අභිධර්ම දේශනය ප්‍රතිබාහනය කරන සෑම දෙනෙකුගේම පාහේ දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන් වෙත පිරිසිදු භාවනා මාර්ගයක් විද්‍යාමාන නොවීමයි. භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් ගෙන එය සජ්ඣායනය කිරීමෙන් හෝ එහි එන ධර්ම කොටස් මතුපිටින් හඳුනාගෙන මෙනෙහි කිරීමෙන් තමන් විදර්ශනා භාවනාවක් කරනවා යැයි ශ්‍රාවකයන් ද මුලා කිරීම දැකිය හැකි වේ.
එහෙත් ක්‍රමානුකූලව වැඩෙන භාවනා මාර්ගයක් බුද්ධ කාලයේ පටන්ම ථෙරවාදීන් සතු විය. භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සූත්‍ර දේශනයන්හි සහ අභිධර්ම පිටකයේ දේශනා කර වදාළ බෞද්ධ භාවනා මාර්ගය භදන්තාචරිය බුද්ධඝෝෂ ඇදුරුපාණෝ විශුද්ධිමාර්ගයේ දී හෙළිදරවු කළ අතර එය ප්‍රායෝගිකව භාවිතා කරන භාවනා මධ්‍යස්ථාන වර්තමානයේ ලක්දිව මෙන්ම බුරුමය, තායිලන්තය ආදී රටවල ද ඇත්තේය. ඒ අතර විශුද්ධිමාර්ගය පදනම් කරගත් සමථ පූර්වාංගම භාවනා මාර්ගයක් ලෙස බුරුමයේ පා-අවුක් භාවනා ක්‍රමය හඳුනාගත හැකි වේ.
එසේම ශුෂ්ක විදර්ශක භාවනා මාර්ගයක් ලෙස මහා සී භාවනා ක්‍රමය දැක්විය හැකි වේ. මෙම සෑම භාවනා මාර්ගයක්ම නිවන දක්වා පිරිසිදුව, පැහැදිලිව සඳහන්ව ඇති අතර ඒ සෑම පියවරක්ම ත්‍රිපිටක දේශනා සමඟ මැනවින් ගලපා ග්‍රන්ථාගතව ඇත්තේය. ඒවා පරිශීලනය කිරීමෙන් විදර්ශනා භාවනාව සඳහා අභිධර්මයේ ඇති සප්‍රයෝජනත්වය ප්‍රකට වේ.
කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් රථ විනීත සූත්‍රයේ සඳහන් වන සප්ත විශුද්ධි ක්‍රමයට නිර්වාණය දක්වා භාවනා මාර්ගය පැහැදිලි කිරීමේ දී සමථ පූර්වාංගම යෝගාවචරයා දිට්ඨි විශුද්ධිය පහළ කරගැනීම උදෙසා නාම රූප ධර්මයන් එකිනෙක පිරිසිඳ දැකිය යුතු වේ. එහිදී ආයතන වශයෙන් හෝ දෙතිස් කුණප වශයෙන් හෝ සමස්ථ කය පුරාවට සියලු නාම රූප ධර්ම වෙන්කොට හඳුනාගත යුතු වේ.
උදාහරණයක් ලෙස චක්ඛායතනයේ රූප හඳුනා ගැනීම සඳහා එහි ඇති රූප කලාප පිළිබඳ අවබෝධය වැදගත් වේ. එහිලා හටගන්නා නාමධර්ම හඳුනාගැනීම සඳහා චක්ඛුවිඤ්ඤාණය සහ ඒ සම්ප්‍රයුක්ත චෛතසික පිළිබඳ අවබෝධය උපකාර වේ. මෙසේ සෙසු ආයතන සම්බන්ධව ද රූප ධර්ම සහ නාම ධර්ම සම්මර්ශනය කළයුතු වේ. මෙසේ රූප කලාප හෝ නාම ධර්ම හඳුනාගැනීම කළ නොහැකි යැයි ඇතැම් දේශකයන් වහන්සේ නමක් පැවසිය හැකි වේ. එහෙත් ක්‍රමානුකූලව භාවනා මාර්ගයෙහි ගමන් කරන යෝගාවචරයන් වහන්සේ සමථ පූර්වාංගම නම් වඩන ලද සමාධියේ උපකාරයෙන් පහසුවෙන් මෙම නාම රූප ධර්ම නුවණින් දකින බව අත්දැකීමෙන්ම දන්නවා ඇත. ශුෂ්ක විදර්ශනාවක යෙදෙන යෝගාවචරයන් වහන්සේට ද විදර්ශනාව වැඩීම් වශයෙන් උපදින සමාධියෙන් නාමරූප වශයෙන් වැටහෙනු ඇත. අභිධර්ම අවබෝධයක් ඇති යෝගාවචරයා හට මෙම නාම රූප සම්මර්ශනය වඩාත් පහසු වේ. සෙසු විශුද්ධීන්හි පවා අභිධර්ම අවබෝධය වැදගත් වන බව එකී භාවනා මාර්ගය පිළිවෙලින් වඩන යෝගාවචාරයා හට ප්‍රකට වනු ඇත.
එබැවින් යම් දේශකයන් වහන්සේ නමක් අභිධර්මය ප්‍රතිබාහනය කරන්නේ නම්, විදර්ශනාව සඳහා අභිධර්මය අනවශ්‍ය බව පවසන්නේ නම් ඔවුන් වෙත නිවන දක්වා විහිදුනු පිරිසිදු භාවනා මාර්ගයක් නොමැති බව පිළිගත යුතු වේ.