“අභිධර්මයේ මූලික කරුණු” නමැති මේ පොත අප විසින් සම්පාදනය කරන ලද්දේ මෙයින් ම අභිධර්මය උගෙනීමට නොවේ. පරමාර්ථධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් පොතපත කියවීමෙන් හා ගුරුන් ගෙන් ඇසීමෙන් ද ඒ ධර්මය උගන්නා තැනැත්තන්ට නොයෙක් විට වැරදි හැඟීම් ඇති වෙයි. වැරදි හැඟීම් ඇතිවීම යයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමය. මෙකල අභිධර්මය උගෙන ගෙන සිටින අය අතර ද බොහෝ දෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් කරගෙන සිටින බව ඔවුන්ගේ කථා වලින් ද ඇතැම් ලියවිලි වලින් ද අපට පෙනිණ. අපට මේ පොත ලිවීමේ අදහස පහළ වූයේ ද එහෙයිනි. වැරදි හැඟීම් ඇති වීමේ ප්‍රධාන හේතුව වචනවල අවුලය. දැන් තිබෙන පරමාර්ථ ධර්ම දක්වන පොත් සියල්ල ම වාගේ සම්පාදනය වී තිබෙන්නේ වචන ප්‍රධාන කර ගෙනය. වචනය විග්‍රහ කොට වචනයට අනුව ම ධර්මය තේරුම් කරන්නට ඒ ගත් කරුවන් උත්සාහ කර තිබේ. විග්‍රහ කොට වචනය වර්ණනා කිරීම් වශයෙන් කරන ධර්ම විවරණයෙන් ඒ ඒ ධර්මය තේරුම් ගැනීම අපහසුය. ධර්ම උගනුවන්ට වැරදි හැඟීම් ඇති වීමට වචන වර්ණනා කිරීම් වශයෙන් ධර්මය දැක්වීම ද එක් හේතුවකි. එබැවින් අප විසින් ඒ ක්‍රමය නොගෙන ධර්මය ම ප්‍රධාන කර ගෙන ධර්මය විවරණය කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. අභිධර්මය උගන්නකුට වඩාම පිරිසිදු දැනුමක් වුවමනා වන්නේ අභිධර්මයේ මෞලික කරුණු ගැනය. එබැවින් ඒ කරුණු ගැන දැනුම පිරිසිදු කර ගැනීමට උපකාර වීමේ අදහසින් ශක්ති පමණින් මේ පොත සම්පාදනය කරන ලදී.
මෙතනින් කියවන්න - https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/index.html