අභිධර්මය ඉගෙනීමේ වටිනාකම

සූත්‍ර‍ පිටකයෙහි එන කරුණු වලින් එක්තරා කොටසක් නුවණ දියුණු කළ සාමාන්‍ය ජනයාට ද වැටහෙන් සාමාන්‍ය කරුණු ය. ඒවා අවබෝධ කිරීමට කල්ප ගණනක් පෙරුම් පුරා ලැබිය යුතු විශිෂ්ඨ ඥානයක් නුවමනා ය. එබැවින් ඒ කරුණු අන්‍යාගම්වල ද දක්නට ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත් වල ද දක්නා ලැබේ. ශුද්ධ වූ අභිධර්මය බුදු සස්නෙන් පිටත ඇතියක් නොවේ. සූත්‍ර‍ පිටකයේ එන කරුණුවලින් බොහොවක් අභිධර්ම පිටකයේ ඇති කරුණු ම ය. එහෙත් එහි ඒ ධර්ම අභිධර්ම පිටකයෙහි සේ විස්තර කර ද නැත. ක්‍ර‍මානුකූලව විභාග කර ද නැත. පැහැදිලි කර ද නැත. එබැවින් බුදු සමය පිළිබඳ සම්පූර්ණ දැනුමක් නිරවුල් දැනුමක් සූත්‍ර‍ පිටකය පමණක් උගෙනීමෙන් නො ලැබිය හැකිය. නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ම ය. ධර්මදේශනයක වරද නිවරද සොයා ගත හැකි වීමට, ඇදකුද සොයා ගත හැකි වීමට, අඩු වැඩි කම් සොයා ගත හැකි වීමට ඇත්තා වූ නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන ධර්මදේශනය දික් නූල පාවිච්චි නො කොට ලඹය පාවිච්චි නො කොට ලෑල්ල පාවිච්චි නො කොට කෝදු ලීය පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය.

බුදුන් වහන්සේ විසින් අභිධර්ම පිටකය දේශනය කරන ලදුයේ දෙවියන්ට ය. එය මිනිසුන්ට වුවමනා ධර්මයක් නොවේය” යි ද ඇතැම්හු කියති. දෙවියනට පමණක් නොව මිනිසුන්ටත් අභිධර්මය දේශනය කළ සැටි ඉහත කියන ලදී. දෙවියන්ට හා මිනිසුන්ට වෙන වෙනම නිවන් දෙකක් නැත්තේ ය. සැමට ම ඇත්තේ එක ම නිවනය. සැම දෙනා විසින් ම ඒ නිවනට පැමිණිය යුත්තේ ඒ නිවන ලැබිය යුත්තේ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමෙනි. එයට අන් මගක් නැත්තේ ය. බුදුන් වහන්සේ දහම් දෙසනුයේ සත්ත්වයනට ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරවීම පිණිස ය. දෙව් මිනිස් කාහටත් ඇත්තේ එක ම නිවන බැවින් සෑම දෙනා විසින් ම එය ලැබිය යුත්තේ ද එක ම ක්‍ර‍මයෙන් නිසා දෙවියන්ට වෙන ම ධර්මයකුත් මිනිසුන්ට වෙන ම ධර්මයකුත් නැත. තථාගතයන් වහන්සේගේ සකල ධර්මය දෙවි මිනිස් සැමට ම සාධාරණය. එබැවින් අභිධර්මය දෙවියනට මිස මිනිසුන්ට වුවමනා නැත යයි කීම නො දැනීමෙන් කියන්නක් බව දත යුතුය.

චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට දැනට ඇත්තාවූ ඉතා ම හොඳ ක්‍ර‍මය අභිධර්ම පිටකය උගෙනීම ය. සූත්‍ර‍ පිටකයේ සූත්‍ර‍වල තිබෙන කරුණු කෙනකුට චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ සෑහෙන අවබෝධයක් ඇතිකර ගැනීමට ප්‍ර‍මාණ නොවේ. අහස් යානය ගැන එය ගිගුම් දෙමින් අහස්හි ගමන් කරනු දක්නා ගැමියෝ ද දනිති. එය පදවන ඇදුරෝ ද දනිති. සූත්‍ර‍ ධර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය දැන ගන්නා තැනැත්තන්ගේ එය පිළිබඳ දැනුම අහස් යානය ගැන ගැමියන්ට ඇති දැනුම වැනිය. අභිධර්ම පිටකය උගෙන චතුරාර්‍ය්‍ය සත්‍යය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන ඇදුරකුට එය ගැන ඇති දැනුම වැනිය. චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ වූ පරිපූර්ණ දැනුමකින් මිස මඳ දැනුමකින් මග ඵල ලබා නිවන් නොදැකිය හැකිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිධර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා ම බුදු සස්නෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජන ලබන්නේ ය.

දෙවි, මිනිස්, ඇත්, අස්, ගව, මැසි, මදුරු ආදි කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං, ගස්, වැල් ආදි සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූ ද, ඒ මූල ධාතූන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූ ද, නිර්වාණ ධාතුව විභාග කොට දක්වන්නා වූ ද ධර්මය අභිධර්මය යි. දැනට ජීවත්ව ඉන්නා මේ මනුෂ්‍යාදි සත්ත්වයන් අතීතයෙහි ද විසූ බවත්, මරණින් මතු නැවත නැවතත් උපදනා බවත්, නැවත ඉපදීම සිදුවන සැටිත් හරියට දත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි.

පින්ය කියා දෙයක් ඇති බවත්, පව්ය කියා දෙයක් ඇති බවත්, ඒ පින් පව්වල ඇති බලයත්, පින් පව්වලින් සත්ත්වයන්ට සැප දුක් දෙන සැටිත් හරියට තේරුම් ගත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි. පින් මේවා ය, පව් මේවා ය කියා හරියට දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.

අප සමීපයෙහිත් අපට බොහෝ දුරිනුත් අපේ ඇස් වලින් දැකිය නො හෙන නොයෙක් රූ සටහන් ඇති නොයෙක් ආකාර සැප දුක් ඇති දිව්‍ය බ්‍ර‍හ්මාදි නොයෙක් ජාතිවලට අයත් බොහෝ සත්ත්වයන් ඇති බව දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.

නිවන කුමක් ද? නිවන් මග කුමක් ද? කියා හරියට තේරුම් ගත හැකි වන්නේ ද අභිධර්මය උගෙනීමෙනි. මතු ඉපදීමක් ඇති බව නො පිළිගන්නේ, කර්මානුරූප ව සත්ත්වයන් සුව දුක් ලබන බව නො පිළිගන්නේ, අපායවල් ඇති බව දෙවි බඹුන් ඇති බව නො පිළිගන්නේ මේ ධර්මය නො දන්නා බැවිනි. බුදු පිළිමවලට වඳින්න ඕනෑ නැත, අජීවමාන බුදුනට මල් පහන් ආහාරාදිය පුදන්නට ඕනෑ නැත යනාදි මිථ්‍යා අදහස් ඇති වන්නේ ද මේ ධර්මය නො දන්නා නිසා ය.

බෞද්ධයකු වුව ද මේ ධර්මය තරමක් දුරටවත් නො දත් තැනැත්තා අන්ධ පෘථග්ජනයෙකි. ඔහුට බණක් අසා හෝ බණ පොතක් කියවා හෝ හොඳින් තේරුම් ගත නො හැකිය. කියන බණක් හොඳින් තේරුම් ගත හැකි වීමටත්, බණ පොතක් කියවා හොඳින් තේරුම් ගත හැකි වීමටත් තරමක් දුරටවත් අභිධර්මය උගෙන තිබිය යුතු ය.

ලොව ඇති සජීවාජීව සියල්ල සෑදෙන මූල ධාතූන් විස්තර වශයෙන් විභාග කොට ඇත්තේ ද ඒවා ඇතිවන සැටිත්, පරම්පරා වශයෙන් පවත්නා සැටිත්, ඒ ධාතු පරම්පරාවන් සිඳී යන සැටිත්, ඒ ධාතූන්හි ඇති ශක්ති විශේෂයන් හා ඒවායින් ඇති විය හැකි දේත්, විභාග කොට ඇත්තේ ද අභිධර්මයෙහි ය. කුශලාදි ධර්ම නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, ඒවායේ ඇති ශක්ති විශේෂ විභාග කොට ඇත්තේ ද, ඒ ශක්තීන් නිසා ඇති වන ඵල විපාක නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, මෙලොවින් පරලොවට කිසිවක් නො ගොස් ම නැවත නැවත භවයෙන් භවයෙහි සත්ත්වයාගේ ඉපදීම සිදුවිය හැකි ආකාරය දක්වා ඇත්තේ ද අභිධර්ම පිටකයෙහි ය.

තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදී ඒ ඒ පුද්ගලයන් හට සුදුසු පරිදි පවත්වන ලද කෙටි දේශනයෝ සූත්‍ර‍ නම් වෙති. ඒ දේශනා සමූහයකට සූත්‍ර‍ පිටකය යි කියනු ලැබේ. ඒ සූත්‍ර‍වල එකිනෙකට සම්බන්ධයක් නැත්තේය. කෙටි දේශනයකින් ඉහත කී කරුණු පිළිබඳ විස්තරයක් නොකළ හැකි බැවින් ලෝක තත්ත්වය මැනවින් විස්තර කරන සූත්‍ර‍යක් නැත්තේ ය. සූත්‍ර‍ ධර්ම වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්‍ෂා කර ඒ ඒ රෝගියාට සුදුසු හැටියට ලියන ලද බෙහෙත් සීට්ටු රැසක් වැනිය. අභිධර්ම පිටකය ඒ වෛද්‍යවරයා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍ර‍ය වැනිය. ක්‍ර‍මානුකූලව වෛද්‍ය ශාස්ත්‍ර‍ය උගෙනීමෙන් මිස බෙහෙත් සීට්ටු කියැවීමෙන් වෛද්‍යවරයකු නොවිය හැකි වන්නාක් මෙන් බෙහෙත් සීට්ටු රැසක් බඳු වූ සූත්‍ර‍ පිටකය උගෙනීමෙන් බුද්ධ ධර්මය මනා කොට දන්නකු නොවිය හැකිය. හොඳ ධර්ම ධරයකු හොඳ ධර්ම කථිකයකු නොවිය හැකිය.

අභිධර්මය නොදත් තැනැත්තාගේ ධර්ම ඥානය ද අවුල් ය. ධර්ම දේශනය ද අපරිශුද්ධය. එහි ඇති අවුල් එහි ඇති වරද ආභිධර්මිකයන්ට මිස සෙස්සන්ට නො දැනෙන්නේ ය. එබැවින් සෙස්සෝ ඒ අවුල් දෙසුමට ද පසස්නාහ. දේශකයා ද තමාගේ දේශනයෙහි තතු නොදන්නා බැවින් එය උසස් කොට සිතා සතුටු වන්නේ ය. සමහර විට තමා ගැන ආඩම්බර ද වන්නේය. අභිධර්මය දැන ගන්නා තෙක් ඒ වැරදි හැඟීම ඔහුගෙන් නො දුරුවන්නේ ය.බුදු දහම නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්ම පිටකය උගත යුතු ම ය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේ ය.

ආභිධම්මික භික්ෂුහුම ධර්ම කථිකයෝ නම් වෙති. සෙස්සෝ දහම් දෙසන්නාහු ද ධර්ම කථිකයෝ නො වෙති. කුමක් හෙයින් ද යත්? ඔවුහු දහම් දෙසන්නාහු එක් කර්මයක් තවත් කර්මයක් හා අවුල් කොට ද එක් විපාකයක් තවත් විපාකයක් හා අවුල් කොට ද රූපාරූප දෙක අවුල් කොට ද එක් ධර්මයක් තවත් ධර්මයක් හා අවුල් කොට ද දහම් දෙසති. ආභිධම්මිකයෝ වනාහි ධර්මය අවුල් නො කෙරෙති. එබැවින් අභිධර්මය දන්නා භික්ෂුව බණ කියන්නේ හෝ වේවා නො කියන්නේ හෝ වේවා අනුන් විසින් ඇසූ විටෙක නො වරදවා කාරණය කියන බැවින් හෙතෙමේ ම ඒකාන්තයෙන් ධර්මකථිකයා නම් වේ” ය යනු එහි අදහසයි. කරුණු මෙසේ හෙයින් බුදු සමය නිරවුල් ලෙස දනු කැමති සැම දෙනා විසින් ම අභිධර්ම පිටකය උගත යුතුය.

ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සූක්ෂම පරම ගම්භිර චිත්ත චෛතසිකාදි පරමාර්ථ ධර්මයන් ගේ තතු ලොවට හෙළි කරනු පිණිස දේශනය කළ විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකය ය. පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්ත්වාකාරයෙන් අවබෝධ කොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥතාඥානය

ඇති ලොව්තුරා බුදුවරයෝ ය. සේසසෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකය ය. බුදු සමයේ ශරීරය ද සාරය ද එය ම ය.