට ප්‍රත්‍යය වෙති. එහෙයිනි නිෂ්ප්‍රදෙශ කොට කියන ලද්දේ.
සත්‍ය නිර්දෙශයෙහි ලා පළමු දුඃඛසමුදයසත්‍යය පඤ්චප්‍රකාරයෙකින් නිර්දිෂ්ට යැ. දුඃඛසමුදය නිර්දිෂ්ට කල්හි දුඃඛ නිර්දෙශ පහසු වන හෙයිනි. නිරොධසත්‍යය ද පඤ්චප්‍රකාර සමුදයාගේ ප්‍රහාණ වශයෙන් පස් අයුරෙකින් දක්වන ලද යැ. මාර්ගසත්‍යය පඨමජ්ඣානික සොතාපත්ති මාර්ගයාගේ වශයෙන් ධම් සඟුණු පෙළෙහි විභාග කළ දේශනානයෙහි මුඛමාත්‍රයක් දක්වමින් නිර්දිෂ්ට යැ. විස්තර විභාග ධම්සඟුණුයෙහි ආ සෙයින් දතයුතු.
මෙහි අට්ඨඞ්ගිකවාර යැ පඤ්චඞ්ගිකවාර යැ සබ්බසඞ්ගාහිකවාර යැ යි මහාවාර තුනෙකි. අට්ඨඞ්ගිකවාරයෙහි අෂ්ටාඞ්ගමාර්ගප්‍රතිපදා ද පඤ්චඞ්ගිකවාරයෙහි පඤ්චාඞ්ග මාර්ගප්‍රතිපදා ද සබ්බසඞ්ගාහිකවාරයෙහි පරොපණ්ණාස සම්ප්‍රයුක්තධර්මප්‍රතිපදා ද දක්වන ලදහ. මෙසෙයින් මේ අභිධම්මභාජනිය ත්‍රිවිධ මහාවාරයෙකින් පසළොස් කොට්ඨසයෙකින් සැටදහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූයේ වෙයි. පඤ්හපුච්ඡකයෙහි කුශලාදි විභාගය ඛන්ධවිභඞ්ගයෙහි කී නයින් දතයුතු.
ඉන්ද්‍රියවිභඞ්ග: මෙහි දෙවිසි ඉන්ද්‍රියධර්මයෝ විභාග කොට දක්වනලදහ. අභිධර්මයෙහි සෙයින් සුත්‍රාන්තයෙහි මේ දෙවිසි ඉන්ද්‍රියයන් පිළිවෙළින් නො එන බැවින් ඉන්ද්‍රියවිභඞ්ගයෙහි සුත්තන්තභාජනිය නො ලැබෙහි. අභිධම්මභාජනිය පඤ්හ පුච්ඡක යන දෙනය පමණක් මෙහි ලැබෙයි. නිද්දෙසවාරයෙහි සැකෙවින් නිර්දිෂ්ට ඉන්ද්‍රියයන්ගේ විස්තරවිභාග ධම්සඟුණු පදභාජනියෙහි ආ සෙයින් ගතයුතු. මෙහි ඉන්ද්‍රියයන්ගේ විස්තරවිභාග ධම්සඟුණු පදභාජනියෙහි ආ සෙයින් ගතයුතු. මෙහි ඉන්ද්‍රියයන් සර්‍වසඞ්ග්‍රාහක බැවින් විරියින්ද්‍රිය සමාධින්ද්‍රිය නිද්දෙසාදියෙහි සම්මාවායාම මිච්ඡාවායාම සම්මාසමාධි මිච්ඡාසමාධි ආදි විසින් නිර්දේශ නො වෙයි. දෙවිසි ඉන්ද්‍රියයන් අතුරෙහි චක්ඛු, සොත, ඝාන. ජිව්හා, කාය, ඉත්ථි, පුරිස, සුඛ, දුක්ඛ, දොමනස්ස යන ඉන්ද්‍රියයයෝ දසදෙන ලෞකික යැ කාමාවචර යි. මනින්ද්‍රිය යැ ජීවිතින්ද්‍රිය යැ උපෙක්ඛින්ද්‍රිය යැ සද්ධින්ද්‍රිය යැ විරියින්ද්‍රිය යැ සතින්ද්‍රිය යැ සමාධින්ද්‍රිය යැ පඤ්ඤින්ද්‍රිය යැ යන අටදෙන චාතුර්භූමක වූවාහු ලෞකිකලෝකොත්තර මිශ්‍ර වෙති. සෝමනස්සින්ද්‍රිය කාමාවචර රූපාවචර ලෝකොත්තර විසින් භූමිත්‍රයපර්‍ය්‍යාපන්න වූයේ ලෞකික ලෝකොත්තර මිශ්‍ර වෙයි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය යැ අඤ්ඤින්ද්‍රිය යැ අඤ්ඤාතාවින්ද්‍රිය යැ යන තුන් ඉන්ද්‍රියයෝ ලෝකෝත්තර මැ වෙත්.
පච්චයාකාරවිභඞ්ග: මෙහි ද්වාදශාඞ්ග ප්‍රතීත්‍යසමුප්පාදධර්මයෝ සුත්තන්ත භාජනිය යැ අභිධම්මභාජනිය යැ යන දෙනයින් විභාග වෙති. පඤ්හපුච්ඡක නය මෙහි නො ලැබෙයි. සුත්තන්තභාජනියෙහි ලා ප්‍රත්‍යයාකාරධර්මයෝ උද්දෙස නිද්දෙස විසින් දක්වනලදහ. එහි ප්‍රත්‍යයවිභාග නානාචිත්ත වශයෙනි.
අභිධම්මභාජනියෙහි ලා එකචිත්තක්ඛණික ප්‍රත්‍යයාකාරය දක්වනලද යැ. එහෙයින් සුත්තන්තභාජනියෙහි මෙන් ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ යි බහුවචන නිර්දෙශ නො කොට ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරො’ යි මාතෘකා තබන ලදී.
මාතෘකායෙහි මූලපද නවයෙකි: අවිජ්ජා යැ සඞ්ඛාර යැ විඤ්ඤාණ යැ නාම යැ ඡට්ඨායතන යැ ඵස්ස යැ වේදනා යැ තණ්හා යැ උපාදාන යැ කියා යි. මේ නව මූලපදයෙන් අවිජ්ජාදික යැ සඞ්ඛාරාදික යැ විඤ්ඤාණාදික යැ නාමාදික යැ ඡට්ඨායතනාදික යැ ඵස්සාදික යැ වේදනාදික යැ තණ්හාදික යැ උපදානාදික යැ යි නව නයෙක් වෙයි. එක් එක් නයෙහි ප්‍රත්‍යයචතුෂ්ක යැ හේතු චතුෂ්ක යැ සම්ප්‍රයුක්තචතුෂ්ක යැ අන්‍යොන්‍ය චතුෂ්ක යැ යි සතර සතර චතුෂ්කයෝ වෙති. එක් එක් චතුෂ්කයෙක් වාර සතරෙකැ සඞ්ගෘහිත වෙයි. මෙසේ නව නයෙහි එක්සිය සියුසාලිස් වාරයෙක් වෙයි.
නයමාතෘකායෙහි අවිජ්ජාමූලක නය පමණක් සපුරා දක්වන ලද්දේ යැ. සඞ්ඛාර මූලකාදිය නාමමාත්‍රයෙන් නිර්දිෂ්ට වෙයි. එ ද අවිජ්ජාමූලක නයානුසාරයෙන් දතයුතු යැ. භවපදයෙහි අවිද්‍යා සඞ්ග්‍රහ වන බැවිනුදු ජාතිජරාමරණ ඇතුළු වන බැවිනුදු කිවයුතු අපූර්වයක් නැති හෙයින් භවමූලක ජාතිජරාමරණමූලක නය නො කියන ලදී.
ප්‍රත්‍යයාකාරනිර්දේශ අකුශලනිර්දෙශ යැ කුශලනිර්දේශ යැ අව්‍යාකෘතනිර්දේශ යැ අවිජ්ජාමූලක කුශලනිර්දේශ යැ කුශලමූලක විපාකනිර්දේශ යැ අකුශලමූලක විපාක නිර්දේශ යැ යි ෂට්ප්‍රකාර වෙයි. නිර්දේශයෙහි ලා චිත්තූප්පාදකාණ්ඩයෙහි මෙන් පළමු කුශලවිභාග නො කොට ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරො’ යි නයමාතෘකායෙහි නික්ෂිප්ත පරිපාටිය අනුව අකුශල විභාගය පළමු කොට කියන ලදී.
අකුශලනිර්දේශ: මෙහි ප්‍රථම අකුශලචිත්තයෙහි ලා සතර චතුෂ්ක ෂොඩශවාර ප්‍රභේද ඇති අවිජ්ජාමූලක නය ප්‍රකාශිත යැ. පාළියෙහි සංක්ෂිප්ත කොට කියන ලද සංස්කාරමූලකාදි සෙසු නය ද මෙ පරිදි මැ දතයුතු. මෙසේ ප්‍රථම අකුශලචිත්තයෙහි නව නයෙක්, සතිස් චතුෂ්කයෙක්, එකසියසියුසාලිස් වාරයෙක් වෙයි. අවශෙෂ අකුශල චිත්තයන්හි දු මෙතෙක් මැ විභාග වෙයි. මෙහි සෙසු අකුශලචිත්තයන් අතුරෙහි දෘෂ්ටි විප්‍රයුක්තයෙහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන නො ලැබෙයි. එහි ‘අධිමොක්ෂ’ යෙදෙයි. දොමනස්සසහගතයෙහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා නො ලැබෙයි. එහි ‘පටිඝ’ යෙදෙයි. උපාදානස්ථානයෙහි ‘අධිමොක්ෂ’ යෙදෙයි. විචිකිත්සාසම්ප්‍රයුක්තයෙහි ‘අධිමොක්ෂ’ ද නො යෙදෙයි. එහි තෘෂ්ණාස්ථානයෙහි විචිකිත්සායෙන් පදපූරණ කරනලද යැ. උපාදානස්ථානය ඌන වෙයි. ඖද්ධත්‍යසම්ප්‍රයුක්තයෙහි තෘෂ්ණා ස්ථානයෙහි ‘ඖද්ධත්‍ය’ ද උපාදානස්ථානයෙහි ‘අධිමොක්ෂ’ ද යෙදෙයි. විචිකිත්සා සම්ප්‍රයුක්තයෙහි උපාදානමූලක නය නො ලැබෙයි. එහෙයින් එහි අට නයෙක්, දෙතිස් චතුෂ්කයෙක්, එක්සිය අටවිසි වාරයෙක් වේ.
කුශලනිර්දෙශ: අකුශලවිභාගයෙහි දී පළමු මාතෘකා තබා පසුව නිර්දේශ කරනලදී. කුශලවිභාගයහි දී මාතෘකා නො තබා මැ නිර්දේශ කරනලදී. කුශලයෙහි අර්පණානානාත්ව ඇති හෙයින් සාධාරණ විසින් මාතෘකා තැබිය නො හෙයි. ලෞකික කුශලයෙහි “එවමෙතස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති” යි අර්පණා වෙයි. ලෝකෝත්තර කුශලයෙහි “එවමෙතෙසං ධම්මානං සමුදයො හොති” යි අර්පණා වෙයි. මෙහි ලා අකුශලයනට අවිද්‍යාව මෙන් කුශලයනට කුශලමූලප්‍රත්‍යය වෙයි. එහෙයින් මැ අවිජ්ජාමූලකනයස්ථානයෙහි කුශලමූලකනය ලැබෙයි. මෙහි තණ්හා උපාදාන නො ලැබෙන බැවින් තෘෂ්ණාස්ථානයෙහි ‘ප්‍රසාද’ ද උපාදානස්ථානයෙහි ‘අධිමොක්ෂ’ ද යෙදේ. විභාගනය අකුශල නිර්දෙශයෙහි මෙන් දතයුතු.
අව්‍යාකෘතනිර්දෙශ: මෙහි අවිජ්ජාමූලකන නො ලැබෙයි. චක්ඛුවිඤ්ඤාණාදි අහේතුකවිපාකයෙහි තෘෂ්ණා උපාදාන ස්ථාන නො යෙදෙයි. සහේතුකවිපාකයෙහි තෘෂ්ණාස්ථානයෙහි ‘ප්‍රසාද’ යෙදෙයි. කූලාකුශල අහේතුකවිපාක අතුරෙහි ද්විපඤ්ච විඤ්ඤාණයෙහි සඞ්ඛාර, විඤ්ඤාණ, නාම, ඡට්ඨායතන, ඵස්ස, වේදනා මූලක නය සයෙක් ලැබෙයි. අවශෙෂ අහේතුකචිත්තයන්හි අධිමොක්ෂමූලකය හා සමග නය සතෙක් ලැබෙයි. සහේතුකවිපාකයෙහි ප්‍රසාදමූලකය හා සමග අට නයෙක් ලැබේ.
අවිජ්ජාමූලක කුශලනිර්දේශයත් කුශලමූලක විපාකනිර්දේශයත් අකුශලමූලක විපාකනිර්දේශයත් උපනිශ්‍රයප්‍රත්‍යය සඳහා කියනලදී. මෙහි ප්‍රත්‍යයචතුෂ්කය මිස සෙසු චතුෂ්කයෝ නො ලැබෙත්.
තවද මේ නානානයසහස්‍රප්‍රතිමණ්ඩිත වූ ප්‍රත්‍යයාකාරධර්මාවබෝධය ලාමක වූ හීන සත්ත්වයන් විසින් නොකළ හැක්ක. කෘකාධිකාර වූ නිපුණ බුද්ධිඇතියන් විසිනුදු ප්‍රත්‍යයාකාරඥානප්‍රභෙදය සඳහා හැමකල්හි පර්‍ය්‍යාප්තිශ්‍රවණය චින්තනය ප්‍රතිපත්තික්‍රමය යන මෙහි ස්මෘතිමත් ව උත්සාහ කටයුත්තේ ය. එයින් කියනලදී අටුවායෙහි:
“පරියත්තිසවනචින්තන - පටිපත්තික්කමවිවජ්ජිතානං ච යස්මා ඤාණපභෙදො - න කදාචිපි හොති එතස්මිං පරියත්තිසවනචින්තන - පටිපත්තික්කමතො සදා ධීරො තත්ථ කයිරා න හඤ්ඤං - කරණීයතරං තතො අත්ථි” යී.
ත්‍රිපිටකධාරී කුශාග්‍රබුද්ධිමත් බුද්ධඝොෂාචාරීන් විසිනුදු ප්‍රත්‍යයාකාරවර්ණනාවට පැමිණ මහසයුරට බැසගත්තකු සෙයින් ප්‍රතිෂ්ඨා නො ලබන බව ද, එහෙත් නානාදෙශනානය මණ්ඩිත වූ තෙවළාබුදුවදන් සසුන ද නොසිඳැපවත්නා පෙර ඇදුරන් පැවැසූ මඟ ද ඇසුරු කොට ප්‍රත්‍යයාකාරවර්ණනා කරනබව ද පැවසූ සේ සැලැකියයුතු ය.
සතිපට්ඨානවිභඞ්ග: මෙහි සතර සතිපට්ඨාන ධර්මයෝ සුත්තන්තභාජනිය යැ අභිධම්මභාජනිය යැ පඤ්හපුච්ඡක යැ යන තුන නයින් විභාග වෙයි. සුත්තන්තභාජනියෙහි ලා සතර සතිපට්ඨාන ධර්මයෝ අධ්‍යාත්ම වශයෙන් ද බාහිර වශයෙන් ද අධ්‍යාත්ම බාහිර වශයෙන් ද විභාග කරනලදහ. කායානුපස්සනායෙන් රූපස්කන්ධපරිග්‍රහ ද වේදනානුපස්සනායෙන් වේදනාස්කන්ධපරිග්‍රහ ද චිත්තානුපස්සනායෙන් විඥානස්කන්ධ පරිග්‍රහ ද ධම්මානුපස්සනායෙන් සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ පරිග්‍රහ ද කියන ලද වෙත්. අභිධම්මභාජනිය ලෝකුත්තරසතිපට්ඨානවශයෙන් දේශිත යැ. එහි ලා ධම්මසඞ්ගණියෙහි විභාග කොට දක්වනලද දේශනා නයෙහි මුඛමාත්‍රය දක්වනලදී. විස්තර විභාග ධම්මසඞ්ගණි නයානුසාරයෙන් ගතයුතු. සුත්තන්තභාජනියෙහි ලා ලෞකික ලෝකෝත්තර මිශ්‍ර සතිපට්ඨානයෝ කියනලදහ. අභිධම්මභාජනියෙහි ද පඤ්හපුච්ඡකයෙහි ද ලෝකෝත්තර සතිපට්ඨානයෝ මැ කියනලදහ.
සම්මප්පධානවිභඞ්ග: මෙහි සතර සම්‍යක්ප්‍රධානයෝ සුත්තන්තභාජනිය, අභිධම්මභාජනිය, පඤ්හපුච්ඡක යන තුන් නයින් විභක්ත වෙයි. සුත්තන්තභාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍ර සම්‍යක්ප්‍රධානයෝ කියනලදහ. අභිධම්මභාජනියෙහි ද පඤ්හපුච්ඡකයෙහි ද ලෝකෝත්තර සම්‍යක්ප්‍රධානයෝ මැ කියනලදහ. අභිධම්මභාජනියෙහි දක්වන ලද්දේ නයමුඛමාත්‍රයෙකි. විස්තර විභාග ධම්මසඞ්ගණි අනුසාරයෙන් දතයුතු වේ.
ඉද්ධිපාද විභඞ්ග: මෙහි සතර ඍද්ධිපාදයෝ තුන් නයින් විභාග කොට දක්වන ලදහ. ‘ඉද්ධි’ නම් ඡන්දාදිය අධිපති කොට ප්‍රතිලබ්ධ උපාචාරධ්‍යානාදි ධර්ම යි. උපචාරධ්‍යානාදි කුශලචිත්තසම්ප්‍රයුක්ත ඡන්දසමාධිපධානසඞ්ඛාරයනට ප්‍රතිෂ්ඨා වූ සතර අරූපස්කන්ධාදි අවශේෂ චිත්තචෛතසික ධර්මරාශිය ‘ඉද්ධිපාද’ නම් වෙයි. ප්‍රතිලබ්ධ ධර්ම ඉද්ධි යැ, එයට පූර්වභාගය ‘ඉද්ධිපාද’ නම් වෙයි. ප්‍රථමධ්‍යානය ඉද්ධි යැ, එහි පරිකර්ම ‘ඉද්ධිපාද’ නම් වෙයි. සෙසු ධ්‍යාන මාර්ග ආදියෙහි දු මෙසේ දතයුතු. මෙහි සුත්තන්ත භාජනියෙහි ලා ලෞකිකලෝකෝත්තර මිශ්‍ර ඉද්ධිපාද කියනලද යැ. අභිධම්මභාජනියෙහි ලා ලෝකෝත්තර ඉද්ධිපාද මැ කියනලදී.
බොජ්ඣඞ්ගවිභඞ්ග: මෙහි සප්තබොධ්‍යඞ්ගධර්මයෝ සුත්තන්තභාජනිය, අභිධම්මභාජනිය, පඤ්හපුච්ඡක යන තුන් නයින් විභාග වෙති. සුත්තන්තභාජනිය නයත්‍රයෙකින් යුක්ත වෙයි. ප්‍රථම නය පූර්වභාග විදර්ශනා වශයෙන් කථිත යැ. ද්විතීය නයෙහි අධ්‍යාත්ම බාහිර වශයෙන් තුදුස් බොධ්‍යඞ්ගයෙක් කියනලද යැ. තෘතිය නය භාවනා වශයෙන් දක්වනලදී. අභිධම්මභාජනියෙහි නය සතරෙකි: සප්තබොධ්‍යඞ්ගයන් එකට ගෙන ප්‍රශ්න නගා විභාග කිරීම එක් නයෙක. වෙන වෙන ගෙන විභාග කිරීම එක් නයෙකි. යළි එ දෙක කුශල විසින් ද විපාක විසින් දැයි ද්විවිධ වෙයි. මෙසෙයින් නය සතෙක් වේ. සුත්තන්තභාජනියෙහි ප්‍රථම නයෙහි ලෞකික බොධ්‍යඞ්ගයෝ ද ද්විතීය තෘතීය දෙනයෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍ර බොධ්‍යඞ්ගයෝ ද කියනලදහ. අභිධම්ම භාජනියෙහි දු පඤ්හපුච්ඡකයෙහි දු ලෝකෝත්තර බොධ්‍යඞ්ගයෝ මැ කියනලදහ.
මාර්ගවිභඞ්ග: මෙහි මාර්ගාඞ්ගයෝ සුත්තන්තභාජනිය, අභිධම්මභාජනිය, පඤ්ඞ්පුච්ඡක යන තුන් නයින් විභාග වෙති. යළි සුත්තන්තභාජනිය දෙනයෙකින් විභක්ත වෙයි. පළමු නය සච්වවිභඞ්ගයෙහි දුක්ඛනිරොධගාමිනීපටිපදානිද්දෙසයෙහි කියනලද සේ යැ. දෙවැන්න භාවනා වශයෙන් දක්වන ලදී. අභිධම්මභාජනියෙහි ලෝකෝත්තර මාර්ග කියනලද යැ. එහි අට්ඨඞ්ගිකවාර යැ පඤ්චඞ්ගිකවාර යැ යි වාර දෙකෙකි. අට්ඨඞ්ගිකවාරය මාර්ගාඞ්ගයන් එකට ගෙන ප්‍රශ්න නඟා විසර්ජන කරන ලද්දේ යැ. පඤ්චඞ්ගිකවාරයෙහි මාර්ගාඞ්ගයන් එකට ගෙන ප්‍රශ්න නඟා විසර්ජන ද වෙයි. වෙන වෙන ප්‍රශ්න නඟා විසර්ජන ද වෙයි. යළි කුශල වශයෙන් ද කුශලවිපාක වශයෙන් ද විභාග වෙයි. ‘පඤ්චාඞ්ගිකමාර්ග’ යි කිව ද ලෝකෝත්තරමාර්ගය අෂ්ඨාඞ්ගික මැ වෙයි. වාචා කම්මන්ත ආජීව යන මේ අඞ්ගයන් මාර්‍ගභාවනාවට පූර්වභාගයෙහි සුපරිශුද්ධ බැවින් මෙහි නො කියනලද යැ. සුත්තන්තභාජනියෙහි “අරියො අට්ඨඞ්ගිකො මග්ගො” යි ‘ආර්‍ය්‍ය’ පදයෙන් වෙසෙසා කියනලද යැ. අභිධම්මභාජනියෙහි ‘අරියො’ යි නො වෙසෙසා “අට්ඨඞ්ගිකො මග්ගො” යි කියන ලදී. ‘ආර්‍ය්‍ය’ යි නො කිව ද අෂ්ටාඞ්ගමාර්ගය ආර්‍ය්‍ය ම වෙයි. සුත්තන්තභාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍ර මාර්ගාඞ්ගයෝ කියනලදහ. අභිධම්මභාජනියෙහි දු පඤ්හපුච්ඡකයෙහි දු ලෝකෝත්තරමාර්ගාඞ්ගයෝ මැ දක්වනලදහ.
ඣානවිභඞ්ග: මෙහි සතර ධ්‍යානයෝ තුන් නයින් විභාග වෙයි. සුත්තන්ත භාජනියෙහි ලා පළමු කොට සකල සූත්‍රාන්තභාජනියට මැ මාතෘකා තබා නික්ෂිප්ත මාතෘකායෙහි පිළිවෙළින් පදභාජනිය කෙරෙමින් නිද්දෙස කියනලදී. එහි ලා චතුපාරිසුද්ධිසීලය ද ධ්‍යානභාවනාවට උපකාරකධර්මයෝ ද ඒ ධර්මයන්ගේ අපරිහානිය පිණිස හා කර්මස්ථාන විස්මෘති නො වන පිණිස ස්මෘතිසම්ප්‍රජන්‍යසමායොගය ද භාවනානුරූප සේනාසන පරිග්‍රහ ද ධ්‍යානානුරූප ඊර්‍ය්‍යාපථ ද ධ්‍යානභාවනාරම්භය ද ධ්‍යානප්‍රත්‍යනීක ධර්මප්‍රහාණය ද සියලු ධ්‍යානයන්ගේ උත්පත්තික්‍රම ද දක්වනලදහ. අභිධම්මභාජනියෙහි ලා ධම්සඟුණු චිත්තුප්පාදකාණ්ඩයෙහි ආ නයින් පෙළ තබා කුශල විපාක ක්‍රියා විසින් විභාග නය දක්වනලදී. විස්තරවිභාග ධම්සඟුණුයෙහි කී නයින් දතයුතු. සුත්තන්ත භාජනියෙහි දු අභිධම්මභාජනියෙහි දු පඤ්හපුච්ඡකයෙහි දු ලෞකිකලෝකෝත්තර මිශ්‍ර වූ මැ ධ්‍යානයෝ කියනලදහ.
අප්පමඤ්ඤාවිභඞ්ග: මෙහි සතර අප්‍රාමාණ්‍යයෝ සුත්තන්තභාජනියාදි තුන් නයින් විභක්ත වෙති. සුත්තන්තභාජනියෙහි පළමු මාතෘකා තබා අනතුරු වැ නික්ෂිප්තමාතෘකායෙහි පදභාජනිය සැකෙවින් දැක්විණ. විස්තරවිභාග චිත්තුප්පාදකාණ්ඩයෙහි කී අයුරු යි. අභිධම්මභාජනියෙහි කුශල විසිනුදු විපාක විසිනුදු ක්‍රියා විසිනුදු විභාග නය සැකෙවින් දක්වන ලද යැ. විස්තරවිභාග චිත්තුප්පාදකාණ්ඩයෙහි ආ සෙයින් දතයුතු. නයත්‍රයෙහි මැ ලෞකික අප්‍රාමාණ්‍යයෝ මැ කියන ලදහ.
සික්ඛාපදවිභඞ්ග: මෙහි පඤ්චාශික්ෂාපද අහිධම්මභාජනිය, පඤ්හපුච්ඡක යන දෙනයින් විභාග කොට දක්වනලද යැ. පළමු මාතෘකානික්ෂෙප ද ඉක්බිති පදභාජනිය ද වෙයි. පදභාජනිය නයත්‍රයෙකින් සමන්විත වෙයි. ප්‍රථමනයෙහි විරතිශික්ෂා දක්වනලද වෙයි. ද්විතීය නයෙහි චෙතනා ද තෘතීය නයෙහි චෙතනාසම්ප්‍රයුක්ත පරොපණ්ණාස ධර්මයෝ ද ශික්ෂාත්වයෙන් දක්වන ලදහ. මොහු අෂ්ටකාමාවචර කුශලචිත්තයාගේ වශයෙන් විභාග කරනලද වෙති. යළි චාතුර්භූමක කුශලධර්ම ද ශික්ෂිතව්‍යභාවයෙන් ශික්ෂායෙහි ලා ගෙන එහි විභාගනය සැකෙවින් දක්වනලද්දේ යැ. විස්තර විභාග ධම්මසඞ්ගණි අනුසාරයෙන් දතයුතු වෙයි. මෙහි අභිධම්මභාජනියෙහි දු පඤ්හපුච්ඡකයෙහි දු ලෞකික වූ මැ ශික්ෂාපදයෝ කියනලදහ.
පටිසම්භිදාවිභඞ්ග: මෙහි සතර ප්‍රතිසංවිද්ධර්මයෝ නයත්‍රයෙන් විභාග වෙති. සුත්තන්තභාජනියෙහි සත්‍යවාර යැ හේතුවාර යැ ධර්මවාර යැ ප්‍රත්‍යාකාරවාර යැ පර්‍ය්‍යප්තිවාර යැ යි විභාගවාර පසෙක් වෙයි. අභිධම්මභාජනියෙහි කුශලාකුශල විපාක ක්‍රියා විසින් වාර සතරෙක් වෙයි. විපාක හා ක්‍රියා හා මෙදෙක අර්ථප්‍රතිසංවිදායෙහි සඞ්ගෘහිත වෙන බැවින් විපාකක්‍රියාවාරයෙහි ධර්මප්‍රතිසංවිදා හැර සෙසු තුන් ප්‍රතිසංවිදාවෝ යෙදෙති. මෙහි පාළිය නයමුඛමාත්‍රයක් දක්වා සංක්ෂිප්ත කරනලද ය. විස්තරවිභාග චිත්තුප්පාදකාණඩයෙහි කී නයින් ගතයුතු වෙයි. මෙහි අර්ථප්‍රතිසංවිදා ලෞකික ද ලෝකෝත්තර ද වෙයි. අවශේෂ තුන් ප්‍රතිසංවිද්ධර්මයෝ ලෞකික වෙත්.
ඤාණවිභඞ්ග: මෙහි ඒකවිධඥානවස්තුයෙහි පටන් දශවිධඥානවස්තු තෙක් දශපරිච්ඡෙදයෙකින් මාතෘකා තබා නික්ෂිප්ත පදානුක්‍රමයෙන් නිද්දෙස කරනලද යැ. ඔවුනතුරෙහි එකකමාතෘකායෙහි අටසැත්තෑ පදයෙක් වෙයි. ද්විකමාතෘකායෙහි පන්තිස්ද්විකයෙක. ත්‍රිකමාතෘකායෙහි අටාසූ ත්‍රිකයෙක. චතුෂ්කමාතෘකායෙහි එක්විසි චතුෂ්කයෙක. පඤ්චකමාතෘකායෙහි පඤ්චක දෙකෙක. ෂට්කමාතෘකායෙහි එක් අෂ්ටකයෙක. සප්තකමාතෘකායෙහි එකොළොස් සප්තකයෙක. අෂ්ටකමාතෘකායෙහි එක් අෂ්ටකයෙක. නවකමාතෘකායෙහි එක් නවකයෙක. දශකමාතෘකායෙහි එක් මැ දශකයෙකි. මෙහැම නිද්දෙසයෙහි ලා විභාග කොට දක්වනු ලැබේ.
ඛුද්දකවත්ථුවිභඞ්ග: මෙහි ක්ලෙශධර්මයෝ විභාග වෙති. නානාප්‍රකාරක්ලෙශ ධර්මයන් එකොළොස් අයුරෙකින් සඞ්ග්‍රහ කොට මාතෘකා තබා යළි උද්දිෂ්ටපදානුක්‍රමයෙන් නිර්දේශ කරනලද යැ. එහි ඒකකමාතෘකායෙහි පටන් දශකමාතෘකා තෙක් පිළිවෙළින් පරිච්ඡෙද දශයෙක් ද අවසානයෙහි තණ්හාවිවරිත දැයි එකොළොස් පරිච්ඡෙදයෙක් වෙයි. එකකමාතෘකා තෙසැත්තෑවෙක් වෙයි. ද්විකමාතෘකා අටළොසෙක. ත්‍රිකමාතෘකා පන්තිසෙක. චතුෂ්කමාතෘකා තුදුසෙක. පඤ්චකමාතෘකා පසළොසෙක. ෂට්කමාතෘකා තුදුසෙක. සප්තකමාතෘකා සතෙක. අෂ්ටකමාතෘකා අටෙක. නවකමාතෘකා නවයෙක. දශකමාතෘකා සතෙක. අෂ්ටාදශකමාතෘකා සයෙකි. මෙසේ අටසියක් ක්ලෙශධර්මයන් මාතෘකා කොට තබා එහාම නිද්දෙසයෙහි ලා විභාග කොට දක්වන ලදී.
ධම්මහදයවිභඞ්ග: මෙහි ස්කන්ධාදි ද්වාදශ ධර්ම කෙනෙක් විභාග වෙති. විභාගවාර දශයෙකි. ප්‍රථමවාරය සබ්බසඞ්ගාහිකවාර නම් වෙයි. එහි ස්කන්ධ, ආයතන, ධාතු, සත්‍ය, ඉන්ද්‍රිය, හේතු, ආහාර, ස්පර්ශ, වේදනා, සංඥා, චෙතනා, චිත්ත යන ද්වාදශසඞ්ග්‍රහයෝ වෙති. ද්විතීයවාරයෙහි ලා කාමධාතු ආදියෙහි යථොක්තධර්මයන්ගේ උත්පත්ති හා අනුත්පත්ති දැකවෙයි. තෘතියවාරයෙහි ලා කාමධාතු ආදියෙහි ස්කන්ධාදීන්ගේ පර්‍ය්‍යාපන්න-අපර්‍ය්‍යාපන්න භාවය දැක්වෙයි. චතුර්ථවාරයෙහි ලා තුන් භූමියෙහි උත්පත්ති ක්ෂණයෙහි ස්කන්ධාදීන්ගේ විද්‍යාමාන-අවිද්‍යාමානභාවය දැක්වෙයි. පඤ්චමවාරය ඒ ධර්මයන් භූම්‍යන්තර වශයෙන් දක්වයි. සප්තමවාරයෙහි ස්කන්ධාදිධර්මයන්ගේ අභිඤ්ඤෙය්‍යාදි භාවය දැක්වෙයි. අෂ්ටමවාරයෙහි ඔවුන්ගේ සාරම්මණ-අනාරම්මණ භාවය දැක්වෙයි. නවමවාරයෙහි ස්කන්ධාදී ධර්මයන්ගේ කුශලත්‍රිකාදි සඞ්ග්‍රහය දැක්වේ.
ග්‍රන්ථප්‍රමාණ: උක්තප්‍රකාර අටළොස් පරිච්ඡෙදයෙකින් සමන්විත වූ විභඞග ප්‍රකරණය වාචනාමාර්ගයෙහි ආ පමණින් ඛන්ධවිභඞ්ග පස් බණවරෙකින් ද ආයතන විභඞ්ග සාතිරේක බණවරෙකින් ද ධාතුවිභඞ්ග දෙබණවරෙකින් ද සච්වවිභඞ්ග දෙබණවරෙකින් ද ඉන්ද්‍රියවිභඞ්ග සාතිරේක බණවරෙකින් ද පච්චයාකාරවිභඞ්ග බණවර සයෙකින් ද සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, බොජ්ඣඞ්ග, මග්ගවිභඞ්ග සාතිරේක බණවර බැවින් ද ඣානවිභඞ්ග,දෙබණවරෙකින් ද අප්පමඤ්ඤා, සික්ඛාපද, පටිසම්භිදා විභඞ්ග සාතිරේක බණවර බැවින් ද ඤාණවිභඞ්ග, ඛුද්දකවිභඞ්ග තුන් බණවර බැවින් ද ධම්මහදයවිභඞ්ග දෙබණවරෙකින් දැ’ යි පන්තිස් බණවරෙකින් පරිමිත වූයේ යි.
කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර.
1975 වෙසක්, ත්‍රිපිටක කාර්‍ය්‍යාලය, මහානායක චාරිකාරාමය, 115, විජේරාම මාවත, කොළඹ - 7.
සඞ්කෙත නිරූපණය
සීමු - සිංහලාක්ෂර මුද්‍රිත විභඞ්ගප්‍රකරණය සිමු සිරිමු - ශ්‍රීපාද ත්‍රිපිටක මුද්‍රණය. මනුප - (මහනුවර පත්තිරිප්පුව) රාජකීය පුස්තකාලය. පැවි - පැල්මඩුල්ල විහාරයට අයත් පුස්කොළපත. මඡසං - මරම්මඡට්ඨසඞ්ගීති පොත්ථක. ස්‍යා - තායිලන්තයෙහි මුද්‍රිත - විභඞ්ගප්‍රකරණය. PTS - PALI TEXT SOCIETY VIBHANGAPPAKARANA