Q. මහින්දාගමනයට පෙර ප්‍රාග් බෞද්ධ යුගයේ පැවැති ආගමික පසුබිම ඔබ වහන්සේ දකින්නේ මොන විදිහටද?
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්න අවම වශයෙන් අවුරුදු 300කට විතර පෙර මේ රට ජනාවාස බවට පත්වෙලයි තිබුණේ. විශේෂයෙන් රාජ්‍යත්වය නිර්මාණය වුණේ ක්‍රි. පූ. 6 සියවසේ විජයගේ ආගමනයෙන්. මහින්දාගමනය ක්‍රි. පූ. 236 වෙනකොට අවුරුදු 300 කට විතර එහා පැත්තේ තමයි ඉන්දීය සම්භවයක් සහිත ජන කණ්‌ඩායමක් මේ රටේ බලය අල්ලා ගත්තේ. හැබැයි ඉන් අදහස් වෙන්නේ නෑ ස්‌වදේශික ජනවර්ගයක් මෙහි නොසිටි බව. කුවේණිය සිටි බවට සඳහන් වෙනවා. ඒ ගොල්ලන්ගේ යම් යම් සංස්‌කෘතිකමය ඇදහිලි හා විශ්වාස තිබිලත් තියෙනවා. පණ්‌ඩුකාභය රාජ්‍ය කාලයේදී ‘කාලවේල’, ‘චිත්ත රාජ’ වැනි යක්‌ෂයින් සඳහා දෙවොල් ඉදිකළ බව වංසකතාවල සඳහන් වෙනවා. ඊට අමතරව පණ්‌ඩුකාභය රජු වැඳුම්පිදුම් කළ මහේජ, ජුතින්දර, වඩවාමු නම් යක්‍ෂ යක්‍ෂණියන් පිළිබඳවත් තොරතුරු සඳහන් වෙනවා.
උපුල්වන් දෙවියන්ට සහ සුමන දිව්‍යරාජ්‍යාට පුද සත්කාර කිරීමෙන් දේව වන්දනය පැවැති බවද පැහැදිලි වෙනවා. මේ දේව වන්දනය සමඟ ඉදිරියට පැමිණි තවත් වන්දනා ක්‍රමයක් ලෙස වෘක්‌ෂ වන්දනය පැවැති බව නුග ගස් හා තල්ගස්‌වලට ගෞරව කිරීමෙන් පැහැදිලි වෙනවා. බුදුන් වහන්සේ දෙවන වර ලංකාවට එන්නේ චූලෝදර, මහෝදර කියන නා රජුන්ගේ ගැටුම සමතයකට පත්කරන්න. ඒ මණිඅක්‌ක නා රජුගේ ආරාධනයෙන් බව මහාවංශයේ සඳහන් වෙනවා. ඒ අනුව නාග වන්දනයද ප්‍රාග් බෞද්ධ යුගයේ ඇදහිලි හා විශ්වාස වලින් එකක්. ඒ වගේම බ්‍රාහ්මණ, ජෛන, ආජීවක, පරිබ්‍රාජක ආදී ආගමික සම්ප්‍රදායන්හි බලපෑමත් රට ඇතුළේ බුදු දහමට කලින් තිබිලා තියෙනවා. භද්දකච්ඡායනා ලංකාවට එන්නේ පරිබ්‍රාජකා වේෂයක් මවාගෙන බව මහාවංශයේ සඳහන් වෙනවා. එතකොට මහින්දාගමනයට පෙර රට ඇතුලේ ආගමික වශයෙන් ඒ ස්‌වරූපයට සලකන ගතියක් තිබිලා තියෙනවා. ඒ අනුව ඉන්දියාවේ ආභාසයෙන් ලද ආගමික සම්ප්‍රදායක් වගේම ලාංකිකයන් අතර ප්‍රභවය වෙමින් ජනාදරයට පත් සාම්ප්‍රදායික ඇදහිලි හා විශ්වාස පද්ධතියක් ප්‍රාග් බෞද්ධ යුගයේ පැවැති බව මේ අනුව පේනවා.
Q. ප්‍රාග් බෞද්ධ යුගයේ පැවැති මේ තත්ත්වය මහින්දාගමනයත් සමගින් නව මුහුණුවරක් ගන්නේ කෙසේද?
මේ වනවිට ඉන්දියාවේ ප්‍රබල අධිරාජ්‍යයෙක් ගොඩනැගිලා තිබුණා. ඒ අශෝක රජතුමා. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ අශෝක රජතුමාගේ පුත්‍රයා, උන්වහන්සේගේ මෙම ධර්ම සන්නිවේදන කාර්ය සිද්ධ වෙන්නේ අශෝක රජතුමාගේ බලපෑමත් එක්‌ක. එක පැත්තකින් උන්වහන්සේ බුදු දහම වගේම අනෙක් පැත්තෙන් ධර්මානුකූල පාලනයකට අවශ්‍ය ධර්මමය පණිවුඩයකුත් අරන් එනවා. සංඝමිත්තාගමනයත් එක්‌ක රාජකකුධ භාණ්‌ඩ රැගෙන විත් දෙවන වරටත් අභිෂේක කරනවා. ඉන් පේනවා රාජ්‍යත්වයත් තමන් වෙත නම්මවාගෙන ගිය ගමනක් තමයි තිබුණේ. ඉන් පසුව බුදුදහම ලංකාවේ සංවිධානාත්මක ආගමක් බවට පත් වෙනවා. නමුත් සසුන පිහිටියාට මුල්බැස ගැනීමට නම් ලංකාවේ දෙමාපියන්ගෙන් ඉපදුන දරුවකු පැවිදිවෙලා ඉගෙන ගෙන විනය දේශනා පැවැත්විය යුතුබව රජුට පෙන්වා දුන්නා. ඒ අනුව අරිට්‌ඨ කුමරුගේ පැවිද්දෙන් මෙය මුල් බුදුසමය හෝ ථෙරවාදී බුදුසමය කියනවට වඩා ශ්‍රී ලාංකික බුදුදහම ලෙස ස්‌වීයත්වයට පත්වෙනවා.
එවකට ලංකාවේ තිබු ඇදහිලි විශ්වාස ප්‍රතික්‍ෂේප නොකර යම් පමණකට ඊට අනුගත වෙමින් නව මුහුණුවරක් ලබාදුන්නා.තල්ගස් නුගගස් වැනි ගස් වලට වන්දනා කළ ජනතාවට බෝධීන් වහන්සේ හදුන්වා දී ගස්වලට වැදපු වැදිල්ල ඊටවඩා අර්ථවත් තැනකට ගේනාවා. ගල්පර්වත ආදිය වෙනුවට ඒ තුළින් කරුණාව, දයාව වෑහෙන බුදු පිළිමයක් මතුකරගෙන බුදු හාමුදුරුවන්ට වඳින අර්ථවත් තැනකට ගෙනාවා.ඒ තුළින් පුද්ගලයා නිර්මාණය පැත්තටත් රැගෙන ගියා.දෙවියන් වන්දනය වෙනුවට දෙවියන්ට පිං දීමට යොමු කළා.
Q. ඒ වගේම බෞද්ධ කලා ශිල්ප ක්‍ෂේත්‍රයේ ප්‍රබෝධයකුත් ඇතිවෙනවා. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?
මහින්දාගමනයට පසුව එන දුමින්දාගමනයේ ආභාසයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද 18 කුලයක ශිල්ප ශ්‍රේණීන් ඒ සමඟ ලංකාවට එනවා. වේවැල්වලින් බටලීවලින් වැඩකරන අය හේවිසිනාද පවත්වන අය නර්තන ශිල්පීන් වාදන ශිල්පීන් කැටයම් ශිල්පීන් මේ සියලු දෙනා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවාව සඳහා ආපු අය. මේ අටලොස් ශිල්ප ශ්‍රේණීන්ගෙන් සංස්‌කෘතිකමය දායාදයන් තමයි අපේ රටට ලැබෙන්නේ. මිහිඳු හිමියන්ගේ ඉල්ලීම පරිදි සංඝමිත්තා මෙහෙණිය සමඟ පැමිණෙන මේ කණ්‌ඩායමත් එක්‌ක අනුරාධපුර ශ්‍රී මහාබෝධිය කේන්ද්‍ර කරගෙන පටන් ගත්ත සංස්‌කෘතික ප්‍රබෝධය තමයි රට පුරා ව්‍යාප්ත වන්නේ. ඒ අය සමඟ නිත්‍ය අක්‍ෂර කලාවත් ආවා. චිත්‍ර, මූර්ති කැටයම්, ගෘහ නිර්මාණ ආදිය බුදු දහමේ ආභාසය ලබමින් සෞන්දර්යාත්මක කලාත්මක ප්‍රබෝධයක් ඇති වුණා.
Q. ලාංකික සාහිත්‍ය පෝෂණය විෂයෙහිද මහින්දාගමනය බලපෑ බව අට්‌ඨකතා සම්ප්‍රදායක් හඳුන්වාදීමෙන් පෙනෙනවා. මේ අර්ථ ව්‍යාඛ්‍යාන ක්‍රමය පදනම් කොටගෙන හෙළටුවා සමූහයක් බිහිවුණා. නමුත් බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ මේවා පාලි භාෂාවට පෙරළනවා. එය මුල් බුදුසමයේ හරය විකෘති කිරීමට කළ එක්‌තරා කුමන්ත්‍රණයක් බවට මතයක් ඇතිකොට තිබෙනවා. ඒ පිළිබඳ ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?
ඇත්තටම මේ ධර්මය හෝ ඉතිහාසය පිළිබඳව එහෙමත් නැත්නම් එදා පරිසරය පිළිබඳව කිසිවක් නොදන්නා මිනිස්‌සු ටිකක් ආචාර්ය මහාචාර්ය පට්‌ටම්වලට මුවාවෙලා ඇතිකරපු දුර්මතයක් හැටියටයි මම මේක දකින්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවට පස්‌සේ මහාවංශයේ සඳහන් වෙනවා දීපවාසීන්ගේ යහපත සඳහා අටුවා සහිත ත්‍රිපිටකය හෙළ භාෂාවෙන් තැබූ බව. ඊට පස්‌සේ හෙළටුවා හැටියටයි මේවා තියෙන්නේ. ඉන්දියාවේ තිබූ අටුවා නැතිවෙනවා එක කාලයකදී. ඒ නිසා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට එන්නේ අර ඉන්දියාවේ නැතිවූ අටුවා ටික පාලියට පරිවර්තනය කරගෙන අරගෙන යන්න. බුදු සමයට නිකායාන්තර මත ඇතුළත් වූයේ සංස්‌කෘත භාෂාව පදනම් කරගෙන නිසා බුදුදහම එයින් ගලවා ගැනීමේ ආරක්‍ෂිත උපක්‍රමයක් ලෙසත් පාලියට පරිවර්තනය කිරීම වැදගත් වුණා. ඒ වනවිට මෙහේ හෙළ බසින් තිබුණ නිසා නිකායාන්තර මතවලට ගොදුරු නොවී සුරක්‍ෂිත වී තිබුණා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට ඇවිත් පරිවර්තනය කරගෙන යන්නේ ඒ නිසයි.
එලෙස අටුවා පරිවර්තනය කරන්න අවසර ගන්නකොට රට්‌ඨපාල හාමුදුරුවෝ කොච්චර උන්වහන්සේට බලපෑම් කළාද කිව්වොත් විශුද්ධි මාර්ගය උන්වහන්සේට තුන්වතාවක් ලියන්න වෙනවා. ධර්මයට ගැළපෙන, අටුවාවට ගැළපෙන, ථේරවාදී සම්ප්‍රදායට ගැළපෙන ආකාරයට කරන්න පුළුවන්ද යන්න පරික්‍ෂාකර බලා තමයි ඊට ඉඩ දෙන්නේ. ඒ පරිවර්තනය කරනකොටත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියනවා. “සීහල භාසම් මනෝරමං භාසමි” - ‘‘ලස්‌සන සිංහල භාෂාවෙන් තියෙන මෙය මම පාලියට අනුකූල විදිහට පරිවර්තනය කරනවා වෙන මොකක්‌වත් නිසා නෙමේ දේශාන්තරයේ ප්‍රයෝජනය සඳහා’’ කියලා. මොකද ඒ වනවිට පාලිය දේශාන්තරව ප්‍රචලිතව තිබූ ව්‍යවහාරික භාෂාවක්. ඒ නිසා සිංහල කියන දීප භාෂාවෙන් දේශාන්තර භාෂාවට පරිවර්තනය කිරීමක් පමණයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ කළේ. ඒ නිසා තමයි පසුකාලීනව අපටත් ලබාගන්න පුළුවන් විදිහට ලෝකයේ අනෙක් රටවල මේවා ආරක්‍ෂා වුණේ. මොකද අපි දන්නවා අනුරාධපුර යුගයෙන් පස්‌සේ පොළොන්නරුවේදී දඹදෙණියේදී ඒ වගේම කුරුණෑගල යුගයේදී මේ විදිහට දිගින් දිගටම අපි එනකොට ආක්‍රමණ රාශියකට ගොදුරු වුණා. අටුවා ටික පරිවර්තනය කරලා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉන්දියාවට රැගෙන නොයන්න අද අපිට සිංහල අටුවාත් නෑ, පාලි අටුවාත් නෑ.
Q. නමුත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ හෙළටුවා පාලියට පරිවර්තනය කිරීමෙන් පසුව එම අටුවා ගිනි තබා විනාශ කළ බවත් පවසනවා. ඒ තුළ කුමන්ත්‍රණයක මුහුණුවරක් තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
බුද්ධඝෝෂ හිමියන් ලංකාවට එන්නේ මහින්දාගමනයෙන් අවුරුදු 800කට විතර පස්‌සේ ක්‍රි. ව. 5වැනි සියවසේදී. මේ අවුරුදු 800 වැනි දීර්ඝ කාලයක් තිස්‌සේ මේ රටේ විහාරස්‌ථානවල මේ අටුවා සම්ප්‍රදාය ව්‍යාප්තවෙලා තිබුණා මේ අය හිතාගෙන ඇත්තේ බුද්ධඝෝෂ හිමි ලංකාවට එනකොට අටුවා තිබුණේ මහාවිහාරයේ විතරයි කියලා. අටුවා කියන්නේ පොතක් නෙමෙයි සාසනික සම්ප්‍රදායක්. අපි මේ අටුවා ගැන මුලින්ම තේරුම් ගන්න ඕන.
අනුරාධපුර මහාවිහාරයට අයත් ‘මහාට්‌ඨකතාව’ කියන්නේ ත්‍රිපිටකයටම පොදුවේ තිබ්බ එකක්. ‘‘මහා පච්චරී අට්‌ඨකතාව" භික්‍ෂුන් වහන්සේලාට දුර්භික්‍ෂ බිය පැමිණි වෙලාවේදී මාතර නිල්වලා ගඟේ පවුරේ ඉඳන් ලියු එකක් බව සැලකෙනවා. ‘කුරුන්දි අට්‌ඨකතාව’ දකුණේ කුරුඳු විහාරයේ සිට ලියූ එම විහාරයට අයත් එකක්. තවත් අටුවා දෙකක් වූ ‘අන්ධට්‌ඨකතා’ (ආන්ද්‍ර භාෂාවෙන් ලියූ දෙමළ අටුවාවක් විය හැකියි.) ‘සංඛෙපට්‌ඨකතා’ නමින් තවත් කෙටි පාලි අටුවාවක් තිබෙනවා. මේ පහ තමයි පැරැණි අටුවා. මෙයින් මහාට්‌ඨාකතා මහා පච්චරී අට්‌ඨකතා සහ කුරුන්දි අට්‌ඨකතා යන තුන හෙළටුවා. එතකොට මේ හෙළටුවා කියන්නේ අටුවා පොත් තුනක් තිබුණා කියන එක නෙමේ. මහා විහාරයට අමතරව දකුණේ සහ රට මැද විහාරස්‌ථාන ගණනාවකම අටුවා විසිරී පැවතුණා. එක තැනක ගිනි තිබ්බොත් තව තැනක තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියන්නේ හනුමා වගේ තැන්තැන්වලට ගිහින් අටුවා ගිනිතියාගෙන ගිය කෙනෙක් නෙමෙයි.
හොඳයි සිංහල අටුවාව පරිවර්තනය කළ නිසානේ උගතුන් යෑයි කියා ගන්නා මේ පිරිස මේ කතාව පතුරවන්නේ. මම ඒ අයගෙන් මේ ප්‍රශ්නය අහනවා. පාලි බෝධිවංශය ලියූ හාමුදුරුවෝ එහි සඳහන් කර තියෙනවා කලින් සිංහල භාෂාවෙන් තිබුණ බෝධිවංශය ශාස්‌තෘවරයාණන්ගේ භාෂාවෙන් තබන බව. ඒ කියන්නේ ඊට කලින් සිංහල බෝධිවංශයක් තිබිලා තියෙනවා. අද ඒක දකින්න නැත්තේ උන්වහන්සේත් පාලියට පරිවර්තනය කරලා සිංහල එකට ගිනි තියලද? ඊළඟට දාඨාවංශය පරිවර්තනය කරන ධම්මකිත්ති හාමුදුරුවොත් සඳහන් කරනවා සිංහලේ කවීන් විසින් කරනු ලැබු දාඨාවංශය දේශාන්තර ප්‍රයෝජනය සඳහා පාලියට පරිවර්තනය කරන බව. ඊට පාදක වූ සිංහල දාඨාවංශයන් අද දක්‌නට නැත්තේ ඒකටත් ගිනි තියලද?
මහාවංශය ලියන්නත් පැරැණි විහාර ලේඛන, ඉතිහාසය කතා ප්‍රයෝජනයට අරගෙනයි ලියන්නේ. හත්තනගල්ල විහාරවංශයත් එහෙමයි. එම කෘති දෙකටත් පාදක කරගත් මුලාශ්‍ර හා සිංහල ලේඛන අද දකින්න නැහැ. මේ ඔක්‌කොම විනාශ වෙලා තියෙන්නෙත් බුද්ධඝෝෂ හිමියන් අටුවා ගිනි තැබූ ගින්නේ සැරට අහුවෙලාද කියලා දැනගන්න කැමැතියි. අද මේ අය මොනවා කිව්වත් ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්‍ෂිත කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ගත්ත මේ සුවිශේෂී පියවර නිසා තමයි අපිට යන්තම් හරි ත්‍රිපිටකයට තියෙන අර්ථකතන ටික ඉතුරු වුණේ. වර්තමානයේ සමහරු ත්‍රිපිටකය දිහා විතරක් බලලා අර්ථකතනය දෙන්න ගියාම ඒ අර්ථකතන වලින් ත්‍රිපිටකය කොච්චර විකෘති වෙනවද කියන්න අපි දන්නවා.
Q. එසේ නම් ත්‍රිපිටකය නිසි පරිදි අර්ථ විවරණය කර ගැනීමට අටුවාවලින් ලැබෙන පිටුබලය උදාහරණයක් ඇසුරින් පැහැදිලි කරන්නේ කොහොමද?
අටුවාවේ ඕනෑම පදයකට දෙන අර්ථකතනයක් තියෙනවා. ඒ දෙන අර්ථය අනුව තමයි අපිට ත්‍රිපිටකයට යන්න පුළුවන් වෙන්නේ. ධර්ම කාරණාවකට අදාළ පසුබිම තියෙන්නේ අටුවාව ඇතුළේ. උදාහරණයකටට
දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්‌සන්තී
මොක්‌ඛන්නි මාර බන්ධනා
මේ ගාථාවේ අපි අර්ථය ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? දූරංගමං තියන්නේ සිත දුරගමං යයි, ඒකචරං සිත තනිව හැසිරෙයි, අසරීරං කියන්නේ ශරීරයක් නැත. ගුහාසසං කියන්නේ ගුහාවක නිදයි. මේක තමයි අපි නිතර අහන්නෙත් බණට. නමුත් අටුවාවේ විස්‌තර කරනවා ‘‘මක්‌කට සුත්ත මත්ථකම්පි පුරත්ථිමාදි දිසාභාගේ ගමනාගමනං නාම නත්ථි" හිත මකුළු හූයක් තරම්වත් දුර යන්නේ නැති බව. එහෙම නම් අපි දූරංගමං කියන එකට දීලා තියෙන අර්ථය වැරදියිනේ. ඇත්තටම පංචස්‌කන්දය ගැන කියද්දී බුදු හාමුදුරුවෝ මහා තණ්‌හාසංඛ්‍ය සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා ‘‘නත්ථි අඤඤන්ති පච්චයා විඤදාණස්‌ස සම්භවෝ’’. ඒ කියන්නේ විඥනය විතරක් හුදෙකලාව තියෙන්නේ නෑ අනෙක් පහ නැතුව. එහෙම නම් හිත දුර යනවයි කියන එක අපට කියන්න බෑ. “දූරේ සන්ථම්පි ආරම්භනං පටිග්ගහන ලක්‌ඛණං ඒ අනුව දුර තියෙන අරමුණක් ග්‍රහණය කිරීම විතරයි ඔය දූරංගමං කියන එකෙන් කියවෙන්නේ.
ඒකචරං තතිව හැසිරෙනවා කියන එක. තනිකරම වැරදි අදහසක්. ‘‘ඒකක්‌කනේ සත්තට්ඨ චිත්තානි නාම නජායන්තී’’ එක ක්‍ෂණයකින් සිත් හත අටක් පහළ වන්නේ නෑ කියන එකයි එහි අර්ථය. එක මොහොතක එක හිතයි පහළ වෙන්නේ. අසරීරං - ශරීරයක් නෑ කියනවා. ශරීරයක් නැත්නම් ගුහාවක නිදන්නේ මොකක්‌ද? එතැන කියන්නේ ‘‘වණ්‌ණ+සණ්‌ඨාන” දෙක. එනම් පාට සහ හැඩය හිතට නෑ කියන එක විතරයි මේකෙන් කියන්නේ. බලන්න අටුවාව නොතිබුණා නම් අපිට මොකද වෙන්නේ. සම්පූර්ණයෙන්ම නිවැරදි අර්ථය ගන්න බැරිවෙනවා.
තවත් නිදසුනක් කිව්වොත් “නිරත්ථංව කලිංඝරං” මේ ශරීරය වැඩකට නැති දර කෑල්ලක් වගේ කියන එක. දර කියන්නෙත් ප්‍රයෝජනවත් දෙයක්. එහෙම නම් වැඩකට නැති දර කෑල්ල කියන්නේ මොකක්‌ද? අන්න ඒක විස්‌තර කරන්නේ අටුවාවේ.
ගහක් කපනවා. ලීයෙන් වැඩ ගන්න ඕනෑ අය ලී ටික අරන් යනවා. දරවලින් වැඩ ගන්න අය දර ටික අරන් යනවා එතකොට දරටත් නැති ලීයටත් නැති අතු ඉනි සුබල් ඉතුරු වෙනවා. අන්න ඒකට තමයි නිරත්ථංව කලිංඝරං කියලා කියන්නේ. ඕක විස්‌තර කරන්නේ අටුවාවේ.
ඒ නිසා මේ අනුව පේනවා අටුවාව හරහා තමයි ථේරවාදී සම්ප්‍රදාය තුළ කතාකරන ධර්ම කාරණාවල නියම විදිහට අර්ථකථනය දක්‌වන්නේ. මේ අර්ථකතන සම්ප්‍රදාය දන්නේ නැත්නම් මුළු ත්‍රිපිටකයම දැන ගත්තත් වැඩක් නෑ. පියවරක් පියවරක් ගාණේ හැප්පෙනවා. හරියට වනාන්තරයේ ඇවිදින අන්ධ ඇතෙක් වගේ.
Q. අතීතයේදී විවිධ සමාජ විචල්‍යයන්ට ගොදුරු වුවත් මෙතෙක් ආරක්‍ෂා වූ ථේරවාදී බෞද්ධ අනන්‍යතාව අද භික්‍ෂු සංස්‌ථාව තුළින්ම අභියෝගයට ලක්‌වී තිබෙනවා. එකක් තමයි මොග්ගලීපුත්ත තිස්‌ස හිමියන්ගේ කථාවත්ථුප්පකරණය සමගින් අභිධර්මය තෙවන ධර්ම සංගායනාවෙන් පසු එකතු වූ ශ්‍රාවක භාෂිතයක් මිස බුද්ධ භාෂිතයක් නොවේ යෑයි සලකා බැහැර කිරීම ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?
අභිධර්මය තුන් වන ධර්ම සංගායනාවෙන් පසු එකතු වූවක්‌ය කියන එක සම්පූර්ණයෙන්ම වැරැදියි. අභිධර්මය පරිපූරණ වෙන්නේ තුන්වන ධර්ම සංගායනාවේදී. ත්‍රිපිටකයේ කර්තෘවරයෙකුගේ නමට පැවැරෙන එකම කෘතිය කථාවත්ථුප්පකරණය. අනෙක් අභිධර්ම සූත්‍ර කලින් තිබුණ ඒවා. කථාවත්ථුප්පකරණයන් පරවාද සකවාද ලෙස ධර්මයට පටහැනිව ආව විවිධ දුර්මත ඛණ්‌ඩනය කිරීම උදෙසා කාලීන අවශ්‍යතාවය මත ලියවුණ කෘතියක්. මේ ගැන අටුවාචාරීන් වහන්සේලා අත්ථසාලිනියේදී පෙන්වා දෙනවා “සම්මා සම්බුද්නේව ඨපිත නියාමේන” යනුවෙන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නියමයන් භාවිත කරලා ඊට අනුකූලවයි කථාවත්ථුප්පකරණය රචනා කොට තිබෙන්නේ කියලා.
බුදු හාමුදුරුවෝ මනුස්‌ස ලෝකයේදී අභිධර්මය කාටවත් දේශනා කරලා නෑ. උන්වහන්සේ අභිධර්මය දේශනා කරන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේදී මාතෘදිව්‍ය රාජයාට. බුදුහාමුදුරුවෝ එම අභිධර්මය සැරියුත් හාමුදුරුවන්ටත් කියනවා. මනුස්‌ස ජනතාවට මේ අභිධර්මය වචන මාර්ගයෙන් අරන් යන්නේ සැරියුත් හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේක දිව්‍ය ලෝකේදී දේශනා කෙරුවයි කියන එක යම්කිසි විදිහකින් කෙනෙකුට පිළිගත නොහැකි නම් අඩු ගානේ සැරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍ය කණ්‌ඩායම මේ අභිධර්මය නිර්මාණය කරගෙන ඉස්‌සරහට අරන් ආවයි කියන එක අඩු වශයෙන් පිළිගන්න වෙනවා. මොකද අභිධර්මයේ තියෙන්නේ වැඩි හරියක්‌ම මජ්ඣිම නිකායට අයත් සූත්‍රවල හරය. මජ්ඣිම නිකාය වාචෝත් ගත ක්‍රමයට ඉදිරියට අරන් එන්න වගකීම භාර ගන්නේ සැරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍ය කණ්‌ඩායම. උන්වහන්සේලා තමයි අභිධර්මයේ ආදි කර්තෘන්ලා බවට පත් වෙන්නේ.
අත්ථසාලිනියේ අභිධර්මය හඳුන්වා දෙන්නේ “අභි විශිෂ්ඨෝ ධම්මෝ අභිධම්මෝ” ‘‘විශිෂ්ට වූ ධර්මය අභිධර්මය යනුවෙන්.’’ තව තැනක තියෙනවා ‘‘ධම්මාතිරේඛ ධම්ම විශේෂත්තේන අභිධම්මෝ" ‘‘ධර්මයට වූ අතිරේඛ විශේෂාර්ථයක් තමයි අභිධර්මය’’. එනම් ධර්මයේම වැඩීයැමක් හැටියටයි දක්‌වන්නේ. අභිධර්මයේ සමස්‌තය බුදුහාමුදුරුවන්ගේ දේශනා නෙමෙයි. මොග්ගලිපුත්ත තිස්‌ස හාමුදුරුවන්ගේ කොටසකුත් මෙහි තියෙනවා. සත්ථප්පකරණයෙන් එකක් අනිවාර්යෙන්ම තථාගත ශ්‍රාවකයකුට අයිති වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අභිධර්ම සාහිත්‍යය බුද්ධ භාෂිතය නෙමෙයි කියලා. කොහොමද බුද්ධ භාෂිතයක් වෙන්නේ බුදු හාමුදුරුවන්ගේ ධර්ම විනයට අනුගත ඒක බුද්ධ භාවිතයක් ලෙස ගන්න කියලයි කියන්නේ.
ඊළඟට මොග්ගලීපුත්ත තිස්‌ස හිමියන් කියන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ඇතුළත වැඩ වාසය කළ රහතුන්වහන්සේලා වැඩ සිටිය ඒ පරිසරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ ධර්මය හොඳින් ක්‍රියාත්මක වෙච්ච යුගයේ හිටපු රහතන්වහන්සේ නමක්. බුදු හාමුදුරුවන්ගේ දේශනා සහ ඒ දේශනාවලින් අරමුණු කරපු අදහස කුමක්‌ද කියන කාරණා අද කාලේ ඉන්න කාටත් වඩා දන්නේ උන්වහන්සේලා. එතකොට එබඳු කෙනෙක්‌ගේ කෘතියක් අවුරුදු 2600 විතර පස්‌සේ ඉන්න අපි ප්‍රතික්‍ෂේප කරන්නේ ඒ රහතුන්ටත් වඩා බුද්ධ දේශනාව ගැන දන්නා නිසාද යන ප්‍රශ්නය මතුවෙනවා.
Q. එපමණක් නොවේ මෙතෙක් ව්‍යවහාර කළ පාලි භාෂාවද බැහැර කරමින් සිංහලෙන් පරිත්‍රාන ධර්ම දේශනා පවා පවත්වනවා. ඒ පිළිබඳ ඔබවහන්සේගේ අදහස කුමක්‌ද?
පිරිත් කියන එක පාලියෙන් මිස සිංහලෙන් සුදුසු නෑ. මේ අවුරුදු දෙදහස් ගණනක ඉතිහාසය ඇතුළත අපේ මහා ධර්මධර විනයධර භික්‍ෂුන් වහන්සේලා පඬිවරු තීන්දු කළා ත්‍රිපිටකය පාලියෙන්ම පවත්වාගෙන යන්න. මොකද එසේ නොකළොත් ත්‍රිපිටකයේ අර්ථය විකෘති වන නිසා. සිංහලෙන් තේරුම් කිරීමට අර්ථගැන්වීම වෙනම දෙයක්. හැබැයි පාලිය ප්‍රතික්‍ෂ්ප කරලා සිංහලෙන්ම ත්‍රිපිටකය පවත්වාගෙන යනවයි කියන එක සම්පූර්ණයෙන්ම ධර්මයේ හරය නැසීමක්.සමහර ධර්ම කාරණා තියෙනවා පටිච්ච සමුප්පාදය වගේ. ඒකදී දීලා තියෙන අර්ථය අපට නිශ්චිතවම සිංහලට ගන්න බෑ, මොකද ඒක මහා විග්‍රහයක්. අනාත්ම වචනය ගත්තොත් ඒකට දීර්ඝ විස්‌තරයක් තියෙනවා. ඒකෙන් පමණයි මේ අනාත්ම වචනය විග්‍රහකරන්න පුළුවන්. “නිබ්බාණ” වදනයත් එහෙමයි.
මේ වගේ සමහර විශේෂ වචන සිංහලට පරිවර්තනය කරලා එහි අර්ථය ගන්න බෑ. උදාහරණයක් විදිහට “දුක්‌ඛ” කියන වචනය දුක යනුවෙන් සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් වෙනත් භාෂාවකට දාන්නත් පුළුවන්. නමුත් ඒ කිසිම වචනයක දුක්‌ඛ කියන වචනයේ ඇති අර්ථය නෑ “දු” කියන අකුරේ තියෙනවා පීඩාව කියන අර්ථය “ඛ” අකුරේ තිබෙනවා හිස්‌බව කියන අර්ථය හිස්‌වෙන්නේ මොනවද සැපදායක දේවල්, පීඩාකාරී වෙන්නේ මොනවද අකැමැති දේවල් එතකොට මේ ඔක්‌කොම දුක්‌ඛ කියන වචනයෙහි අඩංගුයි.
අනිත් කාරණය බුදු හාමුදුරුවන්ගේ දේශනාවේ අර්ථය විතරක් නොවේ වසර දහස්‌ගාණක් තිස්‌සේ ආශිර්වාදයත් කැටිවෙලා තියෙනවා. ඒක පාලියෙන් කියලා මිසක් පාලිය පරිවර්තනය කරලා කිව්වට එන්නේ නෑ. අනික පාලියේ තියෙන ධ්වනි ශක්‌තියත් වෙන භාෂාවකින් එන්නේ නෑ. ඒ නිසයි මහා තෙරවරු ඉතිහාසයේ සිටම සම්ප්‍රදාය පවත්වාගෙන එන්නේ.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2016 ජුනි 16 දිවයින
ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි
සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2002 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් පාලිභාෂාව සඳහා මූලික උපාධියත් (බී. ඒ. ගෞරව) පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම බෞද්ධ අධ්‍යයන (M.A. 2004) සහ පාලි භාෂාව විෂය කොටගෙන (Mphil2006) පශ්චාත් උපාධි දෙකක් දිනාගත් පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ 2010 දී දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (Phd) දිනා ගත්හ. ප්‍රකට ධර්මදේශකයකු වන උන්වහන්සේ දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරයි. මහින්දාගමනයෙන් පසු ඇති වූ ලාංකික සංස්‌කෘතික ප්‍රබෝධය නිමිති කොටගෙන මේ උන්වහන්සේ සමඟ වටමඬල කළ සංවාදයේ සංක්‍ෂිප්ත සටහනයි
මූලාශ්‍ර:
https://www.facebook.com/photo/?fbid=1093677860703607&set=a.397666393638094