සුවාසූ දහසක් ධර්මස්කන්ධය සහ අභිධර්ම පිටකය

මූලාශ්‍ර - පටිච්ච සමුප්පාද විවරණය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන්

තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මස්කන්ධය සුවාසූ දහසක් ඇතය යනු ද බුදුසසුනේ ප්‍ර‍සිද්ධ කරුණකි.

“ද්වාසීතිං බුද්ධතො ගණ්හි - ද්වේසහස්සානි භික්ඛුතො,

චතුරාසීති සහස්සානි - යේ මේ ධම්මා පවත්තිතෝ”

මෙය සූත්‍ර‍පිටකයේ ඛුද්දක නිකායට අයත් ථෙරගාථා පාලියේ එය ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගේ ප්‍ර‍කාශනයකි. ඒ ගාථාවෙන් දැක්වෙන්නේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ ධර්‍මස්කන්ධ සුවාසු දහසක් දැන සිටින බව ය, දරාගෙන සිටින බව ය.

අභිධර්ම පිටකය බුද්ධ ධර්මයට ඇතුළත් නො වේ නම් ධර්මස්කන්ධ සුවාසූ දහසක් නැත්තේ ය. අභිධර්‍ම පිටකය සූත්‍ර‍ විනය දෙපිටකය තරම් විශාල ය. ලිඛිත මුද්‍රිත පොත්වලින් එය කුඩා පිටකයක් සේ පෙනෙන්නේ පේයාල ක්‍ර‍මයෙන් කෙටිකොට ලියා ඇති බැවිනි. සූත්‍ර‍ පිටකයට හා විනය පිටකයට ධර්මස්කන්ධ විසි එක් දහස බැගින් ය යි ද අභිධර්ම පිටකයට ධර්මස්කන්ධ දෙසාළිස් දහසකැයි ද කියා ඇත්තේ ය.

මේ ගැඹුරු කරුණු සූත්‍ර‍වල විස්තර කර ඇත. මේවා තේරුම් කර දිය හැක්කේ ද තේරුම් ගත හැක්කේ ද අභිධර්මය අනුව ය. බුදුන්වහන්සේ ගේ උසස් ධර්මය, නියම ධර්මය අභිධර්මය ය. ස්කන්ධ පඤ්චකය, ආයතන දොළස, ධාතු අටළොස, චතුරාර්‍ය්‍ය සත්‍යය, පටිච්චසමුප්පාදය, බෝධ්‍යංග සත, මාර්ගාංග අට, ආහාර සතර, කර්මය හා කර්මඵලය යනාදි ධර්ම පිළිබඳ විස්තර කර ඇත්තේ අභිධර්ම පිටකයෙහි ය. ඒ ධර්ම සූත්‍ර‍වල දැක්වෙන්නේ නාම මාත්‍රයෙනි. බොහෝ ධර්ම අභිධර්ම පිටකයෙහි සූත්‍ර‍ ක්‍ර‍මය අභිධර්ම ක්‍ර‍මය ප්‍ර‍ශ්නෝත්තර ක්‍ර‍මය යන ක්‍ර‍ම තුනෙන් විස්තර කර ඇත්තේ ය. සත්ත්වයන් ගේ නැවත නැවත ඉපදීමේ ක්‍ර‍ම විස්තර වන්නේ ද අභිධර්ම ග්‍ර‍න්ථවල ය. මළ කෙනකු ගේ ශරීරයෙන් කිසිවක් නො ගොස් අන් භවයක ප්‍ර‍තිසන්ධිය ඇතිවීම, එසේ පිළිසිඳ ගත් තැනැත්තා මළ තැනැත්තාත් නො වන බව අනිකකු ද නො වන බව යනාදි ප්‍ර‍තිසන්ධිය පිළිබඳ කරුණු ඉතා ගැඹුරු ය. ඒවා තේරුම් ගත හැක්කේ අභිධර්මය අනුව ය. අභිධර්මය නො දතුවන්ට කවර ආකාරයකින්වත් ඒවා තේරුම් ගත නො හැකිය. නිවැරදි ලෙස දහම් දෙසිය හැක්කේ ද අභිධර්මය දත් අයට පමණකි. අභිධර්මය නොදැන සූත්‍ර‍වලින් පමණක් දහම් දෙසන ප්‍ර‍සිද්ධ මහා ධර්මකථිකයෙක් නැත්තේ නොවේ. ඔවුනට ගැඹුරු ධර්ම පිරිසිදු ලෙස නිවැරදි ලෙස නො දෙසිය හැකි ය. ඒවායේ වැරදි ඒ කථිකයන්ට හා අසන්නන්ට නො දැනේ. දැනෙන්නේ අසාගෙන සිටින ආභිධම්මිකයන්ට පමණකි. නියම ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය උගත යුතුමය.

“ආභිධම්මික භික්ඛූයෙව කිර ධම්මකථිකා නාම අවසේසා ඛම්මකථං කථෙන්තාපි න ධම්මකථිකා.”

යනුවෙන්දම්සඟුණු අටුවාවෙහි

“ආභිධර්මික භික්ෂූහු ම ධර්මකථිකයෝය, සෙස්සෝ බණ කියන්නාහු ද ධර්මකථිකයෝ නො වෙති” යි කියා ඇත්තේ ය.

අභිධර්මය නො දන්නවුන් ධර්මකථිකයන් නො වන්නේ ඔවුහු ධර්මය නො වරදවා කීමට අසමත් බැවිනි. ආභිධර්මිකයා බණ නො කියුවත් ධර්මකථිකයකු වන්නේ, යම්කිසි කරුණක් විචාළ විටෙක දී එය නො වරදවා නිරවුල් කොට කියන බැවිනි. ‘භවයෙන් භවයට යන ආත්මයක් ඇත, විඤ්ඤාණයක් ඇත, සියුම් කයක් ඇත, අන්තරාභවයක් ඇත’ යන විපරීත අදහස් පහළ වන්නේ ද අභිධර්මය නො දැන සත්ත්වෝත්පත්තිය ගැන කල්පනා කිරීම නිසා ය. මරණින් සත්ත්වයා කෙළවර වන්නේය යන උච්ඡේද දෘෂ්ටිය ඇති වන්නේ ද ඒ නිසා ය. අභිධර්මය නො දැන සූත්‍ර‍ ටිකක් හා වෙනත් දේවල් පමණක් දැන එයින් මත්වී සිටින ඇතැම්හු තමන්ගේ තත්ත්වය රැක ගැනීම සඳහා අභිධර්මය බුද්ධ දේශනාවක් නො වේය කියා එය අවලංගු කරන්නට තැත් කරති. එය බරපතල පාපයකි.

පටිච්ච සමුප්පාද විවරණය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන්