නිවන් දකින්න අභිධර්මය ඕනේ ද?

සම්පාදක - පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ

සූත්‍ර පිටකය තුළ තිබෙන ඒ එක් එක් සූත්‍ර දේශනාවක් අනුසාරයෙන් වුණත් කෙනකුට, තමාගේ නිර්වාණ අවබෝධය ප්‍රකට කර ගන්න පුළුවන්කම තිබෙනවා. එසේ තිබියෙදීත් සුවිශේෂ වූ අභිධර්ම පිටකයක් කුමකට ද කියලා ඇතැම් කෙනෙක් ප්‍රශ්න නගනවා වගේ ම, ඇතැම් කෙනෙක් අභිධර්ම පිටකය පිළිගැනීමට යම් මැලිකමක් ද දක්වනවා, එය අනවශ්‍ය දෙයක් යැයි සැලකීම නිසා. නමුත් ඇත්තට ම අපි ධර්මය පිළිබඳව අධ්‍යනය කරන කොට, ධර්මය පිළිබඳව අපි ඉගෙන ගන්න කොට, අපි තේරුම් ගත යුතු දෙයක් තමයි සූත්‍රයක් තේරුම් ගැනීමත් ප්‍රමාණවත්. හැබැයි සූත්‍රය තුළ විහිත ඒ ධර්ම කාරණාවන් තුළින් අභිධර්මය තුළ කතා කෙරෙන පරමාර්ථ ධර්මයන් පිළිබඳව අවබෝධ කර ගත යුතුයි. ඒ ධර්මයන් පිළිබඳව අවබෝධ කර ගන්නේ නැතුව නිවන් දකිනවා කියලා කිවුවට, ඒක හුදු වචන මාත්‍රයක් විතරයි. එයින් නිර්වාණය අවබෝධ කරන්නට කිසිසේත් ම පුළුවන්කමක් ඇත්තේ නැහැ.

එහෙනම් අපිට අභිධර්ම පිටකයක් විශේෂයෙන් ම අවශ්‍ය වෙන්නේ ඇයි, අභිධර්මය තුළින් අපිට ලැබිය හැකි ප්‍රයෝජනය කුමක් ද කියන එක පිළිබඳව, අපිට එහෙයින් විශේෂයෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ අභිධර්මය නැතුව නිවන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට හිතන්නට එපා, මේ කිවුවේ සූත්‍රය තුළ තියෙන කරුණු ඔක්කොම නිවන් දකින්න ප්‍රමාණවත් නැහැ කියලා කිව්වා කියලා. සූත්‍රය තුළ වුණත් අභිධර්මය තුළ විග්‍රහ කෙරෙන ධර්ම කාරණා පිළිබඳ, එනම් පරමාර්ථ ධර්ම‍යන් පිළිබඳ අවබෝධ වන නුවණ තමයි එතනත් ඇති වෙන්නේ. ඒ නිසා මේ සියල්ල ම පොදුවේ ගත්තහම ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එකම ධර්මය. ධර්මය තුළ තමයි මෙය සූත්‍රය, මෙය අභිධර්මය කියන බෙදීම අපිට දක්වන්නට පුළුවන්කම තිබෙන්නේ.

භාග්‍යවතුන් වහන්සේගේ එක දේශනාවක් විදියට තමයි සමස්ත අභිධර්ම පිටකය ම අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. දෙවියන්ගේ දිව්‍ය ආයුෂයෙන් නම් ඉතා සුළුතර කාල සීමාවක් මුළුල්ලේ දේශනා කරපු, මනුස්ස ලෝකේ ආයුෂයෙන් නම් වස් තුන්මසක් මුළුල්ලෙහි දේශනා කරපු දේශනාවක් විදියටයි අභිධර්ම පිටකය අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ පරමාර්ථ දේශනාව සැරියුත් තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් පැහැදිලි කිරීමෙන් පසුව, සැරියුත් තෙරුන් වහන්සේ විසින් නාති සංඛේප, නාති දීර්ඝ වශයෙන් භික්ෂුන් වහන්සේලාට මෙම ධර්මය ඉගැන්වීමෙන් පසුව මෙය අභිධර්මය විදියට වෙන ම දේශනාවක් විදියට එදා පටන් ම පැවතෙමින් ආවා. ඒ නිසා අපිට අභිධර්මය කියන දේ සූත්‍රය තුළ ඇතුළත් විය යුතුයි කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ මක් නිසා ද අභිධර්මයත් එක සූත්‍ර දේශනාවක් වගේ එක දේශනාවක් පමණක් නිසා.

සූත්‍ර තුළ කෙරෙන ධර්ම විග්‍රහයන් සහ අභිධර්මය තුළ සිද්ධ කෙරෙන ධර්ම විග්‍රහයන් දෙකක් නෙමෙයි, එක ම ධර්ම විග්‍රහය. සූත්‍රය තුළ යම් යම් පුද්ගලයින්ට කරන ලද දේශනා, පුද්ගලයින්ට කරන ලද ආමන්ත්‍රණයන් සහිතව සම්මුති ලෝකේ සම්මුති පැවත්ම ආදී කරණා උපයෝගි කර ගෙන කරන ලද දේශනා විදියට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අභිධර්මය එක දේශනාවක් නිසා, අභිධර්ම දේශනාවේ සම්මුතිය තුළ යෙදෙන කරුණු ඇත්තේ නැහැ. පරමාර්ථ ධර්ම විශ්ලේෂණය කොට වෙසෙසින් අර්ථ ගැන්වීම පමණයි එතනදි සිද්ධි කරලා තිබෙන්නේ. අන්න ඒකයි මේ දෙක අතර තිබෙන වෙනස. සූත්‍ර හා අභිධර්මය කියන මේ දෙක ම ධර්මය අතින් එකම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. කෙනෙක් ධර්මය අවබෝධ කළා කියලා කියනවා නම් එයා පොදුවේ මේ සියලු ධර්මය අවබෝධ කළ යුතුයි.

යම්කිසි කෙනෙක් නිවන් දකින්නේ ස්කන්ධයන්ගේ උදය වැය දැකලා නම්, ඒ ස්කන්ධයන්ගේ උදය වැය දකින විදිහ එයා හොයා ගත්තේ සංයුත්ත නිකායේ ඛන්ධ සංයුත්තයේ තියෙන සූත්‍ර දේශාවකින් නම්, එතකොට අභිධර්මය තුළත් ස්කන්ධ විභඞ්ගය (ඛන්ධ විභඬ්ගය) අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම ස්කන්ධයන් පිළිබඳව තියෙන යමක ප්‍රකරණය ආදී ධර්ම කොට්ඨාසයන් පිළිබඳව අපි දැක්කහම, අපිට පේනවා, එහෙනම් ඒ දේවල් අභිධර්මය තුළත් විග්‍රහ වෙලා තියෙනවා කියලා. සූත්‍රය තුළින් අවබෝධ කර ගන්න අවබෝධයත්, අභිධර්මය තුළින් ඇති කර ගන්න අවබෝධයත් එක හා සමාන අවබෝධයක්. මේ දෙක දෙකක් නෙමෙයි. අභිධර්මයේ දී අවශේෂ කාරණා වලින් තොරව ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ මැනවින් බෙදා දක්වමින් ම කියලා තියෙනවා. සූත්‍රයේ දී සංක්ෂේප වශයෙන් කියලා තියෙනවා.

 

දීර්ඝ වශයෙන් අපි ධර්මය දැන ගන්න කොට, අර්ථ තේරුම් ගත යුත්තේ, අවබෝධ කර ගත යුත්තේ අභිධර්මය තුළ කියන ලද ධර්මතා විදියට පෙන්වපු ඒ තත්වයෙන්. එතකොට එයින් අපිට අභිධර්මයෙහි තිබෙන උපයෝගීතාවය පිළිබඳව තේරුම් ගන්නට මනාව පුළුවන්කම තිබෙනවා. ඒකෙන් කියන්නේ සූත්‍රය හෑල්ලු කොට දැමීමක් නෙමෙයි, එක හා සමාන ම බුද්ධ වචනයන්ගෙන් අභිධර්මය හා සමාන ම සූත්‍රයත්, සූත්‍රය හා සමාන ම අභිධර්මයත් අපට අවශ්‍ය වෙනවා.

මේ දෙක ම නිවන් දකින්නට අවශ්‍යයි. සූත්‍ර හා අභිධර්ම කියන මේ දෙක ම ඇති කල්හී පහසුවෙන් ඒ නුවණැත්තා නිර්වාණය අවබෝධ කර ගන්නට අවැසි ප්‍රතිපදාව පුරනවා. ඇයි එහෙම කිව්වේ? ස්කන්ධයන්ගේ උදය වැය බලන්න කියන සූත්‍රය පරිශීලනය කරන පුද්ගලයා දන්නවා නම්; රූප ස්කන්ධය කියන්නේ මෙබඳු බෙදීම් ඇති දෙයක්, වේදනා ස්කන්ධය කියන්නේ මෙබඳු බෙදීම් ඇති දෙයක්, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ මෙබඳු බෙදීම් ඇති දෙයක්ය කියලා ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය බෙදා දැක්වීම් විදියට ඛන්ධ විභඞ්ගය තුළදිත්, යමක ප්‍රකරණ ආදී ධර්මයන් තුළිනුත් එයා ඉගෙන ගෙන තියෙනවා නම්, එයා හොඳාකාරව ම දන්නවා ස්කන්ධයන්ගේ හට ගැනීම කියන්නේ මොකද්ද, ස්කන්ධයන්ගේ වැය වීම කියන්නේ මොකද්ද කියන එක. ඒ ඇයි? ස්කන්ධයන්ගේ ස්වභාවය එයා තේරුම් අරගෙන තියෙන නිසා. ස්කන්ධ පිළිබඳව හඳුන ගන්නට පුළුවන් බෙදා දක්වන ලද අත්‍යවශ්‍ය විස්තරයක් තමයි අභිධර්මය තුළ ඇතුළත් වෙන්නේ.

 

අභිධර්මය නැතුව නිවන් දකින්නට පුළුවන්ද කියලා කෙනෙක් ඇහුවොත්, ඇත්තටම දිය යුතු පිළිතුර, අභිධර්මය නැතුව නිවන් දකින්නට පුළුවන්කමක් නැහැ කියන එක. ඒකට හේතුව තමයි සූත්‍රයෙන් ධර්මය අවබෝධ කළා කියලා කීවත්, ඒ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ ම අභිධර්මය තුළ විහත විග්‍රහ කොට දක්වන ලද ධර්ම කාරණා අවබෝධ කර ගැනීම ම යි. යමෙක් ධර්මය අවබෝධ කරනවා නම් අභිධර්මය නම් වූ යමක් ඔහු වෙන ම ඉගෙන ගෙන නොසිටිය ද, අභිධර්මය තුළ විග්‍රහ කෙරෙන ඒ ධර්ම කාරණා පිළිබඳව අවබෝධය ඇති කර ගෙන ම විය යුතුයි. ඒ නිසා අභිධර්මය නැතුව නිවන් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ධර්මය සහ අභිධර්මය කියන මේ බෙදීම දකින්නට පුළුවන්කම තිබෙන්නේ පරමාර්ථ ධර්මයන් විදියට විග්‍රහ කිරීම් සහ එසේ විග්‍රහ නොකට සම්මුතිය අනුව යමින් කරන ලද විග්‍රහයන් නිසා පමණයි. එහෙම නැතිනම් මේ සියල්ල ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහය.