අභිධර්ම පිටකය බුදු දහමෙහි ඉතා සාරවත් වූ ඉතා වටිනා කොටස ය

සම්පාදක - අභිධර්මයේ මූලික කරුණු - මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා නායක ස්ථවිරයන්

ලොව ඇති සජීවාජීව සියල්ල සෑදෙන මූල ධාතූන් විස්තර වශයෙන් විභාග කොට ඇත්තේ ද ඒවා ඇතිවන සැටිත්, පරම්පරා වශයෙන් පවත්නා සැටිත්, ඒ ධාතු පරම්පරාවන් සිඳී යන සැටිත්, ඒ ධාතූන්හි ඇති ශක්ති විශේෂයන් හා ඒවායින් ඇති විය හැකි දේත්, විභාග කොට ඇත්තේ ද අභිධර්මයෙහි ය. කුශලාදි ධර්ම නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, ඒවායේ ඇති ශක්ති විශේෂ විභාග කොට ඇත්තේ ද, ඒ ශක්තීන් නිසා ඇති වන ඵල විපාක නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, මෙලොවින් පරලොවට කිසිවක් නො ගොස් ම නැවත නැවත භවයෙන් භවයෙහි සත්ත්වයාගේ ඉපදීම සිදුවිය හැකි ආකාරය දක්වා ඇත්තේ ද අභිධර්ම පිටකයෙහි ය.

සූත්‍ර‍ පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැනිය. එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුව ද කෙනකුට වෛද්‍යවරයකු නොවිය හැකිය. එමෙන් සූත්‍ර‍ කෙතෙක් උගත ද එයින් බුදු දහම, “බෞද්ධ දර්ශනය” නිරවුල් ලෙස දතුවතු නො විය හැකි ය. බුදු දහම නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්ම පිටකය උගත යුතු ම ය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේ ය. කරුණු මෙසේ හෙයින් බුදු දහම ගැන නිවැරදි නිරවුල් දැනුමක් ඇති කර ගනු රිසි සැමදෙනා විසින් ම අභිධර්ම පිටකය උගත යුතුය. අභිධර්ම පිටකය බුදු දහමෙහි ඉතා සාරවත් වූ ඉතා වටිනා කොටස ය.

දැනුදු බුදු දහම පහත් කොට දක්වනු කැමති අවුල් කරනු කැමති, බෞද්ධයන්ග් ආගම භක්තිය උපායෙන් නසනු කැමති ඇතැම් යුරෝපීය පඬිවරු “අභිධර්ම පිටකය බුද්ධ කාලයේ තිබුණේ නැත. පළමුවන දෙවන සංගායනාවලදීත් තිබුණේ නැත. එය බුද්ධ භාෂිතයෙන් නො වේ ය, එය ද්විතීය සංගායනාවට හා තෘතීය සංගායනාවට අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දකැ යි සිතිය හැකි යයි කියති. බුදුනටත් ඉහළින් යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද ඒ මත පිළිගෙන මහලොකු දේවල් ලෙස තැන තැන පවසති. ඒ මත පිළිගත් එක්තරා ස්ථවිර නමක් දැන් අභිධර්මයේ අඩුතැන් පුරවන්නටත්, වැරදි තැන් සකස් කරන්නටත් පටන්ගෙන තිබේ. එය මන්ත්‍ර‍ය නො දැන නයින් නටවන්නට යෑම වැනි භයානක ඵල ඇතිවියහැකි වැඩක් බව ඒ ස්ථවිර තුමන්ට මතක් කරනු කැමැත්තෙමු.

තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනය කළ බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වන ප්‍ර‍සිද්ධ කරුණකි. විනය පිටකය ඇති වූයේ අභිධර්ම පිටකය ඇති වී වර්ෂ බොහෝ ගණනක් ගත වූ පසු ව ය. අභිධර්ම පිටකය දේශනය කළ කාලය වන විට සූත්‍ර‍ පිටකයෙන් ද තිබෙන්නට ඇත්තේ සුළු කොටසකි. එබැවින් එකල විසූ බොහෝ භික්ෂූන් අභිධර්ම පිටකය භාවිතා කරන්නට ඇතිවාට සැකයක් නැත. “අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නොතිබුණේය” යි කියන්නවුන් විසින් : එකල තිබුණේ යයි පිළිගන්නා සූත්‍ර‍ විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ, ඒ ධර්මය, භික්ෂූන් අතර කෙලින් ම තිබුණු නිසාය.

තථාගතයන් වහන්සේ විසින් අභිධර්ම පිටකයෙහි වදාරා ඇත්තේ ඉතා ගැඹුරු ධර්මයෝ ය. එකින් එකක් වෙන් කළ නොහෙන පරිදි බැඳී සමූහ වශයෙන් වහ වහා ඉපද ඉපද බිඳි බිඳී යන චිත්ත චෛතසික ධර්මයන් මේ මේය කියා විභාග කර දැක්වීම ලොව්තුරා බුදුවරුන්ට මිස සෙස්සන්ට කළ හැකියක් නො වේ. එබැවින් අභිධර්ම පිටකය ලොව්තුරා බුදු කෙනකුන් විසින් ම දේශනය කරනවා මිස අනිකකු විසින් සම්පාදනය නො කළ හැකි ය. සාමාන්‍ය ලෝකයාට විෂය නො වන ගැඹුරු ධර්මයන් විභාග කොට දක්වන අභිධර්ම පිටකය යමකුට සම්පාදනය කළ හැකි වූයේ නම් එය සුළු කරුණක් නොව මහා ප්‍රාතිහාර්‍ය්‍යයකි. එබඳු මහත් දෙයක් කළ තැනැත්තකුට ඒ ග්‍ර‍න්ථ බුද්ධ දේශනාවක් ලෙස ඉදිරිපත් කොට සැඟවෙන්නට කිසි ම කරුණක් නැත.

අභිධර්ම පිටකය සම්පාදනය කළහයි කියන කාලයේ පොත් තිබුණේ නැත. ඒ කාලයේ ධර්ම ශාස්ත්‍ර‍යන් පවත්වාගෙන ආයේ පාඩම් ඇතියකුගෙන් අසා පාඩම් කර ගැනීමේ ක්‍ර‍මයෙනි. දීර්ඝ දෙයක් වන අභිධර්ම පිටකය සිය මුවින් ම කියා පිරිසකට පාඩම් කර වීමට දිගු කලක් වුවමනා ය. බොරුවට ආයු මඳ ය. එබැවින් කෙනකුට අභිධර්ම පිටකය සම්පාදනය කර එය බුද්ධ දේශනයක් ලෙස, රහස එළි නොවන ලෙස දිගු කලක් උගැන්ම නො කළ හැකි ය. යම් කිසි දවසක දී කාරණය ඒකාන්තයෙන් ප්‍ර‍සිද්ධ වන්නේ ය. ඉන්පසු ඒ ධර්මය උගෙණීමට භික්ෂූන් නො වෙහෙසෙනවා ඇත. තමා විසින් යමක් සම්පාදනය කොට එය බුද්ධ දේශනයක් ලෙස රටට දීම බරපතල වරදකි. අභිධර්ම පිටකය වැනි විශාල දෙයක් පිළියෙල කොට යමකු විසින් එය බුද්ධ ‍දේශනයක් ලෙස ප්‍ර‍කාශ කරන්නට පටන් ගත හොත් එය ඉතිහාස ගතවන අපරාධයකි. මෙතරම් මහත් වඤ්චාවක් යමකු කරන ලද නම්, ඒකාන්තයෙන් එය හෙළි වන්නේය. එහෙත් අභිධර්මය බුද්ධ දේශනයක් නො වෙතියි කියන කිසිවකු අභිධර්ම පිටකය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කිරීමට සමත් වී නැත. එයින් පෙනෙන්නේ අභිධර්මය බුද්ධ දේශනයක් නොවේ යයි කීම ම බොරුවක් බව ය. අභිධර්මය අබුද්ධ දේශනයක් බව ඔප්පු කරන්නට නම් එය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කළ යුතු ය. බුද්ධ දේශනාවකැයි කියා ඒ ධර්මය සම්පාදනය කිරීමේ හේතුව දැක්විය යුතු ය.

මුලින් සම්පාදනය කළ තැනැත්තා ගෙන් අභිධර්මය උගත් භික්ෂූන් සම්පාදකයා ගේ නම යටපත් කොට එය බුද්ධ දේශනාවක් ලෙස ප්‍ර‍කාශ කරන්නට පටන් ගත්තා නම් එය වඤ්චාවක් පමණක් නොව ගුරුද්‍රෝහි කමක් ද වන අපරාධයකි. කිසි ම ප්‍රයෝජනයක් නැතිව එබඳු අපරාධයක් භික්ෂූන් විසින් කරන ලදැයි පිළිගැනීමට කරුණක් නැත. අභිධර්ම පිටකය ප්‍ර‍ථම ද්විතීය සංගායනාවල දී සංගීත නොවූ බව කියන අය තෘතීය සංගායනාවේ දී එය සංගීත වූ බව පිළිගනිති. විනය අටුවාව කියන හැටියට ඒ සංගීතිය ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා දහසක් විසින් කරන ලද්දකි. ඒ රහත්හු බුද්ධ දේශනයකැයි රැවටී අභිධර්මය උගත්තෝ ද? නැතහොත් උන් වහන්සේලා බුද්ධ භාෂිතයක් නො වන බව දැන ගෙන ම එය බුද්ධ භාෂිතයක් වශයෙන් සංගායනා කළෝ ද? නැතහොත් විනය අටුවාවෙහි සඳහන් වන ඒ පුවත බොරුවක් ද? බොරුවක් නම් එය විනය අටුවාවට ඇතුළත් කළේ කුමට ද? යන මේ ප්‍ර‍ශ්න විසඳීම අභිධර්මය අබුද්ධ දේශිතයක් බව කියන භවතුන්ට භාර කරමු.