භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ දේශනා කර වදාළ සමස්ථ බුද්ධ දේශනය විනය, සූත්‍ර හා අභිධර්ම වශයෙන් ත්‍රිපිටකය වේ. ඒ සමස්ථ ත්‍රිපිටක ධර්මයම විමුක්ති රසයෙන් යුතු බැවින් නිවන් අවබෝධය සඳහා උපකාරී වන බව පිළිගත යුතු වේ. ඒ අතරින් එක ද ධර්ම කොට්ඨාසයක් හෝ නිර්වාණ ප්‍රතිලාභයට උපකාරී නොවන්නේ යැයි ඉවත් කළ නොහැකි වේ. එයින් තථාගතයන් වහන්සේගේ ධර්මය ප්‍රතිබාහනය කළා වේ. තමන්ගේ නිවන අවුරා ගන්නා ලද්දේ මෙන්ම අනෙක් අයගේ ද නිවන් මග අවුරා දමන ලද්දේ වෙයි. නිර්මල බුදු සසුනෙහි පරිහානිය පිණිස කටයුතු කරන ලද්දේ වෙයි. දෙව්දත් තෙරුන් මෙන් සමඟි සංඝයාගේ බිඳවීම පිණිස හේතු වන බරපතල වරදක් කරන ලද්දේ වෙයි.
ථෙරවාදයට පටහැනි මහායානිකයන්ගේ පක්ෂය ගෙන ථෙරවාදී බුදුසසුනේ විනාශය පිණිස කටයුතු කරන ලද්දේ වෙයි. කල්ප ගණනකිනුදු ගෙවා අවසන් කළ නොහැකි අතිමහත් අකුසලයක් රැස් කරගෙන අන් අයද එවන් අකුසලයක සමාදන් කරන ලද්දේ වෙයි. එබැවින් දුර්ලභව ලද බුද්ධෝත්පාදයෙහි, දුර්ලභව ලද මනුසක් බවෙහි, දුර්ලභව ලද ක්ෂණ සම්පත්තියෙහි නිසි ප්‍රයෝජනය ගනු පිණිස නිවැරදි ධර්මය දේශනා කරන සත්පුරුෂයන් ඇසුරු කොට නිවැරදි සද්ධර්මය ශ්‍රවණය කළයුතු වේ.
එසේ නිසි සත්පුරුෂයන් ඇසුරුකොටගෙන, නිසි සද්ධර්ම ශ්‍රවණය කොට, යෝනිසෝ මනසිකාරයෙන් හා ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙහි නිරත වන්නන් හට සෝතාපන්න විය හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එතකුදු වුවත් අභිධර්මය වැනි බුද්ධ දේශනාවක් හෑල්ලුවට ලක් කරන කෙනෙකුට, එබඳු ධර්මයක නෛර්යාණික බව පිළිබඳ සැකයක් හෝ ඇති කරන්නකු වෙතින් මෙම නිවන් මාර්ගය දුරස් වේ. අභිධර්මය දෙවියන් උදෙසා කරන ලද දේශනයක් බවත්, මිනිස් ලොව දේශනා නොකරන ලද බවත්, හුදු චිත්ත-චෛතසික පිළිබඳ විග්‍රහයක් පමණක් බවත්, මිනිසුන්ට නිවන් අවබෝධයට අවශ්‍ය නොවන දේශනයක් බවත් පවසමින් නිර්වාණ අවබෝධයට හේතු සම්පත් ඇති පුද්ගලයන් වෙතින් අභිධර්ම පිටකය දුරස් කරවමින් ක්‍රමිකව බුද්ධ ශාසනයේ පරිහානිය උදෙසා කටයුතු කරන බලවේගයන් වෙතින් ප්‍රවේසම් විය යුතු.
එබැවින් නිවන් දකිනු කැමති සත්පුරුෂයෝ ත්‍රිපිටකයේ කිසිදු කොටසක් බැහැර නොකොට සියලු බුදුවදන හැකි පමණින් සත්පුරුෂයන් ඇසුරෙන් උගෙන හදාරා පිළිපැද ස්වකීය නිවන් මඟ සපුරාගනිත්වා!