අභිධර්මය මිනිසුන්ගේ නිර්වාණ ප්‍රතිලාභයට ප්‍රයෝජනයක් නැති දෙයක් යැයි පවසන ඇතැම් දේශකයන් වහන්සේලා ගෙනහැර දක්වන දුර්මතයක් වන්නේ අභිධර්මය යනු හුදු චිත්ත-චෛතසික විභාගයක් පමණක් බවයි. එම ප්‍රකාශයේ සාවද්‍ය බව අභිධර්ම පිටකය හදාරා නැති නමුදු යටත්පිරිසෙයින් අභිධර්මාර්ථ සංග්‍රහය හෝ උගත් අය හොඳාකාරවම දනිති.
අභිධර්මයේ විග්‍රහ කෙරෙන පරමාර්ථ ධර්ම සතරක් ඇත්තේය. එනම් චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ පරමාර්ථය වේ. එකී පරමාර්ථ ධර්මයන් ස්කන්ධ වශයෙන් පඤ්චස්කන්ධයක් වන අතර ආයතන වශයෙන් දොළොසක් ද, ධාතු වශයෙන් අටළොස් ධාතුවක් ද යනාදී වශයෙන් අභිධර්මයෙහි විග්‍රහ වේ. මීට අමතරව අභිධර්මයෙහි පුග්ගලපඤ්ඤත්තිප්පකරණයෙහි පුද්ගල විභාගයන් ද , පට්ඨානප්‍රකරණයෙහි දී සූවිසි ප්‍රත්‍ය පිළිබඳ සූක්ෂම විග්‍රහයක් ද පැමිණේ. යම් පුද්ගලයෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නේ නම් මෙකී පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගනී. ඒ බව සූත්‍ර දේශනා වලින්ම බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී දුක, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය විග්‍රහ කරන අතර දුක්ඛ සත්‍යයට පඤ්චඋපාදානස්කන්ධයම ඇතුළත් කරමින් ‘සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා’ යැයි වදාළ සේක. එබැවින් චිත්ත, චෛතසික, රූප යන ත්‍රිවිධ පරමාර්ථයන්ම දුක්ඛ සත්‍යයට අයත් වේ. නිර්වාණ පරමාර්ථය නිරෝධ සත්‍යයට අයත් වේ. නිර්වාණාවබෝධ කරගන්නා පුද්ගලයා අවබෝධ කරගන්නා පරමාර්ථ ධර්මයන් මෙමගින් ප්‍රකාශිත වේ. අභිධර්මය යනු එකී සකලවිධ පරමාර්ථ ධර්මයන් පිළිබඳව කෙරෙන විස්තරාත්මක විග්‍රහය බැවින් නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස ඒ ධර්මතාවයන් හැදෑරීම අතිශය වැදගත් වේ. එසේ උගෙන ගැනීමෙන් නුවණක් ලබන අතර එය සුතමය ඤාණය ලෙස හැඳින්වෙන අතර ඒ සුතමය ඤාණය චින්තාමය හා භාවනාමය ඤාණය පිණිස උපකාර වේමය.
මේ අනුව අභිධර්මය යනු හුදු චිත්ත-චෛතසික විභාගයක් පමණක් බව පැවසීම ඒ පිළිබඳව ඇති නොදැනුවත්කම මත කරන ප්‍රකාශයක් වේ.