අභිධර්මය පිළිබඳව වැරදි මත ඉදිරිපත් කරන සියල්ලෝම එමගින් පැවසීමට උත්සහ දරනුයේ මිනිස් ලොව පුද්ගලයන්ගේ නිර්වාණ ප්‍රතිලාභය පිණිස අභිධර්මය නොවැදගත් බවයි. පහසුවෙන් අවබෝධ කරගත හැකි සූත්‍ර දේශනා විද්‍යාමාන වන කල්හි අභිධර්මය වැනි ගැඹූරු ධර්ම හැදෑරීම සඳහා කාලය වැය කිරීම නිෂ්ප්‍රයෝජන ඇති බව ඔවුන් ගේ අදහසයි.
එසේ වුවද අභිධර්මය යන්න සෑම දෙනාගේම නිර්වාණය පිණිස අතිශය මහෝපකාරී වන බව සනාථන සත්‍යයක් වේ. අතීතයේ මිනිසුන්ට පමණක් නොව ධර්මාවබෝධය කළ නොහැකි තිරිසන් සතුන්ට පවා අභිධර්මය ශ්‍රවණය කිරීම් මාත්‍රයෙන් නිර්වාණයට උපනිශ්‍රය වීය. සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වෙතින් පළමුව අභිධර්මය උගත් භික්ෂූන් පන්සිය නම එබඳු උපනිශ්‍රය ඇත්තෝ ය.
ඒ භික්ෂූන් පන්සිය නම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ තලවවුල් යෝනියේ ඉපිද එක්තරා ගල් ගුහාවක එල්ලී සිටින අතරතුර එහි සිටි භික්ෂූන් දෙනමක් අභිධර්මය සජ්ඣායනය කළහ. ඒ තලවවුලන් තිරිසන් බැවින් ධර්මාවබෝධයට අසමත් වුවද එසේ සජ්ඣායනය කෙරෙන අභිධර්ම ස්වරයේ නිමිත්ත ගත්හ. ඒ පන්සියයක් තලවවුලන් මරණයට පත් වී කිසිදු ධර්මාවබෝධයකින් තොරව අභිධර්ම ස්වරයේ නිමිත්ත ගත් මාත්‍රයෙන් දෙව් ලොව ඉපදුණහ. බුද්ධාන්තරයක් දෙව් ලොව වැස අපගේ ශාන්තිනායකයන් වහන්සේ වැඩසිටි සමයේ මිනිස් ලොව ඉපිද ලොව්තුරු බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ වාද දුරු කිරීම පිණිස ගණ්ඩබ්බ රුක් මුල යමක මහා ප්‍රාතිහාර්ය පවත්වනු දැක බුදුසසුනේ පැහැදී සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වෙත පැවිදි වූහ. එසේ අතීත ආත්ම භාවයේ තිරිසන්ව හිඳ නමුදු අභිධර්මය ශ්‍රවණය කළ මාත්‍රෙයන් ඔවුහු සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතින් අභිධර්මය උගෙන එය හදාරන්නාහු උතුම් අරිහත්වය සාක්ෂාත් කළහ. මෙසේ තිරිසන් සත්වයන්ට පවා අභිධර්මය ශ්‍රවණය කිරීම නිර්වාණ ප්‍රතිලාභයට උපනිශ්‍රය වූයේ නම් ක්ෂණ සම්පත්තියෙන් යුතු අප වැනි මිනිසුන් හට නිර්වාණය සඳහා අභිධර්මයේ ඇති සප්‍රයෝජනවත් බව වටහා ගැනීම නුවණැතියන් හට අපහසු නොවනු ඇත.
අනෙක් අතට අභිධර්මය අවශ්‍ය නොවන බවත්, සූත්‍ර දේශනා පමණක් ප්‍රමාණවත් බවත් පවසන දේශකයන් බොහෝ සූත්‍ර දේශනයන්හි නිවැරදි අර්ථය වටහා නොගෙන සූත්‍ර දේශනයේ මතුපිට අර්ථය පමණක් ග්‍රහණය කරගන්නා බවද පැවසිය යුතු වේ. විශේෂයෙන්ම විදර්ශනා භාවනාවට ඍජුවම සම්බන්ධ වන සූත්‍ර දේශනාවන්හි අර්ථය මැනවින් ග්‍රහණය කරගැනීමට නම් අභිධර්ම දැනුම අත්‍යවශ්‍ය වේ. අභිධර්ම දැනුමකින් තොරව සූත්‍රය කියවන තැනැත්තා එහි එන කථාව හෝ ධර්ම කරුණු කියවූ පමණින් තමා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියවූයේ යැයි සතුටට පත්වේ. ඇතැම් විට තවත් අයෙකුට එය කියා දේ. එහෙත් පරමාර්ථ ධර්ම පිළිබඳ අබබෝධයක් නොමැති නම් ඔහුට විදර්ශනා භාවනාවක් ඒ මගින් සම්පූර්ණ නොවේ. මන්ද විදර්ශනාව සම්පූර්ණයෙන්ම පරමාර්ථ ධර්ම මත පදනම් වන බැවිනි.
අභිධර්ම ඤාණය ඇති තැනැත්තාට තමන් කියවන හෝ ශ්‍රවණය කරන සූත්‍රයෙහි එන ධර්ම කරුණු නුවණින් මෙනෙහි කිරීම් වශයෙන් ඔහු කලින් ලබා ඇති පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුම උපකාරී කොට ගෙන විදර්ශනා නුවණක් උපදී. බුදුරජාණන් වහන්සේ වෙතින් පවා ධර්ම ශ්‍රවණයෙන් නිවන් දුටු සියලුම දෙනා මෙවන් උපනිශ්‍රයක් නිසාවෙන්ම නිවන් සාක්ෂාත් කළහ. සතරපද ගාථාවක් ඇසීම් මාත්‍රයෙන් නිවන් සාක්ෂාත් කළ සාරිපුත්ත (උපතිස්ස පරිබ්‍රාජක තුමා) මොග්ගල්ලාන (කෝලිත පරිබ්‍රාජකතුමා) තෙරුන් වහන්සේලා පවා පූර්ව ආත්මභාවයන්හි ත්‍රිපිටකධරී වූහ. එසේ තමන් ලබා තිබූ අභිධර්ම ඤාණය සතරපද ගාථාවක් ශ්‍රවණය කිරීමෙන් නිවන් සාක්ෂාත් කරගැනීමට ඉවහල් විය. එබැවින් තමන්ට ධර්මය අවබෝධ කරගැනීමට පමණක් නොව අන් අයට ධර්ම දේශනා කිරීමටද අභිධර්ම දැනුම ඉවහල් වේ. අභිධර්මය දත් භික්ෂුවම ධර්ම කථිකයා යැයි සඳහන් වන්නේ ද එබැවිනි. (ආභිධම්‌මිකභික්‌ඛූයෙව කිර ධම්‌මකථිකා නාම, අවසෙසා ධම්‌මකථං කථෙන්‌තාපි න ධම්‌මකථිකා) ආභිධර්මික නොවන භික්ෂූහු එක් කර්මයක් තවත් කර්මයක් සමඟ අවුල්කොට ද, එක් විපාකයක් තවත් විපාකයක් සමඟ අවුල්කොට ද, රූප අරූප පිරිසිඳීම් දෙක අවුල්කොට ද, එක් ධර්මයක් තවත් ධර්මයක් සමඟ අවුල්කොට ද ධර්මය දේශනා කරන බව ධම්මසංගණී අටුවාවෙහි දැක්වේ. වර්තමානයේ ඇතැම් ධර්ම දේශකයන්ගේ දේශනාවලින් මෙය මනාව ප්‍රකට වේ.
ථෙරවාදී බෞද්ධයන් අතර අත්‍යාදරයට පත් කෘතියක් ලෙස මිලින්දප්‍රශ්නය හැඳින්විය හැකි වේ. එහිලා මිලිඳු රජුගේ වාදයන් බිඳ ධර්මය ඉස්මතු කළ, බුදු සසුනට දිරි දුන් නාගසේන මහරහතන් වහන්සේ ද අභිධර්ම කථාවකින් ධර්ම දේශනා කරනුයේ ඒ දේශනා කරන ධර්මයම මෙනෙහි කොට ඒ ධර්මාසනයේ දීම උතුම් සෝවාන් මාර්ගඤාණයෙන් නිවන් සාක්ෂාත් කළහ. ඒ නාගසේන තෙරුන් වහන්සේ පැවිදි වූ අලුත පළමුවම සිය ඇදුරු හිමියන් වූ රෝහණ තෙරුන් වහන්සේ විසින් අභිධර්ම පිටකයේ සප්තප්‍රකරණයම කටපාඩම් කිරීමට සැලැස්වූ බව මිලින්ද ප්‍රශ්නයේ නිදාන කථාවෙහි විස්තර වේ. ඒ ගාම්භීර අභිධර්ම ඤාණය උන්වහන්සේට ධර්ම දේශනා කිරීමේ දීම සෝවාන් වීමට ද, මිලිඳු රජුගේ උභතෝකෝටික ප්‍රශ්න විසඳා බුදුසසුන රැකගැන්මට ද ඉවහල් විය.
එබැවින් නිර්වාණ ප්‍රතිලාභය උදෙසා අභිධර්මය නිෂ්ප්‍රයෝජන යැයි පැවසීම පදනම් විරහිත වේ.