කුසල ත්‍රිකය - පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් අභිධර්ම පිටකයේ ධම්මසඬ්ගණි ප්‍රකරණයේ එන මාතිකා ඇසුරෙන්

කතෘ - පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ

ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම කෙනෙක් ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සුදානම් වෙන මොහොත. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද ඒ උතුම් ධර්මය අද දවසේදී ත්‍රිපිටකය විදිහට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එහිදී සම්බුද්ධ සාසනයේ පැවැත්ම, ධර්මයෙහි චිරස්ථිතිය පිණිස පනවා වදාළ ප්‍රඥප්ති සමුදාය ‘විනය පිටකය’ ලෙසත්, ඒ වගේ ම ඒ ඒ අවස්ථානුරූපීව, ඒ ඒ පුද්ගලයින්ට, ඒ ඒ පිරිස් වලට කරන ලද සම්මුති දේශනාවන් ‘සූත්‍ර පිටකය’ ලෙසටත්, ඒ වගේ ම හුදු ධර්මතාවයන් බෙදා දක්වමින්, ධර්මතාවයන් විග්‍රහ කරමින් කරන ලද ඒ පරමාර්ථ දේශනාව, ‘අභිධර්ම පිටකය’ විදියටත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා.

නිවන් දකින්න අභිධර්මය ඕනේ ද?

සූත්‍ර පිටකය තුළ තිබෙන ඒ එක් එක් සූත්‍ර දේශනාවක් අනුසාරයෙන් වුණත් කෙනකුට, තමාගේ නිර්වාණ අවබෝධය ප්‍රකට කර ගන්න පුළුවන්කම තිබෙනවා. එසේ තිබියෙදීත් සුවිශේෂ වූ අභිධර්ම පිටකයක් කුමකට ද කියලා ඇතැම් කෙනෙක් ප්‍රශ්න නගනවා වගේ ම, ඇතැම් කෙනෙක් අභිධර්ම පිටකය පිළිගැනීමට යම් මැලිකමක් ද දක්වනවා, එය අනවශ්‍ය දෙයක් යැයි සැලකීම නිසා. නමුත් ඇත්තට ම අපි ධර්මය පිළිබඳව අධ්‍යනය කරන කොට, ධර්මය පිළිබඳව අපි ඉගෙන ගන්න කොට, අපි තේරුම් ගත යුතු දෙයක් තමයි සූත්‍රයක් තේරුම් ගැනීමත් ප්‍රමාණවත්. හැබැයි සූත්‍රය තුළ විහිත ඒ ධර්ම කාරණාවන් තුළින් අභිධර්මය තුළ කතා කෙරෙන පරමාර්ථ ධර්මයන් පිළිබඳව අවබෝධ කර ගත යුතුයි. ඒ ධර්මයන් පිළිබඳව අවබෝධ කර ගන්නේ නැතුව නිවන් දකිනවා කියලා කිවුවට, ඒක හුදු වචන මාත්‍රයක් විතරයි. එයින් නිර්වාණය අවබෝධ කරන්නට කිසිසේත් ම පුළුවන්කමක් ඇත්තේ නැහැ.

එහෙනම් අපිට අභිධර්ම පිටකයක් විශේෂයෙන් ම අවශ්‍ය වෙන්නේ ඇයි, අභිධර්මය තුළින් අපිට ලැබිය හැකි ප්‍රයෝජනය කුමක් ද කියන එක පිළිබඳව, අපිට එහෙයින් විශේෂයෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ අභිධර්මය නැතුව නිවන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.

එතකොට හිතන්නට එපා, මේ කිවුවේ සූත්‍රය තුළ තියෙන කරුණු ඔක්කොම නිවන් දකින්න ප්‍රමාණවත් නැහැ කියලා කිව්වා කියලා. සූත්‍රය තුළ වුණත් අභිධර්මය තුළ විග්‍රහ කෙරෙන ධර්ම කාරණා පිළිබඳ, එනම් පරමාර්ථ ධර්ම‍යන් පිළිබඳ අවබෝධ වන නුවණ තමයි එතනත් ඇති වෙන්නේ. ඒ නිසා මේ සියල්ල ම පොදුවේ ගත්තහම ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එකම ධර්මය. ධර්මය තුළ තමයි මෙය සූත්‍රය, මෙය අභිධර්මය කියන බෙදීම අපිට දක්වන්නට පුළුවන්කම තිබෙන්නේ.

භාග්‍යවතුන් වහන්සේගේ එක දේශනාවක් විදියට තමයි සමස්ත අභිධර්ම පිටකය ම අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. දෙවියන්ගේ දිව්‍ය ආයුෂයෙන් නම් ඉතා සුළුතර කාල සීමාවක් මුළුල්ලේ දේශනා කරපු, මනුස්ස ලෝකේ ආයුෂයෙන් නම් වස් තුන්මසක් මුළුල්ලෙහි දේශනා කරපු දේශනාවක් විදියටයි අභිධර්ම පිටකය අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ.

ඒ පරමාර්ථ දේශනාව සැරියුත් තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් පැහැදිලි කිරීමෙන් පසුව, සැරියුත් තෙරුන් වහන්සේ විසින් නාති සංඛේප, නාති දීර්ඝ වශයෙන් භික්ෂුන් වහන්සේලාට මෙම ධර්මය ඉගැන්වීමෙන් පසුව මෙය අභිධර්මය විදියට වෙන ම දේශනාවක් විදියට එදා පටන් ම පැවතෙමින් ආවා. ඒ නිසා අපිට අභිධර්මය කියන දේ සූත්‍රය තුළ ඇතුළත් විය යුතුයි කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ මක් නිසා ද අභිධර්මයත් එක සූත්‍ර දේශනාවක් වගේ එක දේශනාවක් පමණක් නිසා.

සුත්‍ර පිටකයේ හා අභිධර්ම පිටකයේ වෙනස

සූත්‍ර තුළ කෙරෙන ධර්ම විග්‍රහයන් සහ අභිධර්මය තුළ සිද්ධ කෙරෙන ධර්ම විග්‍රහයන් දෙකක් නෙමෙයි, එක ම ධර්ම විග්‍රහය. සූත්‍රය තුළ යම් යම් පුද්ගලයින්ට කරන ලද දේශනා, පුද්ගලයින්ට කරන ලද ආමන්ත්‍රණයන් සහිතව සම්මුති ලෝකේ සම්මුති පැවත්ම ආදී කරණා උපයෝගි කර ගෙන කරන ලද දේශනා විදියට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අභිධර්මය එක දේශනාවක් නිසා, අභිධර්ම දේශනාවේ සම්මුතිය තුළ යෙදෙන කරුණු ඇත්තේ නැහැ. පරමාර්ථ ධර්ම විශ්ලේෂණය කොට වෙසෙසින් අර්ථ ගැන්වීම පමණයි එතනදි සිද්ධි කරලා තිබෙන්නේ. අන්න ඒකයි මේ දෙක අතර තිබෙන වෙනස. සූත්‍ර හා අභිධර්මය කියන මේ දෙක ම ධර්මය අතින් එකම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. කෙනෙක් ධර්මය අවබෝධ කළා කියලා කියනවා නම් එයා පොදුවේ මේ සියලු ධර්මය අවබෝධ කළ යුතුයි.

යම්කිසි කෙනෙක් නිවන් දකින්නේ ස්කන්ධයන්ගේ උදය වැය දැකලා නම්, ඒ ස්කන්ධයන්ගේ උදය වැය දකින විදිහ එයා හොයා ගත්තේ සංයුත්ත නිකායේ ඛන්ධ සංයුත්තයේ තියෙන සූත්‍ර දේශාවකින් නම්, එතකොට අභිධර්මය තුළත් ස්කන්ධ විභඞ්ගය (ඛන්ධ විභඬ්ගය) අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම ස්කන්ධයන් පිළිබඳව තියෙන යමක ප්‍රකරණය ආදී ධර්ම කොට්ඨාසයන් පිළිබඳව අපි දැක්කහම, අපිට පේනවා, එහෙනම් ඒ දේවල් අභිධර්මය තුළත් විග්‍රහ වෙලා තියෙනවා කියලා. සූත්‍රය තුළින් අවබෝධ කර ගන්න අවබෝධයත්, අභිධර්මය තුළින් ඇති කර ගන්න අවබෝධයත් එක හා සමාන අවබෝධයක්. මේ දෙක දෙකක් නෙමෙයි. අභිධර්මයේ දී අවශේෂ කාරණා වලින් තොරව ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ මැනවින් බෙදා දක්වමින් ම කියලා තියෙනවා. සූත්‍රයේ දී සංක්ෂේප වශයෙන් කියලා තියෙනවා.

දීර්ඝ වශයෙන් අපි ධර්මය දැන ගන්න කොට, අර්ථ තේරුම් ගත යුත්තේ, අවබෝධ කර ගත යුත්තේ අභිධර්මය තුළ කියන ලද ධර්මතා විදියට පෙන්වපු ඒ තත්වයෙන්. එතකොට එයින් අපිට අභිධර්මයෙහි තිබෙන උපයෝගීතාවය පිළිබඳව තේරුම් ගන්නට මනාව පුළුවන්කම තිබෙනවා. ඒකෙන් කියන්නේ සූත්‍රය හෑල්ලු කොට දැමීමක් නෙමෙයි, එක හා සමාන ම බුද්ධ වචනයන්ගෙන් අභිධර්මය හා සමාන ම සූත්‍රයත්, සූත්‍රය හා සමාන ම අභිධර්මයත් අපට අවශ්‍ය වෙනවා.

මේ දෙක ම නිවන් දකින්නට අවශ්‍යයි. සූත්‍ර හා අභිධර්ම කියන මේ දෙක ම ඇති කල්හී පහසුවෙන් ඒ නුවණැත්තා නිර්වාණය අවබෝධ කර ගන්නට අවැසි ප්‍රතිපදාව පුරනවා. ඇයි එහෙම කිව්වේ? ස්කන්ධයන්ගේ උදය වැය බලන්න කියන සූත්‍රය පරිශීලනය කරන පුද්ගලයා දන්නවා නම්; රූප ස්කන්ධය කියන්නේ මෙබඳු බෙදීම් ඇති දෙයක්, වේදනා ස්කන්ධය කියන්නේ මෙබඳු බෙදීම් ඇති දෙයක්, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ මෙබඳු බෙදීම් ඇති දෙයක්ය කියලා ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය බෙදා දැක්වීම් විදියට ඛන්ධ විභඞ්ගය තුළදිත්, යමක ප්‍රකරණ ආදී ධර්මයන් තුළිනුත් එයා ඉගෙන ගෙන තියෙනවා නම්, එයා හොඳාකාරව ම දන්නවා ස්කන්ධයන්ගේ හට ගැනීම කියන්නේ මොකද්ද, ස්කන්ධයන්ගේ වැය වීම කියන්නේ මොකද්ද කියන එක. ඒ ඇයි? ස්කන්ධයන්ගේ ස්වභාවය එයා තේරුම් අරගෙන තියෙන නිසා. ස්කන්ධ පිළිබඳව හඳුන ගන්නට පුළුවන් බෙදා දක්වන ලද අත්‍යවශ්‍ය විස්තරයක් තමයි අභිධර්මය තුළ ඇතුළත් වෙන්නේ.

අභිධර්මය නැතුව නිවන් දකින්නට පුළුවන්ද කියලා කෙනෙක් ඇහුවොත්, ඇත්තටම දිය යුතු පිළිතුර, අභිධර්මය නැතුව නිවන් දකින්නට පුළුවන්කමක් නැහැ කියන එක. ඒකට හේතුව තමයි සූත්‍රයෙන් ධර්මය අවබෝධ කළා කියලා කීවත්, ඒ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ ම අභිධර්මය තුළ විහත විග්‍රහ කොට දක්වන ලද ධර්ම කාරණා අවබෝධ කර ගැනීම ම යි. යමෙක් ධර්මය අවබෝධ කරනවා නම් අභිධර්මය නම් වූ යමක් ඔහු වෙන ම ඉගෙන ගෙන නොසිටිය ද, අභිධර්මය තුළ විග්‍රහ කෙරෙන ඒ ධර්ම කාරණා පිළිබඳව අවබෝධය ඇති කර ගෙන ම විය යුතුයි. ඒ නිසා අභිධර්මය නැතුව නිවන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ධර්මය සහ අභිධර්මය කියන මේ බෙදීම දකින්නට පුළුවන්කම තිබෙන්නේ පරමාර්ථ ධර්මයන් විදියට විග්‍රහ කිරීම් සහ එසේ විග්‍රහ නොකට සම්මුතිය අනුව යමින් කරන ලද විග්‍රහයන් නිසා පමණයි. එහෙම නැතිනම් මේ සියල්ල ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහය.

අභිධර්ම පිටකයට අයත් සප්ත ප්‍රකරණ

අභිධර්මය පිළිබඳව අපි විමසා බලන කොට අභිධර්මය පිටකයක්. අභිධර්ම පිටකය පිළිබඳව අපි අධ්‍යනය කරන කොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ප්‍රකරණයන්. ධම්මසංගර්‍ණ ප්‍රකරණය ආදී ලෙස මේ ප්‍රකරණ පොත් තමයි අභිධර්මය පිළිබඳව කතා කරන කොට කතා කරන්නේ. මේ ප්‍රකරණ පොත් පිළිබඳව කතා කරන්නේ ඇයි? මොනවද ප්‍රකරණ කියල කියන්නේ? අභිධර්මය පිළිබඳව අපි අධ්‍යනය කරන කොට සප්ත ප්‍රකරණයක් (ප්‍රකරණ හතක්) කියලා ඉගෙන ගන්නවා. සප්ත ප්‍රකරණය කියන වචනය අපි ඉස්සෙල්ලා අරගෙන බැලුවොත්, ප්‍රකරණ කියලා කියන්නේ මොකද්ද?

ප්‍රකරණයක් කියලා කියන්නේ යම්කිසි ග්‍රන්ථ විශේෂයක්. ඇත්තට ම ප්‍රකරණ කියලා කියන කොට මේ ප්‍රකරණ ශබ්දය අර්ථ ගණනාවක අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රකරණ ශබ්දය අරගෙන බලන කොට දෝෂ, කාරණා, ප්‍රස්ථාව ආදී මේ නොයෙක් අර්ථයන්හි විග්‍රහ වෙන පදයක් හැටියට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අභිධර්ම පිටකයෙහි ප්‍රකරණ නමින් හැඳින්වෙන මේ වචනය මෙතනදි හඳුන්වන්නේ කුමක් අර්ථ කර ගෙන ද? ග්‍රන්ථ විශේෂයක් කියන එක අරමුණු කර ගෙන. එනම් තොරතුරු රැස් කර ගෙන පවත්නා යම්කිසි තොරතුරු එකතුවකට. නැතිනම් යම්කිසි ග්‍රන්ථ විශේෂණයක් හඳින්වීමේ අර්ථයෙන් තමයි ප්‍රකරණ කියන වචනය අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ.

ප්‍රකරණ වශයෙන් ගත්තහම අභිධර්ම පිටකයෙහි පළවෙනි ප්‍රකරණය තමයි ‘ධම්මසඬ්ගණි ප්‍රකරණය’ කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රකරණය තමයි අර්ථ බෙදා දක්වමින් විභජනයට ලක් කරමින් සිද්ධ කරන ඒ ධර්ම විග්‍රහය පොදුවේ ‘විභඬ්ග ප්‍රකරණය’ නමින් හඳුන්වනවා. විභඬ්ගප්‍රකරණය වගේ ම මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් තබන ලද ඒ නය ක්‍රමය ගෙන සංග්‍රහ කරන ලද ‘කථාවත්ථුප්‍රකරණය’ අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. යම්කිසි වාදයක තර්කානූකූල ස්වභාවයකින්, ඒ කරන ලද විවරණය කථාවත්ථුප්‍රකරණය තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා.

ඒ වගේ ම ‘ධාතුකථා ප්‍රකරණය’ කියලා තවත් ප්‍රකරණයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ධාතු කියලා කියන්නේ ස්වභාව අර්ථයෙන් විග්‍රහ වන දේවල්. අපි සතරමහා ධාතු කියලා කතා කරනවා. ඊට පස්සේ සය ධාතු කියලා කතා කරනවා. අටළොස් ධාතු කියලා කතා කරනවා. මේ ආදී ස්වභාව අර්ථයෙහි යෙදෙන ධාතු මොනවද කියලා විග්‍රහ කොට දක්වන ප්‍රකරණය තමයි ධාතුකථා ප්‍රකරණය කියලා කියන්නේ.

ඊට පස්සේ ධාතු කථා වගේ ම අපි සම්මුති වශයෙන් ඇති කර ගනු ලබන පුද්ගල ආදීන් පිළිබඳව කෙරෙන අභිධර්ම විවරණයක් විදියට ‘පුද්ගලප්‍රඥප්ති ප්‍රකරණය’ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා.

ඊට පස්සේ යමක ප්‍රකරණය කියලා තවත් ප්‍රකරණයක් තියෙනවා. යමකයක් කියන්නේ කොටස් දෙකක්. ධර්ම කාරණා අරගෙන කොටස් දෙකක් විදියට විභජනයට ලක් කරන අපූරු ක්‍රමයක් තමයි යමක ප්‍රකරණය තුළ ඇතුළත් වෙලා තිබෙන්නේ. ඊට පස්සේ දකින්නට පුළුවන් ‘පට්ඨාන ප්‍රකරණය’. මෙන්න මේ ආදී ලෙස අපිට සප්ත ප්‍රකරණ පිළිබඳව හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා.

  1. ධම්මසඬ්ගණි ප්‍රකරණය
  2. විභඬ්ග ප්‍රකරණය
  3. කථාවත්ථු ප්‍රකරණය
  4. ධාතුකථා ප්‍රකරණය
  5. පුද්ගලප්‍රඥප්ති ප්‍රකරණය
  6. යමක ප්‍රකරණය
  7. පට්ඨාන ප්‍රකරණය

මේ ප්‍රකරණ හත තමයි අභිධර්ම පිටකය විදියට හඳුනා ගන්නේ.

මතු සම්බන්ධයි