බුද්ධි වර්ධනයට හා මානසික අස්වැසිල්ලට අභිධර්ම පිටකය

කතෘ - උඩුහාවර ආනන්ද හිමි

මූලාශ්‍රය - budusarana.lk වෙබ් අඩවිය

අභි සහ ධම්ම යන පද දෙක එකතු කිරීමෙන් අභිධම්ම හෙවත් අභිධර්ම යන වචනය නිර්මාණය වී තිබේ. ඒ අනුව ධම්ම යන්නට පසුව අභිධම්ම යන්න සැකසී ඇති බව පැහැදිලි ය. අටුවාචාර්ය බුද්ධඝෝස හිමියන්ගේ නිර්වචනය අනුව ධම්ම යන්නට අභි යන උපසර්ග පදය මුලින් යෙදුවිට අභිධර්ම යන්නෙන් අතිරේක ධර්මය විශේෂ ධර්මය යන අර්ථය නිර්මාණය වේ.

ධර්මය විශ්ලේෂණය කිරීම සඳහා අභිධර්ම පිටකයේ අන්තර්ගත ක්‍රමවේදය අභිධර්ම නය(න්‍යය්‍යාය) යනුවෙන් හැඳීන්වේ. එය සූත්‍ර පිටකයේ අන්තර්ගත ක්‍රමවේදයට වඩා වෙනස් වේ. අභිධර්ම ග්‍රන්ථවල මූලික වශයෙන් විස්තර කෙරෙන්නේ චිත්ත චේතසික රූප නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් ය. එබැවින් එය පරමාර්ථ දේශනා යනුවෙන් හඳුන්වා තිබේ(පරමත්ථදේශනා). සෙසු පිටක දෙකට වඩා අභිධර්ම පිටක හැදෑරීම එතරම් පහසු කටයුත්තක් නොවන්නේ එහි අන්තර්ගත ධර්ම විශ්ලේෂණ ක්‍රමවේදයේ පවතින සංකීර්ණතාවයි.

එසේ වුවත් සෙසු පිටක දෙක හා සම්බන්ධයෙන් බෞද්ධයන් අතර පවතින ගෞරවය හා භක්තිය අභිධර්ම පිටකය සම්බන්ධයෙන් ද එසේම නොවෙනස් ව පවතී. ග්‍රන්ථධුරය හා විදර්ශනාධුරය යනුවෙන් ලංකාවේ ථෙරවාද සම්ප්‍රදාය තුළ ඇති වූ භේදයෙන් පසුව අභිධර්මය හදාරණ හා උගන්වන ආචාර්යවරයාට සෙසු පිටක දෙක උගන්වන ගුරුවරයාට වඩා වැඩි වැටුපක් ගෙවන ලෙස අණකළ බව සිව්වන මිහිඳු රජුගේ පුවරු ලිපියකින් ද අනාවරණය වේ. ඒ අනුව විනය පිටකය උගන්වන ගුරුවරයාට කොටස් පහක්ද, සූත්‍ර පිටකය උගන්වන ගුරුවරයාට කොටස් හතක්ද අභිධර්මය උගන්වන ගුරුවරයාට කොටස් දොළොසක්ද ගෙවන ලෙස නියමකොට තිබේ. මේ නිදසුනෙන් පැහැදිලි වන්නේ බුද්ධිවර්ධනය මූලික කරගත් අභිධර්මය ඉගෙනීම මෙන්ම ඉගැන්වීම විශේෂ කාර්යයක් ලෙස අතීතයේ සිටම පිළිගෙන ඇති බවයි. අභිධර්ම පිටකයේ අන්තර්ගතය සාකල්‍යයෙන්ම මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත හෙයින් බොහෝ දෙනෙකුට එය දුරවබෝධය.

මුළු ලිපිය මෙතනින් කියවන්න