විදර්ශනා භාවනාව සහ අභිධර්මය අතර සම්බන්ධතාවක් තිබේද?

සම්පාදක - පාණදුරේ ධම්මරක්ඛිත හිමි (මොරටුව, එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍ර චෛත්‍යාරාමවාසී)

අභිධර්මය පරමාර්ථ දේශනාව වශයෙන් දක්වා තිබෙනවා. පරමාර්ථ දේශනා කියා පෙන්වා දෙන්නේ ලෝකයේ ඇත්ත වශයෙන්ම පවත්නා යථාභූත ස්වභාව යි. අපේ භාවිතයේ තිබෙන්නේ ලෝක ව්‍යවහාරයයි. ඒවාට කියන්නේ සම්මුති කියායි. සම්මුතියෙන් හඳුන්වන දේ පිළිබඳ ගැඹුරින් සලකා බලන විට ඒ ගැඹුරු අර්ථය තමයි පරමාර්ථය කියා කියන්නේ.

උදාහරණයක් මඟින් මෙසේ පෙන්වා දිය හැකියි. මේසය කියා පාවිච්චි කරන වචනය ගත්තොත්, මේසය කියන්නේ සම්මුතියක් පමණයි. පිළිගැනීමක් පමණයි. මේසය එදත් මේසය අදත් මේසය අනාගතයෙත් මේසය.නමුත් මේසය හැදිලා තිබෙන වස්තු බැලුවොත් එය ඇතුළත් වෙන්නේ පරමාර්ථ ස්වභාවයට. මේසය හැදිලා තිබෙන්නේ සතර මහා භූතවලින් විශ්වයේ තිබෙන හැම දෙයක්ම හැම වස්තුවක්ම, ගහක් කොළක් වශයෙන් ඇළ දොළ ගංගා වශයෙන් ගත්තත් ඒ සියල්ල හැදි තිබෙන්නේ මහා භූතවලින්. ඒ බාහිර ලෝකය පිළිබඳ විග්‍රහය. පුද්ගලයා පිළිබඳ විග්‍රහ කරද්දී බුදුහාමුදුරුවෝ පෙන්වා දී තිබෙනවා සත්වයා කියන්නේ නාම – රූප ධර්මවල එකතුවක් කියා. සතර මහා භූතයන්ගෙන් හැදුණු ශරීරය සම්බන්ධව පවතින නාම ධර්ම රාශියක් තිබෙනවා. නාම ධර්ම වශයෙන් හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන් චිත්ත, චෛතසික කියන ධර්ම දෙක.

සත්වයා බෙදා පෙන්වන විට චිත්ත, චෛතසික යන ධර්ම විග්‍රහ කරනවා. විඥානස්කන්ධය තමයි චිත්ත කියා කියන්නේ. වේදනා, සංඥා, සංඛාර යන ස්කන්ධ තුන තමයි චෛතසික වශයෙන් ගණන් ගන්නේ. මේ ස්කන්ධ පහ, ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහේ එකතුව තමයි සත්වයා කියා කියන්නේ. ඒ පරමාර්ථ වශයෙන් සත්වයා විග්‍රහ කර තිබෙන එක් ආකාරයක් තවත් ආකාර රාශියක් තිබෙනවා. මෙවැනි කාරණා තමයි අභිධර්මයේ දී විස්තර කෙරෙන්නේ.

විදර්ශනාව කියා කියන්නේ ‘විශේෂයෙන් බැලීම’යි. එහෙම නැතිනම් ‘විශේෂයෙන් දැකීම’යි. විශේෂයෙන් දැකීම කියන්නේ යම් ධර්ම ස්වභාව නියම, යථා ස්වභාව දැකීමයි. ධර්ම ස්වභාව වශයෙන් අභිධර්මාර්ථ හතරයි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන පරමාර්ථ හතර. එයින් තුනක් එනම් චිත්ත, තෛතසික, රූප කියන තුන තමයි සත්වයා කියා කියන්නෙ. එහෙම නම් ඒ පරමාර්ථ තුන ගැන විග්‍රහයක් තමයි අපි කරන්නට ඕන අපි කවුද කියා හඳුනාගන්නට. ඇත්තටම අපි කවුද කියා හඳුනාගන්නට නම් අප කෙරෙහි පවතින සිත් මොනවද කියා තේරුම් ගත යුතුයි. අපට පහළ වන චෛතසික අපි තේරුම් ගන්නට ඕනෑ. අපේ ශරීරය පිළිබඳ ස්වභාව අපි වටහාගන්නට ඕනෑ. ඒවා තේරුම් ගන්නට නම් අභිධර්මයේ උගන්වන ආකාරයට සත්වයා පිළිබඳ නිසි පරිදි කළ විග්‍රහයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අභිධර්මය දැනගෙන තිබීම විදර්ශනාවට රුකුලක් වෙන්නට පුළුවන්. හැබැයි එය දැනගෙන තිබීම භාවනාවට අත්‍යවශ්‍ය යි කියා කියන්න බැහැ. හේතුව නම්, විදර්ශනාව තුළින් කෙනෙක් දකිනවා අභිධර්මය.

අභිධර්මය ගැඹුරු වුණාට ඒ තුළින් පෙන්වන්නේ තමා පිළිබඳවනේ. එයින් වඩාත් ප්‍රායෝගිකව කෙනෙකුට අත්දකින්න පුළුවන් තමාගේ ජීවිතය පිළිබඳ ස්වභාව, අභිධර්මය ගැන තරමක අවබෝධයක් තිබීම ඊට ප්‍රමාණවත්. උදාහරණයකින් මේ කාරණය පැහැදිලි කර ගනිමු. අපි කියනවානේ හොඳ වැඩ කරන්න, නරක වැඩවලින් වළකින්න කියලා. අභිධර්මයේ දැක්වෙන ආකාරයට, හොඳ නරක දෙක තෝරන්නේ අපට පහළවෙන සිත් අනුව යි.

අකුසල සිත් තමයි අපි වැරැදි ක්‍රියා කරන කොට පහළ වෙන්නේ. කෙනෙක් තවත් කෙනෙකුට පහරදෙන විට කේන්තියකින් තමයි පහර දෙන්නේ. කෝපයෙන් පහර දෙන විට ඒ පුද්ගලයාගේ චිත්ත ස්වභාව සම්පූර්ණයෙන් ම වෙනස් වෙනවා. ඒ වගේම, කෙනෙක් පුංචි දරුවෙක් නළවන අවස්ථාවක් ගන්න, එතැනදි චිත්ත ස්වභාව මුලින් අවස්ථාවට වඩා වෙනස්. ඒ වගේ නොයෙක් අවස්ථා සැලකූ විට අපේ චිත්ත ස්වභාව වටහාගන්න අපට ලෙහෙසියි. අභිධර්මයට අනුව සිතේ මේ ගති ස්වභාව තේරුම්ගත හැකියි. සාමාන්‍ය ජීවිතයේ පැවැත්ම අභිධර්මයට අනුව සිතන්නට, විමසන්නට කෙනෙකුට පුළුවන් නම් ඔහුට එය ඉතා හොඳ පාඩමක් වෙනවා තමන්ගේ ජීවිතය සකස් කර ගන්නට. තමන්ගේ සිත තමයි සියල්ලට ප්‍රධාන. සිත රැක ගන්න පුළුවන් නම් එය තමයි කළ යුතු වන්නේ. සිත රැක ගන්නට නම් සිත පිළිබඳ අවබෝධයක් තිබීම අවශ්‍යයි. අභිධර්මයෙන් ඒ කාරණාව සම්පූර්ණ කර දෙනවා.