ස්වභාවයෙන්ම ගම්භීරාර්ථවත් නිසාත් සියුම් නුවණින්ම දතයුතු නිසාත් අතීතයේ පටන්ම අභිධර්මය පිළිබඳව විවිධ මතිමතාන්තර ඇතිවූ බවක් දක්නට ලැබේ. ඒ නිසාමදෝ නූතනය තුළද අභිධර්මය පිළිබඳව ඉස්මතු කරන ඇතැම් වාගාලාපන්ට පිළිතුරු දියයුතුමය. පැරණි ථේරීය සම්ප්‍රදාය ගරුකල උතුමන් මිථ්‍යා මත විදාරණය කොට සම්‍යක් දෘෂ්ඨිය විධාරණය කල නමුදු නැවැත නැවත විමසනා ගැටළු හමුවේ නව්‍යයන් සුරැකිනු වස් නැවත නැවත් පිළිතුරු දිය යුතුමය.
නූතනය තුළද ධර්ම වේශයෙන් අභිධර්මය පිළිනොගන්නා සම්ප්‍රදායක් බිහි වෙමින් පැවැතීම කනගාටුවට කරුණකි. එය ධර්මකාමීන් අතින්ම වනු දැකීම එයටත් වඩා සංවේගයක් ජනිත කරයි. ඒ නිසාම නූතනය තුළ අභිධර්මය ගැන විමසන ප්‍රශ්න කීපයකට පිළිතුරු සැපයිය යුතුමය.
- අභිධර්මය දේශනා කලේ දෙවියන්ටද?
අභිධර්මය දේශනා කලේ දෙවියන්ට බවත් එය මිනිසුන්ට වැදගත් නොවන බවත් ඇතැමෙකු ප්‍රකාශ කරයි. දෙවියන්ට දේශනා කල ධර්මය සැබවින්ම මිනිසුන්ට අයත් නැතිද? දෙවියන්ද මිනිසුන් මෙන්ම කාමය අනුව යන රූපය අනුව සැපදුක විඳින පිරිසකි. එසේ නම් කෙලෙස් මට්ටම අනුව නම් දෙවියන්ටද මිනිසුන්ටද එකම ධර්ම කොට්ඨාසයක් අදාල වේ. එනම් රූපය පිරිසිඳ දකින්න අවැසි දර්ශනයයි. දෙවියනට දේශනා කල ධර්ම කොටස් මිනිසුන්ට අවශ්‍ය නොවන බවට යමෙක් තර්ක කෙරේ නම් එය ඉතා ලාමකවූත් අමනෝඥ වූත් තර්කයකි. හේතුව ඔවුන්ගේ තර්කය අනුව මහා මංගල සූත්‍රය පවා දෙවියන් උදෙසා දේශනා කොට ඇති අතර එය මිනිසුන්ට අදාල නොවනු ඇත. සංයුක්ත නිකායාගත දේවතා සංයුක්තයත් දේවපුත්ත සංයුක්තයත් ත්‍රිපිටකයෙන් ඉවත් කරන්නට සිදුවන්නේ ඒවාද දෙවියනට කල දේශනා නිසාය. සක්‍රයා සමග කල සාකච්ඡා පවා ඉවත්කරන්නට සිදුවනු ඇත. ඒ අනුව ගත් කල දෙවියනට දේශිත ධර්මය මිනිසුන්ට අදාල නොවේයැයි සිතන්නෝ අභිධර්මයේ පමණක් නොව ධර්මයේ බොහෝ කොටස් පවා මිනිසුන්ගෙන් ඈත්කොට තබන්නෝම වෙති. ඔවුන් ධර්මඝාතකයින් මිස ධර්ම දීපකයින් නම් නොවේමය.
- පළමු සංගායනාවෙන් අභිධර්මය කිසිවෙකුට බාර නොකලේ අභිධර්මය එකල භාවිතයේ නොතිබුන නිසාද?
අභිධර්මය පමණක් නොව ඛුද්දක නිකායම කිසිම භාණක සම්ප්‍රදායක් වෙත නොපැවරූහ. තම ධර්ම කාරණා සනාථ කිරීමට සුත්ත නිපාතය භාවිතා කරන ඇතමුන්ට සුත්ත නිපාතය පවා භාණක සම්ප්‍රදායකට බාර නොවූ ඛුද්දක නිකායට ඇතුළත් බව අමතකව ගොස් ඇත. අභිධර්මය භාණක සම්ප්‍රදායකට බාර නොවූයේ ඒ වන විටත් අභිධර්මය සැරියුත් තෙරුන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස විසින් ධාරණය කොට සිටි නිසාමය. ඛුද්දක නිකායාගත අට්ඨක වග්ගය හා පාරයන වග්ගයද ඇතැම් ප්‍රධාන දහම් පරියායන්ද එලෙස පළමු සංගීතියට පෙරම භාවිතයේ පැවතුනි. අභිධර්මයද එලෙසම භාවිතයේ පැවති බවට සාධක කොතෙකුත් සූත්‍ර හා විනය පිටකයන් තුළින්ම දැක්විය හැකිය.
පඨම නාථකරණ ධම්ම සූත්‍රය
https://pitaka.lk/main?n=35117
“පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි, භික්ඛවෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො, අයම්පි ධම්මො නාථකරණො.”
“මහණෙනි, නැවතද මහණතෙම ධර්මයට ප්‍රිය කරන්නේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්මයෙහි හා ඛන්‍දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේ වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම ධර්මයට ප්‍රිය කරන්නේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්මයෙහි හා ඛන්‍දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේ වේ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේය."
මහා ගොසිංග සූත්‍රය
https://pitaka.lk/main?n=18132
“එවං වුත්තෙ, ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච - ‘‘බ්‍යාකතං ඛො, ආවුසො මොග්ගල්ලාන, ආයස්මතා මහාකස්සපෙන යථාසකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුච්ඡාම - ‘රමණීයං, ආවුසො මොග්ගල්ලාන, ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බඵාලිඵුල්ලා සාලා, දිබ්බා, මඤ්ඤෙ, ගන්ධා සම්පවන්ති; කථංරූපෙන, ආවුසො මොග්ගල්ලාන, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්‍යා’’’ති? ‘‘ඉධාවුසො සාරිපුත්ත, ද්වෙ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති, තෙ අඤ්ඤමඤ්ඤං පඤ්හං පුච්ඡන්ති, අඤ්ඤමඤ්ඤස්ස පඤ්හං පුට්ඨා විස්සජ්ජෙන්ති, නො ච සංසාදෙන්ති (සංසාරෙන්ති (ක.)), ධම්මී ච නෙසං කථා පවත්තිනී හොති. එවරූපෙන ඛො, ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්‍යා’’ති.”
“මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ:- “ඇවැත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයෙනි, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් විචාරමු. ඇවැත් මෞද්ගල්‍යායනයෙහි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස්මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේ දැ”යි (විචාළහ.) “ඇවැත් ශාරීපුත්‍රස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂූන් දෙනමක් අභිධර්ම කථා පවත්වත්ද, ඔවුහු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්ද, ඔවුනොවුන් විසින් අසන ලද ප්‍රශ්න විසඳත්ද, කරුණු යටපත් නොකරත්ද, ඔවුන් අතර දැහැමි කථාව පවත්නී වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණකොටගෙන ගොසිංගසාල වනය හොබනේය’යි (කීහ.)”
කින්ති සූත්‍රය
https://pitaka.lk/main?n=20103
“තස්මාතිහ, භික්ඛවෙ, යෙ වො මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා, සෙය්‍යථිදං - චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්‍රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො, තත්ථ සබ්බෙහෙව සමග්ගෙහි සම්මොදමානෙහි අවිවදමානෙහි සික්ඛිතබ්බං. තෙසඤ්ච වො, භික්ඛවෙ, සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං සියුං. ද්වෙ භික්ඛූ අභිධම්මෙ නානාවාදා. තත්‍ර චෙ තුම්හාකං එවමස්ස - ‘ඉමෙසං ඛො ආයස්මන්තානං අත්ථතො චෙව නානං බ්‍යඤ්ජනතො ච නාන’න්ති, තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො - ‘ආයස්මන්තානං ඛො අත්ථතො චෙව නානං, බ්‍යඤ්ජනතො ච නානං. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ - යථා අත්ථතො චෙව නානං, බ්‍යඤ්ජනතො ච නානං. මායස්මන්තො විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරෙසං එකතොපක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්‍යාථ සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො - ‘ආයස්මන්තානං ඛො අත්ථතො චෙව නානං, බ්‍යඤ්ජනතො ච නානං. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ - යථා අත්ථතො චෙව නානං, බ්‍යඤ්ජනතො ච නානං. මායස්මන්තො විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙතබ්බං, සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙතබ්බං. දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙත්වා (ඉති දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙතබ්බං, දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙත්වා (සී. ස්‍යා. කං. පී.) අනන්තරවාරත්තයෙ පන ඉදං පාඨනානත්තං නත්ථි) යො ධම්මො යො විනයො සො භාසිතබ්බො.”
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරණ ලද්දාහුදත එනම්, සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධි පාදයෝය, පඤ්චෙන්ද්‍රියෝය, පඤ්චබලයෝය, සප්ත බෞද්ධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය යන මොහුයි. එහි සියල්ලන් විසින්ම සමගිව සතුටුව විවාද නොකරමින් හික්මිය යුතුයි.
“මහණෙනි, සමගිව සතුටුව විවාද නොකරමින් හික්මෙන්නාවූ ඒ තොප අතුරෙන් අභිධර්මයෙහි වෙනස් වාද ඇති භික්ෂූහු දෙදෙනෙක් වන්නාහුද, එහි ඉදින් තොපට ‘මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන්ද වෙනස්ය, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්යයි, මෙසේ අදහස් වන්නේ, නම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද? ඔහු වෙත පැමිණ ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත් වරුන්ගේ කීම යම්සේ අර්ථ වශයෙන්ද, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත් වායි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙහි වූ භික්ෂූන් ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුදත ඔහු වෙත පැමිණ ‘ආයුෂ්මතුන්ගේ කීම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත්හු ආයුෂ්මත්වරුන්
ගේ කීම යම්සේ අර්ථ වශයෙනුත් වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙනුත් වෙනස්ද එසේ දැනගනිව්. ආයුෂ්මත්හු විවාද නොකෙරෙත්වායි කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්වා ලද්ද වරදවා ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද, වරදවා ගන්නා ලද්දක් වශයෙන් දරා යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුත්තේය.”
චිත්තහත්‍ථි සාරීපුත්ත සූත්‍රය
https://pitaka.lk/main?n=31156
“එවං මෙ සුතං - එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා ථෙරා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා මණ්ඩලමාළෙ සන්නිසින්නා සන්නිපතිතා අභිධම්මකථං කථෙන්ති. තත්‍ර සුදං ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඔපාතෙති. අථ ඛො ආයස්මා මහාකොට්ඨිකො ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං එතදවොච - ‘‘මායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඔපාතෙසි, යාව කථාපරියොසානං ආයස්මා චිත්තො ආගමෙතූ’’ති. එවං වුත්තෙ ආයස්මතො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං මහාකොට්ඨිකං එතදවොචුං”
“මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මෘගයන්ට අභය දුන් ඉසිපතනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි බොහෝ ස්ථවිර භික්‍ෂුහු සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනාහු, කවාකාර මලුවෙහි රැස්වූවාහු අභිධර්ම කථා කියමින් හුන්නාහුය. එකල්හි වනාහි, හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ අභිධර්ම කථා කරණ ස්ථවිර භික්‍ෂූන් අතර අතුරු කථා පටන් ගනියි.
“ඉක්බිති ආයුෂමත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේ, හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රට, “හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රයෙනි, අභිධර්‍ම කථා කියන ස්ථවිර භික්‍ෂූන් අතර අතුරු කථා නොකරව. ආයුෂ්මත් චිත්‍ර තෙමේ කථාව අවසානය දක්වා ප්‍රමාදවන සේක්වා” යි කීයේය. මෙසේ කී කල්හි හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රගේ යහළු භික්‍ෂූහු, ආයුෂ්මත් මහා කොට්ඨිතට, “ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්ස, හස්තිසාරි පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙරුන් පිට නොකරව. හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ පණ්ඩිතය. හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ ස්ථවිර භික්‍ෂූන්ට අභිධර්‍ම කථා කීමට සමර්ත්‍ථය” යි කීවාහුය.”
තතිය අනාගත භය සූත්‍රය
https://pitaka.lk/main?n=30179
‘‘පුන චපරං, භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අභිධම්මකථං වෙදල්ලකථං කථෙන්තා කණ්හධම්මං ඔක්කමමානා න බුජ්ඣිස්සන්ති. ඉති ඛො, භික්ඛවෙ, ධම්මසන්දොසා විනයසන්දොසො; විනයසන්දොසා ධම්මසන්දොසො. ඉදං, භික්ඛවෙ, තතියං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං; පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං."
“නොවඩන ලද කය ඇත්තාවූම, නොවඩන ලද සිල් ඇත්තාවූම, නොවඩන ලද සිත් ඇත්තාවූම, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූම, ඒ භික්‍ෂූහු අන්‍යයන් උපසම්පදා කරන්නාහුය. ඔවුන් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥායෙහිද හික්මවන්ට නොහැකි වන්නාහුය. අභිධර්‍ම කථාව, තුෂ්ටි බහුලකොට ඇති කථාව කියන්නාහු, ලාමකවූ ධර්‍මයට බැසගන්නාහු, දැනනොගන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි ධර්මය දූෂ්‍ය කිරීමෙන්, විනය දූෂ්‍ය කිරීම වේ. විනය දූෂ්‍ය කිරීමෙන් ධර්මය දූෂ්‍ය කිරීම වේ. මහණෙනි, මේ තුන්වන අනාගත භය මෙකල්හි නූපන්නේ, මත්තෙහි උපදින්නේය. එය තොප විසින් දැණගත යුතුයි. දැනගෙණද එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි."
ඛෙමාපදානය
https://pitaka.lk/main?n=47258
“කුසලාහං විසුද්ධීසු, කථාවත්ථුවිසාරදා; අභිධම්මනයඤ්ඤූ ච, වසිප්පත්තාම්හි සාසනෙ.”
“මම විසුද්‍ධීන්හි දක්‍ෂවූවා, දස කථාවස්තුවෙහි විශාරදවූවා, අභිධර්ම නය දන්නී, සසුනෙහි වශීබවට පැමිණියා වෙමි."
ඒ අනුව අභිධර්ම පිටකය බුදුරජාණන්වහන්සේ ධරමාණ සමයෙහිම ප්‍රදීප්තව පැවති බව පෙනේ. යම් භික්ෂුවක් අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නේ නම් උන්වහන්සේ විනයත් සූත්‍රයත් ප්‍රතික්ෂේප කරන බවට වෙනත් සාදක අනවශ්‍යය. කොටින්ම විතණ්ඩවාදී ඔහුට ඔහුගේ පැවිදි විනයවත් ඇතිද යන්න සැක සහිතමය. යම් සාසන නාශක ගිහියෙක් අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නේ නම් එහිලා ඔහුට මනාවූ තිසරණයවත් නැත.
- ආනන්ද තෙරුන් වහන්සේගෙන් අභිධර්මය පළමු සංගීතියේ විමසුවේ නැතිද?
ඇතැම් සූත්‍ර දේශනා බුදුරජාණන්වහන්සේගේ භාෂිත නොව ශ්‍රාවක භාෂිතය. ඒ සූත්‍ර අතර ආනන්ද තෙරුන් වහන්සේ හා සම්බන්ද වීමක් දක්නට නොලැබේ. නමුත් ඒ සූත්‍ර සංගීත්‍යාරූළ්හව දක්නට ලැබෙයි. ඒ අනුව අභිධර්මයද ආනන්ද තෙරුන්ගේ සම්බන්දයක් නොවුනද සංගීත්‍යාරූළ්හියට අවකාශයක් නොලැබුවේයැයි කිව නොහැකිය. පන්සියයක් මහරහතන් වහන්සේලාම සංගීතිය සඳහා සම්බන්ද වූයේම එහි දළ්හීකරණය සඳහායි. ආනන්ද තෙරුන් වහන්සේ නොසිටි තැනෙක වූ සාකච්ඡා පවා සංගීතියට නැගුනේ එය පරිපූර්ණ ලෙස සංගායනාවේදී පවා සාකච්ඡා වූ නිසාමය. එය එසේ නොවේ යැයි යමෙක් කියන්නේ නම් ආනන්ද තෙරුන් වහන්සේ හෝ බුදුරජාණන්වහන්සේ සම්බන්ද නොවූ සාකච්ඡා ත්‍රිපිටකයට ඇතුළත් බොහෝ සූත්‍ර ඔහුට ත්‍රිපිටකයෙන් ඉවත් කරන්නට සිදුවනු ඇත. විතණ්ඩවාදී අශ්‍රමණයෙකුට හො දුශ්ප්‍රාඥ ගිහියෙකුට හැර ථේරවාදය ගරු කරනා පැවිද්දෙකුට නම් එසේ ස්වමතාර්ථ සාධනය පිණිස සූත්‍ර හෝ අභිධර්මය බැහැර කල නොහැකි වනු ඇත. ඒ අනුව එම බොහො සූත්‍ර මෙන්ම බුදුරජාණන්වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේට දේශනා කල අභිධර්මයද සංගීත වූ බවම දත යුතුය.
- අභිධර්මය කියා සූත්‍රයන්හි දක්නට ඇත්තේ අභිධර්ම පිටකය නොවේද?
සූත්‍ර හා විනය පිටකය තුළ අභිධම්ම යන යෙදුම භාවිතව ඇති තැන් ඉහත උදෘත කලෙමි. තව බොහෝ තැන්වල අභිධම්ම යන්න යෙදී ඇතැත් අභිධම්ම හා අභිවිනය යන යෙදුම් දෙකම ඇති නිසා ඒ තැන් එකක් හැර බොහෝ උදෘත නොකලෙමි. අභිධම්ම යන්න පමණක් යෙදී ඇති බොහෝ තැන් ඉහත දක්වා ඇත.
ත්‍රිපිටක මූලාශ්‍ර භාවිතයේදී අභිවිනය හා අභිධම්ම යන යෙදුම් දෙකම ඇතැම් තැනෙක යෙදී ඇත. අභිවිනය යනු ඛන්ධක හා පරිවාරයන් බව ථේරවාද සම්බහුල සම්භාවිත මතයයි. එහිදී සියුම් හා ප්‍රභේද ගත විනය විග්‍රහයන් දක්වයි. අභිධම්ම යන්නෙන් සියුම් ලෙස දැක්වෙන ධර්මකරුණු හෙවත් ධර්මතා වශයෙන් සංගෘහිත කොටස අදහස් කෙරෙයි. එය ධම්ම විනය යන සාමාන්‍ය බෙදීමට වඩා විශේෂ කොට දැක්වූයේම ඒ නිසාමයි. නමුත් ස්වදෘෂ්ඨොත්කංසකයන් විසින් එහි සුවිශේෂ අර්ථය බැහැරකොට සාමාන්‍යය අර්ථයටම අභිධම්ම හා අභිවිනයත් දමාලයි. ඔවුනට අනුව අභිධම්ම අභිවිනයත් ධම්මවිනයත් යන යෙදුම් දෙකම එකය. අභිවිනය නැතිව අභිධම්ම යන්න සූත්‍ර හා විනය පිටකයේ යෙදී ඇති තැන් ඔවුන්ට නොපෙනීමත් එක් අතකට හරිම පුදුමාකරය.
- අභිධර්මය නැතිව නිවන් දැකිය නොහැකිද?
ඇත්තෙන්ම අභිධර්මය නැතිව නිවන් දැකිය නොහැකිය. ඉන් අදහස් කරනුයේ අභිධර්මය කටපාඩම් කර නිවන් දකින විදියක් නොව ඒ ධර්මතා පිළිබඳ අවබෝධයකින් තොරව නිවන් දැකිය නොහැකි බවය. සූත්‍රය තුළ ලැබෙන අවබෝධයත් අභිධර්මය තුළ ලැබෙන අවබොධයත් එකම අවබෝධයකි. සම්මුති සිදුවීම් හා අනුකූලව පවත්නා සූත්‍රය, ධර්මතා ලෙස විග්‍රහ වන අභිධර්මයට කිසිම ලෙසක පරස්පර නොවේ. ඒ න්‍යාය දෙක තුළම සාකච්ඡා කෙරෙන්නේ එකම ධර්මතා පිළිබඳවමය. යමෙක් නිවන් දකින්න අභිධර්මය අනවශ්‍යයැයි කියන්නේ නම් සූත්‍රයද නිවනට අවශ්‍ය නොවන බවටද ඔවුන්ගේ තර්ක න්‍යාය මත පිහිටාම තර්ක කල හැකිය. බුදුරජාණන්වහන්සේ අතලොස්සක් පරියායන්ට හැර සූත්‍ර ලෙස වෙනම නාම සහිත දේශනා නොකලහ. එකල සිටි උතුමෝ ධර්මාවබෝධය කලෝනම් සූත්‍ර අසා නොවේමය. ඒ ඒ අයට නිවන් දකින්නට දෙසූ ධර්මය පසුව සූත්‍ර ලෙස සංග්‍රහ විය. එසේ නම් නිවන් දකින්නට නොයෙක් සූත්‍රද අනවශ්‍ය අතර එකම කරුණක් පමණක් සෑහේ යැයිද ඊනියා බුද්ධිමතෙකුට තර්ක කල හැකිය. නමුත් ලොව චරිත නානත්වය හා ඉන්ද්‍රිය නානත්වය ගැන යම්ම අදහස් මාත්‍රයක් හෝ පවත්නේ නම් එලෙස විකාර රූපී අදහසක් කෙනෙක් නොදරනු ඇත. කෙනෙකුට අභිධර්මය තුළ ධර්මය අවබෝධ කල හැකිවාක් මෙන්ම සූත්‍රය තුළද කෙනෙකුට ධර්මය අවබොධ කල හැකිය. නමුත් එ දෙතැනම ඇත්තේ එකම ස්ඛන්ධ ධාතු ආයතන ගැන අදබෝධය මිස දෙකක් නොවේ. එසේනම් ධර්මාවබෝධය යන්නට අභිධර්මයත් ධර්මයත් යන දෙකම අදාලමය.
- අභිධම්ම යනු අභිධම්ම පිටකයද?
පිටක යන වචනය බුද්ධසාසනයට පමණක් ආවේණික වූවචනයක් ලෙසම භාවිත නොවීය. එකල පැස සමූහය ගොච්ඡකය ආදී අර්ථයක එක භාවිත වූ අතරම යම් එකතුවක් ඉන් ගම්‍ය විය. “මා පිටක සම්පදාය” යනුවෙන් කාලාම සූත්‍රය තුළ පවා දැක්වෙන්නෙ යම් එකතුවක තිබූ පමණින් එය පිළිනොගන්නා ලෙස කල දැක්වීමකි. එය එකල භාවිතව පැවති “සංහිතා” යන්නට සමගාමීව යෙදුන පර්‍යාය වචනයකි. කිසිම අවස්ථාවක බුදුරජාණන්වහන්සේ ධරමාණ සමයේ පිටක ලෙස ධර්ම සංග්‍රහ දක්නට නොතිබිනි. එකල සූත්‍ර හෝ විනය හෝ පිටක ලෙස භාවිත නොවීය. ඒ නිසා බුද්ධදේශනාව ඇතුළත අභිධම්ම පිටක යන්න සෙවිය යුතු නොවේ. එලෙස පිටක යන්න නැති නිසා අභිධම්ම පිළි නොගන්නේ නම් ඔවුන්ට සූත්‍රයද විනයද ප්‍රතික්ෂේප කරන්නට වේ. මක් නිසාද යත් ඒ දෙකද පිටක ලෙස කිසිම තැනෙක දේශනාවක් ඇතුළත දක්වා නැති බැවිනි.
“අභිධම්ම” යන්න තරමටවත් “සුත්ත” යන්න වචනයක් ලෙස දේශනාභ්‍යන්තරයේ දක්වා නැත.
අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නන් බුද්ධවචනය වනසන අයුරු.
අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නෝ බහුල ලෙස ඒ මුග්ධ තර්කණය තුළ තවත් බොහෝ බුද්ධවචන ප්‍රතික්ෂේප කරති.
අභිධර්මය දෙවියන්ට දේශනා කල දෙයක් අපට අවශ්‍ය නැතැයි කීමෙන් දෙවියන් සඳහා කල මංගල සූත්‍රය දේවතා සංයුක්තය දේවපුත්ත සංයුක්තයද ප්‍රතික්ෂේප කරයි.
අභිධර්මය ආනන්ද තෙරුන් දැන නොසිටියේ යැයි කීමෙන් ආනන්ද තෙරුන් වහන්සේ හා බුදුරජාණන්වහන්සේ සම්බන්ද නොවන බොහෝ සූත්‍ර ප්‍රතික්ෂේප කරයි. එසේම ශ්‍රාවක භාෂිත වන චුල්ල නිද්දේස, මහා නිද්දේස, පේඨකෝපදේසය, නෙත්තිප්පකරණය, පටිසම්භිදාව පවා ප්‍රතික්ෂේප කරයි.
පළමු සංගීතියේ කිසිම සිශ්‍යානුසිශ්‍ය පරම්පරාවකට බාර නොදුන් නිසා අභිධර්මය පිලි නොගන්නේ නම් ඔවුහු පොදුවේ සියලු ඛුද්දක නිකායම ප්‍රතික්ෂේප කරති.
සුත්තන්ත අභිධම්ම යන යෙදීම් ඇති තැන් පිලි නොගන්නේ නම් ඔවුන් පාචිත්‍යපාලිය හා පරිවාර පාලිය හෙවත් භික්ෂු විනයත් නොපිලි ගනී.
යම් යම්ම තර්කයක් අභිධර්මය ප්‍රතික්ෂේප කිරීමට ගෙන එයි නම් එමගින් ත්‍රිපිටකයට අයත් තවත් ධර්ම කොට්ඨාසයක් හායනයට ලක් වෙයි. සංගායනා තුනකින් සුසංගීතවත් ත්‍රිපිටකය මුලින් දෙපිටකයක් බවට පත්කොට පසුව ඔවුන් ඒ දෙපිටකයෙන්ද කෑලි ගලවා දමනු ඇත. මෙය පද පෙරලා කරන විකෘතිකයට වඩා භයානකය. ඒ නිසාම මේ ගැන යම් කතිකාවතක් ගොඩ නැගිය යුතුමය.
තෙරුවන් සරණයි.