විජම්බන: ශ්‍රීඝනසුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් සවැනි වසැ රජගහනුවර බිම්සර මහරජහු විසින් කරවා දුන් වේළුවන අරම්හි වැඩවසන දවස් රජගහ සිටු ‘තමන් රහත්හ’ යි පිළින කරන විවිධ දෘෂ්ටිවාදීන් පිරික්සුවනට සැටරියන් හුණදඬියෙකැ ලා රත් සඳුන් පාත්‍රයක් අහස්හි නඟාලා ‘රහත්හු ඇත් නම් ඉදුහයෙන් ගොස් ගනිත්ව’ යි නුවර බෙර ලැවි. සදිනෙක් ඉක්මගියේ යැ, සඳුන්පය ගන්නෝ නැති. එකරුණින් ‘ලොවැ ඍද්ධිමත් රහත්හු නැතැ’ යි නුවරවැස්සෝ කියන්නට වන්හ. සත්වන දවස එනුවර පිඬුසිඟා වඩනා මහමුගලන් තෙරණුවනටත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන්ටත් එබස් ඇසිණ. එකල මහමුගලන් තෙරණුවන්ගේ බසින් පිණ්ඩොලභාරද්වාජ තෙරණුවෝ ඉදුහයෙන් ගොස් පාත්‍රය ගෙන ලොව ඍද්ධිමත් රහතුන් විසින් නොසිස් බව පළ කළහ. බුදුහු එපවත් අසා “භික්ෂූන් ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නො පෑයුතු යැ” ශික්‍ෂා පැනවූහ. “ශ්‍රාවකයන් විසින් නො කළයුතු යැ” යි පනවන ලද්ද බුදුනුදු නො කෙරෙති” යි සිතූ තීර්‍ත්‍ථකයෝ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය පිණිස බුදුරදුනට වාදාරෝපණ කළහ. බිම්සර මහරජහු විසින් දන්වනලද බුදුහු උන්ගේ වාද පිළිගෙන ඉන් සාරමසෙකින් මොබ ඇසැළ මැදිපොහෝ දවස්හි සැවැත් නුවර ගඬඹරුක්මුල්හි දී යමාමහපෙළහර දක්වා තීර්‍ත්‍ථකයන්ගේ මාන මර්‍දන කොට සත්වැනි වස සඳහා තව්තිසා දෙව්ලොවට වැඩියහ. එහි පරසතුරුක්මුල්හි පඬුඇඹුල්සලස්නෙහි වැඩහිඳ මාතෘදිව්‍යරාජයා කායසාක්‍ෂි කොට දසදහසක් සක්වළ දෙවියනට ‘කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා’ ආදීන් තෙමසක් මුළුල්ලෙහි අභිධර්‍මදේශනා කළසේක. දවස දවස පිඬු පිණිස මිනිස්ලොවට වඩනා බුදුහු නුතත්දහතලායෙහි දී උවටන් පිණිස තමන්වහන්සේ වෙත එළැඹෙන දම්සෙනෙවි සැරියුත් තෙරණුවන් අමතා: ‘ශාරිපුත්‍රයෙනි, අද මා විසින් මෙතෙක් දහම් දෙසන ලදැ’ යි තෙරණුවනට එදහම් නය විසින් වදාරති. තෙරණුවෝ එ නය ගෙන එදා යමාමහපෙළහරෙහි පැහැදැ තමන් වහන්සේ වෙත පැවිදි වූ පන්සියක් අතැවැසියනට එදහම් සිය, දහස්, සුවහස් නයින් විභාග කොට හදාරවති. මෙසෙයින් සම්බුදුරදුන් තව්තිසායෙහි විජම්දෙසුන් නිමවත් මැ මිනිස්ලොවැ සැරියුත් තෙරණුවන්ගේ අතැවැසියොත් සප්තප්‍රකරණෝක්ත විජම්බණ හදාරා නිමැවූහ. මෙසේ සම්බුදුරදුන් විසින් දෙවියනට දෙසූ අභිධර්‍මයෙහි වාචනාමාර්‍ගය මිනිස්ලොවැ දම්සෙනෙවි සැරියුත් මහරහත් තෙරණුවන් ප්‍රභව කොට පහළ වී. සම්බුදුරදුන් විසින් දෙසූ නය විභාග කොට දේශිත වන බැවින් එය බුද්ධවචනයෙහි මැ වැටෙයි. ප්‍රථම සඞ්ගීතියෙහි දී මහසුප් තෙරණුවන්ගේ පිළිවිසීමෙන් ධර්‍මභාණ්ඩාගාරික අනඳ තෙරණුවන් විසින් විසඳන ලදුව පන්සියක් මහරහතුන් විසින් සඞ්ගීත වූ අභිධර්‍මපිටකය දඹදිවැ ඇදුරොල්හි පිළිවෙළින් සැරියුත් තෙරණුවන් පටන් කොට භද්දජි, සොභිත, පියජාලි, පියපාල, පියදස්සි, කොසියපුත්ත, සිග්ගව, සන්දේහ, මොග්ගලිපුත්තතිස්ස, සුදත්ත, ධම්මිය, දාසක, සෝණක, රේවත යන මහතෙරහු තුන්වන සඞ්ගීති කාලය තෙක් වාචනා කොටගෙන ආහ. දෙවනපෑතිස් මහරජුන් දවස දඹදිවැ දම්සෝ මහනිරිඳු පුත් අනුබුදු මිහිඳුමහරහතුන් විසින් ලක්දිවට ගෙන එන ලද එදහම ලක්දිවැ ඇදුරොල්හි වාචනාමාර්‍ගයෙහි ආයේ වළගම්අබා මහරජුන් දවස මාතුලජනපදයෙහි අලුලෙන්හි දී ග්‍රන්ථාරූඪ කරන ලදු වැ මෙතෙක් නිර්‍මල වැ පවත්නේ යි. මේ සැකෙවින් දක්වන ලද්දේ අභිධර්‍මය පිළිබඳ අර්‍ථකථාගත ඉතිවෘත්ත යි.
අභිධර්‍මාර්‍ත්‍ථ: අභිධර්‍මශබ්දයෙහි අර්‍ථවිවරණ නොයෙක් අයුරින් අටුවාහි දක්නට ඇත. “අභිධම්මෙති නාමරූප පරිච්ඡෙදෙ” යි අභිධර්‍ම යනු නාමරූපපරිච්ඡේද බව සමන්තපාසාදිකා විනය අටුවාහි ද සාරත්‍ථදීපනී විනයටීකාහි ද එයි. “අභිධම්මෙති අභිවිසිට්ඨෙ ධම්මේ, ඉමෙසු සත්තතිංසබෝධිපක්ඛියධම්මේසූති අත්‍ථො” යි අභිධර්‍ම යනු විශිෂ්ට ධර්‍මයෙහි - සත්තිස් බොධිපාක්‍ෂිකධර්‍මයෙහි යන අර්‍ථ බව පපඤ්චසූදනී මජඣිමනිකායට්ඨකථායෙහි දැක්වෙයි. “අභිධම්මන්ති උත්තමධම්මකථං” යි අභිධර්‍ම යනු උත්තමධර්‍මකථා යැ යි මනොරථපූරණී අඞ්ගුත්තරනිකායට්ඨකථායෙහි එයි. එහි මැ අන්තැනෙකැ අභිධර්‍මාර්‍ථය ඉතා පැහැදිලි ලෙස විවරණය කෙරෙමින්: “අභිධම්මෙ අභිවිනයෙති එත්‍ථ ධම්මො - අභිධම්මො - විනයො - අභිවිනයොති චතුක්කං වෙදිතබ්බං, තත්‍ථ ධම්මොති සුත්තපිටකං, අභිධම්මොති සෝතප්පකරණානි, විනයොති උභතො විභඞ්ගං, අභිවිනයොති ඛන්‍ධකපරිවාරා” යි කීහ.
“අභිධම්මේ අභිවිනයෙ යන මෙහි ධර්‍ම - අභිධර්‍ම - විනය - අභිවිනය යන චතුෂ්කය දතයුතු යැ. එහි ‘ධර්‍ම’ යනු සූත්‍රපිටක යැ, ‘අභිධර්‍ම’යනු සප්තප්‍රකරණයෝ යැ, ‘විනය’ යනු භික්‍ෂු - භික්‍ෂුණී උභය විභඞ්ග යැ, ‘අභිවිනය’ යනු චුල්ලවගග - මහාවග්ග - සඞ්ඛ්‍යාත ඛන්‍ධක හා පරිවාර හා මේ දෙක යි” යනු එහි අර්‍ථ යි.
ඇදුරොල්හි ආ සෙයින් අභිධර්‍ම ශබ්දයෙහි පූර්‍වෝක්ත අර්‍ථවිවරණය කරන අටුවා ඇදුරු බුදුගොස් තෙරණුවෝ ‘අත්‍ථසාලිනී’ නම් ධම්මසඞ්ගණී අර්‍ථකථායෙහි ”තත්‍ථ අභිධම්මොති කෙනට්ඨෙන අභිධම්මො? ධම්මාතිරේක ධම්මවිසේසට්ඨෙන” යි ධර්‍මාතිරේකාර්‍ථයෙන් හා ධර්‍ම විශේෂාර්‍ථයෙන් අභිධර්‍ම නම් වන සේ නිරුකත්‍යර්‍ථ දු දක්වති.
‘අභිධම්ම’ පදයෙහි ‘අභි’ ශබ්දය “බාළ්හා මෙ දුක්ඛා වේදනා අභික්කමන්ති නො පටික්කමන්ති” යන තන්හි සෙයින් අතිරේකාර්‍ථ ද “අභික්කන්තවණ්ණා” යනතන්හි සෙයින් විශේෂාර්‍ථ ද කියයි එයින් අතිරේකධර්‍ම විශේෂධර්‍ම ‘අභිධමම’ නම් වෙයි.
ඒ එසේ මැ යි: සූත්‍රාන්තයට පැමිණ පඤ්චස්කන්‍ධය එකදේශයෙකින් විභාග කරනලද යැ අභිධර්‍මයෙහි දී සුත්තන්තභාජනීය, අභිධම්මභාජනීය, පඤ්හපුච්ඡක යන ත්‍රිවිධ නය විසින් නිෂ්ප්‍රදේශ කොට (සර්‍වාකාරයෙන්) විභාග කරනලද වෙයි. මෙසෙයින් මැ දොළොස් ආයතන, අටළොස් ධාතු, සිවුසස්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන, සතරඍද්ධිපාද, සප්තබොධ්‍යඞ්ග, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ග, සතර ධ්‍යාන, සතර අප්‍රමාණ්‍ය, සිවුපිළිසිඹියා, ඥාන, ක්ලෙශ, භුම්‍යන්තරපරිචෙඡ ද යන මොහු අභිධර්‍මයට පැමිණ නිෂ්ප්‍රදේශ කොට විභාග කරන ලදහ. හුදෙක් ඉන්ද්‍රියවිභඞ්ග, සික්ඛාපද විභඞ්ග යන මෙහි සුත්තන්තභාජනීය ද ප්‍රත්‍යයාකාරයෙහි පඤ්හපුච්ඡකය ද නැත. මෙසේ සූත්‍රාන්තධර්‍මයෙන් අතිරේක කොට විශිෂ්ට කොට විභක්ත වන බැවින් ධර්‍මාවිශේෂාර්‍ථයෙන් අභිධර්‍ම නම් වෙයි.
අභිධර්‍මපර්‍ය්‍යාය: අභිධර්‍මය පිටක විසින් ‘අභිධම්මපිටක’ නමුදු දේසනා විසින් පරමාර්‍ථ බහුලකොට දේශිත වන බැවින් ‘පරමත්‍ථදේශනා’ නමුදු ශාසන විසින් ධර්‍මපුඤ්ජමාත්‍රයෙහි ‘මම’ යැ ‘මාගේ’ යැ යන සංඥා ඇති සත්ත්‍වයන් මෙහි ලා ධර්‍මානුරූප කොට අනුසස්නා ලද වන බැවින් ‘යථාධම්මසාසන’ නමුදු රාගාදියට ප්‍රතිපක්‍ෂ වූ නාමරූපපරිච්ඡෙදය කියන ලද වන බැවින් ‘නාමරූපපරිච්ඡෙදකථා’ නමුදු වෙයි.
කෘත්‍ය: අභිධර්‍මපිටකයෙහි ලා අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා සඞ්ඛ්‍යාත ත්‍රිවිධ ශික්‍ෂා අතුරෙහි ‘අධිප්‍රඥාශික්‍ෂා’ කියන ලද වෙයි. ව්‍යතික්‍රම, පර්‍ය්‍යුත්‍ථාන, අනුශය සඞ්ඛ්‍යාත ත්‍රිවිධ ක්ලෙශප්‍රහාණයන් අතුරෙහි ‘අනුශයප්‍රහාණය’ කියනලද වෙයි. තදඞ්ග, විෂ්කම්භණ, සමුච්ඡෙද ප්‍රහාණයන් අතුරෙහි ‘සමුච්ඡෙදප්‍රහාණය’ කියන ලද වෙයි. දුශ්චරිත, තෘෂ්ණා, දෘෂ්ටි සංක්ලෙශයන් අතුරෙහි ‘දෘෂ්ටිසංක්ලෙශප්‍රහාණය’ කියනලද වෙයි.
සම්පත්: සම්පත් අර්‍ථයෙන් ගනුත් විනයෙහි සුපිළිපන් මහණ ශීලසම්පත් නිසා ත්‍රිවිද්‍යාවට පැමිණෙයි. සූත්‍රාන්තයෙහි සුපිළිපන් මහණ සමාධිසම්පත් නිසා ෂඩ්භිඥාවට පැමිණෙයි. අභිධර්‍මයෙහි සුපිළිපන් මහණ ප්‍රඥාසම්පත් නිසා සියුපිළිසිඹියාවට පැමිණේ.
අඞ්ග: තවද මේ අභිධර්‍ම දීඝ, මජ්ඣිම, සංයුත්ත, අඞ්ගුත්තර, ඛුද්දක යන පඤචවිධ නිකායයන් අතුරෙහි ඛුද්දක නිකායෙහි බැසගනී. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වේදල්ල යන නවවිධ ශාසනාඞ්ගයන් අතුරෙහි වෙය්‍යාකරණාඞ්ගයෙහි බැසගන සිටී. පිටක විසින් වෙන් කොට ගනුත් සුත්‍රාන්තපිටකයෙහි අන්තර්‍ගත ග්‍රන්ථයෝ දීඝනිකාය, මජ්ඣිමනිකාය ආදි විසින් ‘නිකාය’ නමින් හෝ ‘ආගම’ නමින් ද විනය පිටකයෙහි අන්තර්‍ගත ග්‍රන්ථයෝ පාරාජිකපාළි, පාචිත්තියපාළි ආදි විසින් ‘පාළි’ නමින් ද අභිධර්‍මපිටකයෙහි අන්තර්‍ගත ග්‍රන්ථයෝ ධම්මසඞ්ගණිප්පකරණ, විභඞ්ගප්පකරණ ආදි විසින් ‘පකරණ’ නමින් ද වෙසෙසා හඳුන්වනු ලැබෙත්.
ප්‍රකරණ ශබ්දාර්‍ථ: පාළියෙහි ‘පකරණ’ ශබ්දය දොෂ, කාරණ, ප්‍රස්තාව, ග්‍රන්ථවිශේෂ යන අරුත්හි දක්නා ලැබේ. “කිසමිඤ්චිදේව පකරණෙ” යන තන්හි දෝෂයෙහි වැටෙයි. “කිස්මිඤ්චි පකරණෙති කිස්මිඤ්චිදේව දොසෙ” යනු සුම්ඞගලවිලාසිනී අම්බට්ඨසුත්තවණ්ණනා යි. “පකරණෙති රාගාදි වසෙන පදුට්ඨේ පකඛලිතෙ කාරණෙ” යි එ මැ ටීකායෙහි එයි. “එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ” යන තන්හි කාරණයෙහි වැටෙයි. “පකරණන්ති කායවිඤ්ඤ්තති සහිතාය වධකචේතනාය අධිපෙත්ථසාධනං” යනු සාරත්‍ථදීපනී විනයටීකාහි දැක්වෙයි. පළමු කී සුමඞ්ගලවිලාසිනී අර්‍ථය ද මෙහි නො යෙදෙන්නේ නො වේ.
“සංයෝගා විප්පයෝගා ච සාහචාරියා විරොධතො අත්‍ථා පකරණා ලිඞ්ගා සද්දන්තර සමීපතො”
යන තන්හි ප්‍රස්තාවයෙහි වැටෙයි. “සත්තප්පකරණාති” යන තන්හි ග්‍රන්ථවිශේෂයෙහි වැටෙයි. ජාතකඅටුවාගැටපදයෙහි “නන් ප්‍රභේදයෙන් බුන් අර්‍ථයෝ ප්‍රකාරයෙන් කියනු ලැබෙත් නු යි යථෝක්ත ධම්මසඞ්ගණී ආදි ‘ප්‍රකරණ’ නම් වේ” යනුවෙන් නොයෙක් ප්‍රභේදයෙන් භින්න වූ අර්‍ථයන් ප්‍රකාරයෙන් කියනුලබන හෙයින් ධම්මසඞ්ගණී ආදිය ප්‍රකරණ නම් වන සේ දක්වන ලදි.
භාෂාන්තරයෙහි: “ප්‍රමාණප්‍රකරණ, ප්‍රමේයප්‍රකරණ” ආදි තන්හි ග්‍රන්ථසන්‍ධියෙහි වැටෙයි. මෙ අරුත්හි ‘පාද’ ශබ්දය ද යෙදෙයි. මුග්ධබොධයෙහි ග්‍රන්ථසන්‍ධි ‘පාද’ නමින් දැක්වෙයි. පාද ලක්‍ෂණ දක්වන මුග්ධබොධටීකාකාර දුර්‍ගාදාසයෝ: “එකාර්‍ථාචච්ඡින්න සූත්‍රසමූහඃ පාදඃ” යි ‘එකාර්‍ථයෙහි කැටි කොටගත් සූත්‍රසමූහය පාද නමැ’ යි කියති. පාදපර්‍ය්‍යා හෙයින් ‘ප්‍රකරණ’ ශබ්දයෙහිදු මෙ අරුත් යෙදෙයි. එකාර්‍ථප්‍රතිපාදක ධර්‍ම සමූහ වන බැවින් ධම්මසඞ්ගණි ආදිය හා යෙදෙන ප්‍රකරණ ශබ්දයෙහි දු මෙ අරුත් යෙදේ දැ යි විමසනු වටී.
සම්භාවනා: දිවමනු සම්බුදුරදුන් සමයෙහි මැ අභිධර්‍මය මහත් සම්භාවනා ලද්දේ යැ. එ දවස ‘ධම්මකථික’ යනු ආභිධර්මිකයනට නමෙකි. ‘ධම්මකථික’ නමින් වෙන මැ ආචාර්‍ය්‍යගණයෙක් ද වී. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි පන්සියක් අතැවැසියන්ගෙන් සමන්විත ධම්මකථික ගණයෙක් වී. මෙහි ධම්මකථික ගණයත් විනයධර ගණයත් අතර උපන් විනය පිළිබඳ මතභේදයක් නිසා බුදුරදුන් පාරිලෙය්‍යවනයට වැඩි සේ ධම්මපදට්ඨකථා කොසම්බකවත්‍ථුයෙහි දැක්වේ. මහාගොසිඞ්ග සූත්‍රයෙහි දී සම්බුදුරදුන් විසින් මැ ආභිධර්මිකයා ‘ධම්මකථික’ යයි නම් කරන ලද්දේ යැ.
කීසෙයින් මහණහු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ දැ? යි දම්සෙනෙවි සැරියුත් තෙරණුවන් විසින් පුළුවුත් මහමුගලන් තෙරණුවෝ:
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙසස්නෙහි මහණහු දෙදෙනෙක් අභිධර්‍ම කථා කෙරෙත් ද, ඔහු ඔවුනොවුන් පැන පුළුවුසිත් ද ඔවුනොවුන් පුළුවුස්නා ලදහු විසඳත් ද නොපසුබසිත් ද උන්ගේ දැහැමිකථාත් පවත්නී වේ ද, ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මෙවන් මහණහු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ යැ යි අභිධර්‍මකතා කරන මහණහු විසින් ගොසිඞ්ගසාලවනය හොබවන සේ දැක්විණ. මහමුගලන් තෙරණුවන්ගේ විසැඳුම සැරියුත් තෙරණුවන් විසින් සම්බුදුරදුන් හමුයෙහි දක්වාලූ කල්හි භාග්‍යවත් බුදුහු: “සාධු සාධු ශාරීපුත්‍රය, එය මුගලන්හු පැවැසූ සේ මැනැව. ශාරීපුත්‍රය, මොග්ගල්ලාන ධර්‍මකථිකයෙකි” යි වදාළහ. මෙහි සම්බුදුරදුන් විසින් අභිධර්‍ම කථා පසස්මින් ‘ආභිධර්මිකයෝ මැ ධර්‍මකථිකයහ’ යි ද වදාරනලද වෙයි.
ආභිධාර්මික මැ ධර්‍මකථික වීමට හේතුදු අර්‍ථකථායෙහි මෙසේ දැක්වෙයි: “සූක්‍ෂම වූ චිත්තාන්තර, ස්කන්‍ධාන්තර, ධාත්‍වන්තර, ආයතනාන්තර, ධ්‍යානාවක්‍රාන්ති, ආලම්බනාවක්‍රාන්ති, අඞ්ගව්‍යවස්ථා, ආලම්බනව්‍යවස්ථා, අඞ්ගසංක්‍රාන්ති, ආලම්බසංක්‍රාන්ති, එකතොවර්‍ධන, උභතොවර්‍ධන, යන මොවුන් ආභිධර්මිකයනට මැ ප්‍රකට වෙයි. ආභිධාර්මික නො වූයේ ධර්‍මය කියතුදු මේ ස්වවාද යැ මේ පරවාද යැ යි නො දනී” යයි.
අත්‍ථසාලිනියෙහිදු ආචාර්‍ය්‍යයෝ: “ආභිධර්මික මහණහු මැ ධර්‍මකථික නම් වෙති. සෙස්සෝ ධර්‍මකථා කියන්නාහු නමුදු යථාර්‍ථයෙන් ධර්‍මකථික නො වෙති. කවර හෙයින යත්: ඔහු ධර්‍මකථා කියන්නාහු කර්‍මාන්තර විපාකාන්තර රූපාරූපපරිච්ඡේද ධර්‍මාන්තර ආලොළන කොට කියති. ආභිධර්මිකයෝ ධර්‍මාන්තර නො අලළති. එහෙයින් ආභිධර්මික මහණ ධර්‍මය කියන්නේ වේවයි නො කියන්නේ වේවයි. පිළිවිසි කල්හි පැන විසඳා නු යි මේ මැ ඒකාන්ත ධර්‍මකථික වේ” යයි ආභිධර්මික මහණ මැ ධර්‍මකථික වන සේ තර කොට කියති.
නිකායාන්තර බෞද්ධයන් අතුරෙහි සර්‍වාස්තිවාදීන් විසින් අභිධර්‍මය ආදෘත යැ. ඔවුනට ද අභිධර්‍මයෙහි සප්තප්‍රකරණයෙක් වෙයි: ඥානප්‍රස්ථාන යැ සඞ්ගීතිපර්‍ය්‍යා යැ ප්‍රකරණපාද යැ විඥානකාය යැ ධාතුකාය යැ ධර්‍මස්කන්‍ධ යැ ප්‍රඥප්තිශාස්ත්‍ර යැ යන මේ සප්තප්‍රකරණයෝ යි. කනිෂ්කරාජසමයෙහි දී ඥානප්‍රස්ථායට ‘විභාෂා’ නමින් අර්‍ථකථාවක් ද යළි එයට ටීකා තුනක් ද ලියන ලදහ. එහි විශාලතම ටීකාව ‘මහාවිභාෂා’ නමින් හැඳින්වෙයි. පශ්චාත්කාලීන පඬිවරුන් විසින් ලියනලද පරිවාර ග්‍රන්ථ රාශියෙකිනුදු සර්‍වාස්තිවාදීන්ගේ අභිධර්‍මය පොෂිත වෙයි.
ලක්දිව බෞද්ධයන් අභිධර්‍මය කෙරෙහි දැක්වූයේ අතිමාත්‍ර භක්තිකයෙකි, සම්භාවනායෙකි. එහි ලා මෙරට රජවරුන් මැ පුරෝගාමී වූ සේ ඉතිහාසයෙහි දැක්ක හැකි යැ. තෙවළා බුදුවදන්හි නිපුණ වූ සිංහල රජදරුවෝ බොහෝ දෙනෙක් මෙරට පාලනයෙහි නියුක්ත වූහ. බුදුදහම ව්‍යාප්ත කරලීම ද ඔවුන්ගේ රජදහම්හි අඞ්ගයෙක් වී. දහම් දෙසන්නටත් ධර්‍මව්‍යාඛ්‍යාන කරන්නටත් ධර්‍මාධ්‍යාපනය කරන්නටත් මෙරට රජවරු ඉදිරිපත් වූ අවස්ථා ඉතිහාසයෙහි සඳහන් වැ ඇත. කුමරුවන් නිවාපයෙන් උපලාළපනය කොට දහම් හැදෑර වූ රජවරු ද වූහ.
දුටුගැමුණුරජ (බු. ව. 382 – 406) අනුරාධපුර ලෝහප්‍රාසාදයෙහි යටිමහල්හි මහසඟන මැද දහම් දෙසන්නට ධර්‍මාසනාරූඪ වී. සුළුමුගලන්රජ (බු. ව. 1089 – 1109) ධර්‍මභාණකයනට අතිරේක පූජා කොට අර්‍ථකථා සහිත තුන්පිටකය වාචනා කරවී. කුමරුවන් නිවාපයෙන් උපලාළන කොට දහම් හැදෑරවි. තෙමේ දහම් කවියට නඟා රාත්‍රිධර්‍මාවසානයෙහි ඇතුන් පිට පුරුෂයන් හිඳුවා නගරයෙහි කියැවී දෙටුතිස් iii රජ (බු. ව. 1180 – 81) යුදයෙන් පැරැදැ සිරියෙන් ගෙල සිඳ සියදිවි නසාගනුයේ ඇමැති අත මෙහෙසියට සන්‍දෙශයක් යවමින් “පැවිදිවැ ආගම හදාරා අභිධර්‍මය කියා පින්පෙත් දෙව” යි කියායවී. කසුප්මහරජ ii (බු. ව. 1196 – 1205) මිරිසවැටි වෙහෙරෙහි පහයක් කරවා එහි නාගසාලනිවාසී ‘මහාධම්මකථි’ නම් මහ තෙරුන් වස්වා සිවුපසයෙන් උපස්ථාන කොට ඔබ ලවා අර්‍ථකථා සහිත අභිධර්‍මය කියැවී. නාගසාලයෙහි දු ආවාසයක් කරවා ‘මහානිඨිල’ ග්‍රාමය එයට ප්‍රත්‍යය පිණිස පිදී.
දෙබිසෙවජා සලමෙවන් අභා මහරජ (v කසුප් බු. ව. 1445 – 1455) මිරිසවැටි වෙහෙරෙහි දී නුවරවැසියන් හා භික්‍ෂූන් පිරිවරා විචිත්‍ර මණ්ඩපයෙකැ හිඳ විජම්බණ දෙසී. විජම්පෙළ රන්පත්හි ලියවා ධම්සඟුණු පෙළ නන්රුවනින් සදා නුවර මැද උත්තමගෘහයක් (ධම්මචක්කගේහ) කරවා එහි තබා පෙරහැර කරවී. තමා පුතුහට ‘සක්කසේනාපති’ තැන් දී එයට පුද පෙරහැර කරවීමෙහි යෙදැවී. හවුරුදු පතා නුවර අලඞ්කාර කරවා සර්‍වාභරණයෙන් සැදී සෙන් පිරිවරා ඇතුපිට හිඳ ධම්සඟුණු වඩාගෙන වීථි සඤ්චාරය කොට තමන් කරවූ (මිරිසවැටි) විහාරයට මහපෙරහැරින් පමුණුවා එහි ධාතුඝරයෙහි විචිත්‍රමණ්ඩපයෙකැ තබා පුදපෙරහැර පැවැත්වී. මහාවංශයෙහි එන මෙපුවත v කසුප් රජුගේ අභයගිරිසෙල්ලිපියෙහිදු “… … … දෙබිසෙවජා සලමෙය්වන් අබහය් මහරජ්යුතාර් … … … දාසැණෙන බුද්රුවන් අරියය් ධමුරුවන් කවරිසෙයෙකින් පුජනෙමි හො යන අදහස් පුරය් අභිධර්‍ම දෙසුන් කසුන්පත් අරවය් මහපුජ කොට සසුන් පිහිටවමි යන සිත් දොළ්නෙන් ඇජරපය හමුයෙහි එ මෙ ධම්දෙසුන් වියක්හන් කළ … … …” යනු දක්නට ඇත. මෙයින් එරජු අභිධර්‍මව්‍යාඛ්‍යානයකුදු කළ බව හෙළි වෙයි.
මිහිඳු මහරජ iv (බු. ව. 1491 – 1507) සිත්‍ථගාමවාසී ‘දහම්මිත්’ තෙරුන් පුදා ඔබ ලවා අභිධර්‍මවර්‍ණනාවක් කරවී. අරණ්‍යවාසී ‘දාඨානාග’ තෙරුන් ලවා අභිධර්‍ම ය කියැවී (උගැන්වී) එයට වැටුප් තැබූ සැටිදු ඔබගේ මිහින්තලා පුවරු ලිපියෙහි එයි:
“… … … … වනවළා කියන බික්සඟ හිමියනට් කඩින් පිඩින් වසග් පසක් ඉසා සුතත්වළා කියන බික්සඟ හිමියනට් කඩින් පිඩින් වසග් සතක් ඉසා බිදම්වළා කියන බික්සඟ හිමියනට් කඩින් පිඩින් වසග් දොළසක් ඉසා … … … “ යි.
මෙහි දැක්වෙන පරිදි විනයපිටකය කියන (උගන්වන) මහණක්හට වසග් පසක් ද සූත්‍රාන්තපිටකය කියන මහණක්හට වසග් සතක් ද අභිධර්මපිටකය කියන මහණක්හට වසග් දොළසක් ද දියයුතු වෙයි. විනයපිටකයත් සූත්‍රපිටකයත් දෙක මැ සඳහා කළ වැය එක් මැ අභිධර්‍මපිටකය සඳහා කළ වැය හා සම වෙයි. එයින් අභිධර්‍මය කෙරෙහි මහත් සම්භාවනා දැක්වූ සේ පැනෙයි.
මහාවිජයබාහු රජ (බු. ව. 1594 – 1649) දවස්පතා උදාසන විවේකී වැ ධර්‍මාගාරයට වැද ‘ධම්මසඞ්ගණිය’ පරිවර්‍තන කෙළේ යැ.
මෙසෙයින් බලත් මැ අභිධර්‍මපිටකය ලක්දිව්හි දී ලද සම්භාවනා ඉමහති. ඉනිදු ධම්මසඞ්ගණිප්පකරණය විශිෂ්ට වෙයි. එය සඳහා ධමමසඞ්ගණිගෙහ’ නමින් වෙනමැ ගෘහයක් ද එහි ආරක්‍ෂාවට ‘සක්කසේනාපති‘ නමින් වෙනමැ සෙනෙවි ධූරයෙක් ද වී. මෙකල ඇසළ පෙරහැර සෙයින් පැවැත්වෙන වාර්ෂික පූජොත්සවයෙක් ද වූයේ යි. එහි දී ධම්සඟුණු වඩා ගෙන ගියේ මහරජ තෙමේ යි.
විරුද්ධවාද
ධර්‍මවිනයෙහි නිපුණ විශාරද පඬිවරුන්ගේ අත්‍යන්ත බහුමානයට පාත්‍රැ වැ ඇත ද අභිධර්‍මපිටකය පමණ විවේචකයන්ගේ මතභේදයට ලක් වූ අන් පිටකයෙක් නැත. තුන්වැනි සඞ්ගීතියෙනුත් පළමු ඇරැඹුණු විවේවනය මෙතෙක් නැවැතී නැත. නිකායාන්තර බෞද්ධයන්ගේත් අන්‍යලබ්ධික යුරෝපීය පඬුවන්ගේත් විවේචනයට ලක්වීම ආශ්චර්‍ය්‍ය නො වෙයි. ඔවුන් අනුකරණය කරන මෙරට ථෙරවාදී තෙරවරුන්ගේත් ගිහිපඬුවන්ගේත් ප්‍රහාරයට ද දැන් එයට නො අඩු වැ වදනා සැටි පැනෙයි. ‘අභිධර්‍මය බුද්ධභාෂිත නො වෙයි’ කියනුවන්ගේ මුඛ්‍යවාද ගැන හේතුයුක්ති එළවා කළ ප්‍රාමාණික මතඛණ්ඩනයක් බුද්ධජයන්ති ත්‍රිපිටකමුද්‍රණාඞ්කාගත මහාවග්ගපාළි ප්‍රස්තාවනායෙහි එයි. ධර්‍මවිනයෙහි මෙන් මැ දර්‍ශනයෙහි දු විශාරද වූ, ශ්‍රී ලඞ්කා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි දර්‍ශනාංශයෙහි විනෙතෘභූත මහොපාධ්‍යාය දර්‍ශනවිශාරද පරවාහැර සිරිවජිරඤාණාභිධාන නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ විසින් කරනලද එ මැ වාද ඛණ්ඩනය ප්‍රමාණවතුදු ප්‍රාසඞ්ගික හෙයින් මෙහි දු කරුණු කිහිපයක් දක්වාලම්හ.
මහාසාඞ්ඝිකයෝ: අභිධර්‍මයට විරුද්ධ වැ පළමු නැගී සිටියෝ මහාසාඞ්ඝික නිකායවාසීහු වෙති. දඹදිව කාළාසොක මහරජු (බු. ව. 90 – 118) දවස අකප්පිය දශවස්තුවක් නඟා ශාසනාර්බුදයක් ඉපැද වූ එහෙයින් මැ ද්වීතිය සඞ්ගීතියෙහි දී ස්ථවිරවාදයෙන් නෙරනලද වජ්ජිපුත්තක භික්‍ෂූහු අධර්‍මවාදීන්ගේ පක්‍ෂබල ලබා දසදහසක් දෙනා එක් වැ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි දී ‘මහාසාඞ්ඝික’ නමින් වෙන මැ නිකායක් පිහිටුවා ගත්හ. ඔවුන් විසින් පරිවාර, අභිධර්‍මප්‍රකරණ සය, පටිසම්භිදා, නිද්දේස, ජාතක එක දේශයක් යන මෙතෙක් දහම් හළ බව දීප වංසයෙහි එයි.
ශාසනය නවීකෘත වී ද? දඹදිව දම්සෝ මහනිරිඳුන් දවස තෘතිය සඞ්ගීති සමයෙහි නිකායාන්තර බෞද්ධයන් අතුරෙහි සර්‍වාස්තිවාදීන් හැර සෙසු හැමදෙනා අභිධර්‍ම බුද්ධභාෂිත සේ නො ගත්හ. ‘ශාසනය නවීකෘත යැ (සාසනං නවං කතං) යි කියන්නෝ ද වූහ. මධුරසුත්ත ඝොටමුඛසුත්ත මුණ්ඩරාජසුත්ත සත්තසතික්කඛන්‍ධක වැනි ප්‍රථම සඞ්ගීතියෙන් පසු වැ කළ දේශනාවන් පෙළට එක් කිරීම ගැන ඔවුන් එසේ කියනු වියහැකි යැ. කථාවස්තුයෙහි උන්ගේ වාද සහේතුක වැ ඛණ්ඩනය කොට ඇත. ‘ශාසනය නවීකෘත යැ’ යි කීම ඇතැම් උත්තරාපථකයන්ගේ බස් වැන්නැ යි අර්‍ථකථාචාර්‍ය්‍යයෝ දක්වති. මෙහි නිර්දිෂ්ටයන් අටුවා පාළියට නඟන අවධියෙහි විසූ උත්තරාපථකයනැයි සිතම්හ. ඔහු සෞත්‍රාන්තික නිකායවාසී බෞද්ධයෝ වියයුත්තාහ. සෞත්‍රාන්තිකයෝ වනාහි කාශ්මීර ගන්‍ධාර දෙරටෙහි බලවත් වැ සිටි සර්‍වාස්තිවාදයෙන් බිඳීගියාහු වෙති. ඔහු සූත්‍රාන්ත මැ බුද්ධභාෂිත සේ ප්‍රමාණ කොට ගත් හෙයින් ‘සෞත්‍රාන්තික’ නම් වූහ. මෙයින් පැනෙනුයේ ‘ශාසනය නවීකෘත යැ’ යන මතය කථාවස්තුයෙන් ඛණ්ඩනය කොට තිබියදීත් එහි තර වැ එල්බගත් පිරිසක් අටුවා පෙළබසට නඟන අවධියේත් භාරතයෙහි සිටි බවයි.
අභිධර්‍මයට විරුද්ධ වැ විතණ්ඩවාදීන් නඟන නොයෙක් චෝදනා ඇත. ඔවුනතර:
i අභිධර්‍මය බුද්ධභාෂිත නො වෙයි, ii ප්‍රථම සඞ්ගීතියට පෙර අභිධර්‍මය නො වී, iii අභිධර්‍මය ප්‍රථම සඞ්ගීතියෙහි සඞ්ගීත නො වී,
යන චෝදනාවෝ මුඛ්‍ය වෙති. මේ එකෙකුදු අලුත් නො වෙයි. අටුවා පෙළබසට නඟන්නටත් පෙර සිට මැ නිකායාන්තර බෞද්ධයන් විසිනුදු ස්ථවිරවාදයට විරුද්ධ වැ නඟනලදු වැ අර්‍ථකථායෙහි ඛණ්ඩන ද කොට ඇති චෝදනා මැ යි. අපිදු විමසුම්හ.
වාදනිරාස
අභිධර්‍මය බුද්ධභාෂිත නො වේ ද?: ‘අභිධර්‍මය බුද්ධභාෂිත නො වේ’ යයි ප්‍රතිඥා කරනුවෝ එහි නිදාන නැති බව හේතු විසින් දක්වති. සූත්‍රාන්තය එයට වෛධර්‍ම්‍යදෘෂ්ටාන්ත කොට එළවති. තර්‍කානුකූල වැ ගත් කලැ මේ මෙසේ සිටුනේ යැ:
අභිධර්‍මය බුද්ධභාෂිත නො වෙයි, නිදාන නැති හෙයිනි, (වෛධර්‍ම්‍යයෙහි) සූත්‍රාන්තය මෙනි’ යි.
මෙයින් මේ කියනලද වෙයි: ‘ඉදින් අභිධර්‍මය බුද්ධභාෂිත වී නම් සූත්‍රාන්තයට “එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ” ආදිය සෙයින් අභිධර්‍මයට ද නිදානයක් විය යුතු යැ. නිදාන නැති හෙයින් අභිධර්‍මය බුද්ධභාෂිත නො වේ’ කියා යි. ඔවුන්ගේ හේතු මැ සදොස් වෙයි. ප්‍රතිඥාර්‍ථසිද්ධියට එළවන හේතු ඒකාන්ත වියයුතු යැ. බුද්ධභාෂිතයට නිදාන ඒකාන්ත හේතු නොව වෙයි. ‘යමෙක් බුද්ධභාෂිත වී නම් ඒ සනිදාන වියයුතු යැ’ යි ව්‍යාපතිනිශ්චයෙක් නැති දෘෂ්ටාන්ත කොට ගත් සූත්‍රාන්තයෙහි දු නිදාන අව්‍යභිචාරී නො වෙයි. නිදාන නැති සූත්‍රාන්ත ද ඇති හෙයිනි. ජාතක, සුත්තනිපාත, ධම්මපද ආදියෙහි නිදාන නැත, බුද්ධභාෂිතයට සනිදානත්‍වය හේතු වී නම් එ හැම බුද්ධභාෂිත බැවින් බැහැර කළයුතු වෙයි.
මහාකාත්‍යායන තෙරණුවන්ගේ ඇතැවැසි සොණ තෙරණුවෝ සුත්තනිපාතය උගෙන එහි එන එහි අට්ඨකවග්ග ගාථා බුදුරදුන් වදාළ පරිදි මැ උන්වහන්සේ හමුයෙහි මධුරස්වරයෙන් සජ්ඣායනා කොට කල්‍යාණවාක්කරණ ඇති ශ්‍රාවක මහණුන් අතුරෙහි අගතැන් ලදහ. අඞ්ගුත්තරනිකාය එතදග්ගපාළියෙහි උන්වහන්සේගේ නම සඳහන් වැ ඇත. අට්ඨකථායෙහි පුවත විස්තර විසින් එයි. මෑත දී දඹදිව සාඤ්චිස්තූපයෙහි පුරාවස්තු අතර තිබී ‘සත්පුරුෂ මහාකාත්‍යායනගේ අතැවැසි සොණගේ’ යන අරුත් ඇති “සපුරිස්ස මහකචනස අතවසිනො සොනස” යන ලිපිය සහිත ධාතු කරඬුවක් සොයා ගෙන ඇත. මහාකාත්‍යායන තෙරණුවෝ පැවිද්දට පෙර අවන්තිජනපදයෙහි චණ්ඩපජ්ජොත රජුගේ පුරෝහිත බ්‍රාහ්මණ වූහ. සොණ තෙරණුවෝ ප්‍රථම සෝවන් උවැසි වූ කුරරඝරයෙහි කාළී උවැසියගේ පුතණුවෝ යි. සාඤ්චිස්තූපයෙහි උන්වහන්සේගේ නම ගෞරවයෙන් අනුස්මරණය කිරීමට හේතුව ජන්මභූමියෙහි සම්බන්‍ධය වියයුතු යැ. එයින් පෙළ අටුවාහි ආ පවත් ඓතිහාසික සත්‍යභාවයෙන් තර වෙයි. මේ අනුව අන් කුමක් හැර පියතුදු සුත්තනිපාතයෙහි අට්ඨකවග්ගය හෝ බුද්ධභාෂිත සේ ගතයුතු වෙයි. එයට ද නිදානයෙක් නැත. මෙසෙයින් බුද්ධභාෂිත සේ ගතයුතු වෙයි. එයට ද නිදානයෙක් නැත. මෙසෙයින් බුද්ධභාෂිතයෙහි නිදාන අනෛකාන්තික වෙයි. හේතු මැ සදොස් බැවින් වාදය බිඳ වැටෙයි.
නිදාන නො දැක්වීමට හේතු: අභිධර්‍මයට නිදාන එකක් නො වැ දෙකක් ඇති සේ අර්‍ථකථායෙහි දක්වන ලදී. එය එසේ නම් ඇති නිදාන නො දැක්වූයේ කිම? නිරර්‍ථක හෙයිනි. නිදාන දැක්වූයේ අර්‍ථයක් සඳහා යි. ස්ථාන, පුද්ගල, වස්තු ආදීන් නානාත්‍වයක් ඇති තන්හි නිදාන දැක්වීම ග්‍රහණධාරණයෙහි පහසු පිණිස පවතී. එද අවශ්‍යයෙන් මැ දැක්වියයුතු යැ යි නියමයෙක් නැති. ප්‍රථමසඞ්ගීතියෙහි දී ධර්‍මසඞ්ග්‍රාහකතෙරුනට රිසිසේ නිදාන තබනලදී. අභිධර්‍මයෙහි සූත්‍රාන්තයෙහි සෙයින් ස්ථානපුද්ගලාදි නානාභාවයෙක් නැති. එයින් නිදාන අවශ්‍ය නො වෙයි.
තවද කරුණෙක් ඇති: සූත්‍රාන්ත ධර්‍මසඞ්ග්‍රහ කරන ලද්දේ බුදුන් පිරිනිවී තුන්මසට පසු යැ. එයින් එය අනුශ්‍රව විසින් සනිදාන කොට කියයුතු වෙයි. ධර්‍මය ශාස්තෘන් වහන්සේ ප්‍රභව කොට පවත්නා හෙයින් හා උන්වහන්සේ නො හමුයෙහි සඞ්ග්‍රහ කළයුතු වූ ද බැවිනි. අභිධර්‍මපිටකය වාචනාමාර්‍ගයට නඟනලද්දේ සම්බුදුරජුන් හමුයෙහි යැ. ප්‍රථම සඞ්ගීතියෙහි සඞ්ගායනා කරනු මිස සඞ්ග්‍රහ කිරීමට කිසිවක් එහි නො වී. එයිනුදු නිදාන නිරර්‍ථක වෙයි.
මෙහි දී ‘අභිධර්‍මයේ ප්‍රභවය’ (THE ORIGIN OF THE ABHIDHAMMA) නමින් බෞද්ධවිශ්වකොෂයෙහි (ENCYCLOPAEDIA OF BUDDHISM) එන ලිපිය ද විමසනු වටී. “බුදුරජහු අභිධර්‍මය නො දෙසූහ යනු මණ්ඩලාරාමවාසී තිස්සභූති තෙරුන්ගේ මතය විය. උන්වහන්සේගේ ස්වමතය සනාථ කිරීමට පදෙසවිහාර සූත්‍රය නිදන් කොට ගත්හ. සුමනදෙව නම් තෙර කෙනකුන් විසින් ‘අභිධර්‍මයෙහි කර්‍තෘ බුදුරජාණන් වහන්සේ මැ යැ’ යි පිළිගන්නා ලෙස ස්වකීය අනුගාමිකයෝ පොළොඹවන ලදහ” යි ලියුම්කරු මහතා කියයි. දැන් අපි මෙයට සම්බන්‍ධ අටුවා පාඨ ගෙන බලම්හ.
“මණ්ඩලාරාමවාසී තිස්සභූතිත්‍ථෙරො පන මහාබොධිනිදානො ඒස අභිධම්මො නාමාති දස්සෙතුං ‘යෙන ස්වාහං භික්ඛවෙ විහාරෙන පඨමාභිසම්බුද්ධො විහරාම තස්ස පදේසේන විහාසින්ති ඉමං පදේසවිහාර සුත්තන්තං කථෙසි … එවං ථෙරො පදේසවිහාරසුත්තන්තවසෙන අභිධම්මස්ස නිදානං කථෙසි. ගාමවාසී සුමනදෙවත්‍ථෙරො පන හෙට්ඨාලොහපාසාදෙ ධමමං පරිවත්තෙන්තො අයං පරවාදී බාහා පග්ගය්හ අරඤ්ඤේ කන්‍දන්තො විය අසක්ඛිකං අට්ටං කරොන්තො විය ච අභිධම්මේ නිදානස්ස අත්‍ථිභාවම්පි න ජානාතීති වත්‍වා නිදානං කථෙන්තො එවමාහ. “එ්කං සමයං භගවා දෙවේසු විහරති තාවතිංසෙසු පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං, තත්‍ර ඛො භගවා දේවානං තාවතිංසානං අභිධම්මකථං කථෙසි: කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා” ති.
අත්‍ථසාලිනියෙහි එන මේ පාඨයෙන් බෞද්ධවිශ්වකෝෂ ලියුම්කරු නඟාගත් පූර්‍වොක්ත අර්‍ථය හාස්‍යජනක යැ. මෙහි එනුයේ: “අභිධර්‍මයට නිදානයෙන් කිසෙක් නැතැ’ යි කරුණු ගන්වනු නො හැකි, එහි නිදාන මැ සොයා වෙහෙසෙන විරුද්ධවාදීහට මණ්ඩලාරාමවාසී තිස්සභූති තෙරුන් විසින් පදේසවිහාරසූත්‍රාන්තය එළවා මහාබෝධි නිදානය අභිධර්‍මයට නිදාන සේ දැක්වූ බවයි. එසේමැ ග්‍රාමවාසී සුමනදේව තෙරණුවන් විසින් ලෝහප්‍රසාදයෙහි යටිමහල්හි දී අභිධර්‍මයට තාවතිංසනිදානය එළ වූ බව යි. මෙතරම් සරල පාළිපාඨ දු වරදවාගෙන අභිධර්‍මය වැනි ගැඹුරු විෂයයක් විවේචන කෙරෙමින් ආධුනිකයන් විසංවාදයෙහි හෙළීම බලවත් අපරාධයෙකි.
අභිධර්‍මය පිලිබඳ ථෙරවාද මතයට විරුද්ධ වැ බෞද්ධවිශ්වකෝෂයෙහි අභිධර්‍ම ලිපියෙහි දක්වන තවත් අදහස් කිහිපයක් මෙසේ යැ:
iv “අභිධර්‍මය වැඩීගියේ සූත්‍රාන්තයෙහි දේශනා කොට ඇති ධර්‍මය පැහැදිලි කිරීමට ගන්නා ලද උත්සාහයෙහි ප්‍රතිඵලයක් වශයෙනි”
v “නිද්දෙසයත් පටිසම්භිදාමග්ගයත් පාළි අභිධම්ම ග්‍රන්ථ සත පහළ වීමට පළමුයුගයකට අයත් වෙයි”
vi “මේ ග්‍රන්ථ දෙකෙහි මැ දේශනාව සම්පූර්‍ණයෙන් ආකූල යැ”
vii “නිද්දෙස බුදුදහමෙහි ඉපැරැණි කොටසට අයත් වන අට්ඨක පාරායණ වැනි ධර්‍ම කොට්ඨාශයනට අභිධර්‍ම අර්‍ථ විවරණ සපයන ග්‍රන්ථයෝ යි” යනු යි.
අභිධර්‍මපිටකය පසුකලෙක දී සූත්‍රාන්තපිටකයට කරනලද අර්‍ථවිවරණයක් සේ ලියුම්කරු මහතා සලකන බව මෙයින් පෙනේ. ඒ අනුව නිද්දෙසයත් පටිසම්භිදාමග්ගයත් ඉපැරැණි අභිධර්‍ම අර්‍ථ විවරණ දෙක යි. අභිධර්‍ම පිටකයට ගුරු වූයේ ද එ් දෙක මැ යි. ‘නිද්දෙසයත් පටිසම්භිදාමග්ගයත් පාළි අභිධර්‍ම ග්‍රන්ථ සත පහළ වීමට පළමු යුගයකට අයත් වෙති’ කියන්නේ එහෙයිනි. අභාගයකට මෙන් නිද්දේසය මැ ඒ මහතාට හරස් වෙයි. ධම්මසඞ්ගණියෙන් උද්ධෘතපාඨ සවිස්සකට (26) නො අඩු ගණනක් ද විභඞ්ගයෙන් උද්ධෘතපාඨ සතළොස (17) කට නො අඩු ගණනක් ද නිද්දෙසයෙහි දක්නා ලැබේ. එ හැම බුද්ධජයන්ති ත්‍රිපිටක මුද්‍රණාගත නිද්දෙසයෙහි පෙන්වා ඇත. මේ පාඨයේ නිද්දෙසයට ඇතුළු වු සේ නිර්‍ණය කිරීමේ දී පළමු නිගමනයන් වෙනස් කොට අර්‍ථකථායෙහි පිහිට සොයන්නට සිදුවනු ඇත.
‘අභිධර්‍මය සූත්‍රාන්තයට කළ අර්‍ථවිවරණයකි’ යන විමතිය බොහෝ දෙනා තුළ පහළ වැ ඇත්තේ නිද්දෙසයත් පටිසම්භිදාමග්ගයත් අභිධර්‍ම ග්‍රන්ථ දෙකක් සේ වරදවා ගැනීමෙන් වියැයුතු යැ. නිද්දෙසයත් පටිසම්භිදාමග්ගයත් තේරුම් ගැනීමට නො හැකි වීම නිසා ඔවුන් මහ අවුලෙකැ වැටී සිටුනා බව නම් පැහැදිලි යැ. ‘ මේ දෙකෙහි දේශනාව සම්පූර්‍ණයෙන් ආකූල යැ’ යි කියන්නේ ද එහෙයිනි. දහම් නය දතුවෝ නම් එහි කිසි අවුලෙක් නුදුටුවිරූ හ.
‘නිද්දෙසයෙහි හෝ පටිසම්භිදාමග්ගයෙහි හෝ අභිධර්‍මලක්‍ෂණයක් එ දෙක පහළ වූ තැන් පටන් මෙතෙක් එක ද ආභිධර්මිකයෙක් නො දුටුයේ යි. ධර්‍ම විසින් ගනුත් සූත්‍රාන්තයත් අභිධර්‍මයත් අතර කිසි වෙනසෙක් නැති. වෙනස ඇත්තේ විභාගනයෙහි පමණි. සූත්‍රාන්ත සප්‍රදේශ කොට ද අභිධර්‍ම නිෂ්ප්‍රදේශ කොට ද විභක්ත වෙයි. එයින් ඒ ධර්‍මාතිරේක ද ධර්‍ම විශේෂ ද විය සූත්‍රාන්තය ව්‍යවහාරදේශනා යැ. අභිධර්‍මය පරමාර්‍ථදේශනා යි. මේ වෙනස නො හැඳින හෝ නො තකා හෝ අභිධර්‍ම විවේචනයට බැසීම අඳුරෙහි අත ඔවනු වැන්න. නිද්දෙසයෙහිත් පටිසම්භිදාමග්ගයෙහිත් සප්‍රදේශ නය මිස නිෂ්ප්‍රදේශ නයෙක් නො වේ.
ප්‍රථම සඞ්ගීතියට පෙර අභිධර්‍මය නො වී ද?
මේ ද අර්‍ථකථායෙහි නිරාකෘත ප්‍රශ්නයෙකි. එහෙත් ‘අභිධර්‍මය ප්‍රථම සඞ්ගීතියෙන් පෙර නො වී’ යයි කියන්නෝ අදත් ඇත. ඔවුන් අභිධර්‍මයෙහි පශ්චාත්කාලීනත්‍වය කීමට බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ ‘අභිධම්ම’ ශබ්දයට දැක්වූ නිරුක්ත්‍යර්‍ථය ද වහල් කොට ගන්නා බව පෙනේ. අභිධම්ම ශබ්දයෙහි අරුත් දක්වන තෙරණුවෝ අත්‍ථසාලිනී නම් ධම්මසඞ්ගණී අටුවායෙහි: “තත්‍ථ අභිධම්මෝති කේනට්ඨෙන අභිධම්මෝ, ධම්මාතිරේක ධම්මවිසෙසට්ඨෙන. අතිරේක විසේසත්‍ථදීපකො හි එත්‍ථ අභිසද්දෝ”. එහි අනුව නො වැ ග්‍රහණධාරණයෙහි පහසු පිණිස ස්වරූපසාම්‍යය අනුව යි. දේශනා අනුපිළිවෙළ ගන්නා ලද නම් ‘ධම්මචක්කපවත්තන’ සූත්‍රය සඞ්ග්‍රහ කළයුතු වන්නේ සච්චසංයුතතයෙහි නො වැ දීඝනිකායෙහි ප්‍රථම සූත්‍රස්ථානයෙහි යැ. මේ බව නොසිතන ත්‍රිපිටක විවේචකයන් ප්‍රථම සඞ්ගීතියෙන් පසු වැ දේශිත මුණ්ඩරාජ, ඝෝටමුඛ, මධුර වැනි සූත්‍රයන්හි මුළා වැ අඞ්ගුත්තරනිකායත් මජ්ඣිමනිකායත් ‘පශ්චාත්කාලීන රචනා’ යයි සිතනු වියහැකියි. එහෙත් යථොක්ත සූත්‍ර එකක් හෝ ප්‍රථමසඞ්ගීතියෙන් පෙර දේශිත වූ බව දැක්වීමට කිසි වෑයමක් ස්ථවිරවාදීහු කර නැත. සම්බුද්ධ පරිනිර්‍වාණයෙන් පසු දේශිත කිසි දහමක් බුද්ධකාලය හා සම්බන්‍ධ කොට දක්වා ඇති බවක් සහේතුක වැ කීමට මෙතෙක් කිසිදු විවේචකයෙක් සමත් නොවී.
ත්‍රිපිටකයෙහි යුග බෙදනුවන් පෙළ බසත් දහම්නයත් නො දැන මුළා වූ සේ නම් පැහැදිලි වැ පෙනේ. අපදානපාළියෙහි නව්‍යත්‍වය සනාථ කිරීමටත් එයින් මැ ‘පශ්චාත්කාලීන රචනා බුදුරදුන් කෙරෙහි හෝ උන්වහන්සේ ගේ සමීපශ්‍රාවකයන් කෙරෙහි හෝ ආරෝපණය කිරීමට ස්ථවිරවාදීහු තැත් කොට ඇතැ’ යි කීමටත් අභේද්‍ය සාධක සේ බොහෝ උගතුන් ප්‍රමාණ කොට ගන්නා අපදාන ගාථාවක් මෙහි ලා නිදසුන් කළ හැක්ක.
අපදානයෙහි: “අහිධම්මනයඤ්ඤුහං කථාවත්‍ථුවිසුද්ධියා සබ්බේසං විඤ්ඤාපෙත්‍වාන විහරාමි අනාසවො”
යන්න නිසැකයෙන් මැ කථාවත්‍ථුප්පකරණය සඳහන් කරතියි ද කථාවත්‍ථුප්පකරණය සම්පාදිත වූයේ මොග්ගලීපුත්තතිස්ස තෙරුන් විසින් වන බැවින් අපදානය අන්තිම වරට සකස් වූයේ තෘතියසඞ්ගීතියෙනුත් පසු කලෙකැ යි ද කියන්නෝ ඇත. පූර්‍වොක්ත ගාථායෙහි අරුත් විමසත් හොත් එයින් මොග්ගලීපුත්තතිස්සතෙරණුවන් විසින් සම්පාදිත කථාවත්‍ථුප්පකරණය සඳහන් වන බවක් නිසැකයෙන් තබා සැකයෙනුදු ගත නො හෙයි. ඔවුන් ගාථායෙහි එන ‘අභිධම්ම’ ශබ්දයෙහිත් ‘කථාවත්‍ථු’ ශබ්දයෙහිත් මුළා වූ සේ යැ. අට්ඨකථායෙහි එන ‘කතාවත්‍ථුප්පකරණෙ’ යන්නෙහි වඩාළා මැ මුළා වන්නට ඇත. ගාථායෙහි අරුත් විමසන ලද නම් නගාගත් අභේද්‍යසාධකය ගැන සිනා නැගෙනු ඇත. ‘කතාවත්‍ථු’ යනු කථාවත්‍ථුප්පකරණ (මොග්ගලීපුත්තතිස්ස සම්පාදිත) යයි ගනුත් ‘විසුද්ධියා’ යන්නට කවර අරුතක් ගනී දැ යි නො දනුම්හ. එයින් ‘කථාවත්‍ථුප්පකරණයෙහි ශෝධනයක් අදහස් කෙරේ’ යයි නො කිව මැනැවි.
පූර්‍වොක්ත ගාථායෙන් මන්තානිපුත්‍ර පුණ්ණ තෙරණුවෝ: ‘අභිධර්‍මනය දන්නා මම (දශ) කථාවස්තු විශුද්ධියෙන් හැමදෙනාහට විඥාපන කොට අනාස්‍රව වැ වෙසෙමි” යි කියති. උන්වහන්සේ දශකථාවස්තුයෙහි ලා සප්ත විශුද්ධීන් ද සප්ත විශුද්ධියෙහි ලා දශකකථාවස්තූන් ද දේශනා කරන ධර්‍මකථික තෙරකෙනකුන් වශයෙන් හැමදෙනා කෙරෙහි ප්‍රකාශයට පත්වූහ. රථවිනීත සූත්‍රයෙහි එය පැහැදිලි ලෙස දැක්වෙයි. කථාවස්තුවිශුද්ධිය අට්ඨකථායෙහි විස්තර කොට ඇත. බුදුරදුන් හමුයෙහි ධර්‍මකථික භික්‍ෂූන් අතුරෙහි අගතැන් ලද පුණ්ණතෙරණුවන්ගේ අපදානයට බුදුන් පිරිනිවී හවුරුදු දෙසියසතිස (236) ක ට පසු සම්පාදිත ග්‍රන්ථයක් සම්බන්‍ධ කිරීම සිහි ඇතියකු විසින් කරනු ඇද්ද? මෙතරම් සුළු කරුණු පවා වරදවා ගනුවන්ගේ යුග බෙදීම කථා ප්‍රතිෂ්ඨා විරහිත ප්‍රලාප පමණි. තෙවළා බුදුදහමට ඉන් වන හානි නැත ද ආධුනිකයනට නම් මහත් හානි වෙයි. දහම්හි සැක දනවන හෙයිනි.
ප්‍රථමසඞ්ගීතියෙන් පෙර අභිධර්‍මය නොවී‘ යයි කියන්නෝ සහේතුක වැ එය තර කිරීමට නො සමත් වෙති. ඔහු මැ විනයපිටකයත් සූත්‍රාන්තපිටකයත් ප්‍රථමසඞ්ගීතියෙහි සඞ්ගීති වූ බව පිළිගනිති. විනයෙහි දු සූත්‍රාන්තයෙහි දු නොයෙක් තැන අභිධර්‍මය ගැන සඳහන් වෙයි. පළමු ද එබඳු කිහිපතැනක් දක්වාලූම්හ. ඒ ද මෙහි ලා ගන්නේ යැ තවද,
පාචිත්තියපාළියෙහි “අනාපත්ති න විවණ්ණේතුකාමො, ඉඞ්ඝ තාව ආවුසො සුතතන්තං වා ගාථායො වා අභිධම්මං වා පරියාපුණස්සු, පච්ඡාපි විනයං පරියාපුණිසීති භණති.” යන පාඨයෙහි අභිධර්‍මය සඳහන් වෙයි. ඕල්ඩන්බර්ග් මහතා සිතන පරිදි ‘අභිධම්මං’ යනු පසුකලෙකැ ඇතුළු කරන ලදැ යි පිළිගත නො හැකි යැ. ශික්‍ෂා පැනවීම හෝ වෙනස් කිරීම ශ්‍රාවකවිෂය නො වෙයි. ඛුද්දානුඛුද්දකසික්ඛා සමුහනනයට බුදුරදුන්ගෙන් ලද අවසරය ද ප්‍රථමසඞ්ගීතියෙහි දී ප්‍රතික්‍ෂෙප කරන ලදී. ශ්‍රාවකයන් ශික්‍ෂා පැනවූ හෝ වෙනස් කළ බවට වෙනත් සාධක ද නො ලැබෙයි.
මහාවගගපාළියෙහි “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං න නිස්සයො දාතබ්බො න සාමණෙරො උපට්ඨාපෙතබ්බෝ න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ආභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්‍රහ්මචරිය කාය සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනේතුං, අභිවිනයෙ විනේතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං.” යන පාඨය එයි. මෙහි දැක්වෙන සේ උපසපන් කරන, නිස දෙන, හෙරණුන්ගෙන් උවටැන් ගන්නා ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් කෙරෙහි අවශ්‍යයෙන් තිබියයුතු අඞ්ග අතුරෙහි අන්තෙවාසිකයා හෝ සද්ධිවිහාරිකයා හෝ අභිධර්‍මයෙහි විනයනය කරන්නට ප්‍රතිබල වීම ද එකෙකි. “අභිධම්මේති නාමරූපපරිච්ඡෙදෙ” යි අභිධර්‍ම යනු නාමරූපපරිච්ඡේද බව එහි අට්ඨකථායෙහි එයි නාමරූපපරිච්ඡෙද යනු අභිධර්‍මයෙහි පර්‍ය්‍යායනාමයෙකි.
මජ්ඣිමනිකායෙහි: මහාගොසිඞ්ගසූත්‍රයෙහි ‘ද්වෙ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති” ආදීන් අභිධර්‍මය පිලිබඳ සඳහන පළමු දැක්වූම්හ. එහි මැ ගුලිස්සානි සූත්‍රයෙහි “ආරඤ්ඤකෙනහාවුසො භික්ඛුනා අභිධම්මේ අභිවිනයෙ යෝගො කරණීයො” යන පාඨයෙහි අභිධර්‍මය දැක්වෙයි. “අභිධම්මේ අභිවිනයෙති අභිධම්මපිටකෙ චෙව විනයපිටකෙ ව” යි. ‘අභිධමම’ යනු අභිධර්‍මපිටකය බව අර්‍ථකථායෙහි පැහැදිලි වැ එයි.
අක්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ බෑණනුවෝ – මන්තානීපුත්‍ර පුණ්ණ තෙරණුවෝ සම්බුදුරදුන් හමුයෙහි ධර්‍මකථික භික්‍ෂූන් අතුරෙහි අගතැන් ලදහ. අඞ්ගුත්තරනිකායෙහි එතදග්‍රපාළියෙහි උන්වහන්සේගේ නම සඳහන් වෙයි. මෙහි ‘ධම්මකථික’ යනු ආභිධම්මික යන අර්‍ථයෙහි යොදනලද වෙයි.
පුණ්ණත්‍ථෙරාපදානයෙහි: “අභිධම්මනයඤ්ඤුහං” යනුවෙන් තමන් අභිධර්‍මනයඥ (අභිධර්‍මනය දන්නා) බව තෙරණුවෝ මැ පවසති එයින් උන්වහන්සේ ධර්‍මකථික වූහ. ආභිධම්මික එව ධම්මකථිකො” යන අර්‍ථකථා සමග ද එය සැසැඳෙයි. මජ්ඣිමනිකායෙහි ‘රථවිනීත’ සූත්‍රයෙන් එය තවද තහවුරු වෙයි.
මහානිද්දේසයෙහි උද්ධෘතපාඨ දක්වා ඇති අයුරු ද මෙහි දී සලකනු වටී. සුත්තනිපාතයෙහි අට්ඨකවග්ගයට අර්‍ථ නිර්‍දෙශ කරන පිණිස දහම් සෙනෙවි සැරියුත් තෙරණුවන් විසින් සම්බුදුරදුන් ධරමාන කල්හි මැ මහානිද්දෙසය දේශිත යැ. එහි තුන්පිටකයෙහි නොයෙක් තැනින් උද්ධෘත නොයෙක් පාඨ දක්නට ඇත. ඔවුනතුරෙහි ධම්මසඞ්ගණිපාඨ සවිස්ස (26) කට නො අඩු සඞ්ඛ්‍යාවක් ද විභඞ්ගපාඨ සතළොස (17) කට නො අඩු සඞ්ඛ්‍යාවක් ද වෙයි. එහැම මහානිද්දෙස බුද්ධජයන්ති ත්‍රිපිටක මුද්‍රණාඞ්කයෙහි දක්වා ඇත. එහි පාඨනිර්‍දෙශයෙහි දු විශේෂයෙක් වෙයි. සූත්‍රාන්තයෙන් හා විනයෙන් උද්ධෘතපාඨ නිර්‍දෙශ කිරීමෙහි දී “තෙනාහ භගවා” යනුවෙන් එය බුදුන් වදාළ සේ දක්වති. එහෙත් අභිධර්‍මපාඨ නිර්‍දෙශයෙහි දී එය වදාළ කෙනකුන් සඳහන් නො කෙරෙති. අභිධර්‍මයෙහි වාචනාමාර්‍ගය සැරියුත් තෙරණුවන් සතු වීම මැ එසේ සඳහන් නො කිරීමට හේතු වී. “අභිධම්මේ වාචනාමග්ගෝ නාම සාරිපුත්තත්‍ථෙරප්පභවො”යි අත්‍ථසාලිනියෙහි කියන ලදී. මෙසෙයින් බලත් මැ “ප්‍රථමසඞ්ගීතියෙන් පෙර අභිධර්‍මය නො වී” යනු ප්‍රතිෂ්ඨා රහිත වැ බිඳ වැටෙන තැනෙකි.
අභිධර්‍මය ප්‍රථමසඞ්ගීතිහි සඞ්ගීත නො වී ද?
ප්‍රථමසඞ්ගීතියට පෙර අභිධර්‍මය පැවැති බවට කරුණු පළමු දැක්වූම්හ. එයින් එය සඞ්ගීතියෙහි ඇතුළු නො වන්නට කිසි කරුණෙක් නැත. පඤ්ච සතිකක්ඛන්‍ධකයෙහි “හන්‍ද මයං ආවුසො ධමමඤච විනයඤච සඞ්ගායාම” යන තන්හි ධම්මවිනය මිස අභිධර්‍මය වෙන් කොට නො දැක්වීම ප්‍රථමසඞ්ගීතියෙහි අභිධර්‍මය සඞ්ගීත නො වීයයි කීමට එක හේතුවක් ලෙස ගන්නා බව පෙනේ. පඤ්චසතිකක්ඛන්‍ධකය ප්‍රථමසඞ්ගීතිය පිලිබඳ සංක්‍ෂිප්ත වාර්‍තාවක් පමණි. එහි අභිධර්‍මය පමණක් නො වැ අභිවිනය ගැන ද සඳහනෙක් නැත. ‘ධම්මවිනය’ යනු ත්‍රිපිටකයෙහි නොයෙක් විභාගක්‍රමයන් අතුරෙහි එක් ක්‍රමයෙකි. ධම්මවිනය ගත්කලැ තෙවළා බුදුවදන් එහි ඇතුළු වැ සිටී. සූත්‍රාන්තයෙන් වෙන් කොට දැක්වුවමනා තන්හි මිස අන් තන්හි ‘අභිධම්ම’ යයි වෙසෙසා කිවයුතු නො වෙයි. සුත්තන්ත අභිධම්ම දෙක්හි මැ සාමාන්‍ය සංඥාව ‘ධම්ම’ හෙයිනි.
‘ධම්ම ශබ්දයෙහි අභිධම්ම සඞ්ග්‍රහ නො වෙති’යි ගනුත් ‘විනය, ශබ්දයෙහි අභිවිනය ද සඞ්ග්‍රහ නොවෙති’ ගත යුතු වෙයි. එවිට ඛන්‍ධක හා පරිවාර හා මෙ දෙක ද ප්‍රථම සඞ්ගීතියෙන් බැහැර කරන්නට සිදු වෙයි. පරිවාරය තිබියේවා, ආභිසමාචාරික ශික්‍ෂා සඞ්ග්‍රහය වූ චුල්ලවග්ග මහ වග්ග සඞ්ඛ්‍යාත ඛන්‍ධකය ප්‍රථම සඞ්ගීතියෙහි සඞ්ගීත නො වී යයි කියමෝ ද? ඛන්‍ධකශික්‍ෂා විභඞ්ගශික්‍ෂාවනට පළමු පනවන ලද වෙයි. එයින් එය අවශ්‍යයෙන් සඞ්ගීත විය යුතු බව පිළිගත යුතු යැ. වෙසෙසා නො දැක්වූ අභිවිනය ‘විනය’ ශබ්දයෙහි මැ ඇතුළු වැ සිටියේ යි. ‘විනය’ ශබ්දයෙහි අභිවිනය සඞ්ග්‍රහ වන්නා සේ ‘ධම්ම’ ශබ්දයෙහි ‘අභිධම්ම’ ද සඞ්ග්‍රහ වෙයි. එයින් පඤ්චසතික්කඛන්‍ධකයෙහි අභිධ්ම්මය වෙසෙසා නො දැක්වීම ප්‍රථම සඞ්ගීතියෙහි අභිධර්මය සඞ්ගීත නො වී යි කීමට කරුණෙක් නො වේ.
ප්‍රථමසඞ්ගිතියෙහි දී අභිධම්මපිටකය පැවැරුණු පුද්ගලයකු සඳහන් නොවීම ද එය එහි සඞ්ගීත නො වී යයි කීමට ගන්නා තවත් හේතුවක් බව පෙනේ. සඞ්ගීතිකාරක මහරහතුන් වහන්සේ විනයපිටකය උපාලි තෙරණුවනටත් දීඝනිකාය අනඳතෙරණුවනටත් මජ්ඣිමනිකාය සැරියුත්තෙරණුවන්ගේ අතැවැසියනටත් සංයුත්තනිකාය මහසුප් තෙරණුවනටත් අඞ්ගුත්තරනිකාය අනුරුද්ධ තෙරනුවනටත් පැවැරූ බව සුමඞ්ගලවිලාසිනී දීඝනිකායට්ඨකථායෙහි දැක්වෙයි. අභිධම්මපිටකය පැවැරුණු වෙන මැ පුද්ගලයකු සඳහන් නො වෙයි. එහෙත් අභිධර්මය සඞ්ගිතියට නඟා පන්සියක් මහරහතුන් වහන්සේ සජ්ඣායනා කළ බව “පඤ්චඅරහන්තසතානි සජ්ඣායමකංසු” එහි මැ දැක්වෙයි. අත්‍ථසාලිනී-ධම්මසඞ්ගණී අට්ඨකථායෙහි සැරියුත් මහරහතුන් වහන්සේ පටන් අභිධර්‍මපිටකය පවත්වා ගෙන ආ අදුරුපරපුර තෘතියසඞ්ගීතිය හිම් කොට නම් වශයෙන් දක්වා ඇත.
ප්‍රථමසඞ්ගීතියෙහි සඞ්ගීත වූ අභිධර්‍මපිටකය පවත්වාගෙන ඊමේ භාරය පුද්ගලයකුට නො පැවරීමට ද හේතුවක් විය යුතු යැ. අභිධර්‍මපිටකය පමණක් නො වැ සූත්‍රාන්තයෙහි ඛුද්දකනිකාය භාරය පැවැරුණු කෙනෙක් ද සඳහන් නො වෙති. නිකාය පස මැ සඞ්ගීතියට නැඟූ බව පඤ්චසතික්ඛන්‍ධකයෙහි දැක්වෙයි. අභිධර්‍මපිටකයත් ඛුද්දකනිකායත් එහි දී කිසිවකුට භාර නො කිරීමට හේතු කිම? ** ප්‍රථමසඞ්ගීතියෙහි දී පුද්ගලයනට නොපවරනලද බොහෝ දහම් කොටස් බුදුරදුන් හමුයෙහි මැ සඞ්ගෘහිත වැ වෙන වෙන මැ හදාරාගෙන ආ බවට නිදසුන් ත්‍රිපිටකයෙහි මැ ඇත. බුද්ධත්‍වයෙන් සත්වැනි වසැ දම්සෙනෙවි සැරියුත් මහරහතුන් වහන්සේ අභිධර්‍මය වාචනාමාර්‍ගයට නඟා උන්වහන්සේ ගේ පන්සියක් අතැවැසියනට හැදෑරවූහ. ඛුද්දකනිකායෙහි ඇතුළු වැ සිටුනා නිද්දේස හා පටිසම්භිදාමග්ග හා මෙදෙක ද සැරියුත් තෙරණුවන්ගේ මැ දේශනා යි. එ ද උන්වහන්සේ ගේ අතැවැසියන් කෙරෙහි පවත්වන්නට ඇත. සොණකුටිකණ්ණ තෙරණුවන් මහකසයින් තෙරණුවන් වෙත සුත්තනිපාතය හදාළ බව සොණ තෙරුන්ගේ වතෙහි එයි. ධම්මපදය එකල වෙන මැ ධර්‍මසඞ්ග්‍රහයක් සේ හදාළ බව පෙනේ. V කසුප් රජ ද එබව ධම්පියාඅටුවාගැටපදයෙහි: “බුදුන් සඳජු මෙනියර දේශනා ධම්මපද නම් යි වෙන් කොට හජාරන බැවින්” යි සඳහන් කරයි. ථෙරගාථා ආදී අන් තන්හිහු ධම්මපද ගාථා දක්නා ලැබෙනුයේ එය වෙන මැ ධර්‍මසඞ්ග්‍රහයක් වශයෙන් පඨනපාඨයෙහි පැවැති නිසා යයි සැලකිය යුතු යැ. ආරම්භයෙහි පටන් බුද්ධචරිතය හා සමග ජාතකදේශනා සම්බන්ධ වැ පවතී. ශාස්තෘශාසනාඞ්ග අතුරෙහි ජාතක ද එකෙකි. පසුකලෙකැ ජාතක භාණක නමින් වෙන මැ දේශකගණයෙක් ද හමුවෙයි. සාංඤ්චිස්තූප ආදියෙහි දක්නා පැරැණි සෙල් කැටයම් භාරතීය ජනයා කථා කෙරෙහි දැක්වූ සැලකිල්ලට දෙස් දෙයි. සම්බුද්ධපරිනිර්‍වාණයෙන් පළමු මැ ජාතකදේශනාත් වෙන මැ සඞ්ගෘහිත වැ පැවැති බව දතයුතු යැ.
මෙසෙයින් බලත් මැ ප්‍රථමසඞ්ගීතියෙහි දී පුද්ගලයනට නො පැවැරූ ධර්‍මසඞ්ග්‍රහයන් අතුරෙහි වැඩි කොටසක් සම්බුද්ධපරිනිර්‍වාණයෙන් පළමු ම සඞ්ගෘහීත වැ යම් යම් පුද්ගලයන් භාරයේ පැවැති බව පිළිගැනීමට කරුණු ඇත. පුද්ගලයනට පවරන ලද දීඝනිකායාදී නිකාය සතර සඞ්ගීතියට පළමු සඞ්ගෘහිත වැ පැවැති බවක් හෝ පුද්ගලයනට පැවැරී තුබුණ බවක් හෝ නො පෙනේ. විනයෙහි උද්දෙසපරියාපන්න ශික්‍ෂා හැර සෙස්ස සඞ්ගෘහිත වැ තුබුණු බවට ද කරුණු නො පෙනේ. ප්‍රථම සඞ්ගීතියෙහි දී ශික්‍ෂා පිළිවෙළින් සූත්‍ර පිළිවෙළින් ගෙන සඞ්ග්‍රහ කරන ලද්දේත් සඞ්ගීත අවසන්හි පුද්ගලයනට පවරන ලද්දේත් එයට පෙර සඞ්ගෘහිත නො වූත් පුද්ගලයනට නො පවරන ලද්දාවූත් ධර්‍මවිනය යයි සිතියයුතු යැ. සම්බුදුරදුන් හමුයෙහි නයග්‍රහණය කොට වාචනාමාර්‍ගයට නඟන ලදු වැ සැරියුත් තෙරණුවන්ගේ අතවැසියන් අත පැවැති අභිධර්‍මපිටකය අන් කිසිවකුට පැවැරිය යුතු නො වේ. එහෙත් ථේරානුමති සඳහා සඞ්ගීතියට නගන ලද්දේ යැ. අට්ඨකථායෙහි සඞ්ගායනා කළ බව පමණක් දක්වා පැවැරූ පුද්ගලයන් සඳහන් නො කිරීමට හේතු වූයේ මෙ කරුණ යැයි දතයුතු යි.
ද්විතියසඞ්ගීතියෙහි දී සස්නෙන් බැහැර කරන ලද වජ්ජිභික්‍ෂූන් විසින් පිහිටුවා ගන්න ලද මහාසඞ්ඝික නිකායවාසීන් අභිධර්‍මප්‍රකරණය සය නො පිළිගත් බව දීපවංසයෙහි දැක්වෙයි. එයින් එදා ස්ථවිරභික්ෂූන් කෙරෙහි අභිධර්‍මප්‍රකරණ සය තුබුණු බව කියැවෙයි, ද්විතීයසඞ්ගීතියට රැස් වූ තෙරවරුන් අතුරෙහි අට නමක් බුදුරදුන්ගේ සම්මුඛශ්‍රාවකයෝ යි. සඞ්ඝස්ථවිර සබ්බකාමී මහරහතුන් වහන්සේ උපසපන් එකසියවිසිවස් ඇති වූහ. එවිට යටත් පිරිසෙයින් උන්වහන්සේ ජන්මයෙන් එකසියසාලිස් (140) වස් පිරි සිටියයුතු යැ. බුදුන් පිරිනිවී සියක් වන හවුරුද්දෙහි සඞ්ගායනාව කරන ලද බැවින් සබ්බකාමීතෙරණුවනට බුදුන් ප්‍රත්‍යක්ෂයෙහි සතලිස් වසක් ගෙවී ඇත. උන්වහන්සේ ධර්‍මභාණ්ඩාගාරික අනඳ තෙරණුවන්ගේ සද්ධිවිහාරික වෙති. ප්‍රථමසඞ්ගීති පවත් මැනැවින් දැන සිටියහ. අභිධර්‍මපිටකය ප්‍රථම සඞ්ගීතියෙහි සඞ්ගීත නො වී නම් ද්විතීය සඞ්ගීතියට නො ගනු ඇත.
ධම්මසඞ්ගණී සංඛෙප
සප්තප්‍රකරණයන් අතුරෙහි පළමු වැන්න ධම්මසඞ්ගණීප්පකරණ නමි. ‘ධම්මසඞ්ගණී’ යනු ධර්‍මසඞ්ග්‍රහ යන අර්‍ථ ඇත්තේ යි. මඞ්ගලවිලාසිනියෙහි එය ‘ධම්මසඞ්ගහ’ යි නම් කොට ඇත. මෙහිලා වේදනා, සංඥා, සංස්කාර, විඥාන සඞ්ඛ්‍යාත චතුර්විධ නාමස්කන්ධපර්‍ය්‍යාපන්න වැ චිත්තාඞ්ග විසින් පෙළෙහි ආ ස්පර්‍ශාදි සපනස් (56) ධර්‍මයෝ යැ පෙළෙහි නො එතුදු යෙවාපනක විසින් ගන්නාලද ඡන්දාදි නවධර්‍මයෝ යැයි පන්සැටක් (65) පමණ වූ නාමධර්‍මයෝ ද චතුර්විධභූතරූප යැ තෙවිසි උපාදායරූප යැයි සත්විසි වැදැරුම් වූ භූතොපාදායරූපයෝ ද යන නාමරූපධර්‍මයෝ සඞ්ගෘහිත වෙති.
ධම්මසඞ්ගණීප්පකරණයෙහි චිත්තවිභක්ති යැ රූපවිභක්ති යැ නික්ෂෙපරාශි යැ අර්‍ත්‍ථොද්ධාර යැ යි විභක්ති (විභාග) සතරකි. සතර භූමියෙහි වූ එකුන් අනූ චිත්තයන්ගේ චිභාගය චිත්තවිභක්ති නමු. චිත්තොත්පාදකාණ්ඩ යනුදු එයට නමි. එ ද මාතෘකා පදභාජනිය විසින් ද්විවිධ වෙයි.
මාතෘකා: අභිධර්‍මමාතෘකා යැ සූත්‍රමාතෘකා යැ යි මාතෘකා ද්විවිධ යි. එහි පරිච්ඡේද පසළොසෙකි. කුශලත්‍රිකාදි විසින් ආරබ්ධ දෙවිසි ත්‍රිකමාතෘකා එක පරිච්ඡේදයෙකි. ද්විකමාතෘකා තුදුසෙකි. එහි ‘හෙතුධම්මා න හෙතු ධම්මා’ ආදි ද්වික සයෙක් ග්‍රන්ථ විසින් ද අර්‍ථ විසින් ද අන්‍යොන්‍ය සම්බන්ධ බැවින් කලාප සෙයින් සිටියේ ‘හේතුගොච්ඡක’ යයි කියනු ලැබෙයි. ඉක්බිති ‘සප්පච්චයා ධම්මා අප්පච්චයා ධම්මා’ ආදි අන්‍යොන්‍ය සම්බන්ධ නො වූ ද්වික සතෙක් ද්වික සාමාන්‍යයෙන් ගෙන වෙන් වෙන් වැ ගොච්ඡක අතුරෙහි තබන ලද වන බැවින් ද මහන්තර ද්විකයට වඩා කුඩා වූ බැවින් ද ‘චුල්ලන්තර ද්වික’ නම් වෙයි. අනතුරු වැ ආස්‍රව, සංයොජන, ග්‍රන්ථ, ඔඝ, යෝග, නීවරණ, පරාමර්‍ශ යන එකෙකි ගොච්ඡකයෙහි ද්වික සය බැගින් කියන ලද වෙයි. ඉක්බිති ‘සාරම්මණා ධම්මා’ ආදීන් ආරබ්ධ තුදුස් ද්විකයෙක් ‘මහන්තරද්වික’ නම් වෙයි. තදන්තර වැ උපාදානා ධම්මා’ ආදී ද්වික සයෙක් ‘උපාදානගොච්ඡක’ නමුදු ‘කිලෙසා ධම්මා’ ආදි ද්වික අටෙක් ‘කිලේසගොච්ඡක නමුදු වෙයි. ඉක්බිති ‘දස්සනෙන පහාතබ්බා’ ආදි අටළොස් ද්විකයෙක් අභිධර්‍මමාතෘකා අවසන්හි ස්ථාපිත වන බැවින් පිට්ඨිදුක නම් වෙයි. ‘විජජාභාගිනො ධම්මා’ ආදි දෙසාළිස් ද්විකයන්ගේ සඞ්ග්‍රහය සූත්‍රාන්තමාතෘකා නමු. මෙසේ චිත්තවිභක්තිමාතෘකා පසළොස් පරිච්ඡේදයෙකින් සමන්වාගත වේ.
සප්‍රදෙශ නිෂ්ප්‍රදෙශ විසිනුදු මාතෘකා ද්විවිධ වෙයි. උද්දිෂ්ටධර්‍මයන් අතුරෙහි ත්‍රික නවයෙක් ද ද්වික එක්සැත්තෑවෙක් දැ යි අශීතිධර්‍ම කෙනෙක් සප්‍රදෙශ රූපාරූපධර්‍මයන් ගන්නා ලද බැවින් සප්‍රදෙශ වෙති. ත්‍රිකයන් අතුරෙහි: වේදනා ත්‍රික යැ විතර්‍කත්‍රික යැ ප්‍රීතිත්‍රික යැ උත්පන්නත්‍රික යැ අතීත්ත්‍රික යැ ආලම්බනත්‍රික සතර යැ යන නවත්‍රිකයෝ සප්‍රදෙශයෝ යි. ද්විකධර්‍මයන් අතුරෙහි හේතුගොච්ඡකය පටන් උපාදානගොච්ඡකය හිම් කොට ඇති නව ගොච්ඡකයෙහි අවසන් තුන් තුන් ද්වික විසින් සත්විසි ද්විකයෝ යැ ක්ලේශගොච්ඡකයෙහි අවසන් සතර ද්විකයෝ යැ “චිත්තවිප්පයුත්තා ධම්මා චිත්තසම්පයුත්තා ධම්මා, චිත්තසංසට්ඨා ධම්මා චිත්තවිසංසට්ඨා ධම්මා” යන මහන්තර ද්වික දෙක යැ, දෙසාලිස් සූත්‍රාන්ත ද්විකයන් අතුරෙහි අධිවචන, ප්‍රඥප්ති, නිරුක්ති, නාමරූප යන මේ සතර ද්විකයන් තබා අටතිස් ද්විකයෝ යැ යන මොහු සප්‍රදෙශ වෙති. අවශේෂධර්‍මයෝ නිෂ්ප්‍රදේශ වෙත්.
පදභාජනීය: මාතෘකාවට අනතුරු වැ මාතෘකායෙහි සඞ්ගෘහීත ධර්‍මයන් ප්‍රභේද විසින් දක්වන්නට පදභාජනීය එයි. පදභාජනී නිර්දේශයෙහි ධම්මවවත්‍ථානවාර යැ සඞ්ගහවාර යැ සුඤ්ඤතවාර යැ යි තුන් මහාවාරයෙක් වෙයි. ධම්මවවත්‍ථානවාරය උද්දෙස නිද්දෙස විසින් ද්විවිධ යැ. උද්දෙසයෙහි පුච්ඡා යැ සමයනිද්දෙස යැ ධම්මුද්දෙස යැ අප්පණා යැ යි පරිච්ඡේද සතරෙකි. එහි “කතමෙ ධම්මා කුසලා” යනු පුච්ඡා යැ “යස්මිං සමයෙ කාමාවචරං - පෙ - තසමිං සමයෙ” යනු සමයනිද්දෙස යැ “ඵස්සො හොති - පෙ - අවික්ඛේපො හොති”යනු ධම්මුද්දේස යැ. “යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤේපි අත්‍ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා කුසලා” යනු අප්පණා යි.
උද්දෙශයට අනතුරු වැ නිර්දේශය එයි. එ ද උද්දෙශ සෙයින් මැ පුච්ඡා යැ සමයනිද්දෙස යැ ධම්මනිද්දෙස යැ අප්පණායැයි පරිච්ඡේද සතරෙකින් යුක්ත වෙයි. මෙහි දී උද්දිෂ්ට පරොපණ්ණාස ධර්‍මයන් එකක් එකක් ගෙන විභාග කෙරෙති. එහි තුන් කරුණෙකින් විභාගය ද සතර කරුණෙකින් නානාත්‍වය ද දෙතැනක අපර දීපනා ද වෙයි.
විභාගය වනාහි ව්‍යඤ්ජන යැ උපසර්‍ග යැ අර්‍ථ යැ යන තුන් කරුණින් වෙයි. “කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං” ආදි තන්හි ව්‍යඤ්ජන විසිනුදු “චාරො විචාරො අනුවිචාරො උපවිචාරො” ආදි තන්හි උපසර්‍ග විසිනුදු “පණ්ඩිච්චං කෝසල්ලං නේපුඤඤං වේභව්‍යා චින්තා උපපරික්ඛා” ආදි තන්හි අර්‍ථ විසිනුදු විභක්ත වෙයි.
නානාත්‍වය නාම යැ ලක්‍ෂණ යැ කෘත්‍ය යැ ප්‍රතික්‍ෂෙප යැ යන සතර සැටියෙන් වෙයි. එහි “කතමො තස්මිං සමයෙ බ්‍යාපාදො හොති යො තස්මිං සමයෙ දොසො දුස්සනා” යන මෙහි ‘බ්‍යාපාද’ යනුත් ‘දොස’ යනුත් ක්‍රොධ මැ යි. වෙනස නමින් පමණි. මෙසෙයින් “නාමනානාත්‍වය” දතයුතු යැ රාශ්‍යර්‍ථයෙන් ගනුත් රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන පඤ්චස්කන්‍ධයෝ මැ එක් මැ ස්කන්‍ධ වෙයි. එතෙකුදු වත් රූප රුප්පන ලක්‍ෂණ ද වේදනා වේදයිත ලක්‍ෂණ ද සඤ්ඤා සඤ්ජානන ලක්‍ෂණ ද චෙතනා චෙතයික ලක්‍ෂණ ද විඤ්ඤාණ විජානන ලක්‍ෂණ දැ යි ලක්‍ෂණ විසින් වෙනසි. මේ ‘ලක්‍ෂණනානාත්‍ව’ යි. “චත්තාරො සම්මප්පධානා: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය -පෙ- චිත්තං පග්ගණහාති පදහති” යන මෙහි එක් මැ වීර්‍ය්‍යය කෘත්‍ය විසින් සතර තැනෙක ආයේ යි. මේ කෘත්‍යනානාත්‍ව යි. චත්තාරො අසද්ධම්මා: කොධගරුතා න සද්ධම්මගරුතා, මක්ඛගරුතා න සද්ධම්මගරුතා, ලාභගරුතා න සද්ධම්මගරුතා, සක්කාරගරුතා න සද්ධම්මගරුතා, මෙහි ප්‍රතික්‍ෂෙප විසින් නානාත්‍වය වෙයි.
අපරදීපනා යනු පුනපුනා කීම යි එය පදස්තව විසින් හෝ දෘඪිකරණ විසින් හෝ කරනු ලැබෙයි. “ඵස්සො ඵුසනා සමඵුස්නා සමඵුසිතත්තං” ආදී තන්හි සෙයින් ව්‍යඤ්ජන වශයෙන් හෝ උපසර්‍ග වශයෙන් හෝ අර්‍ථ වශයෙන් හෝ කරන පුනරුක්තිය පදස්තව නම. “ආවුසො ආවුසො, භන්තේ භන්තේ” ආදි විසින් අරුත් දැඩි කරන පිණිස තබන පුනරුක්තිය දෘඪිකරණ නමි.
ධම්මවවත්‍ථානවාරයට අනතුරු වැ “තස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්‍ධා හොන්ති” ආදීන් සඞ්ග්‍රහවාරය එයි: එය උද්දේස යැ නිද්දේස යැ පටිනිද්දේස යැ යි ත්‍රිවිධ වෙයි. “තසමිං ඛො පන සමයෙ චත්තාරො ඛන්‍ධා හොන්ති” යනු උද්දේස යි. “කතමෙ තසමිං ඛො පන සමයෙ චත්තාරො ඛන්‍ධා හොන්ති” ආදිය නිද්දේස යි. “කතමො තසමිං සමයෙ වෙදනාක්ඛන්‍ධො” ආදිය පටිනිද්දේස යි. කොට්ඨාසවාර යනුදු මෙයට නමෙකි.
ඉක්බිති “තස්මිං ඛොපන සමයෙ ධම්මා හොන්ති” ආදීන් සුඤ්ඤතවාරය එයි. එද උද්දේස නිද්දේස විසින් ද්විවිධ යැ. එහි “ධමමා හොන්ති” ආදි සූවිසි උද්දේසයෙක් ඇත. උද්දේසයට අනතුරු වැ එකෙකි. උද්දිෂ්ටධර්‍මයක් නිර්දේශ කරනලදවෙයි. චිත්තාඞ්ග විසින් උපදනා පරොපණ්ණාස ධර්‍මයන් සත්ත්‍ව පුද්ගලාදි ශූන්‍යව ශුන්‍ය වැ ධර්‍මමාත්‍රාදි බැවින් කියන ලද හෙයින් මේ ශුන්‍යතවාර නම් වෙයි.
මෙතෙකින් දක්වන ලද්දේ ප්‍රථම මහාකුශල චිත්තයෙහි ධර්‍මසඞ්ග්‍රහ වන අයුරු යැ. සෙසු චිත්තයෙහි දු මෙ නයින් මැ යථායෝග සෙයින් ධර්‍මසඞ්ග්‍රහ වන සේ දතයුතු.
භුමිභේදයෙන් චිත්තය චතුර්විධ වෙයි. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලොකුත්තර විසිනි. එහි කාමාවචරය කුශල, අකුශල, විපාක, ක්‍රියා විසින් චතුර්විධ යැ. රූපාරූප චිත්තයෝ කුශල, විපාක, ක්‍රියා විසින් ත්‍රිවිධ වෙති. ලෝකුත්තර ක්‍රියා චිත්තයෙක් නැත. ප්‍රභේද විසින් කාමාවචරයෙහි කුශල අටෙක, අකුශල දොළොසෙක, කුශලවිපාක සොළොසෙක, අකුශලවිපාක සතෙක, ක්‍රියා එකොළොසෙකි. රූපාවචරයෙහි කුශල පසෙක, විපාක පසෙක, ක්‍රියා පසෙකි. අරූපාවචරයෙහි කුශල සතරෙක, විපාක සතරෙක, ක්‍රියා සතරෙකි. ලොකුත්තරයෙහි කුශල (මාර්‍ග) සතරෙක, විපාක (ඵල) සතරෙකි. මෙහැම සිත් එකුන් අනුවෙකි.
අකුශල චිත්තය, ලෝභමූල, දෝසමූල, මෝහමූල විසින් ත්‍රිවිධ යැ. එහි ලෝභමූලය දිට්ඨි, මාන, සංඛාර විසින් ප්‍රභේද වෙයි. කාමාවචර සහේතුක කුශල විපාක ක්‍රියාවෝ වේදනා, ඤාණ, සංඛාර විසින් ප්‍රභේද වෙයි. රූපාවචරකුශල විපාක ක්‍රියාවෝ ධ්‍යානාඞ්ග විසින් ප්‍රභේද වෙති. ලෝකුත්තරචිත්තය පඤ්ච ධ්‍යානාඞ්ග විසිනුදු සතර ප්‍රතිපදා විසිනුදු තුන් විමොක්‍ෂ විසිනුදු විසි මහනය විසිනුදු විභාග කරන ලද වෙයි.
කුශල අකුශල අව්‍යාකෘත විසිනුදු චිත්තය ත්‍රිවිධ වෙයි. කුශලාකුශලයෝ ප්‍රසිද්ධයහ. මෙහි අව්‍යාකෘත යනු විපාක ක්‍රියාවනට නමෙකි. චිත්තුපපාද කාණ්ඩය වාචනා මාර්‍ගයෙහි ආ පමණින් සාතිරේක බණවර සයෙකි.
රූපවිභක්ති: චිත්තවිභක්තියට අනතුරු වැ රූපචිභක්තිය එයි. ‘රූපකණ්ඩ’ යනුදු එයට නමෙකි. එද උද්දෙස නිද්දෙස විසින් ද්විවිධ යැ. උද්දෙසයෙහි එ්කවිධරූප පටන් එ්කාදශවිධරූප තෙක් රූපධර්‍මයන් සඞ්ග්‍රහ කොට එ්කක දුක ආදි විසින් මාතෘකා තබන ලදු. එ්කකසඞ්ග්‍රහ යෙහි ලා තෙසාලිස් පද කෙනෙක් උද්දීෂටයහ. ඔවුනතුරෙහි පශ්චිමපදත්‍රය මාතෘකාමුක්ත වෙයි. සෙසු සාලිස් පදයෝ මාතෘකාගතයෝ යි.
ද්විතීයසඞ්ග්‍රහයෙහි ද්වික රූප එක්සිය සතරෙකි. ඔවුනතුරෙහි අන්‍යොන්‍ය අසම්බන්‍ධ ද්විකරූප තුදුසක් ගෙන ‘ප්‍රකීර්‍ණකද්වික’ නමින් ආදියෙහි තබන ලද යැ. ඉක්බිති වස්තු අවස්තු විමසනුවට පැවැති පස්විසි ද්විකයක් ගෙන ‘වස්තුද්වික’ නමින් ද ආලම්බන අනාලම්බන විමසනුවට පැවැති පස්විසි ද්විකයක් ගෙන ‘ආලම්බනද්වික’ නමින් ද ආයතන අනායතන විමසනුවට පැවැති දස ද්විකයක් ගෙන ‘ධාතුද්වික’ නමින් ද ඉන්‍ද්‍රිය අතින්‍ද්‍රිය විමසනුවට පැවැති අට ද්විකයක් ගෙන ‘ඉන්‍ද්‍රියද්වික’ නමින් ද ‘සූක්‍ෂ්මරූපද්වික’ නමින් ද තබන ලද වෙයි.
තෘතීයසඞ්ග්‍රහයෙහි එකසිය තුනක් ත්‍රිකරූපයෝ වෙති. ඔහු ප්‍රකීර්‍ණකද්වික සඞ්ග්‍රහයෙහි කියන ලද ආධ්‍යාත්මිකද්විකය ගෙන සෙසු ද්විකරූපයන් හා සමග යෝගයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ය. එහි අධ්‍යාත්මිකද්විකය සෙසු ප්‍රකීර්‍ණකද්වික තෙළෙස හා සමග යෙදීමෙන් තෙළෙස් ප්‍රකීර්‍ණකත්‍රිකයෝ කියන ලදහ. මෙසෙයින් මැ වස්තු, ආලම්බන, ආයතන, ධාතු, ඉන්‍ද්‍රිය, සූක්‍ෂමරූප යන ද්විකරූපයන් ද වෙන වෙන ම ගෙන ඔවුන් හා සමග ආධ්‍යාත්මිකද්විකය යෙදීමෙන් පස්විසි වස්තුත්‍රිකයෝ යැ පස්විසි ආලම්බනත්‍රිකයෝ යැ දස ආයතනත්‍රිකයෝ යැ දස ධාතුත්‍රිකයෝ යැ අෂ්ට ඉන්‍ද්‍රියත්‍රිකයෝ යැ, ද්වාදශ සූක්‍ෂමරූපත්‍රිකයෝ යැ යන එක්සිය තුනක් ප්‍රභේද වූ ත්‍රිකරූපසඞ්ග්‍රහය දක්වන ලද වෙයි.
චතුත්‍ර්‍ථසඞ්ග්‍රහයෙහි දෙවිසි චතුෂ්කයෙක් එයි. එ ද ප්‍රකීර්‍ණකද්විකරූපයන්ගේ යෝගයෙන් මැ සඞ්ග්‍රහ කරන ලද්දේ යැ. ප්‍රකීර්‍ණකද්විකසඞ්ග්‍රහයෙහි ආදි තුන් ද්විකයෙහි එකෙකි. ද්විකයක් ගෙන පස් පස් ද්විකයන් හා සමග යෝගයෙන් ආදියෙහි පසළොස් චතුෂ්කයෙක් තබන ලද යැ. ඉක්බිති පටිඝද්වික ගෙන ඉන්‍ද්‍රිය, මහාභූත ද්විකයන් හා යෝගයෙන් චතුෂ්ක දෙකක් ද, ඉන්‍ද්‍රියද්විකය ගෙන ඕළාරික, දූර ද්විකයන් හා යෝගයෙන් චතුෂ්ක දෙකක් ද මහාභූත ද්විකය ගෙන ඕළාරික, දූර ද්විකයන් හා යෝගයෙන් චතුෂ්ක දෙකක් දැයි චතුෂ්ක සයෙක් සඞ්ග්‍රහ කරන ලද යැ. අවසන්හි දිට්ඨ, සුත, මුත විඤ්ඤාත චතුෂ්කය හා සමග චතුෂ්ක දෙවිස්සෙක් වෙයි.
තදානන්තර වැ පඤ්චකයෙහි පටන් එ්කාදශක සඞ්ග්‍රහය තෙක් අමිශ්‍ර වැ එයි. උද්දේසයට ඉක්බිති නිද්දේසයෙහි ලා උද්දිෂ්ටරූප එකක් පාසා විභාග කොට දක්වනු ලැබේ. රූපවිභක්තිය වාචනා මාර්‍ගයෙහි ආ පමණින් සාතිරේක දෙබණවරෙක් වෙයි. මෙතෙකින් මාතෘකායෙහි “කුසලා ධම්මා, අකුශලා ධම්මා අව්‍යාකතා ධම්මා’යි කියන ලද කුශලත්‍රිකය විභාග කරන ලද වෙයි. සෙසු ත්‍රිකද්වික ධර්‍මයන්ගේ විභාගය ද මෙනයිනි. විභාග කරත හොත් ඒ ඉතා මහත් වන බැවින් එය තබා නයාන්තරයෙකින් උන්ගේ විභාග කරනුවට රූපවිභක්තියට අනතුරු වැ නික්‍ෂෙපරාශි ආරබ්ධ යි.
නික්‍ෂෙපරාශි: නික්‍ෂෙපකාණ්ඩ යනුදු නික්‍ෂෙපරාශියට නමෙකි. ඒ වනාහි මාතෘකායෙහි ආ ත්‍රික ද්වික ධර්‍මයන් ගෙන නයාන්තරයෙකින් කෙරෙන විභාගයෙකි. මූල විසින් ස්කන්‍ධ විසින් ද්වාර විසින් භූමි විසින් අර්‍ථ විසින් ධර්‍ම විසින් නාම විසින් ලිඞ්ග විසින් නික්‍ෂෙප කොට (බහාලා) දෙසන ලද බැවින් මේ නික්‍ෂෙපරාශි නම් වෙයි. කුශලත්‍රිකය සෙයින් විභාග කරත් මැ ඉතා මහත් වන බැවින් විස්තර විභාගය නික්‍ෂිප්ත කොට (තබා) නයාන්තරයෙකින් විභාග කරන ලද වන බැවින් නික්‍ෂෙපරාශි නම් වෙති ද යෙති. වාචනාමාර්‍ගයෙහි ආ පමණින් නික්‍ෂෙපකාණ්ඩය බණවර තුනෙකි.
අර්‍ථකථාකාණ්ඩ: නික්‍ෂෙපකාණ්ඩයට අනතුරු වැ ධර්‍මයෙහි අර්‍ත්‍ථොද්ධාර විසින් කළ දේශනාව අර්‍ත්‍ථකථාකාණ්ඩ නම් වෙයි. ‘අත්‍ථුද්ධාර’ යනුදු මෙයට මැ නමෙකි. ‘කුශලත්‍රිකය’ පටන් ‘සරණද්විකය’ හිම් කොට මාතෘකායෙහි ආ සියලු ත්‍රික ද්වික ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ උද්ධරණ කොට මෙහි තබන ලද යැ. අර්‍ත්‍ථකථාකාණ්ඩය දම්සෙනෙවි සැරියුත් තෙරණුවන් විසින් දේශිත යැ. තෙරණුවෝ ‘නික්‍ෂෙපකාණ්ඩයෙහි අර්‍ත්‍ථොද්ධාර සලකනු නො හැකි, තමන් වහන්සේගේ සද්ධිවිහාරිකයක්හට අර්‍ත්‍ථකථාකාණ්ඩ වදාළහ’ යි යෙති. මේ අදහස මහ අටුවාහි ප්‍රතික්‍ෂිප්ත යැ. ‘ අර්‍ත්‍ථකථාකාණ්ඩය බුදුරදුන් විසින් මැ දේශිත යැ’ යනු මහාඅටුවාහි පිළිගත් මතය යි. අභිධර්‍මය ශ්‍රාවකවිෂය නොවැ බුද්ධවිෂය බවත් සැරියුත් තෙරණුවන් ස්වකීය සද්ධිවිහාරිකයා බුදුරදුන් වෙතැ පැමිණ වූ කල්හි උන්වහන්සේ විසින් මැ අර්‍ත්‍ථකථාකාණ්ඩය දෙසන ලද බවත් මහ අටුවාහි ආ සේ බුදුගොස් තෙරණුවෝ අත්‍ථසාලිනියෙහි දක්වති. වාචනාමාර්‍ගයෙහි ආ පමණින් අර්‍ථකථාකාණ්ඩය බණවර දෙකෙකි. මෙසෙයින් සියලු ධම්මසඞ්ගණිප්පකරණය තෙළෙස් බණවරෙකින් සමන්වාගත වේ.
පරිවාරග්‍රන්ථ: අභිධර්‍මපිටකයෙහි විභඞ්ගා දි ෂට්ප්‍රකරණය මැ ධම්මසඞ්ගණී නය අනු වැ විභාග කරනලද වෙයි. එයින් ධම්මසඞ්ගණිප්පකරණය එ හැමට මූලාශ්‍රය වූයේ අභිධර්‍මපිටකය පුරා පැතිරැ සිටී. ධම්මසඞ්ගණියට අර්‍ත්‍ථකථාචාර්‍ය්‍ය බුදුගොස් තෙරණුවන් විසින් ලියනලද ‘අත්‍ථසාලිනී’ නම් අට්ඨකථාවක් ද එහි ලීනාර්‍ත්‍ථපද වර්‍ණනා කෙරෙමින් ‘ආනන්‍ද’ නම් තෙර කෙනෙකුන් විසින් කරන ලද ‘අභිධම්මමූලටීකා’ නම් ලීනත්‍ථපදවණ්ණනාවක් ද එයට ‘ධම්මපාල’ නම් තෙර කෙනෙකුන්ගේ කෘතියකැයි සැලැකෙන කර්‍තෘ නො සඳහන් අනුටීකාවක් ද ඇත. පස්වැනි කසුප් (බු. ව. 1445 – 1455) රජු විසින් කරනලද අභිධර්‍මව්‍යාඛ්‍යානයක් ගැන එරජුගේ අභයගිරි සෙල්ලිපියෙහි සඳහන් වෙයි. සිව්වැනි මිහිඳු (බු. ව. 1491 – 1507) රජු විසින් සිත්‍ථගාමවාසී ‘ධම්මමිත්ත’ නම් තෙර කෙනකුන් ලවා අභිධර්‍මවර්‍ණනාවක් කරවනලදැ යි මහාවංසයෙහි සඳහන් වෙයි. මේ ව්‍යාඛ්‍යා දෙක දැන් නාමශෙෂ වැ පවතී.
‘අත්‍ථසාලිනී’ අටුවාව බුදුගොස් තෙරණුවන් විසින් ලඞ්කාගමනයට පළමු දඹදිව්හි දී මැ කරනලද බව මහාවංශයෙහි දැක්වෙයි. එහෙත් මෙකල විද්‍යාමාන ‘අත්‍ථසාලිනිය’ ලක්දිව මහාවිහාරයෙහි දී ලියන ලද්දෙකි.
“අයමෙත්‍ථ සඞ්ඛෙපො විත්‍ථාරො පන විසුදධිමග්ගේ වුත්තනයෙනෙව වෙදිතබ්බො” “අයමෙත්‍ථ සඞ්ඛෙපො, විත්‍ථාරො පන සමන්තපාසාදිකායං වුත්තො” ආදීන් එහි ‘විසුද්ධිමග්ගය’ ද ‘සමන්තපාසාදිකාව’ ද නිර්දිෂට යැ. ලක්දිවට පැමිණ උන්වහන්සේ ලියූ පළමු වන ග්‍රන්ථය ‘විසුද්ධිමගගය’බව ප්‍රකට යැ. ‘සමන්තපාසාදිකා’ විනයට්ඨකථාව සිරිනිවාස මහානාම (බු. ව. 950 – 972) රජුගේ එක්විසි වන වර්‍ෂයෙහි ලියා නිමවන ලද්දෙකි.
‘අත්‍ථසාලිනි’ ය ඉන් පසු ලියැ යුතු වෙයි. දඹදිව්හි දී ලියූ අත්‍ථසාලිනිය යලි මෙහි දී සකසා ලියූ සේ ද සිතියැහෙයි. ආචාර්‍ය්‍යවාද අතුරෙහි ‘රේවත’ තෙරණුවන්ගේ මත ද එහි දක්නා හෙයිනි. ‘ඉදං අට්ඨකථාමුත්තකං ආචරියානං මතං න පනෙතං සාරතො දට්ඨබ්බං” යන තන්හි “ආචරියානං මතං” යනු රේවතාචාර්‍ය්‍යයන්ගේ මතය බව ‘අභිධම්මමූලටීකා’ යෙහි දැක්වෙයි. මෙහි රේවතාචාර්‍ය්‍යයෝ නම් දඹදිව බෝමැඩ වෙහෙර වැඩ විසූ බුදුගොස් තෙරණුවන්ගේ අදුරු තෙරණුවෝ යි.
‘අභිධම්මමූලටීකා’ ලියූ ‘ආනන්‍ද’ තෙරණුවෝ දඹදෙණියේ දෙවැනි පැරකුම්බා (බු. ව. 1779 – 1814) රජු දවස විසූ ‘ආනන්‍ද වනරතන’ තෙරණුවෝ යයි කෙනෙක් සිතති. ඒ නො මැනැවි. මූලටීකාකාර ‘ආනන්‍ද’ තෙරණුවෝ වූ කලි රූප සිද්ධි කර්‍තෘ ‘දීපඞ්කර බුද්ධප්පිය’ තෙරණුවනට ඇදුරු වූ ‘තම්බපණ්ණිද්ධජ’ යනුවෙන් පසස්නා ලද ‘ආනන්‍ද’ තෙරණුවෝ යි. ඔබ ‘ධම්මමිත්ත’ නම් තෙර කෙනකුන්ගේ අයැදුමින් ‘අත්‍ථසාලිනී ලීනත්‍ථපදවණ්ණනා’ ලියනලද බව ග්‍රන්ථයෙහි සඳහන් කෙරෙති. සිව්වැනි මිහිඳු (බු. ව. 1491 – 1507) රජුගේ ආරාධනායෙන් අභිධර්‍මවර්‍ණනාවක් කල ‘සිත්‍ථගාමවාසී ධම්මමිත්ත’ තෙරණුවෝ ද මුන් වහන්සේ මැ වියැහෙති. ‘විසුද්ධිමග්ගටීකාව’ ලිවීමට ‘බදරතිත්‍ථ ධම්මපාල’ තෙරණුවනට ආරාධනා කළ ‘දාඪනාග’ තෙරණුවෝ ද ‘ධම්මමිත්ත’ තෙරණුවනට සමකාලීන වෙත්.
ධම්මසඞ්ගණී බුද්ධජයන්ති අනුවාදය: ලඞ්කාබෞද්ධමණ්ඩලය විසින් 2500 බුද්ධජයන්තිය නිමිත්තෙන් ආරම්භ කළ බුද්ධජයන්තිත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි ධම්මසඞ්ගණී සිංහල අනුවාදයත් පාඨශොධන සහිත පාළියත් ශ්‍රී ලංකා රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙසේ පළවෙයි. පාඨශෝධනයේ දී සිංහල තල්පත් හා මුද්‍රිත පිටපත් මරම්ම (බුරුම) ඡට්ඨසඞ්ගීතියෙන් ශෝධිත පොත සියම් රට මුද්‍රිත පොත එංගලන්තයේ පාළිපොත් සමාගමෙහි (PTS) මුද්‍රණය අටුවා ටීකා හා සමග සසඳාගෙන විසදෘශපාඨ අධෝලිපි වශයෙන් දක්වන ලදි. අනුවාදයෙහි දී අභිධර්‍ම පාරිභාෂික වචනයන්ට ප්‍රමුඛත්‍වය දෙන ලද්දේ යැ. පරමාර්‍ත්‍ථධර්‍ම ව්‍යාඛ්‍යා හෙයින් පර්‍ය්‍යාය වචනයෙන් අර්‍ත්‍ථවෛපරීත්‍යයට අවකාශ නො තබනු සඳහා යි. දුර්‍ගමස්ථානයෙහි අර්‍ත්‍ථ ප්‍රකට කරනු පිණිස පර්‍ය්‍යාර්‍ත්‍ථවරහන් තුළ යොදා ඇත. අර්‍ත්‍ථව්‍යක්තිය පිණිස පාළියට අතිරේක වැ අර්‍ත්‍ථකථායෙන් ගන්නාලද ව්‍යාඛ්‍යාන ද වරහන් තුළ දක්වන ලද්දේ යි. මේ උදාර කාර්‍ය්‍යයෙහි සහාය වූ ත්‍රිපිටකසම්පාදක මණ්ඩලය ද ලඞ්කා බෞද්ධ මණ්ඩලය ද ශ්‍රී ලඞ්කා රජය හා එහි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීමණ්ඩලය ද ස්වදේශීය මුද්‍රණාලයෙහි කාර්‍ය්‍යමණ්ඩලය ද සුධීන්ගේ පැසසුමට ලක්විය යුත්තාහ.
සියලු සත්ත්‍වයෝ නිදුක් වෙත්වා!
කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර
-
- 30 ත්‍රිපිටක කාර්‍ය්‍යාලය, මහානායක වාරිකාරාමය, විජේරාම මාවත, කොළඹ 7.
සඞ්කෙත නිරූපණය
සීමු. 1. - බෙන්තර සද්ධාතිස්ස ස්ථවිර මුද්‍රණය, 1929. සීමු. 2. - ශ්‍රීපාද මුද්‍රණය සීමු. 3. - හේවාවිතාරණ මුද්‍රණය ස්‍යා. - ස්‍යාමකඛර මුද්‍රණය, 1953 මඡසං. - මරම්මඡටඨසඞ්ගීති පොත පවි. - පරමානන්‍දවිහාර පුස්කොළ පොත. අසා - අත්‍ථසාලිනී, ධම්මසඞ්ගණී අටඨකථා PTS. - Pali Text Society, Dhammasanganippakarana හෙවිමු. - හේවාවිතාරණ මුද්‍රණය ධසං. - ධම්මාරාම සංස්කරණය ඤාසං. - ඤාණවිමල සංස්කරණය බෞ. වි. කො. - බෞද්ධවිශ්වකොෂ ම. ව. - මහාවංස මූ. ටී. - අභිධම්මමූලටීකා