චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට දැනට ඇත්තාවූ ඉතා ම හොඳ ක්‍ර‍මය අභිධර්ම පිටකය උගෙනීම ය

සම්පාදක - අභිධර්මයේ මූලික කරුණු - මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා නායක ස්ථවිරයන්

සූත්‍ර‍ පිටකයෙහි එන කරුණු වලින් එක්තරා කොටසක් නුවණ දියුණු කළ සාමාන්‍ය ජනයාට ද වැටහෙන් සාමාන්‍ය කරුණු ය. ඒවා අවබෝධ කිරීමට කල්ප ගණනක් පෙරුම් පුරා ලැබිය යුතු විශිෂ්ඨ ඥානයක් නුවමනා ය. එබැවින් ඒ කරුණු අන්‍යාගම්වල ද දක්නට ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත් වල ද දක්නා ලැබේ. ශුද්ධ වූ අභිධර්මය බුදු සස්නෙන් පිටත ඇතියක් නොවේ. සූත්‍ර‍ පිටකයේ එන කරුණුවලින් බොහොවක් අභිධර්ම පිටකයේ ඇති කරුණු ම ය. එහෙත් එහි ඒ ධර්ම අභිධර්ම පිටකයෙහි සේ විස්තර කර ද නැත. ක්‍ර‍මානුකූලව විභාග කර ද නැත. පැහැදිලි කර ද නැත. එබැවින් බුදු සමය පිළිබඳ සම්පූර්ණ දැනුමක් නිරවුල් දැනුමක් සූත්‍ර‍ පිටකය පමණක් උගෙනීමෙන් නො ලැබිය හැකිය.

නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ම ය. ධර්මදේශනයක වරද නිවරද සොයා ගත හැකි වීමට, ඇදකුද සොයා ගත හැකි වීමට, අඩු වැඩි කම් සොයා ගත හැකි වීමට ඇත්තා වූ නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන ධර්මදේශනය දික් නූල පාවිච්චි නො කොට ලඹය පාවිච්චි නො කොට ලෑල්ල පාවිච්චි නො කොට කෝදු ලීය පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය.

ධර්මදේශනයකදී තථාගතයන් වහන්සේ දානකථාවය, ශීල කථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ ආදීනවය ය, කාමයන්ගේ ලාමක බව ය, කාමයන්ගේ කිලිටි බව ය, කාමයන් ගෙන් වෙන්වීමේ අනුසසය යන මේවා ප්‍ර‍කාශ කොට අවසානයේ දී සාමුක්කංසික චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනය ද කරන සේක. සූත්‍ර‍ දහස් ගණනක් පමණ දික් වූ ඒ දීර්ඝ දේශනයට, චතුරාර්‍ය්‍ය සත්‍යය ජනයාට අවබෝධ කර ගැනීමට සෑහෙන තරමට කරුණු ඇතුළු වන්නේ ය. එබැවින් ඒ දීර්ඝ දේශනය අසා බොහෝ සත්ත්වයෝ ධර්මාවබෝධය කොට ගෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණ නිවන් දකිති. තථාගතයන් වහන්සේගේ ඒ දීර්ඝ දේශනය අද කිසි පොත පතක නැත්තේ ය. දැනට ඇති කිසිම සූත්‍ර‍ ධර්මයක නාමරූප ධර්ම ගැන ද චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන ද සෑහෙන විස්තරයක් නැත්තේ ය. සූත්‍ර‍ පිටකයට අයත් පොත්වල ඇති සූත්‍ර‍වල එකිනෙකට සම්බන්ධයක් නැත්තේ ය. එක සූත්‍ර‍යක කියවුණු කරුණ සමහර විට තවත් සූත්‍ර‍ සියයක ඇත්තේය. එබැවින් සූත්‍ර‍ පිටකය මහත් වී තිබෙන තරමට එය කරුණු වලින් මහත් වි නැත. දැනට ඇත්තාවූ තථාගතයන් වහන්සේ ගේ එක ම දීර්ඝ දේශනය අභිධර්ම පිටකය ය.

අභිධර්ම පිටකය ප්‍ර‍කරණ වශයෙන් සතක් වුව ද ධර්ම ප්‍ර‍මාණයෙන් සූත්‍ර‍ පිටකයට ද විනය පිටකයට ද වඩා මහත් ය. විනය පිටකයෙහි ඇත්තේ ධර්මස්කන්ධ විසි එක් දහසෙකි. සූත්‍ර‍ පිටකයෙහි ඇත්තේ ද ධර්මස්කන්ධ විසි එක් දහස ම ය. අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධ දෙසාලිස් දහසෙකි. සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් ගෙන් බාගයක් අභිධර්ම පිටකය ය. ඒ අභිධර්ම පිටකය එකිනෙකට සම්බන්ධය ඇති බැවින් එක් සූත්‍ර‍යක් වැනිය. එහි ක්‍ර‍මානුකූලව ධර්මය විස්තර වන්නේ ය. ඒ අභිධර්ම පිටකය බුද්ධදේශනයක් වුවත් නොවූවත් ධර්මය ගැන මනා අවබෝධයක් ඇති කර ගත හැකි වීමට ඇති එක ම ක්‍ර‍මය ඒ අභිධර්ම පිටකය උගෙනීම ය. ධර්මසංගණී ප්‍ර‍කරණය, විභංග ප්‍ර‍කරණය, ධාතුකථා ප්‍ර‍කරණය, පුද්ගල ප්‍ර‍ඥප්ති ප්‍ර‍කරණය, කථාවස්තු ප්‍ර‍කරණය, යමක ප්‍ර‍කරණය, ප්‍ර‍ස්ථාන ප්‍ර‍කරණය යි අභිධර්ම පිටකයේ ප්‍ර‍කරණ සතකි. ඒ සප්ත ප්‍ර‍කරණයන් අතුරෙන් ධර්මසංගණී මාතෘකාවය. ධාතුකථා ප්‍ර‍කරණය, යමක ප්‍ර‍කරණය යන මේවා කට පාඩමෙන් ම උගත යුතු පොත් ය. ඒ පොත් බුරුමයේ උගන්වන්නේ රාත්‍රියේ අන්ධකාරයේ ය. අභිධර්මය උගැන්වීමේ ආකාරයෙන් දිවාවාචනය, රාත්‍රීවාචනය යයි දෙකකට බෙදා තිබේ. ඉහත කී කට පාඩමෙන් උගත යුතු පොත් රාත්‍රිවාචනය ය. ඉතිරි අභිධර්ම පොත් දිවාවාචනය ය.

පර්වතයකින් ගඟක් ගලා බස්නාක් මෙන් තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා ම අතිසීඝ්‍රයෙන් කළ ඒ අභිධර්ම දේශනය ද ඉතා දීර්ඝය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂූන් වහන්සේලාට නූගත හැකිය. නො දැරිය හැකිය. දෙව්ලොව අභිධර්ම දේශනය කරන්නා වූ තථාගතයන් වහන්සේ දේශනය නො නැවතී පවතිනු සඳහා ඒ අසුන මත බුදුරුවක් මවා ඒ බුදුරුව මෙතෙක් ධර්මය දේශනය කෙරෙත්වා යි ඉටා ආහාර වැළඳීම් ආදිය පිණිස දිනපතා මිනිස් ලොවට වඩනා සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිති. ඇතැම් දෙවි කෙනෙක් නො දනිති. මිනිස් ලොවට වඩනා වූ තථාගතයන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිඬු සිඟා ගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දන් වළඳා දිවා විහරණය පිණිස සඳුන් වනයට වඩනා සේක. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට එතැනට වඩනා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දිනයෙහි දෙසූ අභිධර්මය වෙරළ තීරයෙහි සිට අත දිගු කොට මහ සයුර දක්වන්නාක් මෙන් ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනය කරන සේක. සිවුපිළිසිඹියාපත් ඒ මහ රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් අති සංක්‍ෂෙපයෙන් දේශනය කළ ඒ ධර්මය නය සියයෙන් නය දහසින් නය දස දහසින් අවබෝධ කර ගැනීමට සමත් වන සේක. උන්වහන්සේ බුදුන් වහන්සේගෙන් උගන්නා වූ ඒ අභිධර්මය භික්ෂූන්ට උගෙනීමට දැරීමට ප්‍රමාණ වන සැටියට මඳක් විස්තර කර ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේගේ අතවැසි භික්ෂූන් පන්සියයකට උගැන්වූ සේක. ඒ භික්ෂූන් පන්සිය දෙනා වහන්සේ බුදුන් වහන්සේගේ අභිධර්ම දේශනය නිමවනු සමග ම ආභිධර්මිකයෝ වූහ. අද පවත්නා අභිධර්ම පිටකය දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගැන්වූ ඒ අභිධර්මය ය. එය තථාගතයන් වහන්සේගෙන් ලත් නය අනුව තථාගතයන් වහන්සේගේ අදහසට අනුව උගන්වන ලද්දක් බැවින් සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගන්වන ලද්දක් වුව ද බුද්ධ දේශනය සැටියට ම පිළිගනු ලැබේ.

චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට දැනට ඇත්තාවූ ඉතා ම හොඳ ක්‍ර‍මය අභිධර්ම පිටකය උගෙනීම ය. සූත්‍ර‍ පිටකයේ සූත්‍ර‍වල තිබෙන කරුණු කෙනකුට චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ සෑහෙන අවබෝධයක් ඇතිකර ගැනීමට ප්‍ර‍මාණ නොවේ. අහස් යානය ගැන එය ගිගුම් දෙමින් අහස්හි ගමන් කරනු දක්නා ගැමියෝ ද දනිති. එය පදවන ඇදුරෝ ද දනිති. සූත්‍ර‍ ධර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය දැන ගන්නා තැනැත්තන්ගේ එය පිළිබඳ දැනුම අහස් යානය ගැන ගැමියන්ට ඇති දැනුම වැනිය. අභිධර්ම පිටකය උගෙන චතුරාර්‍ය්‍ය සත්‍යය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන ඇදුරකුට එය ගැන ඇති දැනුම වැනිය. චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ වූ පරිපූර්ණ දැනුමකින් මිස මඳ දැනුමකින් මග ඵල ලබා නිවන් නොදැකිය හැකිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිධර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා ම බුදු සස්නෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජන ලබන්නේ ය.